The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැත්කම් කල් දමා ඇත - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

T

The Leader Desk

February 26, 2023 • 9:14 AM

සැත්කම් කල් දමා ඇත - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දෙදෙනාගේම සොයාගැනීම්වල හරය වූයේ මිනිසා සෞඛ්‍ය සම්පන්න සත්වයකු ලෙස ආරක්ෂා කරලීමය.
  • වෛද්‍ය ශාස්ත්‍රයට වෙදකම, හෙදකම පමණක් නොව ආචාර ධර්ම පද්ධතියක්ද ඇතුළත් විණි.
  • හිපොක්‍රටිස් ප්‍රතිඥාව, නයිටිංගේල් ප්‍රතිඥාව යනාදී වශයෙන් ඇත්තේ එකී ආචාර ධර්ම පිළිපැදීම සඳහා වන නිල නොවන 'ගිවිසුම්' ය.
  • වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් යනු මිහිපිට සිටිනා දෙවිවරුන් බව වැටහෙන්නේ ලෙඩක් දුකක් සැදී රෝහලකට ගිය විටය.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ දෙදෙනාගේම සොයාගැනීම්වල හරය වූයේ මිනිසා සෞඛ්‍ය සම්පන්න සත්වයකු ලෙස ආරක්ෂා කරලීමය. ඒ සඳහා රෝග පීඩාවන්ට ප්‍රතිකාර කරන ආකාරයන්ද කියා දුන්හ.

වෛද්‍ය ශාස්ත්‍රයට වෙදකම, හෙදකම පමණක් නොව ආචාර ධර්ම පද්ධතියක්ද ඇතුළත් විණි. හිපොක්‍රටිස් ප්‍රතිඥාව, නයිටිංගේල් ප්‍රතිඥාව යනාදී වශයෙන් ඇත්තේ එකී ආචාර ධර්ම පිළිපැදීම සඳහා වන නිල නොවන 'ගිවිසුම්' ය.

වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් යනු මිහිපිට සිටිනා දෙවිවරුන් බව වැටහෙන්නේ ලෙඩක් දුකක් සැදී රෝහලකට ගිය විටය. එහෙත්, බෝධිසත්වයන් අතරේ දේවදත්තයන්ද සිටිනා බව මිනිස් ඉතිහාසය පුරාම තැනින් තැන, වරින් වර දැකගත හැකිය.

මෑතකදී මාධ්‍ය තුළින් දක්නට ලැබුණු ඇතැම් පුවත් සිහිගන්වන්නේ ද ඒ තත්ත්වයමය.

වෙදකමේ යෙදෙන ඇතැම් කෙනෙක් මත්පෙති විකුණා හසුවෙයි. තවත් කෙනෙක් රෝගීන්ට නොමිලේ දීමට ලැබී ඇති ඖෂධ සඟවා වැඩි මිලට විකුණයි.

මේ වගේ වැඩ හිපොක්‍රටීස්ලාට නොහොබිනා බව අමුතුවෙන් කිව යුතු නැත. ඉක්මනින් පොහොසත් වීමට අවශ්‍ය නම් 'කුණු කරවල' වික්කාට කම් නැත. ඒ බිස්නස් එක අර ජඩ බිස්නස් තරම් ගඳ නොගසන බැවිනි.

 

15hospital bills'ප්‍රයිවට් හොස්පිට්ල්ස්' නොහොත් පෞද්ගලික ආරෝග්‍යශාලාවලද ඉතා දක්ෂ වෛද්‍යවරු සිටිති. සුව පහසුව, පිරිසුදුකම මෙන්ම ප්‍රතිකාර ද ඉහළ මට්ටමක පවතී. ඒ තරමටම බිල ද ඉහළය. බිල දකින විට 'ලෙඩා මළත් බඩ සුද්දයි' කතාව සිහි වේ. සමහරු ලෙඩේ හොඳ කරගෙන ගෙදර එන විට ජීවිත කාලය පුරා හරි හම්බ කළ සබ්බ සන්තකේම සුද්දය.

 

සුදු පැහැයට වඩා කළු පැහැය අවලස්සන යැයි සිතීම මානසික රෝගී තත්ත්වයක් බව මනෝ වෛද්‍යවරු පවසති. එබඳු මානසික තත්ත්වයක් තිබූ කාන්තාවක් මුහුණ සුදු කර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ඇතුල් වූවාය. සැත්කමකට මුහුණ දුන් ඇය සතියකට පසු නිවෙසට ආවාය. අසල්වැසි කාන්තාවක තම මිතුරියගේ සුවදුක් බලනු පිණිස පැමිණියාය.

"ඔපරේෂන් එක කෙරුවද?"

මිතුරිය දෙස විමසිල්ලෙන් බැලූ අසල්වැසි කත ඇසුවාය.

"ඔව් ඔව්"

"ඒත් ඔයා හිටියටත් වඩා කළු වෙලානෙ."

"ඒක වුණේ බිල් එක දැක්කට පස්සෙ."

මිතුරිය ඉවත බලාගෙන කීවාය.

පෞද්ගලික රෝහල්වල බිල් දකින බොහෝ දෙනාට 'මළා නම් හොඳා' යැයි සිතෙනවා විය හැක. එහෙත් කිසිවකුට ඇඟිල්ල දික් කළ නොහැකිය. තෝරාගැනීම ලෙඩාගේය.

 

pict large

 

ආණ්ඩුවේ රෝහල්වල බිල් නැත. ඒ නිසාම ඒවා දුප්පත්ය. කොතරම් දුප්පත් දැයි කියනවා නම් අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන සැත්කම් කල් දැමීමේ තීරණයක්ද ළඟදි අසන්නට ලැබුණි.

 

හදිසි නොවන සැත්කම් යනු මොනවාදැයි කියන්නට මම නොදනිමි. එහෙත් කාට හදිස්සියක් නැතත් ලෙඩාට නම් හදිස්සිය. එහෙම නම් 'ප්‍රයිවට් යන්නැ'යි සමහරු කියනු ඇත.

'ප්‍රයිවට්' යාමට කාගේවත් අකැමැත්තක් නැත. එහෙත් 'ප්‍රයිවට්' යන වචනය තුළම 'මිල ඉහළය' යන තේරුම ද ඇති හෙයින්, මිනිසුන් බයය.

 

දැන් හැම දෙයම 'ප්‍රයිවට්' වෙමින් පවතී. ආහාර, ඉන්ධන, බේත් හේත්, එළවළු, ප්‍රවාහන ගාස්තු යනාදී සියල්ල වේගයෙන් ප්‍රයිවට් වී ඇත. මෑතකදී 'විදුලි බිල' ද 'අති ප්‍රයිවට්' විය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී වැනි අනම් මනම්වලින් හැඳින්වුවත්, දැන් නම් යන්නේ තනිකරම ප්‍රයිවට් මාවතක ය. ජනතාව පමණක් 'ගවර්න්මන්ට්' ය. ඉදිරියේදී ඔවුන්ට ප්‍රයිවට් දෙයකට ඉතිරි වනු ඇත්තේ තම තමන්ගේ 'ප්‍රයිවට් පාට්ස්' (Private parts) පමණි. ඒවා භාවිතයට ද බදු පැනවුවහොත් පුදුම විය යුතු නැත.

 

වෛද්‍යවරු ගැන කී නිසා ඔවුන් පිළිබඳ උපහාස කතාවක් දෙකක් ද මතකයට නැගේ.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකුගේ පුතා ද වෛද්‍යවරයකු බවට පත් විය. සමාජවාදී අදහස් ඇත්තකු වූ ඔහු, රජයේ රෝහලකට සේවයට ගියේය.

පිය - පුතු දෙදෙන හමු වූ අවස්ථාවක පුතා මෙසේ කීය.

"පෙරේරා නෝනගෙයි, මහත්තයගෙයි කාලයක් තිස්සේ සනීප කරන්න බැරුව තිබුණු ලෙඩ මං එක බෙහෙතෙන් සනීප කෙරුවා."

"ඒක හොඳයි. ඒක පුතාගෙ යුතුකමක්."

"යුතුකමක් වෙන්නෙ කොහොමද?"

"ඒ දෙන්නා අවුරුදු ගාණක් තිස්සෙ මට ගෙවපු සල්ලිවලින් තමයි මං පුතාගෙ මෙඩිකල් කොලේජ් ගාස්තු ගෙව්වෙ."

පියා කීවේය.


සැම්සන්ගේ බිරිඳට තදබල බඩේ කැක්කුමක් ඇති විය. ඔහු නගරයේ සිටින හොඳම වෛද්‍යවරයා ළඟට බිරිඳ කැඳවාගෙන ගියේය. වේදනාවට හේතුව 'ඇපෙන්ඩිසයිටිස්' බව වටහාගත් වෛද්‍යවරයා සැත්කමකින් එය සුව කළේය.

ඊට වසරකට පසු සැම්සන්, වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් දුන්නේය.

"ඩොක්ටර්, මගෙ වයිෆ්ට බඩේ අමාරුවක්. මම හිතන්නෙ ඇපෙන්ඩිසයිටිස්.. ඉක්මනට ඔපරේට් කරමුද?"

වෛද්‍යවරයාට තද විය.

"ගිය අවුරුද්දෙත් ඔපරේට් කෙරුව නේද? ඕක වෙන අසනීපයක් වෙන්ඩැති.. ගේනවකො බලන්ඩ."

"නෑ ඩොක්ටර්, ගිය සැරේ වගේමයි කැක්කුම. ෂුවර් එකටම ඇපෙන්ඩික්ස් තමයි."

"අයියෙ, තමුසෙද දොස්තර, මමද? මනුස්සයකුගේ ශරීරයෙ ඇපෙන්ඩික්ස් කොටස් දෙකක් නෑ. එකයි තියෙන්නෙ."

"ඒ වුණාට ඩොක්ටර්, එක මනුස්සයෙක්ට ගෑනු දෙන්නෙක් ඉන්න බැරි නෑනෙ."


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...