The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 6, 2023 • 9:03 AM

මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රමයේ ඵල නෙළාගන්නේ ඔවුන්ය.
  • එහෙත්, ඔවුන් උද්දේශනයෙන් සාර්ථක වී ඇති බව පෙනේ.
  • දැනටත්, ආදායම් එකතු කරන ඇතැම් නිලධාරීන්ට අවුරුද්දකට මාස 21ක වැටුප් පවා ගෙවන බව මම අසා ඇත්තෙමි.
  • රාජ්‍ය ආයතන විසින් පිනට දෙන දැන්වීම්වලින් යැපෙන, පත්තර විකිණීමවත් හරියට නොකරන ලේක්හවුස් ආයතනය පවා සේවකයන්ට අවුරුද්දකට මාස 16 1/2ක වැටුප් ගෙවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රමයේ ඵල නෙළාගන්නේ ඔවුන්ය. එසේම මේ ක්‍රමය මේ අයුරින්ම පවත්වාගන්නේ ද ඔවුන්ය. එය වෙනස් කිරීමේදී වැඩියෙන්ම රිදෙන්නේ ද ඔවුන්ටය. ඔවුන්ගේ උද්ඝෝෂණ අසාර්ථක විය. එහෙත්, ඔවුන් උද්දේශනයෙන් සාර්ථක වී ඇති බව පෙනේ. ජනාධිපති ලේකම් දක්වා සිටින්නේ මෙම නිලධාරි ගෝත්‍රික පැළැන්තියේ අයයි. ඔවුන් නිකම් ඉන්නේ නැත.

බදු දැල ශක්තිමත් කිරීම සඳහා නිලධාරීන් දිරිගැන්වීම වරදක් නැත. එහෙත්, බදු කප්පාදු නොකළ යුතුය.

දැනටත්, ආදායම් එකතු කරන ඇතැම් නිලධාරීන්ට අවුරුද්දකට මාස 21ක වැටුප් පවා ගෙවන බව මම අසා ඇත්තෙමි. මේ විස්තර මෙම ගෝත්‍රිකයන් කිසි සේත්ම හෙළිදරව් කරන්නේ නැත. රාජ්‍ය ආයතන විසින් පිනට දෙන දැන්වීම්වලින් යැපෙන, පත්තර විකිණීමවත් හරියට නොකරන ලේක්හවුස් ආයතනය පවා සේවකයන්ට අවුරුද්දකට මාස 16 1/2ක වැටුප් ගෙවයි.

 

මේ බදු කප්පාදුව කිසි සේත්ම මේ මොහොතේ නොකළ යුතුය. මේක කළොත්, විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් වැනි අය ද තමන්ගේ මස් රාත්තල කෙසේ හෝ කපාගනු ඇත. පවත්නා ක්‍රමයේ සීමාවන් එසේය. උපරිම ඔස්ටරිටියකට යාමට නම් ජවිපෙ වැනි පක්ෂයක් බලයට පත් කළ යුතුය. එහෙත්, ඔවුන් රාජ්‍ය පාලනය ගැන ඉගෙනගත යුත්තේ රනිල් වික්‍රමසිංහ වැනි ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේය.

 

බදු අයකරන ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා වැඩිකරන බව හා බදු අයකරන ඉහළ සීමාව 24% දක්වා අඩුකරන බව ජවිපෙ නායක අනුර කුමාර පැවසීය. ජවිපෙ බලය ගැනීම සඳහා කිසිදු සූදානමක් නැති, ගෙදර වැඩ කර නැති පිරිසක් බවට වෙනත් උදාහරණයක් අවශ්‍ය නැත. ලක්ෂ දෙක දක්වා පහළ සීමාව වැඩි කිරීම සමාජවාදී හෝ මධ්‍යම පන්තික අදහස් අනුව සාධාරණ යයි සිතමු. බදු අයකරන ඉහළ සීමාව සීයට තිස්ගණන්වල සිට 24% දක්වා අඩු කරන්නේ මොන අමාරුවකටද? මේ වරප්‍රසාදය ලැබෙන්නේ රු. ලක්ෂ හතරක් පමණ වැටුප් ලබන ඉතාම සීමිත පිරිසකටය. ජවිපෙ නියෝජනය කරන්නේ ඔවුන්ද? ඉහළ ආදායම් ලබන අයගේ බදු කප්පාදු කරන්නට සුබසාධනවාදී ජවිපෙට පිස්සුද?

 



මේ වන විට 15% දක්වා වැඩි කර තිබෙන, දුප්පතුන් හා පොහොසතුන් කවුරුත් එක සේ ගෙවන වැට් බද්ද අඩු කරන්නැයි ජවිපෙ නොකියන්නේ ඇයි? ජවිපෙ ගත යුතු ස්ථාවරය ගැන හෝ අනුර කුමාරට අවබෝධයක් ඇති බව නොපෙනේ.

 

ලංකාව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මූලික කාරණයක් වන්නේ ණය හා පොළී ගෙවීමට යන වියදම අත්හළ විට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය +2%ක් මට්ටමට වැඩි කරන බවයි. මෙය දැන් -4%කට වැඩිය. අවුරුදු තුනක් ඇතුළත ඉහත දක්වන ඉලක්කයට යාමට නම් රජය වියදම් අඩු කරමින් ආදායම් වැඩි කරගත යුතුය. බදු ආදායම් අඩු කරමින් මෙම ඉලක්කයට යා නොහැකිය. රු. 40,000ට මඳක් වැඩි ආදායම් ඇති සැමගෙන් බදු අය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉහත කී සංදර්භය තුළයි. නැතිනම්, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ගොඩනැගෙන්නේ නැත.

 

ණය තිරසරභාවයෙන් සියල්ල විසඳෙන්නේ නැත. ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුය. රටට විදේශ ආයෝජන ගලා ආ යුතුය. නිෂ්පාදන හා සේවා කර්මාන්ත සංවර්ධනය විය යුතුය. සංචාරකයන් පැමිණිය යුතුය. විදේශ ශ්‍රමික ආදායම් වැඩිකරගත යුතුය. ඒ වෙනුවෙන් වෙනත් ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කළ යුතුය.

මේ සියල්ල විසින් සිදුකරනු ලබන්නේ විප්ලවයකි. ලංකාවේ පැවති සුබසාධනවාදී ක්‍රමයේ ව්‍යාජ සමාජවාදී නෂ්ටාවශේෂ ක්ෂය වී ගොස් ධනේශ්වර ක්‍රමය ශක්තිමත් වනු ඇත. එය ලංකාවේ සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යය.

රනිල් වික්‍රමසිංහ වැඩ කළ යුත්තේ මේ වෙනස වෙනුවෙනි. අතරමැදි පන්තිය සුරතල් කිරීමට නොවේ. සූප්පු කරමින් ඉන්නට මෙවැනි නිව්ස් කට්ටක් වීසි කළාට නම් වරදක් නැත.


Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)





සබැඳි පුවත් :

බදුවලට මම විරුද්ධ නෑ - (ධම්ම දිසානායක)

අය වැය සහ ණය වැය තුලින් මතුවෙන බදු අසහනය - (ජයශ්‍රී ප්‍රියලාල්)

 

 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...