The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 10, 2023 • 4:46 PM

හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ ප්‍රචාරක කටයුතු යනු අති විශාල ලෙස කාලය ද විනාශ කරදැමීමකි.
  • ප්‍රජාතන්ත්‍රවාදය සමස්තයක් ලෙසම අතිශය මිල අධිකය.
  • කෙසේ වෙතත්, ස්ථාවර ලෙස ඒකාධිපතිවාදය වෙත යොමුවීමට කිසිදු පාලකයෙකු නිර්භය වූයේ නැත.
  • මෙතැනින් ඔබ්බට ඇත්තේ අනිවාර්ය ක්‍රම වෙනසකි.
අකුරු ප්‍රමාණය (Font Size):



මැතිවරණ ප්‍රචාරක කටයුතු යනු අති විශාල ලෙස කාලය ද විනාශ කරදැමීමකි. ඉතා නොගැඹුරු අදහස්, වහසි බස් හා පොරොන්දු මැතිවරණ වේදිකාවල පුනරුච්චාරණය කරන අතර වේදිකා පහළ සිට හා ජනමාධ්‍ය හරහා ජනයා සරල විනෝදාස්වාදයක් ලබති.



මුළු ජීවිතයම මොබ් සමග ඇවිදිමින් කයිවාරු ගැසීම හා නාස්තිකාර දේශපාලන ව්‍යාපාර ගොඩනැගීම හැර වෙනත් කිසිවක් නොකළ දේශපාලකයෝ රට හැදීමට බලය ඉල්ලති.



මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදය සමස්තයක් ලෙසම අතිශය මිල අධිකය. එහෙත්, අපට ප්‍රජාතන්ත්‍රවාදය අත්හළ නොහැකිය. හේතුව, අප දෙසිය වසකටත් වඩා කාලයකට පෙර රාජත්වය අත්හළ නිසාය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අත්හළහොත් අපට යාමට සිදුවන්නේ ඒකාධිපතිවාදය දෙසටය.

ලංකාවේ මෙතෙක් පැවති පාලනයන් අඩු වැඩි වශයෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයන් විය. කෙසේ වෙතත්, ස්ථාවර ලෙස ඒකාධිපතිවාදය වෙත යොමුවීමට කිසිදු පාලකයෙකු නිර්භය වූයේ නැත. රෝහණ විජේවීර හා ප්‍රභාකරන් හැර අන් කිසිදු නායකයකුට පවත්නා ක්‍රමයට එරෙහි කැරැලිවලට එඩිතරකමක් තිබුණේ නැත.



දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික පාලනය තුළ ගොඩනැගෙමින් තිබුණු අස්ථාවර සුබසාධනවාදී ක්‍රමය අවසානය කරා එළැඹ තිබේ. මෙතැනින් ඔබ්බට ඇත්තේ අනිවාර්ය ක්‍රම වෙනසකි.

 


ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් විය හැකිව තිබෙන්නේ කෙසේද? කිසිවකු හරහැටි නොදන්නා සමාජවාදී දෘෂ්ටිවාදයකින් එය කළ නොහැකිය. ලංකාවේ මූලිකවම තිබෙන්නේ ආර්ථික අර්බුදයකි. එහි ප්‍රධානම කාරණය වන්නේ රාජ්‍ය ආදායමට වඩා වියදම් වැඩිවීම හා රජයට ණය ගෙවාගැනීමට නොහැකි වීමයි.

විසඳුම ඇත්තේ රාජ්‍ය ආදායම් වැඩිකරගැනීම හා වියදම් අඩුකරගැනීම තුළ පමණි. රාජ්‍ය අර්බුදයට විසඳුම මුලින්ම බලපාන්නේ රජයටම වීම පුදුම විය යුතු තත්වයක් නොවේ.



රජය රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම රැකියා අවසන් කිරීම වෙනුවට ඒවා වඩා කාර්යක්ෂම කිරීමට උත්සාහ කරමින් සිටියි. රාජ්‍ය අංශයේ සිටින උපාධිධාරීන්ට ගුරු සේවයට අන්තර්ග්‍රහණය වීමට අවස්ථාව ලබාදීම ඒ සඳහා වූ ක්‍රියාමාර්ගයකි.



බදු අයකිරීමට එරෙහිව රාජ්‍ය සේවකයෝ දැන් වීදි බැස සිටිති. ඔවුන් තවදුරටත් උත්සාහ කරන්නේ පෞද්ගලික අංශය, අවිධිමත් අංශය, විදේශ ශ්‍රමිකයන් හා දිළින්දන් ඇතුළු පොදු පාරිභෝගිකයන් සූරාකා රාජ්‍ය සේවය රැකගැනීමයි. පවත්නා ක්‍රමයේ හිමිකරුවන් කවුරුද, සූරාකන්නන් කවුරුද යන්න දැන් නිරුවත් වී තිබේ.

රාජ්‍ය සේවක ආධිපත්‍යෙයන් හා ඔවුන් නායකත්වය දෙන දේශපාලන පක්ෂවල බලයෙන් ක්‍රියාත්මක වන වර්තමාන ක්‍රමය වෙනස් කිරීම වළක්වාගැනීම සඳහා සූරාකන්නන් ආවරණය වන එකම තර්කය වන්නේ දේශපාලක පැළැන්තිය සොරුන් බව පැවසීමය. එහි යම් සත්‍යයක් ඇත. එහෙත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පදනම් වන්නේ සොරකම මතය. සොරකම වත්මන් දේශපාලන ක්‍රමයේ මූලික ලක්ෂණයකි. ක්‍රම වෙනස සඳහා අදාළ වන ප්‍රතිසංස්කරණත්, සොරකම වැළැක්වීමත් එකට යන ක්‍රියාමාර්ග මිස එකක් කර අනෙක ඊළඟට කළ හැකි දෙයක් නොවේ.



සිදුවන ක්‍රම වෙනසට එරෙහිව දේශපාලනය කරන දේශපාලන පක්ෂවල ධනය ද සොරකම් කළ ඒවාය. ඒවා ඉපයූ ආකාරය පෙන්වීමට එම පක්ෂවලට නොහැකිය. ඇතැම් විට, ඒවා රට වක්‍රාකාරයෙන් ආක්‍රමණය කිරීමට මාන බලන විදේශ බලවේගවලින් ලබාගත් ධනය විය හැකිය.



හොරකම් කළ සල්ලිවලින් හොරකමට එරෙහිව දේශපාලනය කිරීම හොරුන්ගෙත් හොරුන්ගේ වැඩකි.


Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...