The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොරුකාරයින්ගෙන් රට බේරා ගැනීමට නම්....- (කුසල් පෙරේරා)

T

The Leader Desk

March 7, 2023 • 5:57 AM

බොරුකාරයින්ගෙන් රට බේරා ගැනීමට නම්....- (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තුවේදී ජනතාව ඡන්දෙන් පත් කළ ආණ්ඩුවට කුමක්වීදැයි හෝ දැන් ඇත්තේ කුමන ආණ්ඩුවක්දැයි ඔහු කියන්නේ නැත.
  • ඔහු අගමැති වූයේ ජනතා ඡන්දයකින් පත් කළ බහුතර ආණ්ඩුවක නායකයා ලෙස දැයි නොදන්නා තරමට ඔහුට ගාලු මුවදොර ජනතා වීදි බැසීම අමතකවී ඇත.
  • අගමැති වීමට හා අනතුරුව ජනාධිපති වීමට ඔහුට ජනතාව ඡන්දය දුන් මැතිවරණ අවශ්‍ය නොවූවත් මින් මතු වෙනත් අයෙකුට අගමැති වන්නට, අනතුරුව ජනාධිපති වන්නට මහජන විරෝධතා පාරට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන හෙයින් එවැනි විරෝධතා මර්දනය කරනු ඇත.
  • රටේ නලියන ආණ්ඩු විරෝධය දඩමීමා කර ගනිමින් කවුරුන් කොතැනක හෝ මහා ගෝසාවක් සමග විරෝධතා ප්‍රකාශයට පත් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):



2020 අගෝස්තුවේදී ජනතාව ඡන්දෙන් පත් කළ ආණ්ඩුවට කුමක්වීදැයි හෝ දැන් ඇත්තේ කුමන ආණ්ඩුවක්දැයි ඔහු කියන්නේ නැත. එය ඡන්දය දුන් ජනතාව දන්නේද නැත. ඔහු අගමැති වූයේ ජනතා ඡන්දයකින් පත් කළ බහුතර ආණ්ඩුවක නායකයා ලෙස දැයි නොදන්නා තරමට ඔහුට ගාලු මුවදොර ජනතා වීදි බැසීම අමතකවී ඇත. අගමැති වීමට හා අනතුරුව ජනාධිපති වීමට ඔහුට ජනතාව ඡන්දය දුන් මැතිවරණ අවශ්‍ය නොවූවත් මින් මතු වෙනත් අයෙකුට අගමැති වන්නට, අනතුරුව ජනාධිපති වන්නට මහජන විරෝධතා පාරට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන හෙයින් එවැනි විරෝධතා මර්දනය කරනු ඇත.

 

මේ රටේ හුදකලා මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය නායකයා වීමේ වරම් ලබා දෙන “ජනතා රැළි” හැදෙන්නේ බොරුකාරයින්ගේ ගෝසා සමගින්ය. විරෝධතා සඳහා තීන්දු ගන්නේ කවුරුන් කොතැනින්දැයි කවුරුවත් දන්නේ නැත. රටේ නලියන ආණ්ඩු විරෝධය දඩමීමා කර ගනිමින් කවුරුන් කොතැනක හෝ මහා ගෝසාවක් සමග විරෝධතා ප්‍රකාශයට පත් කරති. අන්තර්ජාලය සමග සමාජ මාධ්‍ය ජාල මේ කාලයේ ඒ සඳහා ලොකු පහසුවක් හදා දී ඇත. #GotaGoHome එවැනිය. නායකයින් නැත. වගකීම් ගැනීමට කවුරුත් නැත. අවසානයේ ඒ වෙනුවෙන් අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වූ කල්ලි කිහිපය හතර අත විසිර ගොසින්ය. වෙනස් කරන්නට පැමිණි “සිස්ටම්” එකෙහි ඔවුන් දේශපාලන පත්වීම් ලබා ගෙනය. නැතිනම් ඊට ඇතුළු වන්නට ඡන්දෙ ඉල්ලති. තවත් අය ඒ “සිස්ටම්” එකෙහි සාධාරණය සොයති.

අන්තරේ හෙට (18) කොළඹට ! - නොවැ. 02 දැවැන්ත විරෝධතාවයක් !

 

මේ මහා ප්‍රෝඩාවෙහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) නාමිකයක් පමණි. එහි සාමාජිකයින් කවුරුන්දැයි විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දන්නේ නැත. “කැඳවුම්කරු” පත් කෙරෙන්නේ කෙසේදැයි වරක් වයඹ හා සබරගමුව උපාධිලාභීන් දෙතුන් දෙනෙකුගෙන් ඇසූ විට ඔවුන් ඒ ගැන කිසිවක් දැන සිටියේ නැත. එහි තීන්දු ගන්නේ කවුරුන්ද කෙසේදැයිද විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දන්නේ නැත. එහෙත් පෙළපාලි යන්නට වර්ජනය කරන්නට කොහෙන් හෝ එන තීන්දු වලට සිසු සිසුවියන් අවනත විය යුතුය. අන්තරේ ක්‍රියාකාරීන් දන්නා ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට යැයි පාරට බසින්නේ ඔවුන්ය.

කොළඹ විශ්ව විද්‍යාලයයෙහි ස්වාධීන ශිෂ්‍ය නායක දයා පතිරණව 1986 දෙසැම්බරයේදී ඝාතනය කළ ජ.වි.පෙ විසින් එදා සිට හැදූ අන්තරයේ සංවිධාන ව්‍යුහයෙහි ඔවුන්ගේ ආධිපත්‍ය තහවුරු කරගනු ලැබූයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තීන්දු ගැනීමට ඉඩ නොතැබීමෙනි. ජ.වි.පෙන් වෙන්වන විට පෙරටුගාමීන් අන්තරේ අතට ගත්තේ ඔවුන්ගේ ආධිපත්‍ය තවදුරටත් එහි දැඩිව ඇණ ගසමින් ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අයගේ ප්‍රජාතන්ත්‍රවාදය එවැනිය.

 

මේ රටේ වෘත්තීය සමිතිවලද සාමාජිකත්වයට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් ඇත්තේ නැත. දීප ව්‍යාප්ත වැඩ වර්ජන සඳහා තීන්දු ගන්නේද අන්තරේ තීන්දු ගන්නා ආකාරයටම ය. දීප ව්‍යාප්ත වැඩ වර්ජන කැඳවීමට අත්සන් තබන වෘත්තීය සමිති දුසිම් ගණනාවක් ඇත. ඒ වෘත්තීය සමිතිවල සාමාජික සේවක සේවිකාවන් ඇතිද නැතිද කියා සමිති අයිතිකරුවන් දන්නේදැයිද නොදනිමි. සාමාජිකත්වයක් සිටියත් ශාඛා රැස්වීමක් පැවැත්වූ දිනයක් ගැන ඔවුන් දන්නේද නැතුව ඇත. මේ ආර්ථික අර්බුදය ගැන සහ ඉල්ලීම් ගැන සමිති ශාඛා වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැත. ඔවුන්ගේ වෘත්තීය සමිතිවල ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන ඔවුන් දන්නේද නැත. ඔවුන්ට එහි වැදගත්කමක් ඇත්තේද නැත. ඔවුන්ට වැදගත් වන්නේ පඩි වැඩි කෙරෙන්නේද, දීමනා වැඩි කෙරෙන්නේද වැනි තාවකාලික පෞද්ගලික වාසි පමණි. කිසිවකුට වග නොකියන එවැනි වෘත්තීය සමිති නායකයින් දීප ව්‍යාප්ත වර්ජන ප්‍රකාශයට පත් කරති.

 

ඒ පසුබිමෙහි නොපමාව පැවැත් විය යුතු යැයි දේශපාලන නායකයින් ඉල්ලා සිටින මේ පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන් කියන ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ තහවුරු විය හැකිද? මේ රටේ නිදහසින් පසු පවත්වා ඇති පළාත් පාලන මැතිවරණ වලට අමතරව මෙතෙක් පවත්වා ඇති පළාත් සභා, මහ මැතිවරණ සහ ජනාධිපති මැතිවරණ වලින් තහවුරු කර ඇති “ප්‍රජතන්ත්‍රවාදය” කෙතරම් විය යුතුද?

නිදහසින් පසු ඉතිහාසයේ කෙතරම් මැතිවරණ පැවැත් වූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි තුන්වන පරිච්ඡේදයේ අනුව්‍යවස්ථා 10, 11, 14 මගින් සහතික කෙරෙන ආගමික නිදහස සුරැකීම, වධහිංසා වලින් කෲර, අමානුෂික සැළිකිලි වලින් සහ වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, යනාදියෙන් වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන කිරීමෙන් සියලු පුරවැසියන් ආරක්ෂා කිරීම, ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ අයිතිය, වෘත්තීය සමිති පිහිටුවීමේ හා සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමක් සිදුව ඇත්තේ කවදාද? එවැනි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, අයිතිවාසිකම් සහතික කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය රැක ගන්න කතා කරන, උද්ඝෝෂණය කරන කිසිදු දේශපාලන නායකයෙකු පාරට පැමිණ තිබේද?

 

මේ දේශපාලන නායකයින් රටේ ජනතාවගේ තබා තම පක්ෂයේ හෝ සංවිධානාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වා ගන්නේ නැත. ඔවුන් හැම දෙනාම වාගේ තමන්ගේ පක්ෂයේ, තමන්ගේ වෘත්තීය සමිතියේ යාවජීව නායකයින් ය. ඔවුන්ගේ පක්ෂවල පමණක් නොව, ඔවුන් අටවා ගන්නා පෙරමුණුවලද බලවේගවලද නායකයින් ඔවුන්මය.

 

එවැනි නායකයින් මේ පළාත් පාලන මැතිවරණයෙන් ආරක්ෂා කිරීමට කතා කරන ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය 1988-89 වසරවල පැවැති ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී අහෝසි කරනු ලැබුවේ ඡන්දය දැමීමට යන අය ඝාතනය කිරීමෙන්, ඡන්ද මධ්‍යස්ථාන වලට බෝම්බ ගැසීමෙන්, ගස් කපා දමා පාරවල් අවහිර කිරීමෙන් සහ මැතිවරණ කටයුතුවල නිරත රාජ්‍ය නිලධරයින්ට මරණ තර්ජන කිරීමෙනි. ඒ මෘග ත්‍රස්තවාදී ක්‍රියාවලට අදාල තොරතුරු 1989 පෙබරවාරි 15 වන දින පැවැති මහ මැතිවරණය සම්බන්ධ මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ නිල වාර්තාවෙහි සවිස්තරාත්මකව සටහන් කර ඇත (පිටු 109 සටහන් අංක 187 සිට පිටු 190 සටහන් අංක 346 දක්වා කියවන්න).

 

තව සති තුනකින් 'ජාතික ප්‍රශ්නයත්' ඉවරයි! - (ගාමිණී වියන්ගොඩ)

 

වත්මන් ජනාධිපති වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ අගමැති වශයෙන් 2018/19 වසරවල විසුරුවා හැරුණු පළාත් සභා 09 යේ මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගත්තේ දෙමළ ජාතික පෙරමුණ නායකයින්ද ඇතුලු දකුණේ මේ දේශපාලන නායකයින්ගේ පූර්ණ සහාය ඇතිවය. මැතිවරණ කල් දැමීමේ වත්මන් පූර්වාදර්ශය සඳහා එබැවින් ඔවුන් හැම හවුල්ය. වගකිව යුතුය. ඒ තීන්දු ගැනීමේදී ඔවුන්ගේ කුහක කට්ටිවාදී දේශපාලනයට ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය ගැන තඹ දොයිතුවක වටිනාකමක් නොවුනි.

 

ඒවා ඉතිහාසයේ කතා යැයිද ඒවායේ වටිනාකමක් අද නැතැයිද අද කතා කළ යුත්තේ මේ ආණ්ඩුවේ මර්දනය සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යයිද කියනවුන් ඇත. සැබෑ ය. අතීතයේ කර පින්නාගත් කුහක, මෘග දේශපාලනයෙන් ඉවත් වීමේ පූර්ණ අයිතියක් ඕනෑම පුද්ගලයෙකුට, සංවිධානයකට හා දේශපාලන පක්ෂයකට ඇත. ඒ ගැන වාදයක් තර්කයක් නැත.

මා ප්‍රශ්න කරන්නේ ඒ වෙනස්වීම නොවේ. මා ප්‍රශ්න කෙරෙන්නේ ඒ කුහක, මෘග දේශපාලනයෙන් වෙනස්වීම කෙතරම් අවංක, දැනුවත් දේශපාලන තීන්දුවක් වන්නේද යන්න ය. ඒ වෙනස්වීම අවංක, දැනුවත් දේශපාලන තීන්දුවක් ලෙස සමාජය හමුවේ තබන්නට නම්, පැරණි කුහක, මෘග දේශපාලනය ජනතා විරෝධී දේශපාලනයක් වූ බවත් එය තම දේශපාලන තීන්දු සතු බරපතල වරදක් වූ බවත් පිළිගත යුතුව ඇත. එසේ නැතිව දේශපාලනයේ අංගුලිමාලලාට හිටි අඩියේ සැරියුත් මුගලන්ලා වන්නට බැරිය. එවැනි ප්‍රසිද්ධ සමාවක් ගැනීමටද දේශපාලන පරිචයක් අවංක බවක් තිබිය යුතුය.

ඉතා කෙටියෙන් කියන්නේ නම්, මේ පළාත් පාලන මැතිවරණයෙහි ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය ගැන කතා කිරීමට නම්, අවම තරමින් තමන් පළාත් සභා මැතිවරණය අත්හිටුවන්නට යහපාලන ආණ්ඩුවේ අගමැතිවූ වික්‍රමසිංහ සමග ඇති කරගත් සම්මුතිය ජනතා විරෝධි සම්මුතියක් වූ බවත් ඕනෑම ව්‍යවස්ථාපිත මැතිවරණයක් කල් තැබීමෙන් ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය බරපතල තර්ජනයකට නතුවන බව තමන් පිළිගන්නා බවත් එනිසා මේ පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණයද වහා පැවැත් විය යුතු යැයි ඔවුන් සැවොම කිව යුතුය.

 

එවගේම මැතිවරණ මගින් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයකට ඉඩ තබන්නට නම්, ඔවුන් මේ පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන හිස් ආණ්ඩු විරෝධී දේශපාලනය වෙනුවට මහ නගර, නගර හා ප්‍රාදේශීය සභා සියල්ල ජනතාවට වගකියන්නාවූ විනයක් සහ වගකීමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලන බවට පත් කෙරෙන දේශපාලනයකට මාරු විය යුතුය. හැම මැතිවරණයක්ම නිශ්චිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් ජනතා නියෝජිතයින් තෝරා පත්කරන මැතිවරණ බැව් තේරුම් ගත යුතුය. ජනතාවට එය තේරුම්කර දිය යුතුය. මහ මැතිවරණ සඳහාවන බල අරගලය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ යොදා ගැනීමෙන් ඔවුන් කරන්නේ ජනතාවට වගකියන්නාවූ විනයක් සහ වගකීමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී පළාත් පාලන ආයතන පත්කර ගැනීමට ජනතාවට ඇති අයිතිය අහෝසි කිරීමකි. ඔවුන් කරගසා ගෙන ඉන්නේ ඔවුන් මේ මැතිවරණයෙන් තහවුරු කිරීමට කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයට ඉඳුරාම පටහැනි දේශපාලනයකි. “ජනතා රැළි” හැදෙන්නේ බොරුකාරයින්ගේ ගෝසා සමගින්යැයි ආරම්භයේදී මා කියූවේ මේ අරමුණක් නොමැති ගෝසාකාරී ආණ්ඩු විරෝධයත් එවැන්නක් බැවින්ය. 



kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොරුකාරයින්ගෙන් රට බේරා ගැනීමට නම්....- (කුසල් පෙරේරා) | The Leader