The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

March 3, 2023 • 7:14 AM

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි.
  • එහෙත් කල්යත්ම, තවත් බොහෝ දෙනා ඔබේ සිවිල් මැදිහත්වීමට එක් වෙනු ඇත.
  • මේ බස් රියැදුරා, රටේ රියැදුරා හෙවත් නායකයාට ආදේශ කළ විට, ප්‍රපාතයට බසය පෙරළීමේ කතාව, ප්‍රපාතයට රටක් වැටීමේ කතාවට හැම අතකින්ම සමාන වනු ඇත.
  • ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතාව විසින් තෝරා පත්කර ගත් නායකයෙකු වුණු නිසා ඔහුගේ කර මත තිබුණු ‘වගවීම’ පිළිබඳ බර රනිල් වික්‍රමසිංහට නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම ජනතාව විසින් පත්කරගනු ලබන නායකත්වයක්, ජනතාවගේ අභිමතයෙන් තොරව පත්වන නායකත්වයකට වඩා, තමන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් මහජනතාව වෙත වගවීමකින් බැඳී සිටී. වෙනත් සෑම ක්‍රමයකටම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රටකට යෝග්‍ය වන්නේ එබැවිනි.

 

ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක සාධකය වන්නේ, පාලන කටයුත්ත පිළිබඳ උනන්දුවක් දක්වන සහ ඒ පාලන කටයුත්තට දෛනිකව සහභාගී වන සහ ඒ නිසාම, පාලනයට අදාළ තොරතුරුවලින් යාවත්කාලීන වන පුරවැසියන් ය. පාලන කටයුත්තට දෛනිකව සහභාගී වීම යන්නෙන් අදහස් කරන්නේ, පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු ආදී වශයෙන් තිබෙන විවිධ නියෝජන ජාලයක අපේක්ෂක/පාර්ශ්වකරුවන් වීම නොව. එසේම, පාරට එන හැම විරෝධතාවකටම සහභාගී වීමත් නොව. වැදගත් වන්නේ, තමන් වනාහී ලෙහෙසියෙන් රැවටීමට ලක්නොවන පිරිසක් ය යන්න, විවිධ ආකාරයෙන් විවිධ අදියරයන්හිදී පාලන අධිකාරය වෙත, විධිමත්ව සහ අවිධිමත්ව සන්නිවේදනය වීමට සලස්වන පිරිසක් වීමයි.

 

ඉතා සුළු උදාහරණයක් ගත්තොත්, බසයක ගමන් කරන ඔබ, බස් රියැදුරා කන් බිහිරි කරවන හෝන් ගසමින්, අපරීක්ෂාකාරීව මාරක වේගයෙන් බසය ධාවනය කරන අවස්ථාවක, ඒ හැසිරීමට එරෙහිව වචනයක් හෝ කිව යුතුය. මුලදී මේ පියවර ගැනීමට ඉදිරිපත් වන්නේ ඔබ පමණක් විය හැකිය. එහෙත් කල්යත්ම, තවත් බොහෝ දෙනා ඔබේ සිවිල් මැදිහත්වීමට එක් වෙනු ඇත. “පොදු කටයුතු කෙරෙහි මැදිහත්වීමට උදාසීන වීම සඳහා ගෙවිය යුතු මිල වන්නේ, කුරිරු පාලකයන්ගේ අණසකට අවසානයේ යටත් වීමට සිදු වීම” යැයි ප්ලේටෝ කියා තිබේ. පසුගිය සති කිහිපයේ මදාවි බස් රියැදුරන් නිසා අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වූ පිරිස රාශියකි. මේ බස් රියැදුරා, රටේ රියැදුරා හෙවත් නායකයාට ආදේශ කළ විට, ප්‍රපාතයට බසය පෙරළීමේ කතාව, ප්‍රපාතයට රටක් වැටීමේ කතාවට හැම අතකින්ම සමාන වනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා වන නූතන සාදෘශ්‍යයි.

ගෝඨාභය රාජපක්ෂට වඩා රනිල් වික්‍රමසිංහ, එක අර්ථයකින්, අනතුරුදායකයි. ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතාව විසින් තෝරා පත්කර ගත් නායකයෙකු වුණු නිසා ඔහුගේ කර මත තිබුණු ‘වගවීම’ පිළිබඳ බර රනිල් වික්‍රමසිංහට නැත. ඔහු වගවිය යුතු ජනතාවක් නැත. කිසි ජනතාවක් විසින් ඔහු පත්කරගෙන නැති බැවිනි. ඒ නිසා, ‘රෝමය ගිනි ගනිද්දී පවා’ ජනතාව සමග විහිළු කිරීමට සහ සමච්චල් කිරීමට ඔහුට පිළිවන. ‘කල් දාන්න තරම් ඡන්දයක් තිබුණෙ නැහැ’ කියමින් ඔහු තනියෙන් සිනාසෙන්නේ එබැවිනි. මීට කලකට පෙර, ‘කවුද හොරා? කවුද හොරා?’ කියමින් පාර්ලිමේන්තුවේ ඔහු උඩ පැන්න හැටි අපේ වැලිකළිය සිහියට නැංවීය.

 

 

එදා ඔහුට ඡන්දයක් තිබුණි. අද වන විට, ‘උඹලාගේ ඡන්දෙකින් මං බලයට පත්වෙලා නැහැ’ යි බය නැතිව කීමට ඔහුට පුළුවන් කම තිබේ. අනතුර තිබෙන්නේ එතැනයි. වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ තමන්ව කොන් කළ ජනතාවකගෙන් පළිගැනීමක ඔහු නිරතව සිටීද යන කුකුස කෙනෙකු තුළ විටෙක ඇති වුණොත් එහි පුදුමයක් නැත.


ලෙඩා මැරුණොත්, බඩ සුද්ද වී වැඩක් නැත

 

ගෝඨාභය රාජපක්ෂට කළ නොහැකි වූ හොඳ දේවල් රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදු කොට ඇති බව ඇත්තයි. තවත් විදිහකින් කිවහොත්, ගෝඨාභය කළ බොහෝ නරක දේවල් රනිල් වික්‍රමසිංහ ආපස්සට හරවමින් සිටී. ඒ හොඳ දේවල් සියල්ල, ගෝඨාභය වැනි අදූරදර්ශී සහ ආධුනික පාලකයෙකු හැරුණු විට, ඕනෑම සාමාන්‍ය නායකයෙකුට කළ හැකි දේවල් ය. ගෑස් පෝලිම් නැති කිරීම, පෙට්‍රල් පෝලිම් නැති කිරීම, භාණ්ඩ හිඟය යම් පමණකට අවම කරගැනීම ආදිය ඒ අතර වෙයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ අව-පාලනය නිසා දරන්ට සිදු වූ සමස්ත පාඩුව, රනිල් වික්‍රමසිංහ දැන් පියවමින් සිටින්නේ, ඇති-හැකි එකාගේ නොව, නැති-බැරි එකාගේ වියදමිනි. එසේ කිරීමේදී, ගෝඨාභය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ මායාවත් උනා දැමීමට රනිල් වික්‍රමසිංහට සිදුව තිබේ.

 

ව්‍යපාරයක් එක දිගට පාඩු පිට පවත්වාගෙන යා නොහැක. බංකොළොත් නොවී සිටීමට නම් පාඩුව පියවාගත යුතුය. ඊට ඇත්තේ ස්වායත්ත ක්‍රම දෙකකි. එකක් ආදායම වැඩි කරගැනීමයි. දෙක, වියදම අඩු කරගැනීමයි. එක් කුඩා පවුල් ව්‍යාපාරයක් ඇතැයි සිතන්න. ඒ ව්‍යාපාරයේ ආදායම සහ වියදම අතර දවසකට රුපියල් 1000 ක ලාභයක් තිබේ. මේ පවුලේ සාමාජිකයන්ගේ දෛනික වියදම රුපියල් 1500 කි. ඒ අනුව හැම දවසකම රුපියල් 500 ක පාඩුවක් ව්‍යාපාරිකයාගේ ලෙජරයේ සටහන් වෙයි. ඔහු කරන්නේ, බඩු මිල සියයට 50 කින් ඉහළ දැමීමයි. ඉන්පසු පවුලේ දරුවන්ද, පවුලේ ආදායම දැන් ඉහළ ගොස් ඇති නිසා, තමන්ගේ වියහියදම් ඉහළ දමයි. ඒ ප්‍රශ්නය මේ කියන ව්‍යාපාරිකයා විසඳාගන්නේ නැවත බඩු මිල ඉහළ දැමීමෙනි.

 

 120434570 gettyimages 1235027201


දැන්, මේ පවුලේ ප්‍රශ්නය වෙනුවෙන් එක දිගටම වන්දිය ගෙවන්නේ, ඒ කඩෙන් බඩු ගන්නා පාරිභෝගිකයන් බව පැහැදිලියි. රටක් වශයෙන් ගත් විට, මේ පවුලේ සාමාජිකයන්ට සමාන වන පාර්ශ්ව රාශියක් රටක සිටී. ඒ අතර, රට කරවන දූෂිත පාලකයන් මූලිකයි. ඊළඟට, අකාර්යක්ෂම සහ දූෂිත රාජ්‍ය සේවය, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය, ජාවාරම්කාර පෞද්ගලික ව්‍යාපාර, රාජ්‍ය දේපළ සොරකම, ඥාති සංග්‍රහය, නාස්තිය සහ දූෂණය ආදිය දකින්ට තිබේ. මේ සියලු පාර්ශ්වවල පාඩු පියවා ගැනීමේ එකම මාර්ගය පාරිභෝගිකයන්/මහජනතාව මත බදු බර පැටවීම පමණක් නම්, ඒ රට කිසි දවසක ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නේ නැත. මන්ද යත්, ආර්ථික විද්‍යානුකූලව ගත්තොත්, සාමාන්‍ය පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියේ (මිලදී ගැනීමේ හැකියාවේ) සීමාවක් තිබෙන බැවිනි. අනිත් පැත්තෙන් සමාජ විද්‍යානුකූලව ගත්තොත්, සමාජ අසාධාරණයට එරෙහි ජනතා අසහනය වර්ධනය වීමෙන්, නීතිය හා සාමය බිඳවැටෙන බැවිනි. මේ නිසා, ආදායම වැඩි කරගැනීම සහ වියදම අඩු කරගැනීම අතර එකිනෙක ගැටගැසුණු අන්‍යොන්‍ය බැඳියාවක් තිබිය යුතුය. එවැනි බැඳියාවක් තිබෙන බව මහජනතාවට පෙනෙන්ට තිබිය යුතුය. එහෙත් එවැන්නක් දැනට පේනතෙක් මානයකවත් නැත.

 

රනිල් වික්‍රමසිංහගේ මාදිලිය වී ඇත්තේ අර පවුලේ ව්‍යාපාරිකයාගේ ප්‍රාථමික වෙළෙඳ ක්‍රමවේදයයි. ඔහු පෙට්‍රල් ලීටරයක මිල රුපියල් සිය ගණනකින් වැඩි කෙළේය. එහෙත්, තෙල් සංස්ථාවේ අධිකතර සේවක සංඛ්‍යාව, දූෂණය සහ නාස්තිය අඩු කිරීමට කිසි පියවරක් ගත්තේ නැත. විදුලි බිල සියයට 1200 කින් ඉහළ දැම්මේය. එහෙත් විදුලිබල මණ්ඩලයේ මාෆියාවට අත තිබ්බේ නැත. ඔහු ඇත්තෙන්ම කරමින් සිටින්නේ, සාමාන්‍ය කෙනෙකුට කළ හැකි පහසුම වැඩකි. ඔහුගේ අවාසනාවට, ඒ ‘පහසුම’ වැඩය පවා දැන් ඔහුට කිරීමට සිදුව ඇත්තේ ඉතා අපහසු තත්වයන් යටතේ ය. මන්ද යත්, ජනතාව ඉන්නේ හොඳටම හෙම්බත් වූ තත්වයක බැවිනි.

 

රෝග ලක්ෂණ කිහිපයක්


පසුගිය දිනවල ඉංග්‍රීසි මාධ්‍ය තුළ පළ වූ විමර්ශනාත්මක හෙළිදරව් කිරීම් කිහිපයක් වෙත අවධානය යොමු කිරීම වැදගත් ය. ඉන් එක් වාර්තාවකට අනුව, “ග්ලෝබල් ෆිනෑන්ස් ඉන්ටෙග්‍රිටි” නමැති ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම පෙන්වා දෙන පරිදි, 2009-2017 කාලය තුළ ලංකාවේ අපනයන අංශයෙන් උපයාගත් විදේශ ආදායමෙන් ඩොලර් බිලියන 36 ක් නැවත ලංකාවට පැමිණ නැත. ලංකාවෙන් අපනයන කෙරෙන භාණ්ඩයක හෝ සේවාවක ආදායම මාස 6 ක් ඇතුළත ආපසු ලංකාවට ගෙන්වා ගත යුතු බව නීතියේ සඳහන්ව තිබේ. එහෙත් ඉහත දත්තවලට අනුව, සෑම අවුරුද්දකම ඩොලර් බිලියන 4.5 ක අපේ මුදලක් විදේශ බැංකුවක් තුළ හැංගෙයි.

 

TradeMisinvicingPlunder

දැන්, මේ ප්‍රමාණය ලංකාවේ වර්තමානයේ අප අත්දකින වෙනත් සාධක දෙකක් සමග මනෝමයෙන් සසඳන්න:


(1) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැන් මාස හතක් තිස්සේ ණයක් ලබාගැනීමට අප වෙහෙසෙමින් සිටී. ඒ මුළු ණය ප්‍රමාණය කොපමණද? අවුරුදු හතරක කාල පරාසයක් තුළ කෑලි වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 කි!

(2) ලංකාවේ වර්තමාන සමස්ත විදේශ ණය ප්‍රමාණය කුමක්ද? ඩොලර් බිලියන 52 කි!

මෙරට සම්පත් සහ/හෝ ව්‍යාපාරික අවස්ථා උපයෝජනය කොට ලැබූ විදේශ ආදායමෙන් විශාල කොටසක් ව්‍යපාරිකයන් විසින් මෙසේ විදේශ බැංකුවල සඟවා තබා ඇත්තේ එවන් දුෂ්කර තත්වයක් තිබියදී ය. මේ කියන කාලය (2009-2017) විදේශ විනිමය හිඟයකට රටක් වශයෙන් අද මෙන් මුහුණදී සිටි කාලයක් නොවේ. (අද කාලයේ ලංකාවට ඩොලර් අරගෙන ආවොත් ආපසු ඒවා අවශ්‍ය වන අවස්ථාවක පිටරට ප්‍රයෝජනය සඳහා යොදාගත නොහැකි නිසා කෙනෙකු එම මුදල විදේශයක සඟවා තැබීමෙහි යම් සාධාරණත්වයක් තිබේ.) එහෙත් මගේ තර්කය මෙයයි: වර්තමානයේ මෙන් බෙල්ල හිර කරන විනිමය සීමා නොමැති එවැනි කාලයකත් එතරම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටවල බැංකුවල හංගා තැබූ ව්‍යාපාරික ප්‍රජාවක්, අද වැනි දවසක කොහොම කරනවා ඇත්ද! රනිල් වික්‍රමසිංහ මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසි පියවරක් ගෙන නැත.

 

ඊළඟ වාර්තාව මෙසේ ය: විදුලි බිල සියයට 1200 කින් වැඩි කෙරුණි. ඒ, විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමටලු. (දැන් අර නිදර්ශනයේ සඳහන් කුඩා ව්‍යාපාරිකයාගේ ‘පාඩුව’ මතක් කරගන්න): ඇමතිවරුන් 54 දෙනෙකු, 2022 නොවැම්බර් 13 වැනිදා වන විට නොගෙවා හැර ඇති විදුලි බිල රුපියල් මිලියන 420 කි! රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන් නොගෙවා හැර ඇති විදුලි බිල රුපියල් මිලියන 5000 ඉක්මවයි! අපෙන් (මහජනයාගෙන්) පියවාගත යුතුව ඇතැයි කියන විදුලිබල මණ්ඩලයේ ‘පාඩුව’ තුළ මේ සියලු ‘පොලු’ අන්තර්ගතයි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසි පියවරක් ගෙන නැත.

 

සමාජ සාධාරණත්වය සහ ප්‍රශ්නයේ අරටුව

pcsl


විදුලි බිල නොගෙවා හැරීම් පැත්තකින් තියන්න: වැඩි කරන ලද විදුලි බිල තුළ තිබෙන සමාජ සාධාරණත්වය කුමක්ද? මසකට විදුලි ඒකක 30 ට අඩුවෙන් පාවිච්චි කරන දුප්පතෙකු කලින් ගෙව්වේ රුපියල් 130 කි. දැන් ඔහුගේ විදුලි බිල රුපියල් 1500 ක් වන්නේය. එය, සියයට 1200 ක වැඩි වීමකි. අනිත් පැත්තෙන්, මසකට විදුලි ඒකක 300-1000 ක් වැනි විශාල ධාරිතාවක් පාවිච්චි කරන පොහොසතෙකුගේ විදුලි බිල වැඩි වන්නේ සියයට 200 කින් පමණි.
ප්‍රශ්නයේ අරටුවට ගියොත් මෙසේ ය: ජල විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 2.76 කි. සුළං විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 10 කි. සූර්ය බලශක්ති විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 30 කි. ගල්අඟුරු බලාගාර විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 50 කි. බොරතෙල් සහ ඩීසල්වලින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 125 කි. එසේ තිබියදී, තවමත් අපේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50 කටත් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ, අවසානයට කී වැඩිම වියදමක් යන (ගල්අඟුරු සහ බොරතෙල්-ඩීසල්) ක්‍රමය තුළිනි. ඒ ඇයි? ඒවා ආනයනය කරන කොමිස් මාෆියාවක් විසින් රටේ විදුලිබල ජනනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය හසුරුවන බැවිනි.

 

එසේම, පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමෙන් විදුලිබල මණ්ඩලයේ දූෂිතයන්ට කෝටි ගණනින් කොමිස් ගැසිය හැකි නිසා ය. 2021 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 6500 ක විදුලිය ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් විදුලිබල මණ්ඩලය මිල දී ගෙන ඇත. එයිට්කන් ස්පෙන්ස් නමැති එක් ආයතනයක් පමණක් මෙසේ රජයට විදුලිය විකිණීමෙන් අවුරුදු 5 ක කාලයක් තුළ (2016-2021) ලබා ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 6800 ඉක්මවයි. අවසානයේ මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ, අධිකතර විදුලි බිලක් සාමාන්‍ය ජනතාවගේ කර මතට වැටීමයි. එය හැඳින්වෙන්නේ, විදුලිබල මණ්ඩලයේ ‘පාඩුව’ පියවා ගැනීම වශයෙනි. 

 

මේ සියල්ල, දූෂණය හා බැඳුණු දේශපාලනික සහ ව්‍යුහාත්මක ප්‍රශ්නයි. පළමුවත් ආර්ථිකය, දෙවැනුවත් ආර්ථිකය සහ තෙවැනුවත් ආර්ථිකය යැයි කියන රනිල් වික්‍රමසිංහගේ වට්ටෝරුව සත්භාවයෙන් යුක්ත නම්, ඔහු වැඩ පටන්ගත යුත්තේ මේ ව්‍යුහාත්මක ගැටළු නිරාකරණය කිරීමට පටන් ගැනීමෙන් මිස, එදා වේල ගැටගසා ගැනීමට නොහැකිව විරෝධය පාන මිනිසුන් මර්දනය කිරීමෙන් සහ මැතිවරණ කල්දැමීමෙන් නොවේ.


GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

Anida



 JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...