The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

January 27, 2023 • 2:19 PM

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබැවින්ම සංවාද කළ යුත්තේ කුමක් ගැන ද?
  • මෙවන් මොහොතක සැබැවින්ම සංවාද කළ යුත්තේ නිදහස අහිමිවීම පිණිස ගෙවුණු 75 වසර පුරා රාජ්‍ය අපරාධකාරීත්වය කවර අධි මාත්‍රාවකින් සමාජය මත බලපා තිබේ ද යන්න ය.
  • ඡන්ද අයිතිය, ප්‍රජාතන්ද්‍රවාදී සමාජයක මූලිකම සංඝඨකයක් ලෙස සලකන්නේ නම් ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වනාහි අපේ මව් බිම නොහොත් ශ්‍රී ලංකාව යැයි උදම් අනන්නට පවා පිළිවන.
  • නමුත් ඊනියා නිදහස ලබන්නටත් කලින් සිටම ඡන්ද අයිතිය ළෙලවන රටක්, ලෝකයේ වැඩිම සාපරාධී අතුරුදහන්කිරීම් සිදුවන, විශාල වශයෙන් සමූහ මිනීවලවල් පවතින රටක් බවට පත්ව ඇත්තේ ඇයිදැයි යන්න ගැඹුරින් සිතා බැලිය යුතු ප්‍රශ්නයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
මහජන අරගලයට පෙරත්, අරගල සමයේදීත්, ඉනික්බිති පළාත්පාලන මැතිවරණ මොහොත දක්වාත් උද්වේගකර වේදිකා මත මෝචනය වන්නේ රාජ්‍ය මංකොල්ලකාරීත්වය පිළිබඳ සටන් පාඨ ම පමණි.  
 
තව දින කිහිපයකින් එළැඹීමට නියමිත නිදහසේ 75වැනි ඊනියා සැමරුම පිළිබඳ ප්‍රසිද්ධ දේශපාලන කුකුල් පොරපිටි තුළ වන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මොහොතක සැමරුම් උළෙලක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක මුදලක් වැය කිරීම පිළිබඳ වාද විවාද පමණකි. සැබැවින්ම සංවාද කළ යුත්තේ කුමක් ගැන ද? මෙවන් මොහොතක සැබැවින්ම සංවාද කළ යුත්තේ නිදහස අහිමිවීම පිණිස ගෙවුණු 75 වසර පුරා රාජ්‍ය අපරාධකාරීත්වය කවර අධි මාත්‍රාවකින් සමාජය මත බලපා තිබේ ද යන්න ය. අද වන විට එකිනෙක වෙන් කර පෙනුවනු නොහෙන තරමටම බැඳී තිබුණ ද, මංකොල්ලකාරීත්වය යනු අපරාධ රාජ්‍යයේ අතුරු පලයක් විනා පදනම නොවේ. අපරාධ රාජ්‍යයේ පදනම අපරාධකාරීත්වයයි.
 
ඡන්ද අයිතිය, ප්‍රජාතන්ද්‍රවාදී සමාජයක මූලිකම සංඝඨකයක් ලෙස සලකන්නේ නම් ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වනාහි අපේ මව් බිම නොහොත් ශ්‍රී ලංකාව යැයි උදම් අනන්නට පවා පිළිවන. නමුත් ඊනියා නිදහස ලබන්නටත් කලින් සිටම ඡන්ද අයිතිය  ළෙලවන රටක්, ලෝකයේ වැඩිම සාපරාධී අතුරුදහන්කිරීම් සිදුවන, විශාල වශයෙන් සමූහ මිනීවලවල් පවතින රටක් බවට පත්ව ඇත්තේ ඇයිදැයි යන්න ගැඹුරින් සිතා බැලිය යුතු ප්‍රශ්නයකි. අප සතු මේ ‘සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදය’ නැතහොත් මේ ගැඹුරු සමාජ  විසංවාදය පැන නැඟෙන තර්කනය ඇත්තේ, අපරාධ යුක්තිය පිළිබඳ තීරාණාත්මක ලෙස අරගල කිරීමට ඇති  අසමත්භාවය මත යි. 
 
 
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව තෙක් සියලු වාර්ගික අනන්‍යතා සහිත තමන් යටතේ ජීවත් වන පුරවැසියන්ට එරෙහිව අඛන්ඩව බරපතලම අපරාධ කළ චූදිතයා වන්නේ ශ්‍රී ලංකා ‘රාජ්‍යයයි’. මහපරිමාණ ජනඝාතන සිදුවූ කිසියම් අපරාධ යුගයක් පසුකළ පසු අපරාධ යුක්තිය පිළිබඳ සටන් පාඨය සමාජය විසින් අතැර දැමෙන්නේ ඇයි?  ශ්‍රී ලංකාවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ අනන්‍යතාව එය වන බැවිනි.
 
 
gotabhaya rajapaksa 1989 june
 
ගජබා රෙජිමේන්තු නිලධාරීන් - වමේ සිට තුන්වැන්නා ගෝඨාභය රාජපක්ෂ - 1989 ජූලි 25
 
 
එවන් අනන්‍යාතාවක් ඇති අපරාධ රාජ්‍යයේ, මේ පසුකරමින් යන්නේ, දකුණේ අපරාධ ක්‍රියාන්විතයේ ‘මාතලේ’ පරිච්ඡේදය යළි අලුතින් කියවන්නට පටන් ගෙන ඇති සමයකි. 1989 වසරේ ධවල භීෂණ සමයේ මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ ‘පැනගිය ජනපති’ ගෝඨාභය රාජපක්ෂ භාරයේ සිට අතුරුදහන් වූ  වින්දිතයන්ට අපරාධ යුක්තිය ඉල්ලා එසේ සාපරාධී ලෙස අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් මාතලේ වීදි බැස්සේ ඉකුත් ජනවාරි 8වැනිදා ය.
 
 
 
මාතලේ අතුරුදහන් කිරීම සුළුපටු නැත. ‪1989-91‬ අතරතුර කාලයේ අතුරුදහන්වීම් 1042ක් නිල වශයෙන් වාර්තාවී ඇති අතර ගෝඨා මාතලේ රජ වූ සමය තුළ 700කට අධික දෙනෙක් ආගිය අතක් නැත. ඉන් ඇතැම් දෙනා පවුලේම ඥාතීන් විසින්ම මාතලේ වූ වධ කඳවුරු 20 අතරින් එකකට බාරදෙනු ලැබූ අය වීම විසින් ගෝඨාගේ මිනිමරුභාවයේ අඛන්ඩතාව තහවුරු කෙරෙයි.
 matale forensic examination
matale massgrave scull jds 1 matale burial ditch row
matale sleletal remains
 
මාතලේ මහා රෝහල භූමි පරිශ්‍රයෙන් මතුවූ සමූහ මිනී වල
 
dr jayasena matale jds 1a
 
අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන
 
 
prof raj somadeva cropමහාචාර්ය රාජ් සෝමදේවමාතලේ මහා රෝහල භූමි පරිශ්‍රයෙන් මතුවූ සමූහ මිනී වල තුළ අවම වශයෙන් මනුෂ්‍ය ජීවිත 154ක් මිහිදන්ව ඇති අතර, ඒ බහුතරය වධබන්ධනවලට ලක්ව ඝාතනයට ලක්වූවන් ලෙස අනුමාන කළ හැකි බවට ඒ ගැන පර්යේෂණ කළ මහාචාර්ය රාජ් සෝමදේව සහ වෛද්‍ය අජිත් ජයසේන කළ නිර්භීත හෙළිදරව් කිරීම් වලින් පසුවත්, මෞනවෘතයේ ගැළන්නට ඒ ඉතිහාසයේ සෘජු පංගුකාරයන් වූ වාම දේශපාලන පක්ෂ ක්‍රියා කරද්දී මාතලේ සීතල ඇටසැකිළි පිළිබඳ උණුසුම සදා කාලිකව වැළලී නොයන ලෙස තබා ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ ( JDS ) සංවිධානය යි.  මාතලේ ධවල භීෂණ සමයේ රාජ්‍යයේ මිනිමරු චලනයන් අවබෝධකරගන්නට කැමති කෙනෙකු වේ නම් JDS වෙබ් අඩවිය කදිම මූලාශ්‍රයකි.
 
 
image 1549908710 fa4b404b77
 
 
ගෝඨාභයගේ අපරාධ ඉතිහාසයේ අඛන්ඩතාව තහවුරු වන වැදගත් සංවාදයක් 2019 පෙබරවාරියේ ‘ඩේලි මිරර්’ පුවත්පතේ මාධ්‍යවේදී කැළුම් බණ්ඩාර සමඟ සිදුකර තිබිණ. එහිදී ගොඨා පවසා තිබුණේ, සුදු වෑන් භාවිතය තමන් හඳුන්වාදුන්නක් නොවන බවත් එය ඒ තාක් රජයන් භාවිත කළ ක්‍රමවේදයක් බවත් ය.  ඇතැම් විට රාජ්‍ය බුද්ධි අංශ ‘සුදු හයි-ඒස්’ වෑන් භාවිතා කරන්නට ඇති බවත් එය තමන් හඳුන්වා දුන් ක්‍රමයක් නොවන බවත් අවධාරණය කරන්නට ඔහු වෙර දරා තිබිණ. එම සංවාදයේ වූ වඩා වැදගත් කොටස වන්නේ ‘අපේ කාලයේදී ‘ කිසිදු දේශපාලන විරුද්ධවාදියෙක් පැහැර ගැනීමට ලක් නොකළ බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව පමණක්  එවන් පැහැර ගැනීම් සිදුවූ බවත් ගම්‍යමාන කරවන කොටසයි.
 
 
ඔහු පවසන ‘අපේ කාලය’ යනු කවර කලක්ද? ඒ වනාහී මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණු සහ ගෝඨාභය ආරක්ෂක ලේකම් වුණු අවධියයි. නමුත් ගෝඨා මඟහැර යන්නේ ඔහු මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස කටයුතු කළ ධවල භීෂණ සමය යි. දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා යනු අදාල දිස්ත්‍රික්කයේ සර්වබලදාරී කෙරුම්කරුවා ය. ඔහුගේ අනුදැනුම නොමැතිව කිසිදු සිදුවීමක් සිද්ධ විය නොහැකි ය. එසේ නම් ගෝඨාභයට අදාල පැහැර ගැනීම් ඉතිහාසය මාතලේ තෙක් දිවෙන බව පැහැදිලි ය.  ඔහු ඊට හුරු පුරුදු චරිතයක් බව පැහැදිලි ය. එය සනාථ කරන්නට හැකි හොඳම නිදසුන සී.ඒ. චන්ද්‍රපේමගේ ‘ගෝටාස් වෝ’ කෘතියෙහි, ධවල භීෂණ සමයේ කළ රාජකාරි වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාසගේ නිල ලත් ගහලයා වූ රංජන් විජේරත්නගේ නොවක් පැසසුම් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂට හිමිවී තිබීමයි. බාර දුන් අය පවා අතුරුදහන් කළ මාතලේ කෙරුම්කරුවා ජනපතිව සිටි සමයේ යුද හමුදාපති කළ ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හයිරංකාර ගජබා නඩය ඔහු යටතේ මාතලේ මෙහෙයුම් දියත් කළ කෙරුම්කාරයෝ වෙති.  ඉදින් මුල්ලිවෛක්කාලේදී හමුදාවට බාර වුණු කොටි කේඩරය ගැන හිතන්නට දෙයක් නැත. මාතලේදී සිදු වූ දේ ම සිදුවන්නට ඇත.
 
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීයෝ සංවිධානය (JDS) සහ සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ඒකාබද්ධව පළ කළ ‘’මාතලේ සිට මුල්ලිවෛක්කාල් දක්වා - නොනවතින අපරාධ’’ නම් විමසුමෙන්, 1989 මාතලේදීත් 2009 වසරේ මුල්ලිවෛක්කාල්හිදීත් සිංහල සහ දෙමළ ජනයා සිය ගණනින් අතුරුදහන් වූයේ කෙලෙසින් ද යන්න ජනාධිපති ගෝඨා - යුද හමුදාපති ශවේන්ද්‍ර යන දෙබෑයන් අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු යැයි අභියෝග කර ඇත.
 
JDS සහ ITJP සංවිධාන පළකළ වාර්තාව පදනම් කරගෙන මාතලේ මතුවූ සමූහ මිනීවල පිළිබඳව සහ මාතලේදී බලහත්කාරීව අතුරුදහන්කළවුන් ගැන යළි පරීක්ෂණ ආරම්භ කළ යුතු යැයි ඉකුත් ජනවාරි 15වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවූ, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු කළ ප්‍රසිද්ධ ඉල්ලීම හරහා මාතලේ ඉතිහාසය යළි සංවාදයට බඳුන් වෙමින් තිබේ. 
 
 
 
භාණ්ඩාගාරය හිස් වූ මංකොල්ලකාරී පසුබිම ගැන සිරා කතා ඇහෙන මැතිවරණ වේදිකා මත රාජ්‍ය අපරාධකාරීත්වයේ නියැදියක් වන් මාතලේ ගැන ඇඟ කිලි පොළා යන කතා නැත. රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ ගැටළුව සමඟ බරපතල ලෙස පොරබදන තුරු රාජ්‍ය මංකොල්ලකාරීත්වය පිළිබඳ ඕනෑම රමනීය සටන් පාඨයක් අත්පත් කර දෙන්නේ තාවකාලික ප්‍රමෝධයක් පමණක් බව මේ සියලු කතිකයන්ටත්, ඔවුනට ඔල්වර නඟන රසිකයන්ටත් යළි යළිත් මෙනෙහි කළ යුතුව ඇත.
 
 

Manjula wediwardhana

(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
mwediwardena@gmail.com
 
(බල්සාක් කැෆේ - 2023 ජනවාරි 29 - අනිද්දා පුවත්පත )
 

ඡායා : JDS වෙබ්අඩවිය

 
320723070 553561629955212 5233208659897488127 n
 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...