The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

විලාසිතා මන බඳිනා විලාසිතා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 4, 2023 • 8:24 AM

 විලාසිතා මන බඳිනා විලාසිතා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලියා කියා නොතිබුණත් මෙවැනි කාර්ය පරිසරයක සේවය කරන විට අඳින පළඳින, කන බොන හා හැසිරෙන ක්‍රමයක් ඇති බව පාසලෙන් අස් වී දින කිහිපයකින් රැකියාවක් කරනට පටන් ගත් මට ඉක්මනින් අවබෝධ විය.
  • ටයි පටියක් නැති ව වුව ද පරණ පුරුදු ඇඳුම් ඇඳගෙන ආ මා ඒ පරිසරයේ පෙනුනේ වෙන ග්‍රහ ලෝකයකින් පැමිණි අයෙකු ලෙස ය.
  • මුලින් තරමක සංස්කෘතික කම්පනයක් ඇති වුණත්, වැඩි කලක් යන්නට පෙර, මගේ ඇඳුම් පැළදුම් ද මීට වෙනස් වුණේ නැත.
  • අදාළ කාන්තාව කීවා තමන් ඇඳුම් පැළඳුම් ගන්නී ඉඳහිට බවත් දරු පැටවුන්ට ද තමන්ට ද හිතවත් අයගෙන් ඇඳුම් ලැබෙන හා හුවමාරු වන ක්‍රමයක් ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලියා කියා නොතිබුණත් මෙවැනි කාර්ය පරිසරයක සේවය කරන විට අඳින පළඳින, කන බොන හා හැසිරෙන ක්‍රමයක් ඇති බව පාසලෙන් අස් වී දින කිහිපයකින් රැකියාවක් කරනට පටන් ගත් මට ඉක්මනින් අවබෝධ විය. ඒ නිසා නිරායාසයෙන් මා හොඳට මැදපු ලා පැහැති අත් දිග කමිස, කපු හෝ ලිනන් නොවන රෙද්දෙන් මැසුණු කලිසම්, දිස්නය සහිත කළු හෝ දුඹුරු සපත්තු හා ටයි පටියට පුරුදු වීමි.

අහම්බයකින් මෙන් මා ටික කලකින් රාජ්‍ය නොවන හෙවත් ඇන්ජීඕ පරිසරයක රැකියාවක කරනට යොමු වීමි. ටයි පටියක් නැති ව වුව ද පරණ පුරුදු ඇඳුම් ඇඳගෙන ආ මා ඒ පරිසරයේ පෙනුනේ වෙන ග්‍රහ ලෝකයකින් පැමිණි අයෙකු ලෙස ය. පිරිමි ඇන්දේ කපු කලිසම් ය. වැඩිහිටි පිරිමි ඉන්දුනීසියානු බතික් කමිසවලින් බොහෝ විට සැරසුණු අතර ආයතනයේ වැදගත් යමක් වන විට පිලිපීනයේ නිෂ්පාදිත බාරෝන්(ග්) නමින් හැඳින්වෙන, ඔගන්සා වැනි දුහුල් රෙද්දකින් මැසුණු, දෙපස එම්බ්‍රොයිඩර් කරන ලද අත් දිග කමිස ඇන්දේ කලිසමට යට නොකොට ය. කාන්තාවෝ බොහෝ විට සල්වාර් කමීස්, කුරුතා ටොප් හා සාරී ඇන්දා හ. සැන්ඩල් පාවහන් ය පිරිමි බහුතරය භාවිතා කළේ.

cover fashion show new

මුලින් තරමක සංස්කෘතික කම්පනයක් ඇති වුණත්, වැඩි කලක් යන්නට පෙර, මගේ ඇඳුම් පැළදුම් ද මීට වෙනස් වුණේ නැත. මුල් කාලයේ මා රැකියාව සඳහා ගෙදරින් පිටත් වන විට අම්මා මගෙන් "අද වැඩට නැතුව වෙන කොහේ හරි යනවා ද?" කියා ඇසුව ද, පසුව ඈ නිහඬ ව සිටියා ය.          

මීට සති කිහිපයකට පෙර යම් කොටසකගේ අවධානයට යොමු වුණේ එක්තරා පක්ෂයක පළාත් පාලන ජන්ද අපේක්ෂකවරියක් කලකට පෙර කරන ලද සම්මුඛ සාකච්චාවක තමන්ගේ හා තම දරුවන්ගේ ඇඳුම් පැළඳුම් සරි කරගන්නේ කෙසේ ද යන්න විස්තර කිරීමක් වෙත ය. අදාළ කාන්තාව කීවා තමන් ඇඳුම් පැළඳුම් ගන්නී ඉඳහිට බවත් දරු පැටවුන්ට ද තමන්ට ද හිතවත් අයගෙන් ඇඳුම් ලැබෙන හා හුවමාරු වන ක්‍රමයක් ඇති බව ය.

මේ ගැන සමහරු උපහාසයෙන් බලමින් අදාළ කාන්තාව සමච්චලයට ලක් කළ හ. තවත් සමහරු, විශේෂයෙන් අදාළ කාන්තාවගේ වයස් බ්‍රැකැට්ටුවේ සිටින, සාපේක්ෂ ව තරුණ ගැහැණු පිරිමි මෙවැනි හුවමාරු ක්‍රම ලැයිස්තුගත කරමින් ඒවා නූතන ලෝකයේ ඉදිරිගාමී, ප්‍රගතිශීලී හා තිරසරවාදී පුරුදු බවට තර්ක ගෙන හැර පෑ හ.    

  යට කී තරුණ පිරිස කී දේ ඇත්තක් නැත්තේ නොවේ. ඒ යෙදුම ඔවුන් ඒ අයුරින් ම භාවිතා නොකළත්, ලයිෆ් ස්ටයිල් මූව්මන්ට්ස් හෙවත් ජීවන විලාසිතා ව්‍යාපාර ලෙස ද එක්තරා නව සමාජ ව්‍යාපර ප්‍රභේදයක් ලෝකය පුරා ම වැඩුණේ තරමක කලක පෙර සිට ය. පෞද්ගලික ජීවන රටාවේ කන-බොන, අඳින-පළඳින, ඇවතුම්-පැවතුම් අරභයා යම් ආකාරයක සම්මතයට වෙනස් පුරුද්දක් තම ජීවිතයේ පුරුදු පුහුණු කරමින්, ඒ තුලින් ලිහිල් ලෙස සංවිධිත හෝ අසංවිධිත ආකාරයෙන් සමාජයේ ද යම් වෙනසක් කිරීමට දරන විවිධාකාරයේ උත්සාහයන් ජීවන විලාසිතා ලෙස පොදුවේ හඳුනා ගැනේ.  



වෙජිටේරියන් හෝ වීගන් වීම ජනප්‍රිය ජීවන විලාසිතා භාවිතයකි. සත්ව මාංශ නොකන නමුත් කිරි, ඒවායින් හදන බටර්, චීස් ද බිත්තර ද කන හා ඒ කිසිවක් ව නොමැති ව ශාක හා ඇට වර්ග පමණක් අනුබව කිරීම ලෝකය පුරා පැතිර ඇති ජීවන විලාසිතාවකි.  

locavore bc 550 1 

 ලෝකවෝ(ර්) (locavore) සමහර රටවල දක්නට හැකි ජීවන විලාසිතා රැල්ලකි. ලෝකවරුන් කන්නේ බොන්නේ තමන් වසන ගම් පළාතේ වවන හදන කෑම බීම පමණි. සමහර ආපන ශාලාවලට මෙනුවේ 'ලෝකලි සෝ(ර්)ස්ඩ්' කියා ලියා ඇත්තේ, අහල පහල කිකිළියක දමන ලද බිත්තරවලින් හදන ඔම්ලටයකට ය. එය බැද ගන්නට ඔලිව් තෙල් ටික ද පෙරා ගත්තේ ගමේ කොනේ ගොවි පොලෙනි.



ස්ලෝ ෆු(ඩ)ර්ස් හෙවත් මඳ ගින්නේ කාලයක් තිස්සේ උයන ලද කෑම පමණක් බුදින ව්‍යාපාරයක් ද ඇත.

කන-බොන පමණක් නොව රමණය ද මේ රැල්ලෙහි කොටසකි. 'වර්ජිනිටි ප්ලේජර්ස්'  ලෙස හැඳින්වෙන ව්‍යාපාරවල කොටස් කරන්නේ තම කන්‍යාභාවය නිත්‍යානුකුල ව විවාහ වෙනතුරු සුරැකි ව මැස්සෙක්ටවත් වහන්න නොදී බලා හදා හදා ගැනීම යි.

රීසයිකල් හෝ වෙනත් වෙනත් නානාප්‍රකාර නම් වලින් කියැවෙන අනුන් ඇඳි ඇඳුම් ඇඳීම ද ජීවන විලාසිතා ලෝලියන්ගේ ජනප්‍රිය පුරුද්දකි. යට කී ජන්ද අපේක්ෂිකාවගේ වැටෙන්නේ මේ ජීවන විලාසිතා කැටිගරියට ය.  

හරයාත්මක ව බලන කල, මේ පුරුදු අමුතු ඒවා නොවේ. ගමේ ගොඩේ කෑම ගම්මු කන්නේ බොහෝ විට ඔවුන් භූගෝලීය ව හුදෙකලා වී සිටින විට ය; එසේ නොවේ නම් ගමට පිටින් එන සොසේජස් පැකට්ටුවක් ගන්නට මුදල් හදල් නැති නිසා ය. නගරේ  ඉන්ටෙව් එහෙකට යන්නට සපත්තු දෙකක් කාගෙන් හෝ ඇවිටිලි කොට ඉල්ලා ගන්නේ, නැවත එය පරෙස්සමින් ගෙනත් දෙන පදනම මත ය.

මගුල් ගෙදරකට අඳින ඉල්ලාගත් සාරි හැට්ට ද එසේම ය. එහෙත් මේවා උත්කර්ෂයට නංවන්න ටෝක්-ෂෝ වලට ඒ ආන්තික කොටස් කොළඹ ඉස්ටුඩියෝ වලට ගෙන්වන්නේ නැත. එසේ ගෙන් වූවත් ඔවුනට තමන්ගේ ඇත්ත නැති බැරිකම් කියන්න ලැජ්ජ ය. කියන්න සුදානම් වුනත් ඒවා හැඩ දම දම ආර්ටිකියුලේට කරමින් ග්ලොරිපයි කරනට හැකියාවක් නොමැත.

 

depositphotos 103554330 stock photo ripped young man in studio

 ජීවන විලාසිතා ව්‍යාපාරවල බොහෝ විට කෙරෙන්නේ යම් වරණයක් හෙවත් තෝරා ගැනීමකි. වෙජිටේරියන් වෙන්නේ මස් මාළු ගන්නට සල්ලි නැති නිසා නොවේ. මේවාට 'ස්ටයිල්' කියන්නේ යම් ආකාරයක විලාසිතාම ය ගුණයක් දක්නට ඇති නිසා ය. මෙවැනි දේ කරන අය ඒ ගැන යම් හයි මොරල් ග්‍රවුන්ඩයක් හෙවත් අන් යට වඩා තමන් සදාචාරාත්මක ව උසස් යී සිතීමත් ඒ ගැන හැම තැන ම අඬබෙර ගැසීමත්, ඒවා හතර වටේ ම පෙන්න පෙන්නා සිටීමත් (exhibitionism) ජීවන විලාසිතාවාදීන්ගේ සිරිත යි. එය කරන්නේ උද්දච්ච ලෙස පාරම්බාන ආකාරයට නොව සියුම් ලෙස ය, අසන්නාට හෝ බලන්නාට 'අනේ පව් අනේ' වැනි හැඟුමක් ජනනය කරන ආකාරයට ය.                          

ජීවන විලාසිතාවාදීන් කුමන සමාජ තීරුවක් හෙවත් ඩිමොග්‍රැෆිකයක් නියෝජනය කරන්නේ ද යන්නත් විමසා බැලීම වටී. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ  නම් මේවා කරන්නේ ඉතාමත් ධනවත් කොටස් ය. ඔවුන්ට වයස් භේදයක් නැත. හොලිවුඩ නළු නිලියෝ මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටිති. ඊට අමතර ව මධ්‍යම පාංතික තරුණ පිරිස් ද සමහර ජීවන විලාසිතා ප්‍රභේද පුරුදු පුහුණු කරනු දක්නට හැකි ය.

 

ලංකාවේ මෙවැනි ප්‍රවණතා ව්‍යාපාර ලෙස පරිනාමය වීම මගේ නිරීක්ෂණයෙන් නම් අඩු බව කිය යුතු ය. එහෙත් යට කී ජන්ද අපේක්ෂිකාවගේ ප්‍රකාශයට පක්ෂ ව කරුණු ඉදිරිපත් කළ බොහෝ අය නාගරීක, මධ්‍යම පාංතික තරුණ කොටස් බව නිරීක්ෂණය කළ හැක.  

2022 වසරේ දෙවැනි හා තෙවැනි කාර්තු කාලය 'අරගලය' ලෙස අප හඳුනාගත් ක්‍රියාදාමයේ ද මේ සමාජ තීරුව ඉතා කැපී පෙනෙන හා කාර්ය බහුල භූමිකාවක් ඉටු කළ බව ද මතක ය. සම්ප්‍රදායානුකුල අර්ථයෙන් අදේශපාලනික ලෙස පෙනෙන මේ ජීවන විලසිතාවාදීන් දැන් දැන් ආන්තික දේපාලන ධාරාවන් වෙත ආකර්ශනය වීම ද ඒ දේශපාලන දහරාවන් කලකට පෙර අපුලෙන්  හා වපර ඇහෙන් දුටු මෙවැනි කොටස් තම පක්ෂ තුලට අනුයුක්ත කර ගැනීම විවෘතභාවය මත කරන දෙයක් ද නැතිනම් බංකලොත්භාවය මත කරන්නක් ද කියා ගැඹුරින්  විමසීම වටනේ ය.

Udan fernando

 

 



(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක ) 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...