The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අම්බලම ළඟ බත් කඩේ' දී බිඳගත් කුමරි බඹසර - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

February 20, 2023 • 5:09 AM

'අම්බලම ළඟ බත් කඩේ' දී බිඳගත් කුමරි බඹසර - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ද ‘‘පිරිමි නම් නාවා ගෙට ගත හැකි ය’’ යන්න කාන්තාවකට කිසිම දිනක වලංගු නොවන බැවිනි.
  • මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙම නිර්මාණයේ දී මස්ඉඹුල සිය කවිත්වයට ම ආවේණික වූ රූපක, උපමේය, සංකේත, වක්ක්‍රෝක්ති සහ ව්‍යංගාර්ථ යොදාගනිමින් පද රචනය හැඩ කර ඇත.
  • ගීතය ගයන ගායන ශිල්පිනිය වන ඉෂාරා උදයාංගනී ද ගීතයෙන් අර්ථවත් වන ශෝකාන්තය ගම්‍යවන ආකාරයෙන් ගයන්නට සමත් වී ඇත.
  • එම පාර්ශ්වයෙන් ගත් විට මෙම ගීතය වෙනුවෙන් දායක වූ ශිල්පීන් දෙදෙනා සහ ශිල්පිනිය එක මානයක ගමන් කර, අනෙකාගේ අදහස පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කර ඇති බව පළමුවෙන් ම අවධාරණය කළ යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):



අම්මලා නිදිගත් වෙලේ සඳේ දියවී සීතලේ
ඇයි ද දන්නෑ ඒ වෙලේ මං අම්බලම විපරම් කළේ
අම්බලම විපරම් කළේ
සීත ගඟුලේ උණුහුමේ සීන කැලතී දියවුණේ
කෝඩුකම දුටු විගසිනේ තුන් සරණ අමතක වුණේ
තුන් සරණ අමතක වුණේ

ඉර දෙවියො පෑවත් සෙනේ අමුතු අඳුරකි දිස් වුණේ
හුස්ම පිඹ ලිප අස්සෙ කරවී පත්තු කරගත් ජීවිතේ
නිවී ගොස් තිබුණා උදේ නුඹ දකිද්දි ඇතැයි සිතූ
උඩමළුව කෝ හදවතේ

හෙටින් සිරිපා අවාරේ අපිත් ඉන්නෑ හෙට මෙහේ
ලිහිණි අක්කේ එයා ආවොත් මා සොයාගෙන යළි හිමේ
මං ගියා කියපන් ගමේ///

පද රචනය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සංගීතය - විශාරද දර්ශන වික්‍රමතුංග
ගායනය - ඉෂාරා උදයාංගනී


‘‘පිරිමිනිදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවුරු ද වරදෙ නොබැ‍ඳෙන...’’

ආදරයට පෙර සිත රවටන ආශාව පෙරදැරි කරගත් කල කාන්තාවකට අත්වන හෝ කාන්තාව අත් කරගන්නා ඉරණම නම්, ඛේද ජනක ය. මන්ද ‘‘පිරිමි නම් නාවා ගෙට ගත හැකි ය’’ යන්න කාන්තාවකට කිසිම දිනක වලංගු නොවන බැවිනි.

0037079සම්මාන ලාභී කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ පද රචනයෙන් (මෙම පද රචනය ඔහුගේ ‘ඇහි පියන් ඇහැරිලා’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත කවියකි.), විශාරද දර්ශන වික්‍රමතුංගගේ සංගීතයෙන් සහ ඉෂාරා උදයාංගනී ගායන ශිල්පිනියගේ හඬ මුසුවෙන් සුසැදි යට සඳහන් ගීතය තුළින් කියැවෙන්නේ ද ඕනෑම කාන්තාවක් පිරිමියකු දුටු විට හෝ ඕනෑම පිරිමියකු කාන්තාවක දුටු විට පළමුව සිතට නැගෙන ආශාව (මෙය ‘‘ආදරය’’ යැයි දෙපාර්ශ්වය ම පවසති) කඩිනමින් සංතෘප්ත කරගැනීම හේතුවෙන් කාන්තාවක (තරුණියක)ගේ ජීවිතය ඛේදයක් වන ආකාරය යි.

 

mhidna pasad

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

 

මෙම නිර්මාණයේ දී මස්ඉඹුල සිය කවිත්වයට ම ආවේණික වූ රූපක, උපමේය, සංකේත, වක්ක්‍රෝක්ති සහ ව්‍යංගාර්ථ යොදාගනිමින් පද රචනය හැඩ කර ඇත. දර්ශන ද, මස් ඉඹුල ඉදිරිපත් කරන: තරුණියක තරුණයකු වෙත වන වසඟය, ඔවුනොවුන්ගේ සිත තුළ මෝදු වන ආශා, ඔවුනොවුන් කාම සම්භෝගයේ යෙදීමෙන් ඉක්බිති විඳින සුවය, අවසන ඒ සියල්ල ම එක් නිමේෂයක විඳි සතුටක් සහ එය හේතුවෙන් තරුණියගේ ජීවිතයට අත්වන ඛේද ජනක ඉරණම යනාදි සියල්ල උද්දීපනය වන ආකාරයට සිය සංගීත හැකියාව උපස්තම්භක කරගෙන ඇත. ගීතය ගයන ගායන ශිල්පිනිය වන ඉෂාරා උදයාංගනී ද ගීතයෙන් අර්ථවත් වන ශෝකාන්තය ගම්‍යවන ආකාරයෙන් ගයන්නට සමත් වී ඇත.

 

වර්තමානයේ අපිට ඇසෙන බොහෝ ගීත මේ ආකාරයට ගීතයට සම්බන්ධ සියලු ශිල්පින්ගේ අනන්‍යතා එකම හුයකට ඇමිණූ අවස්ථා විරල ය. එම පාර්ශ්වයෙන් ගත් විට මෙම ගීතය වෙනුවෙන් දායක වූ ශිල්පීන් දෙදෙනා සහ ශිල්පිනිය එක මානයක ගමන් කර, අනෙකාගේ අදහස පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කර ඇති බව පළමුවෙන් ම අවධාරණය කළ යුතු ය. ගීතයක් පරිපූර්ණ විමට නම් ඉහත සබඳතාව ඉතා වැදගත් වන්නේ ය.

 

සංගීත විෂයය පිළිබඳ මම නොදැනුවත් වුව ද ගීතයේ පද රචනයේ අන්තර්ගත ලක්ෂණ පිළිබඳ කෙටි විමසුමකට පිවිසෙන්නට අවසර...,

මෙය   ඉදිරිපත් කරන්නිය හෙවත් කථකාව සිරිපා සමයේ දී සමනොළ කන්ද පාමුල තේ පැන්හලක සේවය කරන්නියක බව (ඇය මුළුතැන්ගෙයි සේවිකාවක බව වඩාත් විද්‍යමාන වන්නේ ය) රසිකයාට හැඟෙන්නේ ‘‘දැවී කරවිය ලිප් වටේ’’ යන යෙදුමෙනි.  සිරිපා වාරය අවසාන කාලයේ දී පැමිණි වන්දනා නඩයක් මෙම තේ පැන්හලට පැමිණි බවත් එම නඩයේ සිටි යොවුන් තරුණයකු පිළිබඳවත්, එම තරුණයා හේතුවෙන් ම නඩය ආලෝකමත් වී ඇති බවත් කතකාව පවසන්නී ය. ඒ,

‘‘වාර අන්තිම දවස්වල ඒ ආපු පොඩි සමනල නඩේ
නුඹ නිසයි එතරම් හැඩේ’’

යන යෙදුමෙනි.

කථකාව එදින රැයේ මේ තරුණයා ප්‍රමුඛ නඩය ලැගුම් ගත් නවාතැන්පොළ වෙත ගිය බවත් එහි දී ඇගේ සිත්ගත් තරුණයා සමග ලිංගික සම්භෝගයේ යෙදුණ බවත් ගම්‍ය කරන්නට පදරචකයා සංකල්ප රූප, ව්‍යංගාර්ථ සහ වක්ක්‍රෝක්ති යොදාගත් ආකාරය ඔහුගේ සුපුරුදු කවිත්වය විද්‍යමාන කරයි.
සද එළියේ ම තරුණිය තරුණයා සොයා ගිය ආකරය ‘‘සඳේ දියවී සීතලේ’’ යන යෙදුමෙන් ගම්‍ය වන අතර තරුණියගේ හැඟීම් තමන්ට ම දරාගැනීමට නොහැකි වීම ‘‘ඇයි ද දන්නෑ ඒ වෙලේ මං අම්බලම විපරම් කළේ’’ යන යෙදුමෙන් ගම්‍යමාන කෙරේ. හැඟීම්වලට වහල්වීම මෙහි යටි අරුත ය.

ඒ සීතල රාත්‍රියේ තරුණයාගේ උණුසුමෙන් නිවී සැනහුණු මේ කථකාව, තරුණයා ද මීට පෙර තරුණියක සමග සම්භෝගයේ යෙදී නොමැති බවත් එයම ඇය මෙසේ වසඟ වූ බව සහ තමන් දැන දැනම පාපකාරි ක්‍රියාවක නිරත වූ බව...

‘‘සීත ගඟුලේ උණුහුමේ සීන කැලතී දියවුණේ
කෝඩුකම දුටු විගසිනේ තුන් සරණ අමතක වුණේ’’

...යන රූපක සහ ව්‍යංගාර්ථ තුළින් ගම්‍ය කෙරේ.

එදින රැයේ තරුණයාගේ පහසෙන් මත්ව සිය තාරුණ්‍යය ද අහිමි කරගත් කථකාවට තමන් පෙර දින මුහුණ පෑ ඛේදවාචකය පිළිබඳ සිහිපත් වන්නේ යළි පසුදින උදැසන අවදිවීමෙන් අනතුරුව ය. එදින ද වෙනදා මෙන් හිරු පෑව්ව ද තමන්ගේ සමස්ත ජීවිතය ම අඳුරකින් වෙළී පවතින බව පසක්කරගන්නා විට ඇය බොහෝ ප්‍රමාද වී අවසාන ය. එය විද්‍යමාන කරන්නට පද රචකයා යොදාගන්නා ව්‍යංගාර්ථ සහ රුපක පෙළ ද අති රමණිය ය.

‘‘ඉර දෙවියො පෑවත් සෙනේ අමුතු අඳුරකි දිස් වුණේ
හුස්ම පිඹ ලිප අස්සෙ කරවී පත්තු කරගත් ජීවිතේ
නිවී ගොස් තිබුණා උදේ’’


මෙහි දී තරුණිය ඇගේ තාරුණ්‍යය හෙවත් කන්‍යා භාවය අහෝසි කරගත් බව පිළිබිඹු කරන්නට කවියා වඩාත් ප්‍රබල රුපකයක් උපස්තම්භක කරගනියි. ඒ,

‘‘හුස්ම පිඹ ලිප අස්සෙ කරවී පත්තු කරගත් ජීවිතේ
නිවී ගොස් තිබුණා උදේ’’


යන්න ය. ඇය සිය ජීවිතය ගොඩනාගන්නී එම තේ පැන්හලේ මුළුතැන්ගෙයි සේවය කිරීමෙනි. ඇගේ ජීවිතය ආලෝකමත් වූයේ ද එම රැකියාවෙනි. එහෙත් ක්ෂණික සන්තෘප්තියක් වෙනුවෙන් ඇගේ සමස්ත අනාගතය ම අඳුරු කරගැනීම පිළිබඳ වන පශ්චාත්තාපය ද මෙම කාව්‍යෝක්තියෙන් පිළිබිඹු කෙරේ.


මෙහි දී තරුණිය ඇගේ තාරුණ්‍යය හෙවත් කන්‍යා භාවය අහෝසි කරගත් බව පිළිබිඹු කරන්නට  පෙර දින ඇය ඉමහත් ස්නේහයෙන් ඔහු වෙත තම තාරුණ්‍යය පුද කළ ද, ඔහු වෙත ගෞරව සම්ප්‍රයුක්ත වුව ද ඔහු ඒ කිසිවක් ම නොතකා හැරි බව කථකාව පවසන්නී ය. එය පදරචකයා මෙසේ සටහන් කරයි.

‘‘නුඹ දකිද්දි ඇතැයි සිතූ
උඩමළුව කෝ හදවතේ’’

උඩමළුව යන සංකේතයෙන් මේ තරුණිය පෙරදා හමු වු තරුණයා කෙරෙහි කෙතරම් සැදී පැහැදෙන්නට ඇති ද සහ කෙතරම් ගෞරව කරන්නට ඇති ද යන්න විද්‍යමාන කරයි.

අවසන තරුණියට සිදුවන්නේ සිය තාරුණ්‍යය ද අහිමි කරගනිමින් සිය ගම් පෙදෙසට පියමනින්න ය. මන්ද ඒ වන විට සිරිපා සමය අවසන් ය. ඇය පෙර දිනයේ සිය තාරුණ්‍යය පුද කළ තරුණයා මේ වන විට ඇය හැර ගොස් සිටිය ද සිය බලාපොරොත්තු ඉවත් කරගන්නට ඇය නොකැමැත්තී ය. පද රචකයා එය මෙසේ සටහන් කරයි.

‘‘හෙටින් සිරිපා අවාරේ අපිත් ඉන්නෑ හෙට මෙහේ
ලිහිණි අක්කේ එයා ආවොත් මා සොයාගෙන යළි හිමේ
මං ගියා කියපන් ගමේ’’

ඔහු යළි ඇය සොයා එන තෙක් ඇය තවමත් මග බලා හිඳිතැයි මට නම් හැඟේ. ඒ අන් කිසිවක් නිසා නොව පද රචකයා සිය රචනා ශෛලිය එ’තරමට ම මටසිලිටි ලෙස උපස්ථම්භක කරගෙන ඇති බැවිනි.

 

සම්මතයට අනුව නම් තරුණිය වරදෙහි බැඳී ඇත. එහෙත් තරුණයා... ඔහු වරදක බැඳී නැද්ද...? සම්මතයට අනුව නම් කිසිවකු එසේ නොපවසනු ඇත. මන්ද ‘‘කුමාරිච්ඡදය’’ක් පිළිබඳ සඳහන් වුව ද ‘‘කුමාරච්ඡදය’’ක් පිළිබඳ සඳහන් නොවන බැවිනි. එහෙත් ‘‘කුමරි බඹසර’’ නේ ම ‘‘කුමර බඹසර’’ යනුවෙන් යමක් පවතී. එය ද සමාජය විසින් මායිම් නොකරනු ලබයි. සාම්ප්‍රදායික ක්‍රමවේදය එසේ වුව ද විද්‍යාත්මකව නම් එබන්දක් පවතී; නමුදු බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැතුවා සේ ම එවැන්නක් පවති ද, එසේ නම් එය පරික්ෂා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ උනන්දුවක් ද නොපවතී. අවසන සම්ප්‍රදාය ද, විද්‍යාව ද පහර එල්ල කරන්නේ කාන්තා පාර්ශ්වයට පමණි. එය කෙතරම් දුරට සාධාරණ ද යන පැනය මම පාඨක ප්‍රජාව වෙත තබමි.







jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/02/20



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...