The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : රනිල් හොඳා? - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

January 29, 2023 • 8:15 AM

මානීගේ තීරුව : රනිල් හොඳා? - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුපුරුදු පරිදි මේ ලියුමට එබී බැලූ මගේ බිරිඳට යකා නැග්ගා.
  • රටටම අප්පිරිය මිනිහට ප්‍රිය කියල ලියල තමුසෙට විතරක් නෙවෙයි අපිටත් පාරෙ බැහැල යන්න නැති කරන්නද ඔය හදන්නෙ කියල ඈ ඇහුවා.එතකොට මම කිව්වා මේක මානිගෙ තීරුව, මේකෙ මම ලියන්නෙ මට ඕන දේවල්, මට ඔය මහජන මතයෙන් ඇති වැඩක් නෑ කියල .
  • මිනිහ කියන්නෙ ඔහේ තාම රටේ පැට්‍රෝල්, ඩීසල් , ගෑස් හිඟයක් ඇති කරේ නෑනෙ.
  • අපේ එකා නරුමයා වුණාට ඒ කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි නේද ?
අකුරු ප්‍රමාණය (Font Size):



සුපුරුදු පරිදි මේ ලියුමට එබී බැලූ මගේ බිරිඳට යකා නැග්ගා. රටටම අප්පිරිය මිනිහට ප්‍රිය කියල ලියල තමුසෙට විතරක් නෙවෙයි අපිටත් පාරෙ බැහැල යන්න නැති කරන්නද ඔය හදන්නෙ කියල ඈ ඇහුවා.එතකොට මම කිව්වා මේක මානිගෙ තීරුව, මේකෙ මම ලියන්නෙ මට ඕන දේවල්, මට ඔය මහජන මතයෙන් ඇති වැඩක් නෑ කියල . ඒ කතාවෙන් බිරිඳට වැඩිදුරටත් ඩෝං ගියා. ඈ කියනව ,යකෝ මේ මිනිහ උඩ ගිහින් තියෙන තරමක්, දැන් හැසිරෙන්නෙත් හරියට රනිලා වගේමනෙ කියල .

මේ දවස්වල  පළාත්පාලන ඡන්දෙ කල් දාන්න දෙන චිරප්‍රකට ගේම නිසා ඔහේ ලැජ්ජා නැති මිනිහෙක් කියල ඔප්පු වෙලයි තියෙන්නෙ කියල මගේ බිරිඳ කියනව. ඒකෙදි නම් මාත් ඈත් එක්ක එකඟයි. ඒත් සිරිමාත් ඡන්දෙ කල් දැම්මා. ඔහේගෙ මාමා (වැරදුණා ඔහේගෙ බෑණා) ජේ.ආර් .එක ඡන්දයක් නැති කරලම දැම්මා. චන්ද්‍රිකා කාලසීමාව අවුරැද්දක් කල් දාගන්න නැතක් උත්සාහ කරා. මහින්ද  දෙපාරක් ඉල්ලන්න පුළුවන් ඡන්දෙ තුන්පාරක් ඉල්ලුවා. සිරා අදටවත් තියාගන්න බැරි විදිහට ඡන්දයක් කල් දැම්මා. බලාගෙන ගියාම ඔහේ කරන්න හදන්නෙ තමන්ගෙ පූර්වගාමී රාජ්‍ය නායකයන්ගෙ අඩිපාරෙ යෑම පමණයිනෙ .රට්ටු මොනව කිව්වත් පෙර රජ දරුවන් ගිය මග යෑම වරදක් වෙන්නෙ කොහොමද නේද?

 

අනික මම නම් ඔහේගෙ සාර්ථක අසාර්ථක භාවය මනින්න බලාගෙන ඉන්නෙ වෙන කිසිම දේකින් නෙවෙයි  ඡන්දෙ තියෙනවද නැද්ද කියන කාරණයෙනුයි. ඇඳගෙන ඉන්න රෙද්දත් නැතුව යන විදිහෙ මේ ඡන්දෙ තියන්න වෙනව කියන්නෙ නම් ඔහේ පට්ට ෆේල්. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය පයිසෙකට මායිම් නොකර ඡන්දෙ කල් දැම්මොත් නම් ඔහේ අයිලන්ඩ් ෆස්ට් වෙලා විබාගෙ පාස්. ඒත් ඒකට ජයවේවා කියන්නද බංගවේවා කියන්නද කියල මට තේරෙන්නෙ නෑ.

 

අපේ පුතා නම්  කියනව ඔහේ ඡන්දෙ නවත්තන්න පුළුවන් හැමදෙයක්ම කරනව කියන කතාව බොරු කියල . මිනිහ කියන්නෙ ඔහේ තාම රටේ පැට්‍රෝල්, ඩීසල් , ගෑස් හිඟයක් ඇති කරේ නෑනෙ. මොකද ඡන්දෙට සල්ලි යන නිසා ඒව දෙන්න අමාරුයි කිව්වොත් මධ්‍යම පංතියෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෙඩේ හොඳ වෙලා ඡන්ද එපා පැට්‍රෝල් ,ඩීසල් , ගෑස් දියව් කියල පෙළපාලිත් යයිලු. අපේ එකා නරුමයා වුණාට ඒ කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි නේද ?

මගේ බිරිඳ වැඩිදුරටත් කියා හිටිය ඔහේ විපක්ෂෙ ඉඳැද්දි ලෝකෙ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී වත්පිළිවෙත් ගැන පොර ටෝක් දුන්නට බලේට ආවම හැසිරෙන්නෙ ඒකාධිපතියෙක් වගේනෙ කියල . ඒ කතාවටත් මම එකඟයි . වැඩේ තියෙන්නෙ විපක්ෂෙ ඉන්න කොට ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවෙච්ච වගේම බලේට ආවම ඒකාධිපතියෙක් නොවෙච්ච රාජ්‍ය නායකයො අපේ රටේ ඉඳල තියෙනවද කියලයි . මම නම් මෙතනදිත් කියන්නෙ ඔහේට සම්ප්‍රදායෙන් පිට නොපැන පොරණ සිරිතට අනුවම වැඩ කරන්න කියලයි .

දකුණේ වීරෝදාර කාන්තාවක් වන මගේ බිරිඳට මම ඔහේට ඔහේ කියනව කියලත් තදවෙලා. මම ඈට කිව්වා දැන් කොළඹ හතේ පදිංචි වෙලා හිටියට ඔහේලත් ගාලු දිස්ත්‍රික්කෙ බද්දේගමින් පැවත එන බයියොනෙ කියල . මේකෙ එකාලට නොතේරුණාට ඔහේට බයි⁣යොයි, බයියන්ට ඔහෙයි ගැලපුණේ ඒ බයි ඉතිහාසය නිසා වෙන්නැතිනෙ .

 

රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඔහේ 75 වැනි නිදහස් උත්සවය තියන්න මිලියන 200ක් වියදම් කරනව කියලත් ලොකු චෝදනාවක් තියෙනවනෙ. මම නම් හිතන්නෙ ඒ චෝදනාව පට්ට අසාධාරණයි කියලයි . ලංකාවෙ අවාසනාවන්තම නායකයා හැටියට හංවඩු ගැහිල හිටපු ඔහේ අන්තිමේදි ඩී.බී.විජේතුංගත් සෙකන්ඩ් වෙන විදිහට වාසනාවන්තම විදිහට රාජ්‍ය නායකයා වුණානෙ. ගෝල්ෆේස් අරගලයෙන් බලයට ආ ජනාධිපතිට ගෝල්ෆේස්වල සීරුවෙන් හිටගෙන නිදහස් දින ආචාර පෙළපාලිය පිළිගන්න කොච්චර ආස ඇත්ද කියල නොතේරෙන අඳබාලයොනෙ මේ රටේ ඉන්නෙ . එහෙව් මිනිස්සු ඉන්න රටේ මේ අවුරුද්දෙ රට බංකොලොත් නිසා ඕක නොතිය හිටිය කියල ලබන අවුරුද්දෙ රට කිරියෙන් පැනියෙන් උතුරාවිද? අනික කොච්චර වාසනාවන්ත වුණත් ලබන අවුරුද්දෙත් පෙබරවාරි 4 වෙන තුරු  ? බුදු අම්මෝ!

 

මේ වෙලාවෙ උපයන විට ගෙවීමේ බද්ද නිසා වෘත්තිකයොත්, ඇඩ්වාන්ස් ලෙවල් විභාගෙ තියෙද්දි ලයිට් කැපිල්ල නිසා දරුවො , දෙමව්පියො හා ගුරුවරුත් , වැඩිවෙන්නට යන ලයිට් බිල හා උහුලාගන්න බැරි ජීවන වියදම නිසා මුළු රටමත්, ඔහේත්, ඔහේගෙ ටීම්මෙකත් අවුට් වෙන තුරු බලාගෙන ඉන්න වෙලාවකයි ඔහේ දුර්වල පිතිකරුවොත් එක්ක බැට් කරමින් ඉන්නෙ .

ඉතිහාසයේ ලොකුම පරාජයට මුහුණ දී සිටින මේ අවස්ථාවේ කණ්ඩායම ගලවා ගැනීමේ අවාසනාවන්ත වගකීම ඔහේ ට පැවරිලා තිබුණත් ඔහේට බැට් කරන්න වෙලා තියෙන්නෙත් පිතිකරුවන්ට වාසිදායක පිටියක නෙවෙයිනෙ. ඒකනෙ ප්‍රධාන පන්දු යවන්නන්ගෙ වේග පන්දුවලටත් , දඟ පන්දුවලටත් පමණක් නෙවෙයි අතිරේක පන්දු යවන්නන්ගෙ පන්දුවලටවත් ඔහේට ගහගන්න බැරුව ඉන්නෙ. මේ වෙලාවෙ සෙන්චරියක් ගහගෙන මැච්චෙක ගොඩ දානව තියා කොච්චර වෙලා විකට්ටුව රැකගෙන ඉන්නවත් ඔහේට පුළුවන් වෙයිද කවුද දන්නෙ . ඒ මදිවට ප්‍රේක්ෂකාගාරෙ සම්පූර්ණ සපෝට්ටෙක තියෙන්නෙත් බෝලින් සයිඩ්ඩෙකටමනෙ. ඔහේ දැන් අවුට් වුණත් පහුවෙලා අවුට් වුණත් මට නම්  ඇති ප්‍රශ්නයක් නෑ . හැබැයි මට තියෙන ප්‍රශ්⁣නෙ වහාම පිතිකරණය සඳහා ඒමට උනන්දුවෙන් ඉතා ශූර ලෙස පන්දු යවන්නන්ටත් මේ කඩතොලු වෙච්චි පිටියෙ ඇවිත්  බැට් කරන්න පුළුවන් වෙයිද කියලයි.⁣ ඔහේ අවුට් වුණාට පස්සෙ  බැට් කරන්න එන අයටත් ඇවිත් ගහගන්න බැරි වුණොත් නම් අපි හාන්සිනෙ! ඒ කියන්නෙ රට්ටු පත්වෙලා ඉන්නෙ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වෙකට.

මම,

මානි

ප:ලි: මීට අවුරුද්දකට විතර කලින් මම ඔහේ ගැන ලියපු වෙලාවෙ මගේ ප්‍රබුද්ධ පාඨකයෙක් කියල එව්ව කල් ඉකුත් වෙච්චි මාතෘකා ලියන්න එපා කියල. ඊට පස්සෙ තමයි ඔහේ මන්ත්‍රී වෙලා අගමැති වෙලා ජනාධිපතිත් වුණේ. දැන් නම් රටම බලාගෙන ඉන්නෙ කවදද ඔහේගෙ කල් ඉකුත් වෙන්නෙ කියල



මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...