The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : ගඟසුරු මානවක! මහරගම සුපිපි මල් කොයිබටදෝ? - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

February 24, 2023 • 12:41 PM

බල්සාක් කැෆේ : ගඟසුරු මානවක! මහරගම සුපිපි මල් කොයිබටදෝ? - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප මේ ලියන්නේ ඔහු ගැන නොවේ.
  • මහරගම යොවුන් රඟහල පරිශ්‍රයේ වූ ජාතික ජන බලවේග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මංගල සැසියේ පූරකයා වූ අප මිත්‍ර චමින්ද ජයසූරිය, නදීක කවර ගීතයක් ගයනවාද යන්න තීන්දු කරන්නේ එසැණ යැයි ප්‍රකාශ කළ ද අපට අනුව නම් නදීකගේ තෝරා ගැනීම සැළසුම්සහගත අහම්බයකි.
  • ප්‍රශ්නය නදීකගේ කිවිසුරුභාවය, හඬසුරුභාවය හෝ සමස්ථයක් ලෙස ගත් කළ ඔහුගේ වාග්ගේයකාරත්වය නොවේ.
  • මහින්ද සෙනරත් ගමගේ විසින් සිංහලට නැඟුණු කෘතියෙහි එම පැරණි කොසාක් ජන ගීය මෙළෙස රහට මාත්‍රාවට ලියැවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

FpZHtM4agAA8vTN


හයිටියේ ඔහුගේ භූමිකාව විශ්වසනීය ලෙස විමර්ශනය කොට එම භූමිකාව නිශ්චය කෙරෙනතාක් කල් ඔහු කිසිඳු තානාන්තරයක් දැරීමට සුදුස්සකු නොවන බව ‘යුක්තිය හ සත්‍යය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය’ සිදුකර ඇති විවෘත නිවේදනය එසේ ම තිබියදීත් ඔහු අනාගත ආණ්ඩුවක ආරක්ෂක ඇමති බවට ජාතික ජන බලවේගය විසින් අභ්‍යන්තරිකව නම් කරනු ලැබ ඇති බව සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු ලියා තිබිණ.

 

.


අප මේ ලියන්නේ ඔහු ගැන නොවේ. ඔහු අසුන් අරා සිටි වේදිකාවට ‘සුපිපි මල්’ රැගෙන ගොඩවූ අප මිත්‍ර නදීක ගුරුගේ ගැන ය. අප අතිශය සහෝදරත්වයෙන් ‘ගඟසුරු මානවක’ යැයි අමතන නදීකයන්ගේ ‘සුපිපි මල්’ ගැන ය.

මහරගම යොවුන් රඟහල පරිශ්‍රයේ වූ ජාතික ජන බලවේග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මංගල සැසියේ පූරකයා වූ අප මිත්‍ර චමින්ද ජයසූරිය, නදීක කවර ගීතයක් ගයනවාද යන්න තීන්දු කරන්නේ එසැණ යැයි ප්‍රකාශ කළ ද අපට අනුව නම් නදීකගේ තෝරා ගැනීම සැළසුම්සහගත අහම්බයකි. ඔහු ගැයුවේ ග්‍රැමී සංගීත සම්මාන ගණනාවකින් මෙන්ම ග්‍රැමී දිවි මස්තකප්‍රාප්ත ඇගයීම ආදී බොහෝ ගෞරවාරදයට පාත්‍ර විසි වැනි සියවසේ සමාජ සංස්කෘතික අයිකොනයක් බඳු පීට් සීගර්ගේ ‘’වෙයා හෑව් ඕල් ද ෆ්ලවර්ස් ගෝන්’ නම් ‘කිංග්ස්ටන් තුන්කට්ටුව’ගෙන් ඇරඹී, අඛන්ඩව අප්‍රමාණ ගයුවන් ගැයුවියන් ගේ අර්ථකතනයන්ට හසු වූ අතිශය හෘදයාංගම ගීතයේ ඔහුගේම සිංහලානුවර්තනය වූ ‘සුපිපි මල්' ලෙසින් ඇරඹෙන ගීතයයි. එහි පළමු ස්ටන්සාව මෙබඳු ය.


"සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ
සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ
කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ...."

 



නදීකගේ කාව්‍යානුවර්තනය රහවත් ය. ඔරිජිනලයේ සොල්දාදුවන් හෝ නිලැඳුම්දාරීන් ගඟසුරු මානකවක නම් අප ඉලන්දාරි මිත්‍රයා විසින් සිය අනුවර්තනයේදී අවිදැරූ තරුණයන් බවට පත් කෙරෙයි. යුද්ධය විසින් ඔවුන්ගේ ජීවිත බිලිගන්නා ලද බැවින් ඔරිජිනලයේ මිටියාවත ඍජුවම සොහොන් බිමක් බවට පත් කෙරුණද, නදීක එසේ නොකොට ඔවුන් විසින් මිටියාවත පස සරු කෙරුණු බව කියයි. පීට් සීගර් ඔරිජිනලය සහ ජෝ හිකර්සන්ගේ ඌණ පූරණය දන්නාවුන්ට මිස නදීකගේ ‘සරුපස’ ටක්කෙටම රහට අහුවන්නේ නැත.

 

එකරුණු එසේ වුව යුද්ධය විසින් අසීමිතව බිලිගන්නා ජීවිත පිළිබඳව හා යුද්ධය විසින් ගොඩනැඟෙන  සමාජ ඛේදවාචකය ප්‍රතිනිර්මාණය කළ ගීතයක සිංහලානුවර්තනය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. ප්‍රශ්නය නදීකගේ කිවිසුරුභාවය, හඬසුරුභාවය හෝ සමස්ථයක් ලෙස ගත් කළ ඔහුගේ වාග්ගේයකාරත්වය නොවේ. ඔහු විශ්‍රාමික හමුදක්කාරයන් අබියසට ‘සුපිපි මල්’ රැගෙන එන දේශපාලනය කුමක්ද යන්නයි.

 

සුප්‍රකට ‘සෝන්ග්රයිටර්ස් ඔන් සෝන්ග්රයිටිං’ කෘති සම්පාදනය කළ ‘සෝන්ග් ටෝක්’ සඟරාවේ සංස්කාරක පෝල් සොල්ලෝ සමඟ 1988 දී එම සඟරාවට සිදුකළ සාකච්ඡාවේදී සීගර් කියන්නේ මිහායෙල් ෂොලොහොව්ගේ ‘දොන් නදිය නිසලව ගලා බසියි’ කෘතිය කියවමින් සිටියදී මෙම ගීතයට ආ ආවේශය තමන් තුළ නිධන් ගතව තිබී ඉන් වසර කිහිපයකට පසුව යළි මතුවූ බවයි. ඔහු පවසන ‘දොන් නදියේ’ එන ගීතය, උත්ප්‍රාසය ගිගුම් නැඟෙන ‘කලෝඩා ඩූඩා’ නම් සම්ප්‍රදායික කොසැක් ජන ගීයයි.

මහින්ද සෙනරත් ගමගේ විසින් සිංහලට නැඟුණු කෘතියෙහි එම පැරණි කොසාක් ජන ගීය මෙළෙස රහට මාත්‍රාවට ලියැවී ඇත.

"නඟුලින් නොව අසු කුරයෙන්
හී විටි ගැන්වුණු පොළොවේ
බිජුවට වපුරා ඇත්තේ
කොසාක් හිස්ගෙඩිවලිනුයි...
නිසල දොන් පෙදෙස පිරුණේ
කනවැන්දුම් කෙල්ලන්ගෙනි...
පිය බිම මත මල් පිපුණේ
අනාථ වූ දරුවන්ගෙනි....
නිසල දොන් නදිය පිරුණේ
මව්පියවරුනගෙ කඳුළිනි..."


පීට් සීගර් නිර්මාණය කළ ගීතයේ පදනමේ වන්නේ ඉතිහාස පුනාරාවර්තනයයි. ඛේදවාචකයන්ව අත්දුටු ඉතිහාසය යළි පුනරාවර්ථනය වන්නේ විගඩමක් ලෙසින් ම පමණකැයි කියූ මාක්ස් උපුටනය නොදන්නා වාමාංශිකයකු නැත. අප මිත්‍ර ගඟසුරු මානවක විසින් අනුවර්තිත ‘සුපිපි මල්’ යනු විගඩමක සංගීතමය පරාවර්ථනයනයක් නොවනා බැවින් අප කල්පනා කරමින් සිටින්නේ ඔහු මිලිටරි විශ්‍රාමිකයන් අබියසට එය රැගෙන ආ දේශපාලනය කුමක්ද යන්න යි.

seegerp520x318

පීට් සීගර්

 

පීට් සීගර් යනු ඓන්ද්‍රීය කලාකරුවෙකි; ස්වකීය වාග්ගේයකාරක සංගීත ක්‍රියාවලියේ අන්තර්ගත සමාජ ඥානනය සමඟ අත්‍යන්තයෙන්ම ඒකාබද්ධ වූවෙකි. යූ ට්‍යුබයේ ‘අප්ලෝඩිත’ ජිම් බ්‍රවුන්ගේ එමී සම්මානලත් වාර්තාමය සිනමා රූපාවලිය ’පවර් ඔෆ් සෝන්ග්’ පමණක් වුව නැරඹීමෙන් පීට් සීගර්ගේ කොමියුන්ස්ට්වාදී විභවයක් සහිත යුද විරෝධී බරපතල සමාජ මැදිහත් වීමේ ඓන්ද්‍රියභාවය අවම වශයෙන් අංශුමාත්‍රිකව හෝ අවබෝධ කරගන්නට පිළිවන. සමස්ථ සමාජය පුරා කරක් ගසමින් කම්කරු රැලි, ශිෂ්‍ය සටන් මැද රැඳෙමින් වීදියේ ගයමින්, සරසවි පුරා යුද විරෝධය ළෙලවමින්, ප්‍රසංග තහනමට මෙන්ම රූපවාහීනී වාරණයන්ට ලක්වෙමින් විවිධ අඩත්තේටම් විඳිමින් සමාජ යුක්තිය, ලෝකාවිරෝධය, පාරිසරික සුරක්ෂණය වෙනුවෙන් ඔහු ගැයූ බුද්ධි කලම්බන ගීතය සතු කලාත්මක බලය දේශපාලනිකව කියවා ගැනීමද  ඓතිහාසික කාර්ය භාරයක් වන්නේ වෙයි

 

බැන්ජෝවේ හා ගිතාරුවේ පෙළහර පෑ ජන සංගීතයෙන් මෙන්ම සමාජ පරාවර්තනය විෂයෙහි  අති ඉස්තරම්ම කලාකරුවෙකු වූ පීට් සීගර් මෙහිදී ඉතිහාස පුනරාවර්ථනය ‘එඩිටෝරියලයිස්ඩ්’ කරයි; එනම්, ඔහු කලාත්මක වාර්තාකරණයෙන්  නො නැවතී ඊට සිය මතය කාන්දු කරයි; ප්‍රශ්නයක සෙයියාවෙනි. ඔහු ඒ ප්‍රශ්නය නැඟීම හඳුන්වන්නේ ‘බුද්ධිමය මිනිසාගේ සනාතන මැසිවිල්ල’ ලෙසිනි. මල් පිපීම, මල් නෙලීම, දීග යාම, හමුදාවට බැඳීම, මිය යාම හෙවත් මිටියාවත සරු කිරීම, යළි මිටියාවතේ මල් පිපීම මෙම පුනරාවර්තන චක්‍රයයි. ‘වෙන් විල් දේ එවර් ලර්න්’’ වරනඟන්නේ මෙකී පුනරාවර්තනය චක්‍රය බිඳ දමන්නට සමාජයට ඇති නොහැකියාව යි. පීට් සීගර්ගේ ‘එවර් ලර්න්’ පුනරුච්චාරණය ‘කවදාද උන් උගන්නේ - කවදාද අපි උගන්නේ’ යනුවෙන් සිය අනුවර්තිත ගීතය තුළ පුනුරුච්චාරණය කරමින් නදීක බරපතල ප්‍රශ්නයක් ශේෂ කරයි. එනම්, මහරගම ගොඩනැගුණු  එකී සභාව එය කියවා ගත යුතු ව්‍යුහාත්මක දේශපාලන සන්දර්භයයි.

 

පීට් සීගර් විසින් එය නිර්මාණය කෙරුණු සීතල යුද සමයේ දී එය මුමුණන්නට නොදන්නා කෙනෙක් හොයා ගැනීමට නො හැකි තරම් ඉතා වේගයෙන් ජනගත වූ අතර කල් නොයාම ‘සාම’ සහ ‘යුද විරෝධී ව්‍යාපාරයන්ගේ’ තේමා ගීතය බවට පත් විය. නමුත් ප්‍රශ්නය වන්නේ නදීක ගුරුගේ අප මිත්‍රයා ‘උන් සහ අප’ ලෙස සලකුණු කරමින් අනුවර්තනය කළ මෙකී ගීතය මහරගමට රැගෙන එන දේශපාලනය කුමක්ද යන්න යි.

අපගේ සමකාලීන ජනමාධ්‍ය සටන් සගයකු මෙන්ම නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ ඥානිසිරි කොත්තිගොඩ, විශ්‍රාමික හමුදක්කාරයන් වෙනුවෙන් වූ මාලිමා රැලිය ප්‍රශ්න කරමින් ලියූ දේශපාලන ලියවිල්ල අවසන් කරන්නේ මෙළෙසිනි.

‘’අවසාන වශයෙන් මා ආදරය කරන නදීක ගුරුගේ සංගීතවේදියාට ළෙංගතුව ලියා තබන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පැමිණ ඔබ පැතූ ලෝකය ඉදි නොවන්නේ නම් මහරගම විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සාමුහිකයේදී මෙන් ගිටාරයත් අතට ගෙන චිලියේ වික්ටර් හාරා මෙන් වීදි බහිමු. එතෙක් ගිටාරයත් ඇඟිලිත් පරෙස්සම් කරගන්න’’

කොත්තිගොඩ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ අයිකොනය වන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 2017 මාර්තුවේ ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ සංගීත මණ්ඩපයට ගොඩවූයේ තමන් රසවිඳින්නට කැමති ගීත ගොන්නෙන් ගීත දහයක් රැගෙන ය. ඒවා ගයන්නට ඔවුන් කැටුව පැමිනුණේ අප මිතුරු ගඟසුරු මානවක නම් වූ නදීක ගුරුගේ ය. බාහු නදීක හඳුන්වා දුන්නේ පරම ගැඹුරු විශ්ලේෂණයකිනි. බාහුට අනුව නදීක යනු සිංහලයා විසින් නිර්මාණය කරගත් සිංහලකමේ ප්‍රබලත්වය පෙන්වන තරුණ නිර්මාණකරුවකි. බාහු කීවේ සිංහලකම විශිෂ්ටත්වයට පත් වන්නේ අනෙකුත් ජාතීන් මර්දනයකොට ඔවුන් ලේ කඳුළු ගංගා තුළ හෙළීමෙන් නොව සිංහලත්වය සතු කලාව සාහිත්‍ය සංස්කෘතිය වැනි උත්තමාංග නොකඩවා පෝෂණය කිරීමෙන් බවයි.

 

නදීක සුපිපි මල් කොයිබදෝ යැයි විශ්‍රාමික හමුදක්කාරයන්ගේ ඇසුවේ බාහු කියුවා සේ සිංහලකම විශිෂ්ටත්වයට නංවන්නට විය යුතු ය. ජනඝාතක හමුදාවක විශ්‍රාමික ‘රණවිරුවන්’ හා එවන් යුද්ධයකට දාෂ්ටිවාදය සැකසූ දේශපාලන ව්‍යාපාරයක නියමුවන් අබියස, අප මිතුරු ගඟසුරු මානවක තෙම, ‘සුපිපි මල් මිටියාවත’ ඔස්සේ ගිතාරුමය ලීලාවෙන් ඇවිදයමින් ළෙලවන්නේ, යුද මමංකාරයේ උත්ප්‍රාසය ම දැයි ගැඹුරින් සිතා බැලිය යුතු දේශපාලනික සංසිද්ධියකැයි අප පවසන්නේ ද ඇතැම් විට උත්ප්‍රාසයෙන්ම විය හැකි ය.




Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com



JW

 

 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බල්සාක් කැෆේ : ගඟසුරු මානවක! මහරගම සුපිපි මල් කොයිබටදෝ? - (මංජුල වෙඩිවර්ධන) | The Leader