The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බහුදින (නිදහස්) යාත්‍රා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

February 10, 2023 • 4:22 PM

බහුදින (නිදහස්) යාත්‍රා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකල මදුරාසිය ලෙස හැඳින්වූ දැන් චෙන්නායි ලෙස කියැවෙන තමිල්නාඩු අගනුවර සිට මදුරෙයි වෙත යාමට පැය අටක් පමණ ගත වේ.
  • කිලෝ මීටර 450 ක පමණක දුර ඒ ගමන යන්නේ කන්‍යා කුමාරි පාරේ විල්ලුපුරම් හා තිරුචිරපිල්ලයි නගර ද පසු කොට ය.
  • වැඩි කලබලයක් නැති බොහොම ම මැදහත් ලෙස අදහස් ප්‍රකාශ කරන ඇදුරා මෙවැනි අපහාසාත්මක හා සාහසික ප්‍රකාශයක් කිරීම ගැන මම පුදුම වීමි.
  • එම ප්‍රකාශය කළේ දෙටු ඇදුරෙකු විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):



එකල මදුරාසිය ලෙස හැඳින්වූ දැන් චෙන්නායි ලෙස කියැවෙන තමිල්නාඩු අගනුවර සිට මදුරෙයි වෙත යාමට පැය අටක් පමණ ගත වේ. කිලෝ මීටර 450 ක පමණක දුර ඒ ගමන යන්නේ කන්‍යා කුමාරි පාරේ විල්ලුපුරම් හා තිරුචිරපිල්ලයි නගර ද පසු කොට ය. පරසිඳු මීනක්‍ෂි අම්මාන් කෝවිල පිහිටියේ මදුරෙයි හි නිසා මේ පාරේ වාහන වැඩි ය. මගේ වැඩකටයුතු කෙරුණේ කාර්ය බහුල කේන්ද්‍රයෙන් එපිට පිහිටි අරසරාඩි හී නිසා වැඩි කලබලයක් නැති ව ඒ දින කිහිපය මා ගත කරන්නේ මහත් සතුටකිණි. ඒ සතුටට බල පෑ එක් කරුණක් වූයේ අරසරාඩියේ මට මුණගැසෙන සරසවි ඇදුරන් සමග කරන අදහස් හුවමාරුව ය. විධිමත් සාකච්චා වලින් බැහැර ව, රාත්‍රී ආහාරය ගන්නාතුර කෙරෙන කතාබහ ද සෑම දිනක ම මට මහත් දැනුම් සම්භාරයක් ගෙන දුණි.

 

දලිත් ප්‍රජාව නියෝජනය කරන එම ඇදුරා, අපේ කතා බහට මහත්මා ගාන්ධිගේ නම ඈඳුණු විට යටකී ඇදුරා කීවේ 'ගාන්ධි ඊස් එ බාස්ටර්ඩ්'  කියා ය. එනම් ගාන්ධි අවජාතක බල්ලෙකු කියා ය. වැඩි කලබලයක් නැති බොහොම ම මැදහත් ලෙස අදහස් ප්‍රකාශ කරන ඇදුරා මෙවැනි අපහාසාත්මක හා සාහසික ප්‍රකාශයක් කිරීම ගැන මම පුදුම වීමි.



එහෙත් ඒ එක කතාබහක දී මට අසන්නට ලැබුණු දේ මා මහත් අපහසුතාවයකට හා කලබලයට පත් කළේ ය. එම ප්‍රකාශය කළේ දෙටු ඇදුරෙකු විසිනි. දලිත් ප්‍රජාව නියෝජනය කරන එම ඇදුරා, අපේ කතා බහට මහත්මා ගාන්ධිගේ නම ඈඳුණු විට යටකී ඇදුරා කීවේ 'ගාන්ධි ඊස් එ බාස්ටර්ඩ්'  කියා ය. එනම් ගාන්ධි අවජාතක බල්ලෙකු කියා ය. වැඩි කලබලයක් නැති බොහොම ම මැදහත් ලෙස අදහස් ප්‍රකාශ කරන ඇදුරා මෙවැනි අපහාසාත්මක හා සාහසික ප්‍රකාශයක් කිරීම ගැන මම පුදුම වීමි. මට පුරුදු ආකාරයට ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමී නායකයා ලෙස ගරු බුහුමන් ලැබුවේ ගාන්ධිතුමන් ය. ඔහුගේ සරල දිවි පෙවෙත ගාන්ධිතුමා තවත් ඉහලට ඔසවා තැබූ බව ද මා උගෙන ගත් දේ අතර විය. එහෙත් දකුණු ඉන්දියාවේ බොහෝ කොටස් මහත්මා ගාන්ධි ලෙස බලන්නේ එසේ නොවන බව මට අමාරුවෙන් උගෙන ගන්නට සිදුවුණේ අරසරාඩියේ ය.

දකුණු ඉන්දියාවේ කෝණයෙන් ගාන්ධි පීඩකයෙකි; හින්දු හා හින්දි බහුතරවාදය නියෝජනය කරන සුළුතර කොටස් පෙළන, ඔවුන්ගේ අයිතිවාසිකම් නොතකන ස්වොත්තමවාදියෙකි. දකුණු ඉන්දියාවේ කෝණයෙන් හා අත්දැකීමෙන් ගාන්ධි තම නිදහස අහිමි කළ ඒ ප්‍රජාව පාවා දුන් අවජාතකයෙකි. දකුණේ ජනයා නිදහසේ පියා ලෙස සලකන්නේ බී ආර් අම්බෙඩ්කාර් ය. නිදහස් ඉන්දියාවේ ව්‍යවස්ථාව සම්පාදනය කළ කමිටුවේ නායකත්වය හෙබ වූයේ අම්බෙඩ්කාර් ය. සංකීර්ණ සමාජයක වන ඉන්දියාවේ සියළු ජන කොටස්, විශේෂයෙන් පහල යී සැළකෙන කොටස්, ප්‍රධාන ධාරාවට ඇතුලත් කරනට හැකි වන සේ ව්‍යවස්ථාව ඉන්ක්ලුසිව් හෙවත් සියළු දෙනාට ඇතුලත් විය හැකි පොදු රාමුවක් ලෙස සම්පාදානය කිරීමේ ගෞරවය ලබන්නේ අම්බෙඩ්කාර්තුමන් ය.

           

සන්ධර්භය තරමක් වෙනස් වූවත් මෙවැනි නිදසුනක් දකුණු අප්‍රිකාවෙන් ද හමු වේ. දකුණු අප්‍රිකාවේ ගාන්ධි ලෙස සැළකෙන්නේ නෙල්සන මැන්ඩේලා ය. වසර විසිහතක් රොබින් දූපතේ සිරගත ව සිට, ඒ කාලය තුල ද තමන් නාකත්වය දුන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය තවත් ශක්තිමත් කළේ සුදු ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය අයුක්ති සහගත අපාතයිඩ් ක්‍රමය පෙරළා දැමීමට ය.  මෙය මැන්ඩේලා ජීවතුන් අතර සිටින කාලයේ ම කළ අතර ඔහු අපේ කාලයේ වීරයෙකු  ලෙස සළකන්නෝ  දකුණු අප්‍රිකානුවෝ පමණක් නොවේ.



එහෙත් මැන්ඩෙලාගේ සම්මුතිවාදය (පීඩක සුදු ජාතිකයින් සමග ද සංහිඳියාත්මක ව සිටිය යුතු බව) ගැන සමහර දකුණු අප්‍රිකානුවෝ දකින්නෝ අරගලය පාවාදීමක් ලෙස ය. මේ මතය දරන්නන්ගේ වීරයා වන්නේ ස්ටීව් බිකෝ ය. කළු (බව) දැනුවත් ව්‍යාපාරය (බ්ලැක් කොන්ශ්‍යස් මූව්මන්ට්) හී අසහාය නායකයා වූයේ බිකෝ ය. වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ බිකෝ ද තමන්ගේ දේශපාලන අරගලය මෙහෙය වූයේ අපාතයිඩ ක්‍රමයට එරෙහිව යි. එහෙත් ඔහු  මැන්ඩෙලාට වඩා සටන්කාමී ලෙස අරගලයේ නිරත ව සිටි බව කියැවේ. වයස අවුරුදු 31 දී පොලිස් භාරයේ සිටින විට, වධ හිංසනයට ලක් ව  මොළෙන් අධික ලෙස රුධිරය වහනය චීම නිසා ස්ටීව් මිය ගියේ මාටර්වරයෙකු (යමක් වෙනුවෙන් ජීවිතය පුදන්නා) ලෙස ය.



පිටස්තරයෙක් ලංකාවට විත්, රටේ නිදහස ඇතිවුණේ කවදා ද එහි නායකයෝ හා වීරයෝ වූවෝ කවරහු ද යන ප්‍රශ්නය ඇසුවොත්, ලැබෙන උත්තර විවිධ හැක. නිදහස් දිනය හා නිදහසේ පියා (ලක් මව ගැන පුන පුනා කීව ද නිදහසේ සිටින්නේ පියෙකු පමණි) පිළිතුර වන්නේ 1948 පෙබරවාරි 4 හා දේශමාන්‍ය ඩී. ඇස් සේනානායක ය.  

 

ඩී. ඇස් උන්නැහේට නිදහසේ පිය පදවිය දරනට හැකි වූයේ වසර හතක් පමණි. 1948 ලැබුණේ ව්‍යාජ එකක් බවත් 'නියම' නිදහස ලෙස පසු ව ප්‍රකාශයට පත් වුණේ 1956 ඇති වූ පෙරැළිය ය. ඒ අනුව යාවත්කාලීන වු නිදහසේ පියා වූයේ ඇස්.ඩබ්. ආර්.ඩී ය. මේ නිදහස් සන්ධිස්ඨාන දෙක ම අවලංගු කළ තරුණ පිරිසක් 1971 දී සුපිරි ම නිදහසක් ස්ථාපිත කර එහි පියා ලෙස ආර්  විජේවීර මයා නිදහසේ උප්පැන්නේ ලියාපදිංචි වීම නූලෙන් වැළකුණේ පනස් හයේ පියාගේ වැන්දඹුව නිසා ය. එහෙත් ඇයට නිදහසේ මව් පදවිය නොලැබිණ.



නියම නිදහස යනු ආර්ථිකය නිදහස් කෙරුම යන අදහස 1977 දී ස්ථාපිත වුණු අතර ඒ නිදහසේ පියා වූයේ ජේ.ආර් ය. නිදහස යනු වෙන් වී නව රටක් තැනුම යී උතුරේ තරුණ කැලක කැරැල්ලක් ගසා එය දශක තුනක් තිස්සේ යුද්ධයක් බවට පත් කළ හ.

 

පූර්ණ නිදහසක් ලබා ගන්නට ඔවුන්ට නොහැකි වුව ද යම් කාලයක් රටෙන් කොටසක් තමන්ගේ අණසක යටතේ පවත්වා ගෙන යාමට ඔවුනට හැකි විය. ඒ කාලයේ නිදහස් දිනය ලෙස සැළකුවේ යට කී තරුණ පිරිසෙන් මුලින් ම දිවි පිදු සංකර් හෙවත් සතියනාදන් හෙවත් සුරේෂ් මිය ගිය 1982 නොවැම්බර් 27 දිනය ය. තරුණ කැලේ නායක වී. ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් 26 දින යෙදී තිබුණ නිසා පසු කලෙක නිදහස් සැමරුම දිනයකට සීමා නොකොට සතියකට ප්‍රකාශ කෙරිණ . තාමත් මේ දිනය මා වීරර් නාල් ලෙස උතුරු නැගෙනහිර පමණක් නොව ලොව පුරා ද සැමරේ. වෙන් වීමට නියමිත ව තිබු නව රටක නිදහසේ වෙන්න-පියාට එරෙහි ව ක්‍රියාත්මක වූ  මානුෂික  මෙහෙයුමක් නිසා ඔහු අකාලයේ මිය පරලොව ගිය අතර, ඒ මෙහෙයුම අවසන් කළ 2009 මැයි 18, අභිනව නිදහස් දිනය ලෙස ප්‍රකාශය පත් වුණේ නිදහසේ පියෙකු නොව රජෙකු ද අභිෂේක ලබමිණි. මේ අනුව, ලංකාවේ නිදහස් දින හා නිදහසේ පියවරු මහ ගොඩකි.  

පසු ගිය සතියේ පෙබරවාරී හතර දිනට කලින් සති දෙක තුන වැය වුණේ නිදහස ගැන විවාද හා කථික තරඟ මාලාවක් හා ඒ ආශ්‍රිත කායික අභ්‍යාස එළිමහනේ රඟ දැක්වීමට ය. වික්‍රමසිංහ සිසුවාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මාතෘකාව ගාලු මුවදොර සිට යෝජනා කළ අතර ඊට ප්‍රතිපක්ෂ ව, ඊට දින දෙක තුනකට පෙර නිදහස් වූ, මුදලිගේ සිසුවාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම එල්පිනිස්ටන් අන්තයේ සිට අදහස් දැක්විණ. දිසානායක සිසුවාගේ කණ්ඩායම මේ විවාදයට සහභාගී නොවුණේ එළෙඹෙන මාර්තු නම වැනි දින ඔවුන් බ්‍රෑන්ඩ් නිව් නිදහස් දිනයක් ප්‍රකාශයට පත් කෙරුමට අවශ්‍ය වැඩ කටයුතුහි නිරත ව සිටි නිසා ය.


Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...