The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

March 6, 2023 • 3:32 PM

ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව.
  • ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න.
  • එතකොට නිශ්චිත රාමුවක් ඇතුළෙ උපරිමය කරන්නට ජවිපෙට පුළුවන්.
  • ඒත්, ජවිපෙට තියෙන හුඹස් බිය තමයි, රට නැවත හරි මගට ගත්තොත් ඔවුන්ට ලැබුණු අවස්ථාව ගිලිහෙන බව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි.

හැබැයි, රාජ්‍ය ක්‍රමය කියන්නෙ ඔවුන් හිතන තරම් සරල එකක් නෙමෙයි. ලංකාවෙ රාජ්‍ය දේශපාලනය ගෝලීය දේශපාලනයත් එක්ක වෙන බොහෝ රාජ්‍යයන්ට වඩා බැඳිලායි තියෙන්නෙ. දේශපාලනයෙදි කලකිරීම හා වෛරය ප්‍රවර්ධනය කිරීමෙන් විතරක් අරමුණු සාක්ෂාත් කරගන්නට බැහැ. ලංකාවෙ ජනතාව වගේම කලාපීය හා ගෝලීය දේශපාලනයත් තුලනය කරගන්නට ඕනැ. බොරු කියන එක තරම්, වෛරය වපුරන එක තරම් ඒක ලේසි නැහැ.

xgw

අපි මුල ඉඳන්ම කියපු කාරණය තමයි, රනිල්ට මේ දුෂ්කර අවස්ථාවේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නට අවශ්‍ය නායකත්වය දෙන්නට පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළාට පස්සෙ මැතිවරණ පවත්වලා බලය අරගෙන රට පාලනය කරන්න කියන එකයි අපි කියන්නෙ. එතකොට නිශ්චිත රාමුවක් ඇතුළෙ උපරිමය කරන්නට ජවිපෙට පුළුවන්.

ඒත්, ජවිපෙට තියෙන හුඹස් බිය තමයි, රට නැවත හරි මගට ගත්තොත් ඔවුන්ට ලැබුණු අවස්ථාව ගිලිහෙන බව. ජවිපෙ 2004ත් මේ විදියට හිතලා කටයුතු කළා. 2001 වෙනකොට ඍණ අගයක් අරගෙන තිබුණු ආර්ථිකය රනිල් මැනැවින් කළමනාකරණය කරලා ගොඩගත්තා. බටහිර රටවල හා ජපානයේ සහයෝගය ඇතිව ජාතික ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් දෙමින් දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කරන්නට මුලපිරුවා. ලංකාවට ආධාර කරන කණ්ඩායම ඩොලර් බිලියන 4.5ක සංවර්ධන ආධාර පොරොන්දු වෙලායි තිබුණෙ.

ඒ වෙලාවෙ ජවිපෙ අභ්‍යන්තර සැබෑ නායකයා වන කුමාර් ගුණරත්නම් හිරු කණ්ඩායමේ අපේ මිතුරකු වන ඔහුගේ ඥාතියකුට පවසා තිබුණ කරුණක් වුණේ එහෙම වුණොත් ඔවුන්ට පැවැත්මක් නැති වන බවයි.

ඒ නිසා ඔවුන් සිංහල ජාතිවාදය, දෙමළ විරෝධය මත පදනම් වෙලා චන්ද්‍රිකා, මංගල, මහින්ද සමග සන්ධානයක් හදාගෙන දැවැන්ත රැල්ලක් නිර්මාණය කරලා බලය අල්ලාගත්තා. ඔවුන්ටත් පාර්ලිමේන්තු ආසන 39ක් ලැබුණා. මහින්දව ජනාධිපති කරන්නට ඒ වෙලාවේ කොටි සංවිධානය පවා උදව් කළා. ඔවුන්ගේ ඡන්ද වර්ජනය නොතිබුණා නම්, 2005දි දිනන්නෙ රනිල්.

 

කෙසේ වෙතත්, 2004 වෙනකොට රනිල් තේරුම් ගත්තා කොටි සංවිධානය එක්ක වගේම සිංහල ජාතිවාදීන් එක්කත් ඉදිරියට යන්නට බැරි බව. ඒ වගේම, ඉන්දියාවත් හිටියෙ ඔහුට එරෙහිව. ඒ නිසා ඔහු බලය අත්හැර මහින්දට ඉදිරියට යන්නට දුන්නා. ජවිපෙ සහයෝගය නොදී මහින්දව අමාරුවේ දාන්න හදනකොට කරු ජයසූරිය ඇතුළු එජාප මන්ත්‍රීවරුන් 17කට ආණ්ඩුවට යන්නත් අවස්ථාව දුන්නා. ඒවට හරියන්න තමයි මහින්ද සජිත්ගේ ප්‍රහාරවලින් රනිල්ව ආරක්ෂා කළේ. මතකද සජිත් සිරිකොත අල්ලන්න එනකොට ඒ ඉදිරිපිට පාර තාර දැම්ම සිද්ධිය.



2004දි කරපු දේම තමයි ජවිපෙ මේ කරන්නට උත්සාහ කරන්නෙත්. 2001-2004 කාලෙ රනිල්ගේ නායකත්වයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළා නම් 2022 ආර්ථික කඩාවැටීම වෙන්නෙ නැහැ. ජවිපෙ විසින් මහින්ද හරහා ස්ථාපිත කරපු සුබසාධනවාදී ක්‍රමයෙ කූටප්‍රාප්තිය තමයි ගෝඨාභය බලයට ඇවිත් බදු කප්පාදු කරලා, ඕලෙවල් ෆේල් කියන සුදුසුකමටත් රජයේ රස්සා දීලා, කොවිඩ් කාලෙ රට වහගෙන පන්දහසින් බැඳි පියලිත් පුදලා අවසන් කරලා ගියෙ.

2004ට වඩා දැන් තියෙන වෙනස්කම් මොනවාද? පළමු වැදගත්ම දේ තමයි, ඉන්දියාව ජවිපෙ දේශපාලන ලයින් එකට උදව් කරන බවක් පෙනෙන්නෙ නැහැ. භයානකම දේ ජවිපෙට චීනය උදව් කරන බව පෙනීම. චීනය ජවිපෙට සල්ලි දෙයි. උද්ඝෝෂණවලට යනකොට දාන්න ඩෙක් ෂූස් කන්ටේනරයක් එහෙම දෙයි. හැබැයි, ඒවා අරගෙන ජවිපෙ ඉන්දියාව තරහ කරගැනීම ජවිපෙ බල ව්‍යාපෘතියට හානිකරයි.



මේ වෙනකොට ඉන්දියාවත්, එක්සත් ජනපදයත්, යුරෝපයත් ඉන්නෙ ලංකාව සම්බන්ධයෙන් එක ලයින් එකක. චීනය, රුසියාව අනෙක් පැත්තෙ. ඒ රටවලුත් ලංකාවට අතිශය වැදගත්. අතහැර දාන්න බැහැ. මේ සීතල යුද්ධය මැද්දෙ ලංකාව ආර්ථික අර්බුදයෙනුත් ගොඩඑන්න ඕනැ. දැවැන්ත නායකත්වයක් රටට අවශ්‍ය මේ වගේ වෙලාවකයි.


MR RW

ලංකාවෙ ඒ වගේ නායකත්ව පෞරුෂයන් ලෙස සලකන්නට පුළුවන් දෙන්නා තමයි රනිල් හා මහින්ද. මහින්ද යුද්ධයකුත් එක්ක ආර්ථිකය හා දේශපාලනය මනාව කළමනාකරණය කරගෙන ලංකා ඉතිහාසයේ සුසමාදර්ශීය වෙනසක් සලකුණු කරපු කෙනෙක්. ඒත්, යුද්දෙන් පස්සෙ ඔහු අසමත් වුණා. අසනීපත් වුණා. ඉතිරි වුණේ රනිල්. ඒ නිසා තමයි මහින්ද රනිල්ට පාලන බලය පැවරුවේ.

රනිල්ට තව ජනාධිපති ටර්ම් එකක අවශ්‍යතාව තිබෙනවා. හේතුව, ලංකාව මේ ආර්ථික අර්බුදයත් එක්ක ගන්න ටර්න් එක හෙවත් හැරවුම ස්ථාවර කරන්නට 2026-27 වගේ වෙනකල් ඉන්න වෙනවා. සුබසාධනවාදී දේශපාලන දෘෂ්ටියක ඉන්න අනුර වගේ කෙනෙකුට ඒ වැඩේ කරන්නට අමාරුයි. චම්පිකට නම් පුළුවන්. ඒ වුණාට, මුලින්ම චම්පික රනිල් එක්ක එකතු වෙන්නට ඕනැ. නැතිනම්, මේ ගමන යන්න බැහැ. රනිලුත් චම්පික තමන්ට කළ ද්‍රෝහීකම් අමතක කරලා ඔහුට අවස්ථාව දෙනවා නම් හොඳයි.

හැබැයි, මේ අතරෙ, මේ දුෂ්කර අවස්ථාවෙ රාජ්‍ය පාලනයේ අභියෝගවලට නොබියව උර දුන්න අලුත් පරපුරක් ගොඩනැගෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කංචන විජේසේකර එවැනි නායකත්වයක්. චම්පිකට විදුලි බල හා බලශක්ති ඇමති විදියට කරන්නට බැරි වුණ දේ ඔහු කරමින් ඉන්නවා.



රනිල් වියපත් පුද්ගලයෙක්. ඔහුට තව එක් වාරයකට වඩා ජනාධිපතිකම් කරන්නට බැහැ. හැබැයි, ඔහුට ඒකට අවස්ථාව දෙන එක රටේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍යයි.



ජවිපෙට හොඳ පාර්ලිමේන්තු බලයක් ගොඩනැගෙන එකට මාත් කැමතියි. පිරිමැසුම් ආර්ථිකයක රාමුව හැදුවට පස්සෙ ඒක ඇතුළෙ රාජ්‍ය පාලනය කරන්නට වුණත් ජවිපෙට ඉගෙනගන්නට පුළුවන්. හොරු ඇල්ලීම වගේ ඒවා පළිගැනීමෙන් එහාට යන්නෙ නැතිවෙන්නට පුළුවන්. හැබැයි, ජවිපෙ පාලනයක් තුළදි දූෂිතභාවය අඩුවිය හැකියි. ඒකට ජවිපෙ ඔය පොල්ලෙලි එකතු කරන එක නවත්තලා ප්‍රමාණය වෙනුවට ගුණය ගැන නැවත සිතිය යුතුයි. ගෝඨාභය රැල්ලෙ පාවෙමින් හිටපු තක්කඩි අමනයන් එකතු කරගෙන තවත් එක් ගොබ්බ පක්ෂයක් වෙන පැත්තට තමයි දැනට ගමන් කරන්නෙ.

ඇයි මේ කලබල? ඉවසන්න. ආපසු හැරී බලා හිතන්න. උපායමාර්ග වෙනස් කරගන්න.

AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)
 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...