The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 3, 2023 • 9:30 AM

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය.
  • මේ තෙල් කුප්පිය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනිය.
  • දැන් කැරැල්ලේ ලොං හැළී ඇත.
  • මන්ද, තිබෙන තත්වය එසේම තිබීම විසඳුම වී ඇතැයි සිතෙන තත්වයක් ද තිබෙන බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය. නාගෙන හවස ගෙදර එන ගමරාළ “ඔන්න ඔය තෙල් ඩිංගක් දියන් ඔලුවෙ ගාගන්න” කිව්වාම ගම මහගේ කියන්නේ “ඕක දැන් ගෑවොත් වෙන්නෙ පැදුරෙ ගෑවෙන එක විතරයි, දැන් එපා,” යි කියාය.

මෙසේ බොහෝ කලක් ගෙවිණි. ගමරාළගේ තට්ටය පෑදුණු අතර ඉතිරි කෙස් ගස් ටික ද සුදු විය. තෙල් කුප්පිය අමතක වී තිබී දිනක් ගම මහගේ ඒ ගැන මතක් කළ විට එය අරගත් ගමරාළ “උදේ මඩට – රෑ කුඹුරට – උඹ පලයන් – කහල ගොඩට” කියා තෙල් කුප්පිය වීසි කර දැම්මේය.

 

 116563456 13thdailynews

මේ තෙල් කුප්පිය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනිය. තෙල් බෙහෙත දුන් වෙදා ඉන්දියාවයි. ජාතික ප්‍රශ්නය ගමරාළගේ හිස් මුදුන වැනිය. ගම මහගේ අපේ හාමුදුරුගොල්ල වැනිය.

මේ තෙල් සාත්තුව නිර්දේශ කරන කාලයේ ගමරාළගේ හිසේ කෙස් තිබිණි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ කාලයේ දෙමළ කැරැල්ලක් තිබිණි. විසඳුම ගෙනාවේ ඒකටය. දැන් කැරැල්ලේ ලොං හැළී ඇත. දැන් තියෙන්නෙ ඩයස්පෝරා අරමුදල් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව කේන්ද්‍ර කරගත් වෘත්තික වැටුප් හා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මත දුවන ජාතිවාදී තට්ට ගෙඩියක අරියාදුවට ඉන්දූ පොල් පැළ වැනි කෙස්සක් බඳු දෙමළ කැරැල්ලකි.

දැන් මේ තට්ට ගෙඩියේ ඔය තෙල ගෑවත් කෙස් වැවෙන්නේ ද නැත. ඉදුණු කෙස් කළු වෙන්නේ ද නැත. දැන් තට්ටය සාමාන්‍යකරණය වී තිබෙන අතර විසඳුම් දෙන්නට ප්‍රශ්නයක් තිබෙනවාද යන්න ද ප්‍රශ්නයකි. මන්ද, තිබෙන තත්වය එසේම තිබීම විසඳුම වී ඇතැයි සිතෙන තත්වයක් ද තිබෙන බැවිනි.

 

ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස පළාත් සභාවල පොලිස් හා ඉඩම් බලතල දුන්නාය කියමු. කලින් තිබුණු පළාත් සභාවට ඒ බලතල නොතිබුණ මුත්, වෙනත් බලතල තිබිණි. එහෙත්, ඒ බලතල භාවිතා කර හෝ කළ දෙයක් නැත. ගැලවිජ්ජාවට කියන්නේ බලතල මදිය කියාය. ඒ නිසා දැන් ඔවුන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන උනන්දුවක් ද නැත. තෙල් සාත්තුව නිර්දේශ කළ වෙදා වන ඉන්දියාව ඉඳහිට ඉදිරිපත් වී “අර තෙල ගෑව නම් ඔහොම වෙන්නෙ නැහැ, දැන්වත් ගාලා බලපල්ලා” යි කීව ද දැන් වෙදාට ද තෙල විශ්වාස නැත. ලෙඩා තෙල කහල ගොඩට විසිකර බොහෝ කල්ය.

 

ඇත්තම කිව්වොත්, ජාතික ප්‍රශ්නය හෝ ජාතීන්ගේ ප්‍රශ්නය කියන එක දැන් විසඳුවොත් සිදුවන්නේ මළ කෙළියකි. ජාතික ප්‍රශ්නයට විසඳුම් නොදීම මත පදනම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වටා නිර්මාණය වූ විශාල වෘත්තික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති බිස්නස් ජාලයක් එයින් බිඳවැටේ. කොටින්ම ඔය ගැන යාතිකා කියන්නට, පොල් ගහන්නට අවුරුදු පතා ජිනීවා යන වන්දනා ගමනට මොකක් වේද? එපමණක් නොව, දෙමළ ඩයස්පෝරාවේ අරමුදල් සම්පාදනයේ සිට දේශපාලන රැකවරණ දක්වා තවත් ව්‍යාපාර රැසක් මෙමගින් අර්බුදයට පත්වේ. එසේම, තමිල්නාඩුවේ, කැනඩාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඡන්දවලදී කතා පවත්වන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් නැති වේ. එසේම කොටි ආපහු නැගිටින්නට ඉඩ තියෙන අවදානම නැති වී යුද්ධයක සේයාව නැතුව ලංකාවට මාර පාළුවක් දැනෙනු ඇත. හාමුදුරුවන්ට රට ජාතිය ආගම නැතුව බණ කියන්නට සිදුවී අන්තිමට බණ බුදුන් වදාළ ධර්මයට සීමා වී බෝරිං ද වනු ඇත.

 

 

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස් හා ඉඩම් බලතල දෙනවාය කීම සිරිසේනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දඩ නියම වීමත් සමග බ්‍රේක් ඩවුන් වී තිබෙන විමල්, ගම්මන්පිල, ඩලස් ප්‍රමුඛ ජාතිවාදී සන්ධානයේ හෙලිකොප්ටරය නග්ගලා ගන්නට ගහන තෙලක් විය හැකිය. විමල් නම් සූර පප්පා දැන් නැවත කතාකරන්නේ මේස හැන්දෙන් එකක් බොන්නට ඇති අරිෂ්ඨයක් බෝතලේම කටේ හළාගත්තා සේය. විමල්ගේ ජාතිවාදී නිල් බාල්දියේම පැනපු තවත් මහත්තයකු වන සරත් වීරසේකරට ද ජය මංගලම්ය.

 

‘පළාත් බබා – අපට එපා’ යි කියා උද්ඝෝෂණ කරන්නට මොන්ටිසෝරි ළමයින් පවා පෙළැඹවූ, විමල් වැනි ළමා සොල්දාදුවන් පිරිසක් නිර්මාණය කර එයින් දස දහස් ගණනකට විමුක්තියේ ස්වර්ග රාජ්‍යයට පාර පෙන්නන මහා කැරැල්ලක් ගැසූ ජනතා විමුක්ති පෙරමුණ දැන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කරන්නට සැරසේ.

අපට මොකද අපි දසසිල් උපාසක
ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


JW

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...