The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

පටබැඳි නම් හරි මනරම් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

T

The Leader Desk

March 5, 2023 • 8:19 AM

පටබැඳි නම් හරි මනරම් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහර නම් පටබැඳෙන්නේ විහිළුවටය.
  • යාළුකමට මෙන්ම හතුරුකමට බැඳෙන නම් ද ඇත.
  • නිදසුනක් ලෙස ශාරීරික ලක්ෂණ මත තඩියා, තට්ටයා, කොටා, නූලා, බඩා, කෙන්දා, රැවුලා, නොණ්ඩියා, හොට්ටා, බකපුරියා වැනි නම් පටබැඳෙයි.
  • ඒ බව දන්නා බොහෝ දේශපාලනඥයෝ තමන්ට පටබැඳෙන නම්වලින් නොකිපෙති.
අකුරු ප්‍රමාණය (Font Size):



සමහර නම් පටබැඳෙන්නේ විහිළුවටය. නොඑසේනම් උපහාසයටය. යාළුකමට මෙන්ම හතුරුකමට බැඳෙන නම් ද ඇත.

විවිධ හේතූන් උඩ නම් පටබැඳේ. නිදසුනක් ලෙස ශාරීරික ලක්ෂණ මත තඩියා, තට්ටයා, කොටා, නූලා, බඩා, කෙන්දා, රැවුලා, නොණ්ඩියා, හොට්ටා, බකපුරියා වැනි නම් පටබැඳෙයි. ශරීර වර්ණය අනුව යෙදෙන නම් අතර, කළුවා, සුද්දී, ලපයා, රත්තා ආදිය වෙයි. ඉන්දියාව, සිරි ලංකාව වැනි රටවල කුල අනුවද උපහාස, අපහාස නම් පටබැඳේ. වෘත්තීන් අනුව මඩ්ඩා, බක්කරයා, රොටියා, මාළු බුවා, ඉංජා, ඩොකා වැනි නම්ද, චරිත ලක්ෂණ අනුව කුහකයා, අලස පියා, මැට්ටා, කුම්මැහියා, ලෝබයා, දඟයා, හොර පූසා, කුකුළා වැනි නම් ද අන්වර්ථ කෙරේ.

පවුලේ උදවිය හා ඥාතීන් අතර ආදරයට, හුරතලයට භාවිත කෙරෙන නම් අතර සුදු බෝලේ, කළු මල්ලි, සුදු මැණික, බබා, චූටම්මි, සූකිරි, බබී, චුට්ටි හා සංකොටේ වැනි ආදර යෙදුම් සුලබය. අඹු සැමියෝ එකිනෙකාට අම්මි, තාත්ති, පපා, මමී, ඩාලින්, ඩියර්, සුදූ, වස්තුව වැනි නම්වලින් කතා කරති.

සමාජයේ විශේෂිත හා ප්‍රභූ පුද්ගලයන්ටද විකට හෝ පටබැඳි නම්වලින් ගැලවීමක් නැත. බොහෝ විට දේශපාලන චරිත අප්‍රසිද්ධියේ හැඳින්වෙන්නේ සමාජයෙන් ඔවුන් ලද සරදම් නම්වලිනි. අතීතයේ සිටම ගතහොත් සෙවල බණ්ඩා, බැංඩුං මෝඩයා, බුලත් හපයා, පච බාහු, ලැවරියා, යැංකි ඩිකී, මිණිපෙ කොටියා, ඩබල් ඩොක්ටර් ද, වර්තමාන යුගයේදී මොළ හතා, පිස්සු පූසා, රත්තරන්, මිස්ටර් ටෙන් පර්සන්ට්, මාල හොරා යනාදී  'නික් නේම්ස්' ඊට නිදසුන්ය. මෙබඳු නම් නිර්මාණය වන්නේ පොදු ජනයාගෙනි. නැතිනම් විරුද්ධ පක්ෂයෙන් හෝ ජනමාධ්‍ය තුළිනි.

 

දේශපාලනය යනු මඩ වළකි. මඩ ගැසීම මෙන්ම මඩ වැදීමද එහි ස්වභාවයයි. ඒ බව දන්නා බොහෝ දේශපාලනඥයෝ තමන්ට පටබැඳෙන නම්වලින් නොකිපෙති. ඔවුහු ද ඉන් විනෝදයක් ලබති.

 

33 59

 

අගමැති ජෝන් කොතලාවල තමාගේ විකට කාටුන් ඇඳි චිත්‍ර ශිල්පී ජී.එස්. ප්‍රනාන්දු අගමැති මැඳුරට ගෙන්වා ඔහුට බිත්තර ආප්ප සංග්‍රහයක් පැවැත්වූ බව ප්‍රකට කරුණකි. එසේම, ප්‍රේමදාස යුගයේදී 'ඇත්ත' කාටුන් ශිල්පී යුනුස්ගේ කට කැපූ බවද ඇත්තකි.

 

ඇතැම් ලොක්කන්ට විහිළු තේරෙන නමුදු, සොක්කන්ට ඒ නොතේරෙයි. ඒ නිසා ඔවුන් කරන්නේ ලොක්කන්ගෙන් ලකුණු ලබාගැනීම සඳහා අහිංසක විහිළුකාරයන්ට හිංසා පීඩා කිරීමය. එහෙත් දියුණු සමාජවල නම් එවැනි අමන වැඩ සිදු නොවේ. ඉඳහිට හෝ සිදුවෙතොත්, ඒ ආගමික අන්තවාදීන්ගෙනි.

 

පාතාල ලෝකයේ පුද්ගලයන්ද ප්‍රසිද්ධ වන්නේ ඔවුන්ගේ සැබෑ නම්වලින් නොව, විශේෂණ පද සහිත වෙනත් නම් වලිනි. ලෝක ප්‍රසිද්ධ මාෆියා නායකයන් හැඳින්වෙන්නේ 'ගෝඩ් ෆාදර්' නමිනි. සිරි ලංකාවේ පාතාල කල්ලි නායකයන් හැඳින්වෙන්නේද අමුතු නම්වලිනි. ඒ නම් වඩාත් ප්‍රසිද්ධ කෙරෙන්නේ මාධ්‍ය මගිනි. එසේ විශාල ප්‍රසිද්ධියක් ලැබූ 'කොණ්ඩ සුදා' (සැබෑ නම නොවේ) නමැති පුද්ගලයා පසුව නඩුවෙන් නිදහස් විය. ඔහු මාධ්‍ය සමඟ කියා තිබුණේ 'කොණ්ඩ සුදා' යනුවෙන් කිසිවකු තමන් නොඅමතන බවත්, එය තනිකරම පොලිසියේ නිර්මාණයක් බවත්ය.

විකට නමක් පට නොබැඳුණු පාසල් ගුරුවරයකු හෝ ගුරුවරියක වෙත්නම්, ඒ ඉතා කලාතුරකිනි. විදුහල්පතිවරුද ඊට ඇතුළත්ය. ඉතා රෑමත්, පැහැපත්, තරුණ ගුරුවරියකට ළමුන්ගෙන් ලැබුණු නම 'බෝනික්කි' ය. එබඳුම තවත් ගුරුතුමියක 'ක්ලියෝපැට්රා' වූවාය. (ඇය ඉංග්‍රීසි පාඩමේදී 'ක්ලියෝපැට්රා' පිළිබඳව උගැන්වීමද එයට හේතුවක් විය.) ජාතික ඇඳුම ඇඳි ගුරුවරයා 'රෙද්දා' වූ අතර, ටයි කෝට් ඇඳි ගණන් සර් 'ෆුල් කිටා' විය. කළු, හැඩිදැඩි සිරුරක් ඇති ගුරුතුමා 'යකඩයා' වූ අතර, කෙටි උඩු රැවුලක් තිබූ ගුරුතුමා 'හිට්ලර්' විය. පාසලින් පාසලට මෙබඳු 'ගුරු විකට නාම' බොහෝය.

සමහර උදවිය තමන්ට උප්පැන්නයෙන් ලැබුණු නම පසු කලකදී වෙනස් කර ගනිති. ඊට හේතු බොහෝය. ලේඛකයෝ හා කලාකරුවෝ ද 'පෑනේ නම්' හෝ කලා නම් භාවිත කරති.

colkum094042130 5366898 23022017 RRB CMY

සිංහල සාහිත්‍යයට විශාල මෙහෙවරක් ඉටු කළ කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ හවුලේ අනුගාමිකයෝ ද තම මුල් නම් (බොහෝ විට ඉංග්‍රීසි මුලකුරු) හෙළ ආකාරයට සකස් කර ගත්හ. අරිසෙන් අහුබුදු, සඳදස් කෝපරහේවා, හියුබත් දිසානායක, වෙ.චි. අභයගුණවර්ධන, වි.ජ.මු. ලොකුබණ්ඩාර, අලවුඉසි සැබිහෙළ, රැ. තෙන්නකෝන් වැනි නම් ඊට නිදසුන්ය. හෙළ මුලකුරු නිසා වෙන්නට ගිය අවුලක් බේරාගත් හෙළයකු පිළිබඳ පහත දැක්වෙන කතාව අප දැනගත්තේ හෙළ හවුලේ සම සකසුරු තිලක නවරත්නයන්ගෙනි. (ඔහු මෙය මුහුණු පොතටද එක්කොට තිබිණි.)

කලක් හෙළ හවුලේ සකසුරු පදවිය දැරූ ජී. ගොඩගම මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකි.  ඔහු 'නීතිඥ' යන පදවි නාමය භාවිත කළේ හෙළ ආරට අනුව 'නියදකු' (නීතිය දත්) යනුවෙනි. බුද්ධිමය දේපළ සංස්ථාවේ මුල්ම සභාපතිවරයා වූයේ ද ගොඩගම මහතායි. හෙළ පවුලේ බොහෝ දෙනා ජාතික ඇඳුමට බැස්සත්, ගොඩගමයන් ඇන්ඳේ යුරෝපීය ඇඳුමයි. ඔහුගේ ටයි පටියද හැමවිටම පැළඳියේය. දක්ෂ කවියකු වූ ගොඩගම මහතාගේ අරුත්බර පැදි එකල ඉතාම ජනප්‍රිය කවි පිටුව වූ 'ඉරිදා ලංකාදීප පැදි නදියේ' නිතර පළ වුණි.

හෙළ හවුලේ තම මිතුරන් ඉංග්‍රීසි මුලකුරු හෙළ ආරට යෙදුවත්, ජී. ගොඩගම හැමදාමත් ජී. ගොඩගමම විය. ඊට හේතුව ඔහුගේ මුල නම ගුණදාස වීමය. ගොඩගමයන් 'ජී' කෑල්ල වෙනුවට 'ගු' යෙදුවා නම් අවුල් ගොඩක් වීමට ඉඩ තිබුණි.



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...