The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හෙට දිනයේ දිදුලිය හැකි 'කවි සිතම දම් පාටයි'- (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

February 12, 2023 • 8:33 AM

හෙට දිනයේ දිදුලිය හැකි 'කවි සිතම දම් පාටයි'- (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධවන්‍යාලොක විවරණය: පිටුව xlvii: ආනන්දවර්ධන: පරිවර්තනය - ජී.
  • ගුණසේන සහ සමාගම: 1969 මෙම අදහස ආනන්දවර්ධනගේ ද එසේත් නොමැති නම් ජී.
  • සේනානායකගේ අදහස් බව විශ්වාස කළ හැකි ය.
  • ඔහු මෙසේ ප්‍රකාශ කළ ද, මෙය මේ ආකාරයෙන් ම කවියට මුහු කළ යුතු ද යන්න නූතන කවිය දෙස අවධානය යොමු කිරීමේ දී නැගෙන පැනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ධවන්‍යාලොක විවරණය: පිටුව xlvii: ආනන්දවර්ධන: පරිවර්තනය - ජී. එස්. බී. සේනානායක: එම්. ඩී. ගුණසේන සහ සමාගම: 1969

මෙම අදහස ආනන්දවර්ධනගේ ද එසේත් නොමැති නම් ජී. එස්. බී. සේනානායකගේ ද යන්න අපැහැදිලි වුව ද මෙබඳු කරුණු සනාත කිරීම සඳහා උපුටා දක්වන සියලු නිර්මාණ සිංහල කවි වන බැවින් එය ජී. එස්. බී. සේනානායකගේ අදහස් බව විශ්වාස කළ හැකි ය. ඔහු මෙසේ ප්‍රකාශ කළ ද, මෙය මේ ආකාරයෙන් ම කවියට මුහු කළ යුතු ද යන්න නූතන කවිය දෙස අවධානය යොමු කිරීමේ දී නැගෙන පැනයකි.

මෙහි දැක්වෙන අන්දමට කවියෙන් ප්‍රකාශ විය යුත්තේ කිසියම් වස්තුවක් හෝ වස්තු කිහිපයක් පිළිබඳ කවියා තුළ හට ගන්නා හැඟීම් නම් එය ප්‍රකාශ කිරීම සඳහා කවියා භාවිත කළ යුත්තේ විද්‍යාත්මක විග්‍රහයක් ද, දාර්ශනික විග්‍රහයක් ද යන්න තීරණය කෙරෙන්නේ කාව්‍ය නිර්මාණය සඳහා උපස්තම්භක කරගන්නා අනුභූතිය අනුව ය; අදාළ අනුභූතිය වටා සංක්‍රමණය වූ වස්තු සමූහය හෝ වස්තුව අනුව ය. මේ සඳහා කදිම උදාහරණයක් සපයන්නේ ලක්ශාන්ත අතුකෝරල කවියා ය; ඒ, ඔහු විසින් රචිත...


‘‘වැඩ ඇරී

වැඩට යති

ගැහැනු’’


...නමැති කාව්‍ය නිර්මාණය තුළිනි. මෙය කාව්‍ය නිර්මාණයක් වුව ද දාර්ශනික අරුතක් ද විද්‍යමාන කෙරේ. එමෙන් ම මෙහි අන්තර්ගත වන්නේ කිසියම් සිද්ධියක් පිළිබඳ කවියා තුළ හටගන්නා හැඟීම ය. ඉදින් කවි ලිවිමේ දී මෙන් ම කියවීමේ දී, කියවා විඳීමේ දී ද යට සඳහන් කළ ආකාරයේ න්‍යායාත්මක පදනම් තෙරම් දුරට වලංගු ද නැද්ද යන්න ගැටලුවකි; එය නීර්ණය කළ යුත්තේ පාඨක ප්‍රජාව ය.

එම කෘතියේ මෙවැනි අදහසක් ද ප්‍රකාශ කෙරේ.

‘‘යම් කිසි සිද්ධියක් දකින ආකාරය, යම් වස්තුවක් පවත්නා ආකාරය ඒ අයුරෙන් ම කියා පෑම කවියාගේ අභිලාෂය නොවේ. එය භාවාරොපණයකින් ප්‍රකාශ කිරීම ඔහුගේ හදවත සනසා ගැනීමකි. කවියා කියාපාන්නේ අදහස් නොව හැඟීම් ය.’’

පිටුව: එම

දැන් මෙහි දී නැගෙන පැනය වන්නේ ‘හැඟීම’ යනු ‘අදහසක්’ ද නැද්ද යන්න ය. ඇතිවන්නේ හැඟිමක් වුව ද එය ප්‍රකාශ කිරීමේ දී සිදුවන්නේ හැඟීමක් ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීම ම නොවන්නේ ද...?

 

මා මෙය උපුටා දැක්වූයේ නූතන කවි කිවිඳියන්ගේ ඇතැම් නිර්මාණ චිරාගත සම්ප්‍රදායානුකූලත්වයෙහි ම ලා මිනිය නොහැකි බැවිනි. ඇතැම් කව් කිවිඳියන් විසින් ඉදිරිපත් කරනු ලබන කාව්‍ය නිර්මාණ තුළ යට කී ලක්ෂණ අන්තර්ගත නොවිය හැකි ය. එහෙත් එබඳු නිර්මාණ කවි නොවේ යැයි පසෙකට කිරීම පිළිබඳ අප එක් වරක් දෙවරක් නොව කිහිප වරක් ම සිතිය යුතු ය.

 

ලක්ශාන්ත කවියාගේ ම තවත් කෙටි කවියක් වෙත අවධානය යොමු කරමු.


‘‘හස්තීන්ද ගවයන්ද

මිනිසුන්ට පැගෙයි

පිය ගැට පාමුල’’


මෙය, කවියා සඳකඩ පහණ දුටු පසු සිතට නැගි අදහස ය. එය අදහසක් වුව ද ඔහු අප වෙත ඉදිරිපත් කරන්නේ කවියක් ලෙසිනි.

ඉදින් නූතන කවි කිවිඳයන්ගේ ඇතැම් කවි කියවීමට, කියවා විඳීමට නව මාන සොයා පාදාගත යුතුව ඇතැයි යන්න මගේ පුද්ගලික අදහස ය.

nilusha 02මේ පූර්විකාව ලියන්නේ තවත් නවක කිවිඳියක වන නිලූෂා මනෝරත්න විසින් රචිත ‘‘කවි සිතම දම් පාටයි’’ නමැති කාව්‍ය සංග්‍රහය කියවා, විඳීමෙන් ඉක්බිති සිතට නැගුණු අදස් කිහිපයක් සටහන් කිරීමේ ඇරඹුමක් ලෙසිනි.

‘‘කවි සිතම දම් පාටයි’’ යනු කිවිඳියගේ පළමු කාව්‍ය සංග්‍රහය යි. එහි දී කිවිඳිය සිය නිර්මාණ සඳහා වඩාත් උපස්තම්භක කරගෙන ඇත්තේ ඇයට වඩාත් සමීප අනුභූති බවක් දක්නට ලැබේ. උදාරණයක් ලෙස ගතහොත්: ‘‘ඉලක්ෂන් කුරුටු ගී’’, ‘‘ඔඩිට් නොවන සිතුවිලි’’, ‘‘ඔෆිස් යන අම්මලාට’’ සහ ‘‘ඒත් අපි දුවනවා’’ යන නිර්මාණ හැඳින්විය හැකි ය.

මෙම නිර්මාණ හතර වෙනස් වදන් යොදා, වෙනස් රිද්මයකින් ඉදිරිපත් කළ ද එහි අනුභූතිය ඒකමාන ය; සමපාත ය. ඒ, කිවිඳියට කාව්‍ය ශක්‍යතාව නොමැතිකම නොව ඇය සතු අත්දැකීම් බහුල නොවීම ය.

 

ඕනෑම කවියකු හෝ කිවිඳියක තම කවිතාව වර්ධනය කරගැනීම සඳහා විවිධ අනුභූති උපස්තම්භක කරගත යුතු ය. විශේසයෙන් ම තමන්ගේ නිර්මාණ කාව්‍ය සංග්‍රහයකට ගොනු කිරීමේ දී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු ය. කවියා හෝ කිවිඳිය කෙතරම් කාව්‍ය ශක්තියකින් හෙබි වුව ද ඔහු හෝ ඇය සතු අත්දැකීම් අවම නම් ඔහුට හෝ ඇයට තමන්ගේ කවිතාව වර්ධනය කරගත නොහැකි ය.

 

නිලූෂා මනෝරත්න කිවිඳිය ද මේ ව්‍යසනයට ගොදුරු වී ඇති බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය.

කිවිඳිය එබඳු දුර්වලතාවක් පිළිබිඹු කළ ද කාව්‍ය නිර්මාණශිලීත්වය පාර්ශ්වයෙන් ගත් කළ ඇය අනාගතයේ දී සිය දක්ෂතා ඔප්නංවාගනු ඇතැයි විශ්වාස කළ හැකි ය. එහි දී ඇය ඉවසීම ප්‍රගුණ කළ යුතු ය; වඩ වඩාත් කියවීමට නැඹුරු විය යුතු ය; අභ්‍යාස කළ යුතු ය. එය ඇගේ කවිතාව නිසිමගට යොමු කර ගැනීමට අත්වැලක් සපයනු ඇත.

කවි ලියන පුද්ගලයාට නිරන්තරයෙන් ම සමාජ අසාධාරණය සම්මුඛ විය යුතු ය; ඒ සම්බන්ධයෙන් ඔහු හෝ ඇය සවිඥානික විය යුතු ය. එකී සවිඥානිකත්වය නිලූෂා මනෝරත්න සතුව පවතින බව ඇගේ ඇතැම් නිර්මාණ සාක්ෂි දරයි. එවන් අවස්ථාවල ද ඇය සිය නිර්මාණ තුළින් අදාළ සිදුවීම් සදය උපහාසයට ලක් කරන්නී ය.

‘‘බැහැර වඩින්නී’’, ‘‘Ceylon tea’’, ‘‘අඳිමු අපි පෙරහැරක්’’, ‘‘ගැහැනුකම අපි සමරමුද අද’’, ‘‘මිලේනියම් පාරු කවි’’, ‘‘වරද නුඹෙමැයි කුවේණියේ’’, ‘‘නුඹට පුතේ රටක් ඇතේ’’ සහ ‘‘විස්කම්ම බළකාය’’ යන නිර්මාණ සියල්ලෙහි ම ඇය මතුපිට එක් අදහසක් ඉදිරිපත් කරන අතර එහි යටි පෙළෙහි අරුත් ගන්වන්නී සමාජයේ පවත්නා යම් යම් අසාධාරණතා සහ දුර්වලතා යනාදිය යි.

ඇතැම් කවියක ඇය සමාජයේ සිටින ආත්මාර්ථකාමි පුද්ගලයන්ගෙන් කිසියම් ආයාචනයක් ද කරන්නි ය. ‘‘අදත් ට්‍රිප් යනවා ද - දුම්බරට එනවා ද’’ නමැති නිර්මාණය ඊට කදිම නිදසුනකි. විනෝදය සතුට ලබන අතරේ ම පරිසර හානි සිදු නොකරන්නැයි ඇය ලාංකිය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නී ය. ඇගේ පරිසරකාමිත්වය ද එම නිර්මාණය තුළින් පිලිඹිමු කෙරෙන අතර ‘‘ඉතින් ආයුබෝවන් දුම්බර සොඳුරී’’ සහ ‘‘නුඹ විතරක් සිහින් වෙලා’’ නමැති නිර්මාණ ද්වයෙන් එය වඩ වඩාත් ප්‍රකට කොරේ.

සමාජයේ කැපී පෙනෙන ඇතැම් රැකියාවල නියුතු පුද්ගලයන්ගේ (විශේෂයෙන් ම කාන්තාවන්ගේ) ජීවිත අභ්‍යන්තරයේ සැඟව පවත්නා සිත් වේදනා කෙතරම් ද යන්න ‘‘මේ ලෝගුව හරි බරයි දෝණි’’ නමැති නිර්මානය තුළින් විශද කෙරේ.

 

මෙහි කථකයා හෝ කථකාව නීතිඥ වෘත්තියේ යෙදෙන පුද්ගලයෙක් හෝ විනිසුරු වෘත්තියේ යෙදෙන පුද්ගලයෙකු බවට ඉඟි සපයන කිවිඳය ඔවුන්ගේ ජීවිතයේ ඇතුළු වත මැනවින් අද්‍යමාන කරන්නී ය. සැබැවින් ම කවි ලියන පුද්ගලයෙකු මතු නොව ඕනැම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සතු විය යුතු වෙසෙස් දක්ෂතාවක් ලෙස මෙය හැඳින්විය හැකි ය. එනම් ඕනැම පුද්ගලයෙක් හෝ වස්තුවක් දෙස සමාන්‍යනය ජනයා බලන කෝණය අභිභවන වෙනස් ම කෝණයකින් අදාළ පුද්ගලයා හෝ වස්තුව දෙස අවධානය යොමු කිරීමේ හැකියාව ය; එහි අභ්‍යන්තරයට රිංගා එය මතුපිටට රැගෙන ඒමේ හැකියාව ය.

 

‘‘නුඹයි ලොව මල් පුබුදුවන්නේ’’ නමැති නිර්මාණය ද මෙහි ම තවත් පාර්ශ්වයකි. එහි දී කිවිඳිය සමාජයට අත්‍යවශ්‍ය ම වෘත්තියක නියැළෙන, එහෙත් කිසිවකු මායිම් නොකරන පිරිසක් වෙත සිය දයාර්ද බැල්ම හෙළන්නී ය. මෙබදු නිර්මාණ කියවා, එහි යටිපෙළ නිසායාකාරයෙන් කියවා ගන්නට කිසිවකු සමත් වේ නම් එය අදාළ වෘත්තියේ නියැළෙන පුද්ගලයන් කෙරෙහි සමාජය දක්වන පටු ආකල්පයෙන් මිදිය හැකි ය. එය ද නිර්මාණකරණයේ යෙදන පුද්ගලයන්ගේ යුතුකමකි. කිවිඳිය එකී යුතුකම සිය නිර්මාණ තුළින් සමාජයට ඉදිරිපත් කරන්නී ය. සමිත අටුවබන්දෑල කවියා සහ යනූෂා ලක්මාලි කිවිඳිය ද ඔවුන්ගේ නිර්මාණ තුළින් මෙම ප්‍රස්තුතය ඉදිරිපත් කර තිබුණු බවක් මගේ මතකයේ පවතී.

තමන්ගේ ම දියණිවරු ලිංගික බලහත්කාරයට යට කරගන්නා සමාජයක දියණිවරුන්ගේ ලෝකය එළිය කරන්නට අනන්ත අප්‍රමාණ දුක්විදින පියවරු ද සිටිති. ‘‘තාත්තේ’’ නමැති නිර්මාණය එවන් පියවරුන්ට කෙරෙන උපහාරයක් බඳු ය. කවියේ තීව්‍රතාව වඩාත් ඔප් නැංවෙන්නේ එහි අවසන් පද යුගලෙනි.

‘‘පෙරහැරේ යන්නෙ නෑ

කොටන් අදිනා ඇත්තු’’

මෙහි දී ‘‘ඇත්තු’’ යන වදන අපූරු රූපකයක් ලෙස හැඳින්විය හැකි ය. ලොව වෙසෙන සියලු පියවරු කෙසේ වුව ද ‘‘ඇත්තු’’ මතු නොව ‘‘සද්දන්ත ඇත්තු’’ බඳු පියවරු ද ලොව වෙසෙති. යට සදහන් කළ පරිදි ‘‘තාත්තා’’ යනු එබඳු පියවරු වෙත පිදෙන උපහාරයක් යැයි පැවසුව ද එය අතිශයෝක්තියක් නොවේ.

කිවිඳිය සිය නිර්මාණ සදහා විදග්ධ යැයි සම්මත බස් වහරක් භාවිත නොකළ ද ඇතැම් නිර්මාණවල බරපතළ ව්‍යගාර්ථ අන්තර්ගත ය; වක්ක්‍රෝක්තිභාවය බහුල ය. ‘‘නුඹ නිදන තැන මෙතන’’, ‘‘ඉපල් කටු පත් අතර රොබරෝසියා මිතුර’’, ‘‘ප්‍රේමයක්’’ සහ ‘‘සේපාලිකා කැකුළු තනි වෙලා’’ යන නිර්මාණ එබඳු ලක්ෂණ ප්‍රකට කරන නිර්මාණ ලෙස හැඳින්විය හැකි ය.

ඉවසීමෙන් සහ තමන්ගේ නිර්මාණ යළි යළිත් සංස්කරණයට ලක් කරන්නට උත්සාහ කරන්නේ නම් නිලූෂා මනෝරත්න කිවිඳියගේ කවිතාව වර්ධනය කරගත හැකි ය.

(සියලු උපුටාගැනීම්හි අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් ඒ ඒ කෘතිවල අන්තර්ගත පරිදි ය)  


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/02/12    


JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...