
නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි.

මේ කියන විදිහට රනිල් රට බාර ගන්නා විට, රටේ තිබුණේ තෙල් පෝලිම්ය, ගෑස් පෝලිම්ය, බෙහෙත් පෝලිම්ය, කෑම පෝලිම්ය, පොහොර පෝලිම්ය. ඒ අස්සේ විදුලිය පැය දහයකට දොළහකට කපමින් තිබිණි. බඩු මිල දරා ගන්න බැරි තරමට වැඩි වී තිබිණි. ව්‍යාපාර කර්මාන්ත බිඳ වැටෙමින් තිබිණි. ආදායම් මාර්ග අහිමි වූවන් බඩගින්නේ සිටියේ. මෙහෙව් රටේ ඉඳීමෙන් වගතුවක් නැතැයි කියමින් පාස්පෝට් පෝලිම්වල ලක්ෂ ගණනින් සිටියෝය. කොටින්ම සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී කර කියා ගන්න දෙයක් නැතිව රටෙන් දෙකෙන් පංගුවකට වඩා සිටියේ හෙට දවස ගැන කෙසේ වෙතත් වේලක් කෑවොත් ඊළඟ වේල කන්නේ කොහොමදැයි සිතා ගන්න බැරිවය.
අනෙක් පැත්තෙන් පීඩාවන් දරා ගැනීමට බැරිව මිනිස්සු අරගල බිමේය. පාලකයන්ට එරෙහිව මරාගෙන මැරෙන්න තරම් වියරුවකින් අරගලය ප්‍රචණ්ඩකාරීව රට පුරා පැතිර තිබිණි. පොලිසියට, ආරක්ෂක අංශවලට එය පාලනය කිරීමේ හැකියාව පවා අහිමිව තිබිණි.


රනිල් නම් මේ ධෛර්යවන්ත මිනිසා, පරිණත දේශපාලනඥයා රට යළි ගොඩ නැඟුමේ අසීරු අභියෝගය බාර ගන්න කොට තිබු ඒ වියවුල්කාරී තත්වය මාසයක් දෙකක් යන විට වෙනස් කිරීමට සමත් විය. විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් කඩිනම් පියවරයන් ක්‍රියාත්මක කෙරිණි. එය විසඳිය හැකි බව පෙන්වා තිබිණි. බිංදුවටම වැටී තිබූ රාජ්‍ය ආදායම් යළි උපදවා ගැනීමට මෙන්ම හදිස්සියකට ඩොලරයක් සොයා ගන්න නැතිවෙන තරමට වැටී තිබුණු විදේශ සංචිත යළි ගොඩ නගා ගැනීම වෙනුවෙන් කටයුතු කෙරිණි. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලබා ගත හැකි මානුෂීය ආධාර උපකාර ලබා ගැනීම සිදු විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් අවශ්‍ය සහය ගැනීම සිදු කළේය. එහි ණය ආධාර පැකේජය ලබා ගැනීමේ සාකච්ඡා අවසන් අදියරකට ගෙන ඒමට මේ වන විට සමත්ව ඇත. ලෝක නායකයන්ගේ අවදානයට රටේ ප්‍රශ්න යොමු කර අවශ්‍ය සහයෝගයන් ලබාගැනීම වෙනුවෙන් පියවර රාශියක් ක්‍රියාත්මක කෙරිණි. රටේ ඉදිරි ගමන වෙනුවෙන්, මෙතෙක් ආ වැරදි පාර නිවැරදි කරමින් අලුත් බලාපොරොත්තුවක් සමඟ රට නිවැරදි පාරට ගැනීම සිදු කෙරිණි. අනාගත සංවර්ධනාත්මක ගමන වෙනුවෙන් අවශ්‍ය පදනම සකස් කෙරිණි.
මේ සියල්ල විසින් යළි සාමාන්‍ය ජීවන රටාවට මිනිස්සුන්ට එන්න හැකියාවක් ලැබිණි. දුෂ්කර තත්වයන් යටතේ හෝ මිනිස්සු යළි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපේක්ෂා සහගත වන්නට විය. මේ දේවල් නැවත නැවත මතක් කරමින් අපට කියන්න වෙන්නේ රට මෙහෙම අර්බුදයකට ගොදුරුව තිබු බව මිනිස්සුන්ට නිතර අමතක වන නිසාය. නැති නම් අමතක කරවන්න විපක්ෂය කටයුතු කරමින් සිටින නිසාය. කොහොම නමුත් දැන් රනිල් කර තිබෙන දේ පැහැදිලිය.

පසුගිය 08 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ ජඩ විපක්ෂය විසින් නොපිළිගන්නා ඔවුන් විසින් නොවිය යුතු දේවල් ලෙස පිළිගන්නා දේවල් රැසක් තමන් කර තිබෙන බව පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබිණි. අඩුම තරමින් රනිල් මේ මොනවාද කරන්නේ කියන්නේ කියා අසන්නට විපක්ෂය පැමිණ තිබුණේත් නැත. එසේම එම ප්‍රකාශයට ආදල විවාදයට හෝ විපක්ෂය සහභාගී නොවී මඟ හරිමින් තිබිණි.
කොහොමටත් අර්බුදයෙන් රටත් ජනතාවත් ගළවා ගැනීම වෙනුවෙන් කළ යුතු දේ මේ යැයි කියන්න තරම් දෙයක් විපක්ෂය සතුව නැත. සජබයත් ජාජබයත් රනිල් නැති තැන නැති නම් ඔහුව මඟ හැර, තැන් තැන්වලට ගාල් වී රංචු ගැසී තමන්ගේ විසඳුම් නැති නම් උත්තරය කියා කියවන්නේ රනිල්ගේ වැඩපිළිවෙල ගැනය. රනිල් යන මාර්ගය ගැනය. නමුත් එය රනිල්ගේ කියා නොකියා සිටීමට පරිස්සම් වෙයි.
ජනාධිපති රනිල් නිදහස් දිනයදා කියා සිටියේ, “අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ.
අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද?
අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ.අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා. එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ” යනුවෙනි.
ජාතිය අමතා රනිල්ට මෙහෙම කියන්න තරම් කොන්දක් තිබුණත් එය පිළිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් විපක්ෂය ඉදිරිපත් වුයේ නැත. නප්පියටම කෙළවෙලා තිබියදීත් තමන්ගේ හවුල්කාරිත්වයත් සමඟ වැරදි සිදු වූ බව පිළිගන්න විපක්ෂයට නොහැකිවීමේ තේරුම ඔවුන්ට මෙතැනින් එහාට ඉදිරි ගමනක් නැති බවය. වැරදි නිවැරදි කරගැනීමට සූදානමක් නැතිව නැවත නැවත ඒ වැරැද්දම වන්නට ඉඩ දෙන්නේ නම් රටට ඉදිරි ගමනක් තිබිය නොහැක. කොහොම නමුත් මේ අය මැතිවරණ වේදිකාවල කරන නන්දෙඩවීම්වලින් පැහැදිලි වන්නේ පරණ බංකොලොත් තියරි, වැඩ පිළිවෙලවල් සමඟ තවමත් රැඳි සිටින්න තිබෙන කැමැත්තය. ඒ ජනතාව චූන් කර රවටා බලය ගැනීමට තිබෙන කෑදරකමය.
රනිල් 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, “මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියූ හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා... මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ... සිස්‍ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්... වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි... ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න. ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න... සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම් කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි... අපේ මාතෘ භූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලුදෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි...” බවය.
රනිල් කරන්න හදන්නේ ඒ වෙනසය. දැන් රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න කියන විපක්ෂයේ සටන කුමක්ද යන්න පැහැදිලි විය යුතුය.
-ඝෝෂක (Chatham Street Journal)




