The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාභය ගියේ ඇයි? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 16, 2023 • 4:47 AM

ගෝඨාභය ගියේ ඇයි? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් අස්වෙන්න ගත් තීරණයට බලපෑ ප්‍රබලතම සහ ආසන්නතම හේතුව තමයි ඒ ලිඛිත ඉල්ලීම.
  • ගෝඨාභය හිතන්නේ තමා ධූරයෙන් නික්ම නොගියා නම් ඊළඟට වෙන්නේ මහා ව්‍යසනයක් බවයි.
  • “අරගලය” නමින් හැඳින්වූ “රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය” එන බව බොහෝ දේශපාලන නායකයන් වගේම ගෝඨාභයත් හොඳින් දැන සිටියා.
  • ගෝඨාභය නිතරම කීවේ තරුණ තරුණියන් 60,000 කගේ ජීවිත නැති කළ 87-89 වැනි මහා සමාජ ආර්ථික විනාශයක් ඇති වීමට තමන්ගේ නායකත්වය යටතේ කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් අස්වෙන්න ගත් තීරණයට බලපෑ ප්‍රබලතම සහ ආසන්නතම හේතුව තමයි ඒ ලිඛිත ඉල්ලීම.

රාජපක්ෂලා සංඝ රත්නයට බොහෝම ලෙන්ගතුයි. මහානායක හිමිවරුන්ට අන් කිසිවෙකුටත් වඩා ඔවුන් ගරු කරනවා. ඒ නිසා ලංකාවේ බුද්ධ ශාසනයේ ඉහළම නියෝජිතයන් තමන්ට අස්වෙන්න කීවාම ගෝඨාභය රාජපක්ෂගේ හිත බිඳුනා. ගෝඨාභය ජනාධිපති වෙන්නෙත් ඒ ධූරයෙන් නික්ම යන්නෙත් මේ රටේ බෞද්ධ සිංහල රාජ්‍යය නැවතත් තහවුරු කරමින්. ඒක හරිම සංස්කෘතිකයි.

නමුත් අපේ මහානායක හිමිවරුන් කෙරෙහි ගෝඨාභය රාජපක්ෂට කිසිම අහිතක් නැහැ. ඔහු තවමත් ඔවුන්ට පෙර පරිදිම ගරු සත්කාර කරනවා. එක්තරා ආකාරයකට මෙතන වෙන්නේ පැරණි සිංහල බෞද්ධ රජවරුන් මෙන් ගෝඨාභයත් මහා සංඝ රත්නයේ අනුශාසනාව පිළිපැදීමයි. ගෝඨාභය හිතන්නේ තමා ධූරයෙන් නික්ම නොගියා නම් ඊළඟට වෙන්නේ මහා ව්‍යසනයක් බවයි.


ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)


“අරගලය” නමින් හැඳින්වූ “රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය” එන බව බොහෝ දේශපාලන නායකයන් වගේම ගෝඨාභයත් හොඳින් දැන සිටියා. ඔහුට අවශ්‍ය වුණේ ඒ ව්‍යාපෘතිය අවිහිංසාවාදීව පරාජය කරන්නයි. ඔහු ඒක කළා. ගෝඨාභය නිතරම කීවේ තරුණ තරුණියන් 60,000 කගේ ජීවිත නැති කළ 87-89 වැනි මහා සමාජ ආර්ථික විනාශයක් ඇති වීමට තමන්ගේ නායකත්වය යටතේ කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

ඊනියා අරගලය “පටන් ගත්ත ගමන්ම ගහලා ඉවර කරන්න තිබුණා” කියා සමහරු කියනවා.

නමුත් ඒක එතරම් සරල නැහැ. 1987 ත් මුලින් පොඩියට පටන් ගත්ත JVP කැරලිවලට පොලීසියෙන් හමුදාවෙන් ගහන්න ගිහිල්ලා තමයි ඒක රට පුරා වසර දෙකකට වඩා කාලයක් ඇවිලුණ මහා ජන සංහාරයක් දක්වා වර්ධනය වෙන්නේ. ලෝකයේ කැරලි, විප්ලව සහ යුධ ගැටුම් පිළිබඳව මනාව හදාරා ඇති ගෝඨාභයට, 87-89 කැරැල්ල මුල සිට අග දක්වා අත්විඳ ඇති ගෝඨාභයට, ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 20 ක් සේවය කළ ගෝඨාභයට, ලෝකයේ එවක බිහිසුණුම ත්‍රස්ත හමුදාව පරාජය කිරීමට නායකත්වය දුන් ගෝඨාභයට මේවා ගැන අමුතුවෙන් උගන්වන්න අවශ්‍ය නැහැ.

 

නමුත් ඔහුගේ අවිහිංසාවාදී සැලසුම නිසිලෙස ක්‍රියාත්මක කිරීමට ඔහු යටතේ සිටි ඉහළ රාජ්‍ය සහ හමුදා නිලධාරීන්  අසමත් වුණා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, යුධ හමුදාපති, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධානීන්ගේ හැකියාවේ සීමාවන් ගෝඨාභය ජනපති හොඳින් දැන සිටියා. යුධ පිටියේ සෙබළුන් ලෙස දක්ෂතා පෙන්වූවත් රාජ්‍යයට එරෙහිව දියත් වෙන සූක්ෂම විදේශ කුමන්ත්‍රණයක් උපක්‍රමශීලීව පරාජය කිරීමට තරම් පරිණත නායකත්වයක් ඔවුන්ට තිබුණේ නැහැ. අනෙක දැන් හමුදාවේ ඉන්න බොහෝ සෙබළුන් යුද්ධයට මුහුණ දුන් අය නොවෙයි. ඒ කොහොම වුණත් මේ රටේ තවත් යුද්ධයක් කරන්න ගෝඨාභය කිසිසේත්ම කැමති වුණේ නැහැ.

 

“එහෙනම් රනිල් වික්‍රමසිංහ කොහොමද අරගලය මර්දනය කළේ?” කියා සමහරු අහනවා.

රනිල් වික්‍රමසිංහට මර්දනය කරන්න අරගලයක් තිබුණේ නැහැ. ගෝඨාභය නික්ම යාමත් සමග ඊනියා අරගලය එහෙමම අවසන් වුණා. එයට අනුග්‍රහය දැක්වූ සියලු දෙස් විදෙස් බලවේග අරගලයෙන් ඉවත් වුණා. “අපට දැන් කෑම පැකට් එකක්වත් එන්නේ නැහැ” කියා ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන් මාධ්‍යය ඉදිරියේ මැසිවිලි නැගුවා. සල්ලිවලට ලයිව් ඇවිල්ලා ප්‍රචණ්ඩත්වය වපුරපු අරගල නායකයන් “ටටා බායි” කියලා ගෙදර ගියා.

ඊනියා අරගලයට අවශ්‍ය වුණේ එකම එක දෙයයි. මේ රට ලේ විලක් කර රාජපක්ෂලා සාහසික ලෙස ඝාතනය කර පලි ගැනීමයි. රාජපක්ෂලා කළේ එය වැළැක්වීමයි. ඒ සඳහා ඔවුන්ට ගෙවන්න වුණු වන්දිය තමයි ධූරයෙන් ඉවත් වීම. රාජපක්ෂලා වැනි පරිණත බෞද්ධ සිංහල නායකයන්ට “අත්හැරීම” පහසු දෙයක්. තනතුරු නැවත ලබා ගන්න පුළුවන්. නමුත් රට ජාතිය ආගම නැති වුණොත් නැති වුණාමයි.

 

රනිල් වික්‍රමසිංහට එරෙහිව එහෙම අරගලයක් තිබුණේ නැහැ. අරගලයේ ඉතුරු වුණේ චූටි පෙරටුගාමීන් මෙහෙයවන අන්තරය පමණයි. ඔවුන් හැමදාම එනවා නානවා යනවා. ඒක ගෝඨාභයගේ කාලයේත් වුණා. ගෝඨාභය ඊනියා අරගලය මර්දනය කරන්න ගියා නම් අද වෙනකොට ලංකාවට ඇමරිකන් හමුදාව බැහැලා. එහෙනම් අද මේක තවත් සිරියාවක්. නමුත් ගෝඨාභය එහෙම වෙන එක වැළැක්වුවා.

 

“ගෝඨාභය ගියේ ඇයි” කියන ප්‍රශ්නයට පොතක් පිරෙන්නේ පිළිතුරු ලියන්න පුළුවන්. නමුත් ඉහතින් තියෙන්නේ එහි සාරාංශය. ගෝඨාභය ගියේ ලක් මෑණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. සිංහල ජාතියේ අනාගත පැවැත්ම වෙනුවෙන්. බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. ගෝඨාභය ගියාට මහානායක හිමිවරු ඉන්නවා.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com


 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...