The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රීලනිපයට අමරසේකරගේ ‍යෝජනා වෙනුවට අනුර ගෙන් මිලිටරි ඔළුවක් ! - (ඥානසිරි කොත්තිගොඩ)

T

The Leader Desk

February 15, 2023 • 6:01 AM

ශ්‍රීලනිපයට අමරසේකරගේ ‍යෝජනා වෙනුවට අනුර ගෙන් මිලිටරි ඔළුවක් ! - (ඥානසිරි කොත්තිගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ.
  • කදුළු වැගිරෙන, හදවත විලාප දෙන මේ මුළු කතාව ඇතුළේ හාස්‍යයත් ඒ වගේම ලොමු ඩැහැ ගැන්වෙන, හීන් දාඩිය දමන, භීතිය උපදවන අන්ධකාර පැත්තකුත් තිබෙනව.
  • ඒ කාලේ මන්ත්‍රීවරයෙක් වූ ටිරාන් අලස් පොලිසිය භාර වර්තමාන ඇමතිවරයා තමයි තමාට රාජපක්ෂ ජනාධිපතිවර‍යා එසේ කියූ බවට චෝදනා කරමින් වීඩි‍යෝව නිකුත් කරලා තිබෙන්නෙ.
  • සුසිල් ප්‍රේම්ජ‍යන්ත ඇමතිවරයා ගේ චන්ද යෝජනාවට පිළිතුරු ලෙස ජවිපෙන් එදා ‍යෝජනා කළේ කිළිනොච්චියෙන් පුදුකුඩිඉරිප්පු දක්වා පසු බැස්ස දෙමළ නිරායුද ජනතාවට "බර අවි ප්‍රහාර" එල්ල කරන 'මානුෂික මෙහෙයුමක්'.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමානයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය."


හදවත කීරි ගැහෙන කතාවක ඉහත උපුටා ගැනිම කළේ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක, අනුර කුමාර දිසානායක "විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය" වෙනුවෙන් මහරගම දී පැවැත් වූ දේශනයකින්.

 


 
කදුළු වැගිරෙන, හදවත විලාප දෙන මේ මුළු කතාව ඇතුළේ හාස්‍යයත් ඒ වගේම ලොමු ඩැහැ ගැන්වෙන, හීන් දාඩිය දමන, භීතිය උපදවන අන්ධකාර පැත්තකුත් තිබෙනව. ඒක කතා කරන්නට පෙර ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙන් මෙන්ම ටිල්වින් සිල්වා එහි ප්‍රධාන ලේකම්වරයා ගෙන් ද ඔවුන් කවුදැයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පළමුව විසඳා ගතයුතුව තිබෙනව.

මෙයට සති ගණනකට පෙ‍ර පැවැත් වූ පුවත් පත් සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාගෙන් මාධ්‍යවේදියෙක් විමසනව උතුරු නැගෙනහිරට පොලිස්, ඉඩම් බලතල ලබාදීමට එකඟද කියල.

"උතුරේ මිනිස්සු ඔය ඉඩම්, පොලිස් බලතල ඉල්ලන්නේ නැහැ. පෙඩරල් ඉල්ලන්නෙත් නැහැ. ඕවා ඉල්ලන්නේ දේශපාලනඥයෝ" කියන එකයි ටිල්වින් සිල්වා ගේ පිළිතුර වුනෙ. නමුත් මේ පිළිතුරු දෙන ඔබත් දේශපාලනඥයෙක් නේද කියල පෙරළා ප්‍රශ්න කළයුතුව තිබුනත් මාධ්‍යවේදියා එසේ නොකළේ ඇයිදැයි ගැටලුවක් තිබෙනව.

 

යුද්ධය පිළිබඳ දීර්ඝ හඬා වැටීමකින් පසුව "අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය" කියල අනුර කුමාර ජාජබ නායක‍යත් කියනව. නමුත් කවුරුත් ඉතා හොඳින් දන්නා කාරණාවක් තමයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යුද්දෙට දක්කාගෙන ගියේ ජවිපෙ කියල. ඒක කිව්වෙ අපි නෙවෙයි, ඒගොල්ලොමයි. එමනිසා අනුර කුමාර ජාජබ නායකයාගෙනුත්, ටිල්වින් සිල්වා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාගෙනුත් මා විමසන්නේ "ඔබලා දේශපාලනඥයෝ නොවෙත් ද?"

 

මාවිල් ආරු සොරොව්ව එල්ටීටීඊ එකෙන් වසා දැමුවාම එමිල් කාන්තන් එක්ක කතා කරල වහාම මේකෙ බේරුමක් කර ගන්න කියල රාජපක්ෂ ජනාධිපතිවරයා කිවූ බවට ප්‍රසිද්ධ වීඩියෝවක් තිබෙනව. ඒ කාලේ මන්ත්‍රීවරයෙක් වූ ටිරාන් අලස් පොලිසිය භාර වර්තමාන ඇමතිවරයා තමයි තමාට රාජපක්ෂ ජනාධිපතිවර‍යා එසේ කියූ බවට චෝදනා කරමින්  වීඩි‍යෝව නිකුත් කරලා  තිබෙන්නෙ.





ඒ කාලයේදීම විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ රැස්වීමක් පවත්වමින් සෝමවංශ අමරසිංහ එවකට සිටි ජවිපෙ නායකයා කීවේ කුමක්ද?  "අපි රාජපක්ෂ ජනාධිපතිවරයාට කිව්ව මේකට විසඳුම තියෙන්නේ යුද්ධයෙන් විතරයි කියල. එතකොට එයා ඇහුවේ ලබ්බෙන්ද ගහන්නේ කියල. අපි කියනවා තියෙන ලබ්බෙන් ගහන්න. එතකොට තව ලබු ඒවි. නැත්නම් හමුදාව විසුරුවා හරින්න කියල."

යුද ජයග්‍රහණයේ උරුමක්කාර අයිතිය වෙනුවෙන් ගිය එළිමහන් විවාදවලදී කිව්වෙ "පිස්සු බල්ලො නාවන්න ගෙනියනව වගේ තමයි අපි ආණ්ඩුව බලෙන් යුද්දෙට ඇදගෙන ගියේ, අපි නැතිනම් යුද්ධය දිනන්නේ නැහැ" කියල. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප)  මෛත්‍රීපාල සිරිසේන හිටපු මහලේකම්වරයාගේ සුප්‍රසිද්ධ " බම්බුව" කතාව එයට ලැබුණු එක පිළිතුරක්.

ආණ්ඩුවේ සිංහල හමුදා කිලිනොච්චි අල්ලා ගත්තට පස්සෙ චන්දයක් තියන්න හොඳ වෙලාව කියල සුසිල් ප්‍රේම්ජ‍යන්ත ඇමතිවරයා කියූ රහසක් ජාජබ නායක අනුර කුමාර මහරගම දේශනාවෙදි හෙළිදරව් කරනව. මේ කියන කතාවේ යටිපෙළයි අපි කියව ගන්න ඕන. එහි ඉතා බිහිසුණු සැඟවුනු අරුතක් තිබෙනව. ඒක බිහිසුණු වෙන්නේ යුද්ධයෙන් විකලාංග වූ හා විශ්‍රාමික හමුදා නිලධාරීන්  ඉදිරියේ තබාගෙන මේ කතාව කරන නිසයි.

 

සුසිල් ප්‍රේම්ජ‍යන්ත ඇමතිවරයා ගේ චන්ද යෝජනාවට පිළිතුරු ලෙස ජවිපෙන් එදා ‍යෝජනා කළේ කිළිනොච්චියෙන් පුදුකුඩිඉරිප්පු දක්වා පසු බැස්ස දෙමළ නිරායුද ජනතාවට "බර අවි ප්‍රහාර" එල්ල කරන 'මානුෂික මෙහෙයුමක්'. ඒක මෙය වර්ග සංහාර යුද්ධයක් වීමේ තීරණාත්මක සාධකයක්. කිළිනොච්චි ප්‍රාදේශීය ලේකම්වරියගේ වාර්තා සටහන් අනුව එසේ කිළිනොච්චියෙන් පුදුකුඩිඉරිප්පු දක්වා ගිය ප්‍රමණය 50,000 කට අධිකයි

103a revd exodus

මන්නාරමේ කතෝලික රදගුරු රායප්පු ජෝසප් හිමිපාණන් ආණ්ඩුවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට (LLRC) ලබාදුන් විශ්වසනීය සාක්ෂියේ සංඛ්‍යාලේඛන අනුව විමුක්ති කොටි පාලනය යටතේ තිබුණු ගම්බිම් සියල්ල රජයේ හමුදා විසින් යටත් කරගත් පසු ආගිය අතක් නැති දෙමළ ජන සංඛ්‍යාව 146,679ක්.

දැන් දිසානායක ජාජබ නායකයා හමුදාවට ඒත්තු ගන්වන්නට උත්සහ කරන්නේ ඔබලා යුද හමුදාවට බැඳුනේ යුද්ධ කරන්න නෙමේ. ඒත් ආණ්ඩුවේ දේශපාලකයෝ ඔබලා යුද්ධයක පටලවා අංග විකලභාවයට පත්කළා. අවසානයේ ඔබලාගේ පැන්ෂන් එකටත් කෙළියා. සමහරු යුද බිමේ මරුනා. නමුත් රාජපක්ෂලා යුද්දේ අස්සේ සුද්දෙ දීලා හොඳට හොරකම් කළා. ආණ්ඩුවේ සුසිල්ලා වැනි අනෙක් පහළ කොටස් ඔබලා කඩේ යවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විවිධ දේශපාලන වාසි ගත්තා.

අපි නොහිටින්න අදත් යුද්ධය ඉවරයක් නෑ. ඔබලා ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් මව්බිමේ දෙවැනි නිදහස් සටනටත් අපිත් එක්ක එකතුවෙන්න. අපිව විශ්වාස කරන්න. ඔබ විනය ගරුක වුනාට මදි. ප්‍රායෝගික අත්දැකීම් සහිත ඔබලා මේ රටම විනය ගරුක කළ යුතුයි. ඔබලාගේ දැනුම අපට දෙන්න. ඒ ඔබට අප පවරන රාජකාරියේ කොටසයි කියල. මේ කතා කරන්නේ ආණ්ඩු බලය අරගෙන විවිධ ක්ෂේත්‍රයන්ට කරන වැඩ පැවරීම් ගැන.

හැම වැඩකම විගණන‍යක් ඉල්ලා සිටින ජවිපෙ නායකයා මෙම කතාවේදීවත් යුද්ධයේ වියහි‍යදම් පිළිබඳ විගණනයක් ඉල්ලා නොසිටියේ ඇයි?  ඔය රාජකාරි පවරන්නට යන්නේ ජෙනරාල්වරුන්ගේ පැටිකිරිය ගැන විගණනයක් කරල ද?

 

අද මාළිමාව වටා එක් රොක්වී සිටින ජනතාව එසේ සිටින්නේ ඔවුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා හෝ වෙනත් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. එම ජනතාව විශ්වාස කරනව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී පසුදා පහන්වන විට රාජපක්ෂලා ඇතුළු ජවිපෙ - ජාජබ යේ වංචා දූෂණ චෝදනාවන්ට ලක් වූ සියළු දෙනා තඩලාගෙනවිත් වැලිකඩ බන්ධනාගාරය පුරවාවි කියල. එදින රාත්‍රීවනවිට හොරකම්කළ සියලු මුදල් ආපසු ලබා ගනීවි කියල. මොනවා වුනත් කමක් නැහැ හොරුන්ට කෙළවන්න ඕන. එවැනි වෛරයකින් හා පළිගැනීමේ චේතනාවෙන් තමයි මාළිමාවට කතිරය ගහන්නෙ. ඒ මානසිකත්වය ගොඩනැගුවේත් ජවිපෙ - ජාජබ නායකයොම තමයි.  යහපාලනයට ඡන්දෙ දෙනකොටත් මහජනයා හිතුවෙ එහෙම තමා. අනුර කුමාර දිසානායක ඒ ආණ්ඩුවෙත් විධායක සභිකයෙක්.

 

නමුත් මේ ජනප්‍රිය සටන්පාඨ ප්‍රායෝගිකව කරන්න එහෙම පහසු නැහැ. බලය සඳහා ජනතාවට ආකර්ශනීය දේ කිව්වත් එය ඉටුකළ නොහැකි වූ විට වෛරය ඇවිළ වූ පුද්ගලයන්ම ඒ වෛරයට පාත්‍රවෙනව. " පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිව නැඟිටින්නේ" යි විශාරද නන්දා මාලනීත් කියන්නෙ ඒකම තමයි. ජනප්‍රියවාදී ඒ දේශපාලනයේ අනතුර රාජ්‍ය බලය අතැඹුළක් සේ විශ්වාසයෙන් පසුවන ජාජබ- ජවිපෙ නායකයන්ට දැන් දැන් තේරුම් යමින් සිටින්නේ.

මේ තේරුම් ගැනිම නිසා තමයි අනුර කුමාර ජාජබ නායකයා හමුදාවේ දැනුම හා මැදිහත්වීම ඉල්ලා සිටින්නේ. හමුදාවට තිබෙන දැනුම සන්නද්ධ බලය පිළිබඳ දැනුම මිස වෙන මොන දැනුමක්ද?  71, 88- 89, රතුපස්වල, අරගලකරුවන් යන්නම් කියද්දිත් ගෝල්ෆේස් එකෙත් ලෙස දකුණේත්, මේ සියල්ලට වඩා 2009 උතුරේත් ඔවුන් ගේ දැනුම හා මැදිහත්වීම "හොඳටම" ප්‍රදර්ශනය කරලා තිබෙන්නෙ.

20200603 134441ගෝඨාභය ජනාධිපතිවරයාත් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන්  "සුරක්ෂිත සමාජයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්" පත් කළා. අන්තිමට ජනතා නැඟිටීම් හමුවේ ඔහුටවත්, අගමැති ඇතුළු ඔහුගේ කැබිනෙට්ටුවටවත් සුරක්ෂාවක් නැතිවී ගියා. එකී ජනාධිපති කාර්ය සාධක බලකා‍යේ ලේකම් ආරක්ෂක අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්. දිසානායක. අනෙක් සියලු තනතුරු හා සාමාජිකයන් ත්‍රිවිධ හමුදාපති වරුන් ඇතුලු මේජර් ජෙනරාල්, ලුතිනන් ජෙනරාල්, එයාර් මාෂල්, කපිතාන්, එයාර් කොමදෝරුයන හමුදාවේ ඉහළ නිලයන් හා වැඩ බලන පොලිස්පති ඇතුලු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගෙන් සමන්විත13 ක් වුනා.

 

මේ සියල්ලෝම වාගේ 2009 මැයි මුල්ලිවයික්කාල් ලේ විලේ චූදිතයෝ. සමහරුන් 87- 88 සිංහල දේශප්‍රේමී කැරැල්ල ටයරයෙන්, පරාල ඇණයෙන්, සමූහ මිනී වලෙන් හා අතුරුදහන් කිරීමෙන් සුන්නද්දූලි කිරීම ගැන නම් කියවෙන අය. ඒ අය කවුද කියන එක ජවිපෙ එක්ක පරිවාස ආණ්ඩු අටවපු චන්ද්‍රිකා ගෙ පළමු ධූර කාලයේ පත් කරපු ජනාධිපති කොමිසමක් රහසිගත ලියවිල්ලකින් ජනාධිපතිනියට බාර දීලා තියෙනවා. ජාජබ ආණ්ඩු හදන්න විශ්‍රාමික ජෙනරාල්ලට අඬ ගහන්නෙ ඒ ලැයිස්තුව බලලද කියලත් කවුරු හරි ජවිපෙ නායකයන්ගෙන් අහන්න ඉඩ තියෙනවා.

 

අනුර කුමාර ජාජබ නායකයාගේ මහරගම දේශනයෙන් ගම්‍ය වන්නේ ඔවුන් බලයට පැමිණි වහාම ගෝඨාගේ සුරක්ෂිත සමාජයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් මෙන් විනය හැදීම හමුදාවට භාර දෙන්න. 88 - 89 තාවකාලිකව ජවිපෙ " දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය" බලය හොබවපු පළාත්වල විවිධ නීතිරීති දැම්ම. ඒවා කඩකළවුන්ට එයාලගේ කැලෑ උසාවි මගින් දඬුවම් ලැබුණ. මෙදා පොටේ එය වෙනස් කරමින් රාජ්‍ය බලය අරගෙන ‍රාජ්‍ය හමුදා ලවාම විනයක් හදන්න යන්නේ.

 

89 sr lanka

88 - 89 දී හමුදාවට එන්න කිව්වෙ ආයුධ අරගෙනම කැරැල්ලට එකතු වෙන්න. සිද්ධ වුනේ හමුදාව කැරලිකාරයන්, කැරලිකාරියන් ඔවුන්ගේ මහනායකයන් සමගම ම්ලේච්ඡ විදියට සමූලඝාතනය කිරීම. ඉතිහාසයේ වරක් විගඩමක් වූ දෙය ඊළඟ වාරයේදී ශෝකාන්තයක් වනු ඇතැයි බොහෝ කලකට පෙර කාල් මාක්ස් නම් පඬිවරයා පවසා තිබෙනව. ඔහුගේ උඩුකය ඡායාරූප ඇතැම් ජවිපෙ වේදිකා පසුතලයේත් මා දැක තිබෙනව.

හමුදාව සමඟ බොහෝ සම්බන්ධකම් පවතින බව තහවුරු කිරීමට ඔවුන් ගේ දුක් ගැනවිලි තමන් සමඟ පවසන බව දිසානායක ජවිපෙ නායකයා ගෙනහැර දක්වනව. එය තව දුරටත් තහවුරු කිරීමක් තමයි මහරගම සමුළුවෙන් කියාපාන්නෙ. මේ සබඳකම් උතුරේ වර්ග සංහාර යුද්ධයේදී මානෙල් මල් පූජා, බංකර් කැපීම්, ලේ දන්දීම් හරහා ගොඩනඟාගත් ඒවාද, නැතිනම් 88 - 89 තම නායකයා ඇතුළු හැට දහසක් පමණ ටයර් සෑ මත අවසන් ගමන් යැවූ ඉතිහාසය මතින් ගොඬනඟා ගත්තේදැයි දන්නේ අනුර කුමාරයන්ම පමණි.

සාහිත්‍යධර ගුණදාස අමරසේකර ජාතික චින්තකයා වරක් පැවසුවා ශ්‍රීලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග‍ය නියෝජනය කළත් එය හිසක් නැති කවන්ධයක් කියල. ඒ නිසා එයට අනගාරික ධර්මපාල ජාතික චින්තකයාගේ හිස සවි කළොත් අනාගතයක් තිබේවි කියලා. ඒත් ඒක සිද්ධ වුනේ නැහැ.

1979 වගේ ඈත ඉතිහාසයේදී ජවිපෙ නායකත්වයෙන් පක්ෂ පහක සංධානයක් ගොඩනැගුනේ ජවිපෙ මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙස නිර්වචනය කරමින්. එයට විරුද්ධවන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලියා තිබෙනව ‍ජවිපෙ කියන්නේ රතු බණ්ඩාරනායකලාගේ පක්ෂයක් කියල.

අදවන විට ශ්‍රීලනිප මහජන වහරේ කියන ත්‍රීවීල් පක්ෂයක්. පක්ෂ ලාංඡනය අහිමිවීමෙන් ගොඬනැගූ පොහොට්ටුවේත් පෙති ගැලවී දසත විසිරී ගිහින්. එමනිසා දැන් ඒ පිරිස් වෛරයෙන් රොද බඳින්නේ (දඬුවල්බෑය මෙන්) අනුර කුමාර ජවිපෙ නායකයා සහ සජිත් ප්‍රේමදාස සමඟි ජන බලවේගයේ (සජබ) නායකයන් වටකරගෙන. නමුත් සජබ නායකයාට වඩා ලේ නෑකම තියෙන්නේ ජාජබ නායකයා එක්ක. වතුරට වඩා ලේ ඝණයි.

 

දිය රත්වෙනවිට කකුළුවාට අනතුර දැනෙන්නාසේ මෙලෙස ශ්‍රීලනිප යෙන් ගැලවී මාළිමාවේ වේදිකාව වටා රැස්වෙන මහජනයා දැකීමෙන් ජාජබ නායකයන්ටත් අනතුරක ඉව දැනිල තිබෙනව. එනිස තමයි ගුණදාස අමරසේකර පැවසූ පරිදි ශ්‍රීලනිප කවන්ධයට සන්නද්ධ මිලිටරි බලය සහ ප්‍රාග්ධනය හයි කරන්න සැලසුම් කරන්නෙ. ජාජබ නායක අනුර කුමාර දිසානායක මහරගම සමුළුවට පෙර ඇමතුවේ "ව්‍යාපාරික ප්‍රජාව". දෙවනුව තමයි  "විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය" ඇමතුවේ.

 

සියල්ල ඔවුන් සිතනා ලෙස සිදුවුවහොත් රටතුළ ගොඬනැගෙන්නේ ඉතාමත් දරුණු, චීනයේ මෙන් හමුදා මහජන නියෝජන පාලනයක්. එවිට එක්සත් ජාතීන් ගේ හා අනෙකුත් මූල්‍ය ආධාර අහිමි වේවි. මූල්‍ය ආධාර ලබා ගන්න වෙන්නේ විදේශික මිතුරන්ගෙන් සහ චීනයෙන් පමණයි. එදාට නැවතත් මහජන නැඟිටීම් ඇතිවේවි.

අවසාන වශ‍යෙන් මා ආදරය කරන නදීක ගුරුගේ සංගීතවේදියාට ළෙන්ගතුව ලියා තබන්නේ ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් බලයට පැමිණ ඔබ පැතූ ලෝකය ඉදි නොවන්නේ නම් මහරගම "විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහික" යේදී මෙන් ගිටාරයත් අතට ගෙන චිලියේ වික්ටර් හාරා මෙන් වීදි බහිමු. එතෙක් ගිටාරයත් ඇඟිලිත් පරෙස්සම් කර ගන්න.




koththi(ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

koththigoda@gmail.com





JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රීලනිපයට අමරසේකරගේ ‍යෝජනා වෙනුවට අනුර ගෙන් මිලිටරි ඔළුවක් ! - (ඥානසිරි කොත්තිගොඩ) | The Leader