The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිදහස් සිංහයෝ - (කපිල කුමාර කාලිංග ගේ හරබර)

T

The Leader Desk

February 5, 2023 • 9:08 AM

නිදහස් සිංහයෝ - (කපිල කුමාර කාලිංග ගේ හරබර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට පෙර නිදහස්ව පැවති රටවල නිදහස සොරාගත්තේ ද ඔවුන් විසින්ම වූ අතර, එය නැවත ලබා දීමටද ඔවුනටම කරන්නට සිදුවීම උත්ප්‍රාසජනකය.
  • ඇතැම් රටවල් තම නිදහස වෙනුවෙන් සටන් කළ බැවින් බ්‍රිතාන්‍යයට එය නොකර සිටීමටද බැරිවීම වෙනම කතාවකි.
  • ඒ කෙසේ වෙතත් සමහරු පැවසුවේ සුදු මහත්වරුන් විසින් බන්දේසියක තබා නිදහස ප්‍රදානය කළ බවකි.
  • යටත් විජිතයන්ට නිදහස පමණක් නොව, ජාතික වීරයන්ද ලැබුණේ තමන් නිසා බව බ්‍රිතාන්‍යයෝ කියති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට පෙර නිදහස්ව පැවති රටවල නිදහස සොරාගත්තේ ද ඔවුන් විසින්ම වූ අතර, එය නැවත ලබා දීමටද ඔවුනටම කරන්නට සිදුවීම උත්ප්‍රාසජනකය. ඇතැම් රටවල් තම නිදහස වෙනුවෙන් සටන් කළ බැවින් බ්‍රිතාන්‍යයට එය නොකර සිටීමටද බැරිවීම වෙනම කතාවකි.

ඒ කෙසේ වෙතත් සමහරු පැවසුවේ සුදු මහත්වරුන් විසින් බන්දේසියක තබා නිදහස ප්‍රදානය කළ බවකි. යටත් විජිතයන්ට නිදහස පමණක් නොව, ජාතික වීරයන්ද ලැබුණේ තමන් නිසා බව බ්‍රිතාන්‍යයෝ කියති. එපමණක් නොව, නිදහසින් පසු තමන්ට අවශ්‍ය පරිදි ඒ රටවල් පාලනය කිරීම සඳහා දේශීය කළු සුද්දන් නිර්මාණය කළේ ද උන් විසින්මය.

 

නිදහස ලබාගැනීමෙන් පසු ඒ රටවලට පැවරෙන විශාල කාරියක් වනුයේ නිදහස සැමරීමය. සමහර විට ඒ සඳහා තමන්ට ඔරොත්තු දෙන වියදමක් දැරීමටද ඇතැම් දිළිඳු රටවලට සිදුවෙයි.

 

tanzania president

ටැන්සානියාවේ ප්‍රථම ජනාධිපතිනිය සැමීයා සූලු හසන්

 

ටැන්සානියාවේ ප්‍රථම ජනාධිපතිනිය වන සැමීයා සූලු හසන්ට ද සිය රටේ පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ නිදහස් උත්සවය පැවැත්වීම බරක් විය. එහෙයින් ඇය පසුගිය වසරේ එරට නිදහස් උත්සවය වෙනුවට ඊට වැය වෙතැයි ගණන් බලා තිබූ ඩොලර් 445,000 ක ධනස්කන්ධයෙන් ප්‍රාථමික පාසල් අටකට අවශ්‍යව තිබූ නේවාසිකාගාර ඉදිකර දුන්නාය.

 

john magfulli

ජෝන් මෙගාෆිලි ජනාධිපතිවරයා

 

ටැන්සානියාව එවැනි ආදර්ශ දුන්නේ ප්‍රථම වතාවට නොවේ. ඊට පෙර සිටි ජෝන් මෙගාෆිලි ජනාධිපතිවරයා නිදහසේ සමරුවට වැයවෙන මුදලින් රටේ වාණිජ නගරයක මාර්ග තැනුවේය. 2020 දී ඔහු එය වෛද්‍ය පහසුකම් දියුණු කිරීමට යෙදුවේය.

 

සිරි ලංකාව යනු ටැන්සානියාව නොවේ. වසර දහස් ගණනක ප්‍රොඪ ඉතිහාසයක් තිබෙන සංවර්ධනය වන රටකි. ඒ රටේ වැසියන්ට නිදහස ගැන අභිමානයක් ඇත. එය සැමරීමට නොහැකි වුවහොත් ඔවුනට මදිකමකි. ලජ්ජාවකි.

 

එහෙයින් හතර අතේ ණය වී මඟුලක් කනවා මෙන් නිදහස ද කෙසේ හෝ සැමරීමට ඔවුනට අවශ්‍යය. එසේ කල්පනා කරන්නේත්, තීරණය කරන්නේත් රටවැසියාම නොවේ. ඔවුන්ගේ පාලකයන්ය.

 

පාලකයා පත් කරන්නේ රටවැසියා විසින් බව සැබෑය. එහෙත් පාලකයා යනු රටවැසියා නොවේ. රටවැසියා වෙනුවෙන් යැයි තමන්ට අභිමත දේවල් ක්‍රියාත්මක කිරීමද පාලකයන්ගේ හැටිය.

 

සිරි ලංකාවේ සමාජ ජාලාවල දැක්වුණු හැටියට නම්, මෙවර නිදහසේ දිනයට පෙර ජාතික ගීතය පවා වෙනස් කිරීම සුදුසුය. ඊට හේතුව එහි සඳහන් වන ආකාරයේ රටක් දැන් මෙහි දක්නට නොතිබීමය.

එක් අයෙක් සඳහන් කර තිබූ අන්දමට ඔහුට නිදහස් දිනය වැදගත් වන්නේ එය නිවාඩු දිනයක් වීම නිසාය. එවිට වැඩට නොගොස් රෑපවාහිනියෙන් නිදහස් දින සංදර්ශන නරඹමින් අඩියක් පුඩියක් ගසා විවේකයෙන් විනෝදයෙන් කාලය ගත කළ හැකිය.

තවත් සමහරු නිදහස් දිනයක් ඈඳාගෙන දිග සති අන්තයක් සාදාගෙන විනෝද ගමන් යති. එවැනි අයගේ කනස්සල්ලට හේතුවක් වෙමින් මෙවර නිදහස් දිනය යෙදී ඇත්තේ තවත් නිවාඩු දිනයක් වන සෙනසුරාදාවකය.

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස දීමද බොහෝ රටවල සිදු කෙරෙන්නකි. මෙවර සිරි ලංකාවේ තරුණ පිරිසකගේ ඉල්ලීමක් වූයේ සිරකරුවන්ට මෙන් තමන්ටද නිදහසක් ලබා දෙන මෙනි.

 

deport 2

සමාජ මාධ්‍ය පෝස්ටුවක්

 

''දැන් අපිට මේ රටේ ජීවත් වීම සිර දඬුවමක් වෙලා. කරුණාකර අපිව හොඳ රටකට පිටුවහල් කරන්න.''

පසුගිය දිනවල පාස්පෝට් පෝලිම දිගු වූ සැටි සිහිපත් වන විට ඉහත ඉල්ලීමද පුදුම වීමට කාරණයක් නොවේ.

බොහෝ විවාහකයන් තමන් විවාහ වූ දිනය සලකන්නේ තම පෞද්ගලික නිදහස නැති වූ දින ලෙසය. මගේ මිත්‍රයකු විවාහ වූයේ පෙබරවාරි 4 දාකය. පසු කලෙක ඔහු එය සිහිපත් කළේ ''මුළු රටටම නිදහස ලැබුණු දවසෙ මට මගේ නිදහස නැතිවුණා'' යැයි සිනාමුසුව කියමිනි.

සිරි ලංකාවේ දේශපාලනඥයෙක් නිදහස් දිනය දා දඩයමේ යාමට තීරණය කළේය.

වනාන්තරයේ මඳ දුරක් යද්දී ඔහු ඉදිරියට පැමිණියේ සිංහ රංචුවකි. බියට පත් දේශපාලනඥයා මෙසේ ඇසුවේය.

''ලංකාවේ සිංහයො නෑනෙ? ඔයගොල්ලො කොහෙන්ද?''

''අපි ජාතික කොඩිවල ඉඳල ආවෙ. අද අපිටත් නිදහසක් ලැබුණා.''

''මට නං ඒක විශ්වාස කරන්න අමාරුයි.''

දේශපාලනඥයා එසේ කියූ විට සිංහයෝ ඔහුට ළංව තම පසුපස දැක්වූහ. ''මේඩ් ඉන් චයිනා'' යනුවෙන් එහි කොටා තිබෙනු එවිට දැකගත හැකි විය.



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...