The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එග් මාෆියාව - (කපිල කුමාර කාලිංග ගේ හරබර)

T

The Leader Desk

January 29, 2023 • 6:30 AM

එග් මාෆියාව - (කපිල කුමාර කාලිංග ගේ හරබර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදසුනක් වශයෙන් ගතහොත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ද සුප්‍රසිද්ධ මාෆියාවකි.
  • ඇතැම් දේශපාලනඥයෝ ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මාෆියා කල්ලිවලට ගොදුරුව සිටිති.
  • ගෝඩ් ෆාදර්ලා අල්ලා ගැනීම සඳහා ඇතැම් රටවල ආරක්ෂක අංශ විශාල මෙහෙයුම් ක්‍රියාත්මක කරති.
  • එයට කුකුළන්ගේ හෝ කිකිළියන්ගේ කිසිදු සම්බන්ධයක් නැති අතර, බිත්තර ව්‍යාපාරිකයන් විසින් බිත්තර මිල ඉහළ දැමීමේ මාෆියාවක් ගොඩනංවා ඇති බවට චෝදනා නැගේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදසුනක් වශයෙන් ගතහොත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ද සුප්‍රසිද්ධ මාෆියාවකි. ප්‍රබල, ප්‍රකට පුද්ගලයන් රැසකගේ ඝාතන පිටුපස සිටියේ ද මාෆියා කල්ලිය.

ඉතාලිය, අමෙරිකාව හා ලතින් අමෙරිකානු රටවල මාෆියා සංවිධාන, දේශපාලන පක්ෂ තරමටම ප්‍රබලය. ඇතැම් දේශපාලනඥයෝ ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මාෆියා කල්ලිවලට ගොදුරුව සිටිති.

මාෆියා නායකයා හැඳින්වෙන්නේ ඩොන් හෝ ගෝඩ් ෆාදර් නමිනි. ගෝඩ් ෆාදර්ලා අල්ලා ගැනීම සඳහා ඇතැම් රටවල ආරක්ෂක අංශ විශාල මෙහෙයුම් ක්‍රියාත්මක කරති. එහෙත් හැමවිටම එය සාර්ථක වන්නේ නැත.

දරුණු අපරාධකරුවන් වන මාෆියා කල්ලි දෙකයි පනහේ වැඩවල නොයෙදෙති.

ලෝකේ කොහේවත් නොවෙන වැඩ සිදුවන සිරි ලංකාවේද ඉඳහිට මාෆියා වැඩ ගැන අසන්නට ලැබෙතත්, ඒවා ජාත්‍යන්තර තලයේ නම් නොවේ. මෑතකදී අසන්නට ලැබුණු 'එග් මාෆියා' නොහොත් බිත්තර මාෆියාව එවැනි බාල ගණයේ පීචන් මාෆියාවකි.

 

බිත්තර මිල ඉහළ පහළ යාම, කලින් කලට සිදුවන සාමාන්‍ය තත්ත්වයකි. එයට කුකුළන්ගේ හෝ කිකිළියන්ගේ කිසිදු සම්බන්ධයක් නැති අතර, බිත්තර ව්‍යාපාරිකයන් විසින් බිත්තර මිල ඉහළ දැමීමේ මාෆියාවක් ගොඩනංවා ඇති බවට චෝදනා නැගේ. මිල අඩු කාලයේ බිත්තර ශීත ගබඩාවල තබා, පසුව වැඩි මිලට විකිණීම එවැනි එක් ක්‍රියාවකි.

egg

 

බිත්තරය යනු මෙරට නැති බැරි මිනිසුන්ගේ පෝෂණය සඳහා ඇති පහසු ආහාරයකි. විශේෂයෙන්ම මිල අධික පෝෂ්‍යදායක ආහාර නොලබන කුඩා දරුවනටත්, බිත්තර අත්‍යවශ්‍යය. එවැනි දෙයකිනුත් වැඩි ලාභ ලබන්නට 'මාෆියා' වැඩ කිඩ දැමීම නම් කුණු බිත්තර ගැසිය යුතු ජාතියේ පහත් ක්‍රියාවකි.

බිත්තර ආප්ප, බිත්තර රොටි සහ බිත්තර කොත්තු වැනි ආහාර කා අතරත් ජනප්‍රියය. එහෙත් දැන් ඒවා ද මිලදී ගැනීමට පෙර දෙවරක් සිතීමට සිදුවෙයි. වරින් වර වෙනස් වන බිත්තර මිල නිසා ඇතැම් හෝටල්වල බිත්තර කෑම වර්ග ඇත්තේ ද නැත. බිත්තර මිල නිසා වැඩිපුරම බැට කන්නේ නයිට් කඩය.

කලකට ඉහත කොළඹ සුපිරි බොජුන් හලක බිත්තර ආප්පයක මිල රුපියල් 350ක් වීම ගැන නොයෙක් කතා පැතිරුණි. ඒ බිත්තර ආප්ප ඒ තරම් මිල වූයේ ඒවායේ බිත්තර කොළඹ හතේ කිකිළියන් දමන 'ස්පෙෂල් එග්ස්' වූ නිසා නොව, විකුණන ස්ථානය 'හයි ක්ලාස්' වීම නිසාය. බ්‍රෑන්ඩඩ් නම් බිත්තර ආප්පයකට වුවත් ඉහළ මිලක් ගෙවීමට සූදානම් ජන කොට්ඨාසයකුත් අප සමාජයේ වෙසෙන බව අමතක කළ යුතු නැත.

බිත්තර මිල පහත හෙලීම සඳහා කෙරෙන එක යෝජනාවක් වන්නේ මුළු රටම එකමුතුව සතියක් දෙකක් බිත්තර මිලදී නොගෙන සිටීමය. මට මතක හැටියට මේ අදහස මුලින්ම පුවත්පතක පළ කළේ සුනිල් මාධව ප්‍රේමතිලකයන්ය.

 

බිත්තර පමණක් නොව, ඕනෑම භාණ්ඩයකට අගයක් තිබෙන්නේ ඉල්ලුම තිබෙන තාක් ය.

 

මම දිනපතා මත්පැන් බොන මිතුරකුගෙන් මෙසේ ඇසුවෙමි.

''මිනිස්සු මාසයක් විතර අරක්කු නොබී හිටියොත් ගණන් අඩු කරන්න වෙයිද?''

''මොන පිස්සුද? අරක්කු පරණ වෙන්න, වෙන්න ගණන් වැඩි වෙනවනෙ.''
මිතුරා හඬ නගා සිනාසුණේය.

#     #    #    #

සිරි ලංකාව දැන් දුප්පත්කමින් හෙම්බත්ය.

තුන්වේල කන්නේ කොහොමදැයි හූල්ලන මිනිසුන් සිටිනා රටක, බිත්තර වැනි පෝෂ්‍යදායක ආහාර කතා කිරීමත් විහිළුවක් විය හැකිය.

 

දුප්පත්කම - නැති බැරිකම - වසා ගැනීමට නොයෙක් දෙනා නොයෙක් ක්‍රම සහ විධි යොදති. නම්බුකාර ලෙස ණය වීම (නැවත නොදෙන) ඉන් එකකි.

 

පහත දැක්වෙන කතා දෙකින් දැක්වෙන වර්තමාන සමාජයේ පැතිකඩකි.

 

 120434570 gettyimages 1235027201

1. මෑතකදී නගරයේදී හමුවූ මැදි වියේ කාන්තාවක් මා සමඟ කතාවට වැටුණාය. ඇගේ කතාවට මාතෘකාව වූයේ ආහාර ප්‍රශ්නයයි. දරු තිදෙනකුගේ මවක වූ ඇය, ඔවුන් දින කිහිපයකින් නිසි ආහාරයක් නොලැබූ බව කීවාය. ඉන් පසු වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය මිල හා එළවළු මිල පිළිබඳ දීර්ඝ විස්තරයක් කළාය. රටේ පවතින ආර්ථික අර්බුදය හා උද්ධමනය ගැන ඇයට හොඳ අවබෝධයක් ඇති බව මට වැටහුණි. අවසානයේ ඇය ණය මුදලක් ලබාගැනීම වැනි දෙයක් කතා කළාය. දැන් රටට අවශ්‍යව ඇත්තේ ණය වීම නොව, තමන්ගේ උත්සාහයෙන් නැගී සිටීම බව මා පවසද්දී, ඇය මා දෙස පුදුමයෙන් බලා සිට, පදික වේදිකාවේ ගමන් කළ වෙනත් අයකු වෙත ගොස් ආහාර හිඟය ගැන යළි කතා කරන්නට වූවාය. නිර්දන පන්තිය සහජයෙන්ම බුද්ධිමත් යැයි මාක්ස් ද කියා ඇත.

පසුගිය සතියේ දිනෙක, නැති බැරි පුද්ගයෙකුට උපකාරයක් කිරීමේ අවස්ථාවක්, අහඹු ලෙස මට උදාවුණි. ඔහු මා ඉදිරියට පැමිණියේ නගරයේ පාළු පටු මාවතකදීය. මම ඔහුට මගේ වටිනා අත් ඔරලෝසුවක්, රන් මාලයක්, රුපියල් විසිදහසකින් යුත් පසුම්බියක් පරිත්‍යාග කළෙමි. ඉන්පසු ඔහු පිස්තෝලය යළි සාක්කුවේ දමාගෙන ඉක්මණින් පිටව ගියේය.



පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...