The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

කලාව, කලාව ලෙස හඳුනා නොගන්නා කලා විහීනයෝ - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

March 5, 2023 • 10:18 AM

කලාව, කලාව ලෙස හඳුනා නොගන්නා කලා විහීනයෝ - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම සිරුරේ අභ්‍යන්තරයෙන් ඔහුට වුවමනා කරන දේ දැක් වූ විට, එය සපයා ගන්ට ඔහු දනී.
  • කඩදාසියක අඳින ලද ඉතා වර්ණවත් චිත්‍රයක් වුවත් ඔහු ඉදිරියෙහි තබතොත් ඔහු එය සිඹ බලා, කෑ හැකි දෙයක් නො වන බව වටහා ගෙන එය පාගා දමයි.
  • එය කවර ආකාරයෙන් සත්වයා තුළ ප්‍රතිචාරයක් ඇති කරයි ද අප නො දන්නා අතර, ඔහු තුළ රස වින්දනයක් ඇති නො කරන බව කිව හැකි ය.’’ -මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර- කලාව යනු මිනිසා විසින් නිර්මාණය කරනු ලබන යම් වස්තුවකි.
  • කිසියම් නිර්මාණයක් කරන පුද්ගලයා තම නිර්මාණ බහුතරයකට පාදක කරගන්නේ එම පුද්ගලයා අත් විඳි හෝ වෙනකෙකු විසින් අත් විඳන ලදැයි අසා හෝ කියවා ඇති සිද්ධියක් හෝ සිද්ධි සමුහයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

තම සිරුරේ අභ්‍යන්තරයෙන් ඔහුට වුවමනා කරන දේ දැක් වූ විට, එය සපයා ගන්ට ඔහු දනී. එහෙත් සෞන්දර්යය යනු කුමක් ද ඔහු නො දනී. කඩදාසියක අඳින ලද ඉතා වර්ණවත් චිත්‍රයක් වුවත් ඔහු ඉදිරියෙහි තබතොත් ඔහු එය සිඹ බලා, කෑ හැකි දෙයක් නො වන බව වටහා ගෙන එය පාගා දමයි. ගීතයක් වුවත් එසේ ම ය. එය කවර ආකාරයෙන් සත්වයා තුළ ප්‍රතිචාරයක් ඇති කරයි ද අප නො දන්නා අතර, ඔහු තුළ රස වින්දනයක් ඇති නො කරන බව කිව හැකි ය.’’

-මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර-


කලාව යනු මිනිසා විසින් නිර්මාණය කරනු ලබන යම් වස්තුවකි. එය ඇසින් දැකිය හැකි, දෙකනෙන් ඇසිය හැකි, අතින් ස්පර්ශ කළ හැකි සහ මනසින් විඳිය හැකි වස්තුවක් වශයෙන් වර්ග කළ හැකි ය. කිසියම් නිර්මාණයක් කරන පුද්ගලයා තම නිර්මාණ බහුතරයකට පාදක කරගන්නේ එම පුද්ගලයා අත් විඳි හෝ වෙනකෙකු විසින් අත් විඳන ලදැයි අසා හෝ කියවා ඇති සිද්ධියක් හෝ සිද්ධි සමුහයකි. මෙය යම් පමණකට වෙනස් වන්නේ විද්‍යා ප්‍රබන්ධකරණයේ දී හෝ fantasy හෙවත් මනඃසෘෂ්ටිමය (මෙම සිංහල වදන මහාචාර්ය නිර්මාල් දේවසිරි විසින් යෙදූ හෝ හඳුන්වා දෙන ලද්දකි.) නිර්මාණවල දී පමණි. එසේ නොවන බොහෝ අවස්ථාවල ද නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයා සිය නිර්මාණ සඳහා පාදක කරගන්නේ මෙහි යට සඳහන් අනුභුති ය. නමුදු එම අනුභූතිය හෝ අනුභූති ඒ ආකාරයෙන් ම ඉදිරිපත් නොකරන ඔහු හෝ ඇය එයට සිය පරිකල්පනය ද අඩු වැඩි වශයෙන් උපස්තම්භක කරගනී.

 

ඉක්බිති එළඹෙන්නේ අදාළ කලා නිර්මාණය: අසන, බලන හෝ කියවන ප්‍රජාවගේ කාර්ය යි. එහි දී මේ ප්‍රජාව තමා: දකින්නේ, අසන්නේ හෝ කියවන්නේ කලා නිර්මාණයක් බව තරයේ සිහි තබාගත යුතු ය. එසේ නොමැතිව අදාළ සිද්ධිය හෝ සිද්ධි දාමය සැබැවින් සිදුවන්නක් හෝ සිදු කරන්නක් යැයි සිතන්නේ නම් එසේ සිතන පුද්ගලයා යනු ‘‘කලා විහීන’’ පුද්ගලයෙකි. කිසියම් කලා නිර්මාණයක්: අසා, නරඹා හෝ කියවා අදාළ නිර්මාණයේ අන්තර්ගත කිසියම් පද පෙළක්, සිද්ධියක් හෝ වාක්‍යයක්: සංස්කෘතියට, සභ්‍යත්වය හෝ සදාචාරයට එසේත් නොමැති නම් ආගම නමැති මිථ්‍යා සංකල්පයට විරුද්ධ යැයි හඬ නගන්නේ මෙවන් කලා විහීනයෝ ය. ඉදින් මෙවන් කලා විහිනයන්ගේ මුග්ධ විවේචනවලට බියෙන් හෝ ලජ්ජාවෙන් කලාකරුන් හෝ කලාකාරියන් නිර්මාණකරණයේ නොයෙදුනහොත් සිදුවන්නේ කුමක් ද...? කලා කෙත පමණක් නොව සමස්ත සමාජය ම නිරුදක කතරක් බවට පත්වීම ය. 

 

ලෝකය දියුණු වන විට කලා නිර්මාණ පියවි සිහියෙන් විඳිය යුතු වුව ද දැන් දැන් මෙබඳු කලා විහීනයෝ කලා නිර්මාණයක් යනු කලා නිර්මාණයක් නොව සැබැවින් ම සිදුවන හෝ සිදු කරන යමක් යැයි උපකල්පනය කරමින් ඊට එරෙහිව අවි අමෝරන්නට කැසකවති.

යට සඳහන් වදන් කිහිපය ලියමින් ආරම්භ කළේ එබඳු කලා විහීනයන් විසින් මේ දිනවල දැඩි විවේචනයට බඳුන් කරනු ලබන කලා නිර්මාණයක් පිළිබඳ මගේ කියවීම සමාජ ගතකිරීම ය.

මා මේ සඳහන් කරන කලා නිර්මාණය කෙටි චිත්‍රපටයකි. සුලෝචනා වීරසිහ (රෝෂිණී), චලින් මධුරංග අබේසිරිවර්ධන (පවන් හෙවත් බෞද්ධ භික්ෂුව) සහ රංජිත් සුබසිංහ (සොහොන්පල්ලා) රංගනයෙන් දායකත්වය සපයන මෙම නිර්මාණය නම් කර ඇත්තේ ‘‘සංසාරිකා’’ ලෙසිනි. ඊට අමතරව එහි ‘‘අහස්ගත වූ ආදරයක්’’ යනුවෙන් Tag line එකක් ද අමුණා ඇත.

 

sansa

කලා විහීනයන්ගේ අවලාද (සමාජ මාධ්‍ය පෝස්ටුවක්)

 

මා මෙම අවස්ථාවේ අදාළ නිර්මාණයේ කතා සාරාංශය ගෙනහැර දක්වන්නට උත්සාහ නොගන්නේ ය. මන් ද එය ප්‍රේක්ෂක ප්‍රජාවගේ වින්දනයට බාධාවක් වන බැවිනි. නමුදු යට සඳහන් කළ ආකාරයේ කලා විහීනයන් මෙම නිර්මාණය තුළින් බුද්ධ චීවරයට අගෞරව කළාය යනුවෙන් කට මැත දොඩවමින්, වහසි බස් ලියමින් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇති ප්‍රතිචාර (සැබැවින් ම එය එක් පසෙකින් මෙම නිර්මාණයට ලබා දුන් ප්‍රචාරාත්මක ධාරාවකි. මන් ද මා මෙය සොයා නරඹන්ට පෙලඹුණේ ද එකී ඊනියා විවේචන ධාරාව හේතුවෙනි) යනු ඔවුන්ගේ කලා විහීනත්වය මැනවින් ප්‍රකට කරන්නට කදිම සාක්ෂි සපයන්නක් බව මෙහි දී ලිවිය යුතු ම ය.

මෙම නිර්මාණයෙන් ප්‍රකට කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ පුරුෂාධිපත්‍යය යි. එනම් පුරුෂයෙකු වෙතින් කාන්තාවක් වෙත එල්ල කෙරෙන පීඩනය යි; එම පීඩනය පීඩනයක් ලෙස ලෙස බාරගන්නට අකමැති සමාජ දැක්මයි; එලෙස පීඩනයට පත්ව සිටින කාන්තාවකගේ මානසික ආතතිය යි.

 

ඒ මානසික ආතතිය කෙතෙරම් ප්‍රබල ද යත් අවසන මෙම නිර්මාණයේ කාන්තා චරිතය මරණය වැලඳ ගන්නේ ඇය සැබෑවක් යැයි උපකල්පනය කරන, එහෙත් සැබෑ ලොකයේ දී ඇය මුහුණ නොදෙන එක්තරා සිදුවීමක් හේතුවෙනි. මෙරට වෙසෙන ඇතැම් කලා විහීනයෝ කටමැත දොඩවන්නේ නිර්මාණයේ කාන්තා චරිතය මනෝ ව්‍යාධියෙන් තනාගන්නා ලෝකය සැබැ ලෝකය තුළ දී සිදුවන්නක් යැයි උපකල්පනය කරමිනි. එනම් චීවරය යැයි හඳුන්වනු ලබන රෙදිකඩක් ඇඟලාගෙන සිටින නළුවාගේ සිරුර වැලඳ ගන්නා නිළිය සැබැවින් ම චීවරයක් ඇඟලාගෙන සිටින භික්ෂුවක් වැලඳගන්නවා යැයි උපකල්පනය කරමිනි. සැබැවින් ම මෙය රංගනයක් මතු නොව එකී දර්ශනය ද මනඃකල්පිතයකි. තවත් සරලව පවසන්නේ නම් තිර රචනයේ දී ද එය සිදුවන්නේ එකී කාන්තාවගේ මනසෙහි ය. නමුත් මේ කලා විහීනයෝ ඒ යටිපෙළ වටහා ගැනීමට නොහැකිව හෝ එය වටහාගෙන වුව ද තම මුද්ධත්වය ප්‍රදර්ශනය කිරීමට ඇති කැමැත්ත නිසා ම හෝ එය නිර්මාණය තුළ ද සැබැවින් සිදුවෙනවා යැයි උපකල්පනය කර මේ ආකාරයෙන් අවලාද නගති. මෙබඳු කලා විහීනයෝ කලාවට මතු නොව සමස්ත සමාජයට ම පිළිලයකි. එහෙත් මේ පිළිල ඉවත් කිරීම අසිරු ය. එබැවින් කලා නිර්මාණයේ යෙදෙන පුද්ගලයන් කළ යුත්තේ මෙවන් කලා විහීනයන්ට කැමති පරිදි අදාළ නිර්මාණ කියවාගන්නැයි පවරා තම තමන්ගේ නිර්මාණකරණයෙහි යෙදීම ය. එසේ නොවුණ හොත් මෙරට කලා නිර්මාණ පාලනය කරන්නට, වාරණය කරන්නට තලේබාන් පන්නයේ පොලිසියක් බිහිවනු (දැනට ද නැතුවා නොවේ) නොඅනුමාන ය.

 

මෙරට පවතින අනෙක් බරපතළ ඛේදවාචකය නම් මෙබඳු කලා විහීනයෝ මේ ආකාරයට කලාව වරදවා වටහාගත් සැණින් ඊට දක්වන ප්‍රතිචාර අදාළ අංශ බාර බලධාරින් ද කිසිදු වග විභාගයකින් තොරව තහනම් කිරීම ය; නිර්මාණකරණයේ යෙදුණ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ය. නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයා අධිකරණයට රැගෙන යාමට පෙර ඒ සඳහා පෙර විපරම් කිරීම සඳහා කුමන හෝ ආයතනයක් ස්ථාපිත කළ යුතු ය. එකී ආයතනයේ නිල-තල හොබවන්නෝ ද සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය යනු කුමක් ද...? සහ කලාව යනු කුමක් ද...? යන්න මැනවින් අවබෝධ කරගත් පිරිසක් විය යුතු ය. එසේ නොවී චිරාගත සාම්ප්‍රදායික ආකාරයෙන් කලා නිර්මාණ වර්ග කරන පිරිසක් අදාළ ආයතනයේ කටයුතු හොබවන්නේ නම් එවිට ද කලාව සහ කලාවේ නිරත පුද්ගලයෝ සදා අනාත ය.

 

sansa 2

කලා විහීනයන්ගේ අවලාද (සමාජ මාධ්‍ය පෝස්ටුවක්)



අවසන් වශයෙන් පැවසිය යුත්තේ කිසියම් කලා නිර්මාණයක් වෙත කලා විහීනයෝ විවේචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් ඈඳා නොගත යුතු බවයි. මන්ද මේ සාකච්ඡාවට බඳුන් කෙරෙන නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා ජවිපෙ හෙවත් ජාජබ පක්ෂයට සම්බන්ධ ය, එකී පක්ෂය බෞද්ධ විරෝධි ය යනුවෙන් ද ප්‍රචාරයක් දියත් කරමින් පවතී. එබැවින් කිසියම් පක්ෂයක් වෙත දේශපාලන විවේචන එල්ල කිරීම සහ සාහසික චෝදනා එල්ල කිරීම යනු එකක් නොව දෙකක් බව මේ කලා විහීනයෝ අවබෝධ කරගත යුතු ය. මේ මුග්ධ කලා විහීනයෝ කැස කවන්නේ එක ගලෙන් කුරුල්න් දෙදෙනෙකු නොව තිදෙනෙකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් වුව ද හැකිනම් බිම දමාගැනීම සඳහා පිඹුරුපත් සැකසී ම ය. එබැවින් කලාව කලාව ලෙස විඳින පිරිස ද මේ පිළිබඳව එළඹි සිහියෙන් කටයුතු කළ යුතු ය; කලාව සම්බන්ධයෙන් වග විය යුත්තෝ ද මෙවන් කලා විහීනයන්ගේ මුග්ධ ප්‍රහාර සම්බන්ධයෙන් පියවි සිහියෙන් යුක්තව කටයුතු කළ යුතු ය.

 

මේ කලා විහීනයෝ යනු කෙබඳු පුද්ගලයෝ ද යන්න අවබෝධ කරගැනීම සඳහා යළිත් ලිපියේ ආරම්භක උපුටනය නිවැරැදිව කියවාගන්න.

 




jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/03/05    


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...