The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

February 27, 2023 • 9:30 AM

රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා.
  • එය එසේ නම්, වඩා පහසු වන්නේ ජනතාව විසුරුවා හැර ආණ්ඩුව අලුතෙන් ජනතාවක් පත්කර ගැනීම නෙවෙයිද?” (Brecht on Brecht : An Improvisation - Book by George Tabori, 1967).
  • අවුරුදු 04 ට පෙර අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග විපක්ෂය හවුල්වී 2018-2019 සිට පළාත් සභා මැතිවරණ අත්හිටවූ රටේ, ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන මේ නායකයින් තවමත් කිසිවක් නොකියන රටේ, පළාත් පාලන මැතිවරණය කල් යෑමට එරෙහිව කොළඹට මහා ගාලගෝට්ටි කැඳවනු ලැබේ.
  • මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයින් 80,720 ක් ඇතත් මාර්තු 09 ට දින නියම කර දැන් කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින ඒ අපේක්ෂකයින්ගේ හවුලක් කොතැනකවත් දකින්නට අසන්නටද නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා. එය එසේ නම්, වඩා පහසු වන්නේ ජනතාව විසුරුවා හැර ආණ්ඩුව අලුතෙන් ජනතාවක් පත්කර ගැනීම නෙවෙයිද?” (Brecht on Brecht : An Improvisation - Book by George Tabori, 1967).

අද අප ඉන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඒ ප්‍රශ්න කිරීමත් විහිළුවක් නොවන, විකාර රූපි දේශපාලන සමාජයක ය. අවුරුදු 04 ට පෙර අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග විපක්ෂය හවුල්වී 2018-2019 සිට පළාත් සභා මැතිවරණ අත්හිටවූ රටේ, ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන මේ නායකයින් තවමත් කිසිවක් නොකියන රටේ, පළාත් පාලන මැතිවරණය කල් යෑමට එරෙහිව කොළඹට මහා ගාලගෝට්ටි කැඳවනු ලැබේ. ඒවා ඡන්දදායකයින්ගේ ගාලගෝට්ටි නොවේ. මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයින් 80,720 ක් ඇතත් මාර්තු 09 ට දින නියම කර දැන් කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින ඒ අපේක්ෂකයින්ගේ හවුලක් කොතැනකවත් දකින්නට අසන්නටද නැත.

 

 

ඡන්දදායකයින් වශයෙන්ද හවුල් නොවන, තීන්දු කෙරුණු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේද නොවන මේ ගාලගෝට්ටි, විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක තුනක නායකයින්ගේ න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ විරෝධය දඩමීමා කර ගනිමින් කොළඹට පාක්ෂික හිතවතුන් කැඳවා ගන්නා විරෝධතා පමණි. මේවා සමාජයේ වර්ධනය වන පොදු ආණ්ඩු විරෝධයේ ප්‍රකාශන ය. ඔවුන් ඒ ආණ්ඩු විරෝධය යොදා ගැනීමට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට ජනවරමක් නැතැයි පළාත් පාලන මැතිවරණයෙන් ඔප්පු කිරීමට ය. මහ මැතිවරණයකින් පත් කෙරෙන පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටු වන්නට ලබා දෙන ජනවරම, ආණ්ඩු මාරු සඳහා කිසිදු සම්බන්ධයක් නැති පළාත් පාලන මැතිවරණයකින් අහෝසි නොවන බව මේ දේශපාලන නායකයින් දැන සිටිය යුතුය. ඒ සරළ කාරණාව හෝ නොදන්නා සේ පළාත් සභා මැතිවරණ අහෝසි කර, පළාත් සභා ඡන්දෙන් ආණ්ඩු පිහිටුවන ජන වරම් ගැන කතා කරන ඔවුන්ට ආණ්ඩු බාරදීම අතිශය භයානක යැයි මම කියමි.

 

පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා දෙන ජන වරම එසේ තිබියදී ආණ්ඩු විරෝධයක් ගොනු වන්නේ දෛනික ජීවිතයේ බහුතර ජනතාවට බලපාන්නාවූ සාධාරණ හේතු ගණනාවක් සමග ය. එහෙත් ඒ කිසිවක් මැතිවරණයක් ඉල්ලා මොර දෙන ප්‍රජාතන්ත්‍රවාදය හා සෘජු සම්බන්ධයක් නැත. ඒ සියල්ල සෘජුව සම්බන්ධ වන්නේ ජීවත්වීමේ ආර්ථික අසීරුකම් සමග ය. සමහර අමන දේශපාලනඥයින් “ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?” කියා අසන්නේ ඒ කාරණා අතර ඇති එක වර නොපෙනෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට නොහැකි බැවින්ය.

 

jhggf

ජීවත්වීමේ අසීරුව බරපතල වූයේ දසක ගණනාවක් පුරා අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ක්‍රමානුකූලව ගොඩ ගැසුණු විදේශ ණය කන්දරාව පසුගිය වසර ආරම්භ වන ආසන්නයේදී නාය යෑමට වූයෙනි. දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තරමට භාණ්ඩ හිඟවීමත් භාණ්ඩ මිල ඉහළ යාමත් සමගය. විදේශ ණය සමග කඩා වැටුණු ආර්ථිකයෙහි ජනතාව ගිලෙන විටය. අවුරුදු 40 ක් පුරා රට දියුණු කළේ යැයි සිතා සිටි විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කිලෝමීටර ගණන් දිග ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලීම්වල දින ගණන් හාමතේ ඉන්නට සිදුවූයෙන් කැකෑරුණු ආණ්ඩු විරෝධයෙහිය.

එවැනි ආණ්ඩු විරෝධයක් හමුවේ දේශපාලන පක්ෂ වලට පමණක් නොව, ඕනෑම පුරවැසියෙකුට, පුරවැසි සංවිධානයකට හෝ හවුලකට වහා මහ මැතිවරණයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇත. ඒ ඉල්ලීම කෙතරම් සමාජගත වන්නේද යන්න මත ආණ්ඩුවට මැතිවරණයක් ලබා දෙන්නේද නොදෙන්නේද යන්න තීන්දු කළ හැක. ඒ සඳහා 2001 දෙසැම්බරයේ පැවැත්වූ මහ මැතිවරණය ඉතාම නිරවුල් අත්දැකීම වන්නේය. ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විසින් 2000 ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වූ පසු පෙරමුණක් ලෙස ඇයට ලැබුණු ආසන 107 න් ස්ථාවර ආණ්ඩුවක් හැදීමට නොහැකි වූයෙන් ඇය ජ.වි.පෙ සමග ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 10 දෙනා හවුල්කර ගැනීමට මංගල සමරවීර ඇමති හරහා සාකච්ඡා කළාය.

මේ අතර, උතුරු-නැගෙනහිර යුද්ධයෙන් ඒ-9 පාර මාන්කුලම් සිට අලිමංකඩ පසුකර මුහමලේ දක්වා රජයේ හමුදාවන්ට අහිමි විය. ඒ යුධ අහිමිවීම් සමග දකුණේද ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. ආර්ථික වශයෙන්ද දකුණේ ජනතාවට අසීරුකම් මෝදු වන්නට විය. ඒ පසුබිමෙහි ජීවන මිල පහත හෙළීමත් දෙමළ ජාතික ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමත් ඉදිරිපත් කරමින් මෙතෙක් ඉතිහාසයේ නොවූ එ.ජා.පය ප්‍රධාන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, වමේ එක්සත් පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය සහ සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයද හවුල් වූ ජාතික පෙරමුණකින් වහා මැතිවරණයක් ඉල්ලා 2001 සැප්තැම්බරයේදී “ජන බල මෙහෙයුම” යැයි කොළඹ නගරය සිව් දෙසින් වැටලූහ. කලින් දින කොළඹ නගරයට ඇතුළුවීම තහනම් කළ ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විරෝධයේ ශක්තිය හමුවේ පසුබා පාර්ලිමේන්තුව විසුරු හැර මැතිවරණයක් පැවැත්වීමට එකඟ වූවාය. අවුරුද්දක් යත්ම 2001 දෙසැම්බර නැවත මැතිවරණයක් පැවැත්වූයේ ඒ හේතුවෙනි. ඒ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.

 

එනමුත් අද ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් සඳහා එවැනි මැතිවරණයක් නොවේ. ආර්ථික අර්බුදය සඳහා මේ ආණ්ඩුවට විසඳුම් නැතැයි හා මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවේ යැයි කියන්නේ නම්, ඉල්ලා සිටිය යුත්තේ පළාත් පාලන මැතිවරණය නොව, 2001 දී මෙන් මහ මැතිවරණයකි. එහෙත් ගාලුමුවදොර විරෝධතා විසින් වික්‍රමසිංහ ජනාධිපති කෙරුණු විට, කොළඹ මැදපංතිකයින්ගේ අවුල්වූ ජීවන රටා වැඩි මිලකට හෝ නැවත යථාවත් වෙමින් තිබීම නිසා ඔවුන්ට දැන් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නැත. එනිසා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් කළ විට, සැවොම ඒ සමග ගොනු වූහ. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන ගණන් හැදිල්ලේ ඇති රාජකීය අවුල සමග පළාත් පාලන මැතිවරණය ඈතට තල්ලු කිරීමෙන් ඔහු කොළඹ රාජපක්ෂ විරෝධී මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වලට ඔවුන්ගේ ආණ්ඩු විරෝධය මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොනු කරන්නට වේදිකාවක් ඇටවූයේය.

 

දැන් මේ විපක්ෂ කණ්ඩායම් සටන්පාඨය බවට පත්කර ගෙන ඇත්තේ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හඬ නැගීම නොව, මේ ආණ්ඩුවට ජන වරමක් නැතැයි ඔප්පු කිරීමට පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම සහ ඊළග ආණ්ඩුව වෙනුවෙන් තමන්ටද අයිතියක් ඇතැයි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද බලයක් ගොනුකර පෙන්වීම ය. ඒ වෙනුවෙන් හෝ ඔවුන්ට වික්‍රමසිංහගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික මූලෝපායෙන් වෙන්වන, වෙනස්වන ආර්ථික වැඩපිළිවෙලක් ගැන අදහසක් නැත. එනිසා වික්‍රමසිංහට විසඳුම් නොමැති කිසිවකට ඔවුන්ටද පැහැදිලි විසඳුම් නැත.  

සැවොම තමන්ගේ විසඳුම් ලෙස කතා කරන්නේ සියලු අපරාධ, සමාජ ව්‍යසන සමගවන මේ බංකොලොත් විවෘත වෙළඳපල ආර්ථිකය යළි පිළිසකර කිරීමක් ගැනය. ජාතික ජන බලවේගය ලෙස පෙනී සිටින ජ.වි.පෙ ඒ ගැන කතා කරන්නේ ඔවුන්ට සුපුරුදු තර්ක ක්‍රමයට “වඳුරො ගැන නෙවෙයි අපි කියන්නේ....අපි කියන්නෙ රිලව් ගැන” වැනි කතාවකි. ස.ජ.බ ආර්ථික විශේෂඥයින් ඊට වඩා තරමක් ශිෂ්ට ය. එනිසා ඔවුහු ඉතා ප්‍රවේසමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගැනීම අනිවාර්ය යැයි කියන අතර, විවෘත වෙළඳපල ආර්ථිකය අර්ථ දැක්වීමට උත්සාහ කරන්නේ “සමාජ වෙළඳපල” ආර්ථිකයක් යැයි කියා ය. එහෙත් ඔවුන්ගේ යෝජනා අතර “සමාජ වෙළඳපල” ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන “සමාජ සම්මුතිය” සඳහාවන යෝජනා නැත.

 

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)

මේ රටේ ජනතාවට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව අවජාතක යැයි කීමටවත් විපක්ෂයේ ඡන්ද බලය පෙන්වීමටවත් නොවේ. මේ රටේ ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ නීිතියට අනුව මැතිවරණ පැවැත් විය යුතු නිසාද නොවේ. නීතියේ සඳහන්වන හෙයින් මැතිවරණ පැවැත්වීමෙන් තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. නීතියට අනුව මැතිවරණ පැවැත්වීම යනු “පටිපාටමය” ප්‍රජාතන්ත්‍රවාදයක් මිස ජනතාවගේ පාලන බලයක් තහවුරු කෙරෙන “සක්‍රීය” ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. එනිසා ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ තමන්ගේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සක්‍රීය ලෙස පත්කර ගැනීමටය. තමන් වරිපනම් බදු ගෙවන පළාත් පාලන ආයතනයෙන් නෛතිකව ඒ වෙත පවරා ඇති වගකීම් නොපරිහෙළා කාර්යක්ෂමව ඉටුකරවා ගැනීමේ තමන්ට ඇති අයිතිය වෙනුවෙන් තමන්ගේ නියෝජිතයින් තෝරා පත්කර ගැනීමටය.

 

එවැනි සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් බුක්ති විඳින්නට තරම් දැනුවත් දියුණු ඡන්දදායකයින් මේ රටේ සියවසකට ආසන්න කාලයක සිට බිහිව නැත. එවැනි දැනුවත් සංවාද කතිකා මේ රටේ පැවතියේද නැත. එබැවින් 1930 ඩොනොමො කොමිසම් වාර්තාවෙහි හඳුනාගෙන තිබූ කුලය, ජාතිය, ආගමට වගේම පසු කාලීනව විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අති පෞද්ගලික වාසි වෙනුවෙන් ඡන්දය භාවිත කරන ආත්මාර්ථකාමී ඡන්දදායකයින් සමග මැතිවරණ සතු ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු වන්නේ නැත. පළාත් පාලන ආයතනද දූෂිත, අකාර්යක්ෂම හා ප්‍රදේශයේ අවශ්‍යතා වෙනුවෙන් වැදගත් කිසිවක් නොකරන මහජන ආයතන බවට පත්ව ඇත්තේ එබැවින්ය.

මේ ඉන්නා ඡන්දදායකයින් විසින් රටක වැදගත් ආණ්ඩු පාලනයක් සඳහා පාර්ලිමේන්තු පත් නොකෙරෙන්නේද එබැවින්මය. ඔවුන් තෝරා පත්කරන පාර්ලිමේන්තු හැසිරෙන්නේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින ආත්මාර්ථය සඳහා පමණි. එබැවින් ඊළග ආණ්ඩු මාරුවත් කුලවාදී, ජාතිවාදී සහ ආත්මාර්ථකාමී ඡන්දදායකයින්ගේ බාල, දූෂිත නියෝජනයක්ම වනු ඇත. 

 

අද මේ රටට අවශ්‍ය වන්නේ අලුත් ජනතාවකි. මා අලුත් යැයි කියන්නේ “තරුණ” යැයි කියන්නාවූ අර්ථයෙන් නොවේ. බර්ටොල් බ්‍රෙෂ්ට් කියූ ආණ්ඩුව විසින් ඔවුන් ගැන විශ්වාසයක් ඇති අලුත් ජනතාවක් හදා ගැනීමද නොවේ. මා අලුත් ජනතාවක් හදා ගැනීමට අවශ්‍ය යැයි කියන්නේ අනාගතය සඳහා අලුත් වගකීම් බාර ගැනීමට සූදානම් හා ඊට සරිළන විනයක් ඇති ඡන්දදායකයෙකු අවශ්‍ය යැයි යන අර්ථයෙනි. තමන්ගේ සමාජ වගකීම් ගැන අවබෝධයක් ඇති, ඡන්දය භාවිත කිරීම සතු සමාජ වගකීම ගැන තේරුම් ඇති, තමන් ඡන්දය ලබා දී තෝරා පත් කරන මන්ත්‍රීවරයා, සභිකයා පළාත් පාලන ආයතනයෙහි වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ඉටු කරන්නාවූ සේවය කුමක්දැයි ප්‍රශ්න කිරීමට සූදානම් අලුත් ඡන්දදායකු අවශ්‍ය යැයි වන අර්ථයෙනි.   

 

ඒ වෙනුවෙන් මේ මොහොතේ අත පෙවිය යුත්තේ කවර පක්ෂයක, කවර ස්වාධීන කණ්ඩායමක වූවත් තමන්ගේ ප්‍රදේශයේ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග විවෘත කර ගන්නා කතිකාවක, ඔවුන් තරග කරන්නේ කුමක් සඳහාදැයි වන ප්‍රශ්න කිරීම සමගින්ය. ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන ඡන්දදායකයා සමග ආරම්භ කරන සමාජ සංවාදයක් තුල පළාත් පාලන බල ප්‍රදේශය වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැළසුමක් සකසා ගැනීමට එකඟ කරවා ගැනීම සමගින්ය. අනතුරුව, ඒ වෙනුවෙන් අත්සන් තබන අපේක්ෂකයින්ගේ එකතුවක් ලෙස මැතිවරණය ඉල්ලා සිටින ජනතා ව්‍යාපාර දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කිරීමට ය.

 

අරගලය ද මැතිවරණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

අලුත් ඡන්දදායකයෙකු හැදෙන්නේ එවැනි සමාජ සංවාද සමග පමණි. එවැනි අලුත් ඡන්දදායකයෙකුගෙන් මිස ආණ්ඩු මාරු වන්නේ නැත. මේ ඉන්නා ඡන්දදායකයින්ගෙන් සිදුවන්නේ තිබෙන පාර්ලිමේන්තුව, තිබෙන ආණ්ඩු පාලනය තවත් පිරිසකට බාර දීම පමණි. මේ දේශපාලන පක්ෂ නායකයින් ඉල්ලන්නේද එවැන්නක් පමණි. ඔවුන්ටද මා කියන ආකාරයේ අලුත් ඡන්දදායකයෙකු අවශ්‍ය නැත. එනිසා තීන්දුව ඇත්තේ ජනතාව අත මිස පක්ෂ නායකයින් සතුව නොවේ.




kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 පෙබරවාරි 27


 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...