The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

භාවිත කළ ඇඳුම් නැවත භාවිතය හා ඇඳුම් හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවට අමුතු දෙයක් ද?

T

The Leader Desk

February 22, 2023 • 7:44 AM

භාවිත කළ ඇඳුම් නැවත භාවිතය හා ඇඳුම් හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවට අමුතු දෙයක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇයගේ දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ මතධාරීන් එම ප්‍රකාශය උපහාසයට ලක් කරමින් අදහස් පළ කර ඇති අතර තවත් කෙනෙක් ඇයගේ අදහසට සහයෝගය පළ කරමින් ද අදහස් දක්වා ඇත.
  • ඇය එහි සඳහන් කර ඇත්තේ, "ලංකාවේ පරණ (second hand) ඇඳුම් ගැන විවිධ පුද්ගලයන්, විව්ධ මත දරනවා.ලංකාවේ ආර්ථිකය නිසා ම ගොඩ දෙනෙක් ඇඳුම් නිතර හුවමාරු කරනවා.
  • මේ අතර, ව්‍රායිගේ සමීප හිතවතියක පැවසුවේ, ඇයගේ විවාහය සඳහා අඳින ලද සාරිය ද ඇය සිය මිතුරියකට පරිත්‍යාග කළ බවය.
  • "ඇඳුම් යළි භාවිතය හෝ හුවමාරුව අලුත් දෙයක් නොවේ" එක ම පවුලේ සහෝදර සහෝදරයින් අතර ඇඳුම් හුවමාරු කර භාවිත කිරීම ශ්‍රී ලාංකික සමාජයේ අතීතයේ සිට පැවත එන සාමාන්‍ය සිද්ධියක් බව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ, ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර් මීට වසරකට පමණ පෙර යූටියුබ් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.‍‍

"මගේ දරුවන්ට මම අවුරුදු කිහිපයකින් ඇඳුම් මිල දී ගෙන නොමැති," බවට ඇය කර ඇති ප්‍රකාශය උපුටා දක්වමින් විවිධ පාර්ශව ඒ පිළිබඳව විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.

ඇයගේ දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ මතධාරීන් එම ප්‍රකාශය උපහාසයට ලක් කරමින් අදහස් පළ කර ඇති අතර තවත් කෙනෙක් ඇයගේ අදහසට සහයෝගය පළ කරමින් ද අදහස් දක්වා ඇත.

 

a bbc 1

 

මේ අතර, මේ සම්බන්ධයෙන් ව්‍රායි කැලී බල්තසාර් ද සිය ෆේස්බුක් ගිණුමෙහි අදහස් පළ කර තිබිණි.

ඇය එහි සඳහන් කර ඇත්තේ, "ලංකාවේ පරණ (second hand) ඇඳුම් ගැන විවිධ පුද්ගලයන්, විව්ධ මත දරනවා.ලංකාවේ ආර්ථිකය නිසා ම ගොඩ දෙනෙක් ඇඳුම් නිතර හුවමාරු කරනවා. ඒවා අතිශයින් සාමාන්‍ය දේවල්. විශේෂයෙන් ම දරුවන්ගේ ඇඳුම්. මේක magic එකක් නෙවෙයි," යනුවෙනි.

 

b bbc 2

 
මේ අතර, ව්‍රායිගේ සමීප හිතවතියක පැවසුවේ, ඇයගේ විවාහය සඳහා අඳින ලද සාරිය ද ඇය සිය මිතුරියකට පරිත්‍යාග කළ බවය.
 
 

"ඇඳුම් යළි භාවිතය හෝ හුවමාරුව අලුත් දෙයක් නොවේ"

 

එක ම පවුලේ සහෝදර සහෝදරයින් අතර ඇඳුම් හුවමාරු කර භාවිත කිරීම ශ්‍රී ලාංකික සමාජයේ අතීතයේ සිට පැවත එන සාමාන්‍ය සිද්ධියක් බව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

"ලංකාවේ හැමෝම, හැම ගෙදරක ම මේ දේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් හැම ගෙදරක ම කෙනෙක් අඳින ඇඳුම් තවත් කෙනෙක් අඳිනවා. පොත්පත් එහෙම කොහොමත් පාවිච්චි කරනවා. ඒක ලංකාවේ හැම දා ම තිබුණ සංස්කෘතියක්. ඒක අපට අලුත් දෙයක් නෙවෙයි. ඒකට විරුද්ධව අදහස් දක්වන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ."

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එය පාරිසරික හේතු මත නොව ආර්ථික හේතු මත ශ්‍රී ලංකා සමාජයේ නිර්මාණය වූවක් බවය.

"ඒක පාරිසරික කරුණු ගැන සලකලා නෙවෙයි ආර්ථික වශයෙන් පවුල කළමනාකරණය කර ගැනීම සඳහා තමයි ඒක කළේ. පොහොසත් වුණත්, දුප්පත් වුණත් මේ දේ සෑම පවුලක ම සිද්ධ වෙනවා. හැබැයි ඇඳුම් නැවත නැවත ඇඳීමෙන් පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම යම් ප්‍රමාණයකින් අඩු කර ගන්නත් පුළුවන්."

 

ලෝකයේ තත්ත්වය
 
 

භාවිත කරන ලද ඇඳුම් අලෙවි කිරීම, හුවමාරු කර ගැනීම, නොමිලේ බෙදා දීම බොහෝ අවස්ථාවලදී ලෝකයේ සිදුවෙයි.

භාවිත කරන ලද ඇඳුම් ඇතුළු බොහෝ දේ අලෙවි කිරීම සඳහා වෙන් වූ වෙබ් අඩවි රැසක් ද පවතී.

මේ අතර, භාවිත කරන ලද හොඳ තත්ත්වයේ පවතින ඇඳුම් පැළඳුම් විවිධ පුණ්‍යායතන, ආගමික ආයතන හරහා ද අවශ්‍යතා ඇති ජනතාව වෙත නොමිලේ බෙදා දීම ද බොහෝවිට සිදු වෙයි.

 

bbc asw
 
තව ද, ඇඳුම් යළි භාවිත කිරීම සහ එකම ඇඳුම විවිධ විලාසිතාවන්ට වෙනස් කොට නැවත භාවිත කිරීමේ ප්‍රවණතාවක් ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් අතර ද නිර්මාණය වී තිබේ.
 
 
"මේක දේශපාලනික ප්‍රතිරූප හදන්න පාවිච්චි කළ යුතු මාතෘකාවක් නෙවෙයි"
 
 

මේ අතර, නම හෙළි කිරීමට අකැමැත්ත පළ කළ නීතිවේදියෙකු ප්‍රකාශ කළේ, ඇඳුම් හුවමාරු කර ගැනීම සහ යළි භාවිත කිරීම ශ්‍රී ලංකාවට ආගන්තුක කාරණයක් නොවන බවය.

"මේක අපට අලුත් කාරණයක් නෙවෙයි. දේශපාලනික වශයෙන් ප්‍රතිරූප ගොඩ නගන්න හෝ ප්‍රතිරූප විනාශ කරන්න මේ කාරණය පාවිච්චි කිරීම විහිළුවක්. අපි හැමෝම ඇඳුම් හුවමාරු කරගෙන අඳිනවා. ඒක කරන්නේ ආර්ථික කාරණාවක් හෝ අදාළ ඇඳුම අඳින්න තියෙන කැමැත්ත වැනි කාරණාවක්. ඒකට පාරිසරික කාරණා වැනි ප්‍රතිරූප ගොඩ නගන අර්ථකථන දීමත් විහිළුවක්," ඔහු පැවසීය.

 

ඇඳුම් හුවමාරු කර ගැනීමේදී සැලකිය යුතු කරුණු

 

කෙසේ වෙතත්, ඇඳුම් හුවමාරු කර ගැනීමේදී සැලකිය යුතු විශේෂ සෞඛ්‍යමය කරුණු කිහිපයක් වන බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.

ඉන් ප්‍රධාන කරුණක් වන්නේ, අයෙකු භාවිත කළ ඇතුළත අඳින ඇඳුම් වෙනත් අයෙකු භාවිත නොකළ යුතුය යන්නය.

ඇතුළත අඳින ඇඳුම් ලෙස සැලකෙන්නේ, බැනියම්, ටීෂර්ට් සහ යට ඇඳුම් ආදී සමට ඍජුව ස්පර්ශ වන ඇඳුම් ය.

ඒවා සමට ඍජුව ස්පර්ශ වන හෙයින් දහදිය සමග මිශ්‍ර වී විවිධ බැක්ටීරියා වර්ග හට ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු කර ඇත.

මේ අතර, සෙසු ඇඳුම් වර්ග ද හුවමාරු කරගෙන ඇඳීමට පෙර විෂබීජ නාශක යොදා පිරිසුදු කර බැක්ටීරියාහරණයට ලක් කළ යුතු බව ලෝක සෞඛ්‍ය නිර්දේශවල සඳහන් වේ.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...