The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉගිල්ලෙන මාළුවෝ අතර හුදෙකලාව - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

February 6, 2023 • 7:01 AM

ඉගිල්ලෙන මාළුවෝ අතර හුදෙකලාව - (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි අපේම පරිකල්පනය තුළවත් බොහෝ විට දේවල් පවතින ආකාරයෙන්ම (නැත්නම් පවතිනවයි කියලා සංවේදනය වෙන ආකාරයෙන්ම) නිරූපණය කර ගන්නේ නැහැ.
  • සත්‍යය එලෙසින්ම දැකීම ක්ෂතිමය අත්දැකීමක් වෙන්න පුළුවන් නිසා.
  • මම හිතන්නේ ග්‍රාම්ස්චි 'බුද්ධියේ සර්ව-අසුබවාදයක්' යෝජනා කළේ මේ අරුතින්.
  • දේවල් අලංකාර ලෙස සැරසීමක් නෙමෙයි, දැනටමත් තියෙන සැරසිලි ඉරා දැමීමක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපි අපේම පරිකල්පනය තුළවත් බොහෝ විට දේවල් පවතින ආකාරයෙන්ම (නැත්නම් පවතිනවයි කියලා සංවේදනය වෙන ආකාරයෙන්ම) නිරූපණය කර ගන්නේ නැහැ. ඒ වෙනුවට අපි දේවල් දකින්න ආස විදියට සංස්කරණය කර ගන්නවා. සත්‍යය එලෙසින්ම දැකීම ක්ෂතිමය අත්දැකීමක් වෙන්න පුළුවන් නිසා. එය දකින දෑස් අන්ධ වෙන්න පුළුවන් නිසා.

 

ඒ අනතුරට නිරාවරණය වෙමින් දේවල් හැකිතරම් ඒවායෙහි යථා ස්වරූපයෙන්ම නිරූපණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක එක අතකට හිංසාකාරී වැඩක්. තමන් වෙතටම එල්ල වූ හිංසාකාරීත්වයක් ඒ සඳහා අවශ්‍යයි. මම හිතන්නේ ග්‍රාම්ස්චි 'බුද්ධියේ සර්ව-අසුබවාදයක්' යෝජනා කළේ මේ අරුතින්. දේවල් විශ්ලේෂණය කිරීමේදී අපි ඒවා දකින්න ආස විදිය නෙමෙයි අපි පිළිගන්න අකමැති වුනත් ඒවා පවතින ආකාරයයි කියන්න ඕන. ඒත් අපට අපේම ආශාවන්, පක්ෂපාතීත්වයන් තියෙන නිසා අපි දකින්න ආස විදිය අපේ විශ්ලේෂණවලට බලපානවා. ඒවාට බාධා කරනවා. ග්‍රාම්ස්චි කිව්වේ මේ බාධාව ජය ගන්න නම් අපි දකින්න අකමැති දේ දකින්න සූදානම් වෙන්න ඕන කියලයි. ඒක සර්ව අසුබවාදයක්. කියන්න ලේසි වුනාට මේක කරන්න ලේසි වැඩක් නෙමෙයි. කලාව තුළත් ඒක අමාරුයි.

 

banner flying fish 1519035g

 

අපිට යථාව දෙස කෙලින් බලන්න බැරි නිසා කලාව අපිට ප්‍රබන්ධයක් ඔස්සේ ඒ යථාව මුණ ගස්වනවා. ඒක හරිම දරුණු වැඩක්. මම හිතන්නේ කලාවේ සංස්කරණ කාර්යය වෙන්නේ ඒක. දෛනික ජීවිතයේ යථාර්තය තුළ අපි කරමින් ඉන්නේ දේවල් අපි දකින්න ආස විදියට සංස්කරණය කර ගැනීමක් නම්, කලාව තුළ කෙරෙන්නේ අපි දකින්න ආස නැති දේ මුණ ගස්වන්න දේවල් සංස්කරණය කරන එක වෙන්න ඕනි. ඒ කියන්නේ ලෝකය රෝස පැහැයෙන් පින්තාරු කිරීමක් නෙමෙයි, දැනටමත් ලෝකය මත ආලේප කරලා තියෙන රෝස පැහැය මකා දැමීමක්. දේවල් අලංකාර ලෙස සැරසීමක් නෙමෙයි, දැනටමත් තියෙන සැරසිලි ඉරා දැමීමක්. ඒ අනුව, කලාකරුවෙකුට තියෙන්නේ දරුණු මනසක්. සංජීවගේ චිත්‍රපටයේ තියෙනවා වගේ දැල්වූ බීඩියකින් කූඹීයෙක්ව පුළුස්සා දමන ආකාරයේ මනසක්.

 

2016 11 21 ent 99සංජීව පුෂ්පකුමාරසංජීවගේ සිනමාව අපට කරන අභියෝගය වන්නේ නිතර දෙවේලේ අපේ නෙත ගැටෙන නමුත් අපි නොදැක ඉන්න උත්සාහ කරන දේ අපට මුණ ගැස්වීමයි. සංජීව නිර්දය සිනමාකරුවෙක්. චිත්‍රපටය විකාශනය වෙනකොට කිසියම් හෝ සුබවාදී බලාපොරොත්තුවක් අයැද සිටින ප්‍රේක්ෂක මනසට සැනසිල්ලක් ලැබෙන කිසිම දෙයක් ඔහු ඉතිරි කරන්නේ නැහැ. අඩුම තරමින් පුංචිම පුංචි බලාපොරොත්තුවක්.  

 

යුද්ධයේ අනිටු විපාක පිළිබිඹු කරන 'ඉගිල්ලෙන මාළුවෝ' - ජයසිරි අලවත්ත

'ඉගිල්ලෙන මාළුවෝ' අවසන් වෙන්නේ රියැදුරෙකු නැතිව පාළු පිටිසර මාවතක ඔහේ ධාවනය වන බස් රථයක දර්ශනයකින්. ඒ තුළ තැන් තැන්වල වාඩි වී  සිටින්නේ එකිනෙකා සමග කතාබහක් නැති තරුණ තරුණියන් කිහිප දෙනෙක්. ඔවුන්ට ඇත්තේ අරමුණකින් තොර, හැඟීමකින් තොර, අපේක්ෂාවකින් තොර මුහුණු. ඔවුන්ගේ ජීවිතවල ඛේදාන්තය අපි චිත්‍රපටය පුරාම දැක්ක නිසා ඔවුන්ගේ මුහුණු තුළින් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. බස් රථය කොහේ යනවාදැයි කිසිවෙකුත් දන්නේ නැහැ. ඊළඟට කුමක් සිදුවේදැයි කිසිම ඉඟියක් අපට ලැබෙන්නේ නැහැ. කුමක් වුවත් එය සුබවාදී දෙයක් විය නොහැකියි.

 

මේක හරියට නිදහසින් පසු යුගයේ අපේ සමාජ දේශපාලන පරිණාමයට අදාළ සමස්ත කතාව, නැත්නම් ඒ කතාවේ නොවිසඳුණු ගැටළුව තනි සිනමා කාචයකට හසු කරගත්ත අවස්ථාවක් වගේ. සංජීව අපිව සිනමා ශාලාවේ අසුන්වලින් නැගිට්ටවන්නේ මේ ඩිස්තෝපියානු වර්තමානය නමැති යථාවේ කාන්තාරයේ ග්‍රීස්මය අපට මුණ ගස්වමින්. මා සිනමා ශාලාවෙන් පිට වී 'වන් ගෝල්ෆේස්' වෙළඳ සංකීර්ණයේ වායු සමනය කළ ෆැන්ටසිමය කොරිඩෝව පසු කර ආවේ යළිත් දෛනික ජීවිතයේ මායාව තුළටද?



Sumith Chminda(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com


 

 


 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...