The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපාක්ෂික නොවන නිර්පාක්ෂික - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 7, 2023 • 3:32 PM

අපාක්ෂික නොවන නිර්පාක්ෂික - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊනියා අරගලයේ “නිර්පාක්ෂික” යැයි කියාගන්නා පිරිසක් වේදිකාවට පැන සරත් ෆොන්සේකාට විවෘතව විරෝධය දැක්වීම සිත් ගන්නා සුලුය.
  • පුරුෂාධිපත්‍යයේ දරුණුතම version එකක් වන ෆොන්සේකාට අනෝජා කුගන්තිරරාසා විසින් ගැසූ බෝම්බයට වඩා නූර් අක්කා ගැසූ වාග් ප්‍රහාර ඔහුගේ හදවත පසාරු කරමින් වේදනා දෙනු ඇත.
  • නමුත් කිසියම් පිරිසක් තවමත් කිසිදු -දේශපාලන- පක්ෂයකට සම්බන්ධ නොවී “නිර්පාක්ෂික” ලෙස සලකුණු වෙමින් සිටිනා බවක් අපට පෙනේ.
  • කිසියම් පුද්ගලයෙකු කිසිදු දේශපාලන මතවාදයක් නොදරමින් සිටී නම් හෙතෙම “නිර්පාක්ෂික” යැයි සාධාරණව සැලකිය හැක්කේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊනියා අරගලයේ “නිර්පාක්ෂික” යැයි කියාගන්නා පිරිසක් වේදිකාවට පැන සරත් ෆොන්සේකාට විවෘතව විරෝධය දැක්වීම සිත් ගන්නා සුලුය.

“අරගලකරුවන් පිළිගන්නා එකම දේශපාලකයා තමාය” යැයි පාරම් බෑ සරත්ට ඊයේ එම අරගලකරුවන්ගෙන්ම දැඩි විරෝධයක් එල්ල වීම දෛවයේ සරදමකි. පුරුෂාධිපත්‍යයේ දරුණුතම version එකක් වන ෆොන්සේකාට අනෝජා කුගන්තිරරාසා විසින් ගැසූ බෝම්බයට වඩා නූර් අක්කා ගැසූ වාග් ප්‍රහාර ඔහුගේ හදවත පසාරු කරමින් වේදනා දෙනු ඇත.

 
මේ “නිර්පාක්ෂික” යන වර්තමාන නිරීක්ෂණය අපි මදක් විමසා බලමු. මෙහි සරල අර්ථය “කිසිදු -දේශපාලන- පක්ෂයකට අයත් නොවන” වැන්නකි. එමෙන්ම “සියලු -දේශපාලන- පක්ෂ ප්‍රතික්ෂේප කරන” වැනි ආන්තික ස්ථාවරයකුත් එහි තිබේ. ඊනියා අරගලයට සම්බන්ධ වුණු පුද්ගලයන් පසුව විවිධ පක්ෂ සමග එකතු වීම මෙම “නිර්පාක්ෂික”යන්ගේ දෝෂාරෝපණයට ලක් වේ. ඊයේ පැවති රැස්වීමේදී ඔවුන් කීවේ “නිර්පාක්ෂික කියාගෙන පසුව -දේශපාලන- පක්ෂවලට කඩේ යනකොට මිනිස්සු අපෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කවුද!” කියාය.



“අපිට පක්ෂයක් නැහැ දෙයියනේ” යැයි කියූ අරගල නායිකා දමිතා අබේරත්න සජිත් ප්‍රේමදාසගේ ගුණ වයමින් සමගි ජන බලවේග පක්ෂයේ වේදිකාවට නැගීමත් මහජන මන්ත්‍රණ සභා යෝජනා කළ නිර්මාල් දේවසිරි ජාතික ජන බලවේගයට එළිපිට කඩේ යෑමත් රුපවාහිනී සංස්ථාවට කඩා වැදුණු අරගල නායක අලි දානිෂ් වැන්නවුන් ටිරාන් අලස්ගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලීමත් වැනි සිදුවීම් හරහා “නිර්පාක්ෂික අරගලය” යන්න සමාජයේ හාස්‍යයට ලක් වේ.

 

dfgert34

 

නමුත් කිසියම් පිරිසක් තවමත් කිසිදු -දේශපාලන- පක්ෂයකට සම්බන්ධ නොවී “නිර්පාක්ෂික” ලෙස සලකුණු වෙමින් සිටිනා බවක් අපට පෙනේ.

තාර්කිකව සලකා බැලූ විට “නිර්පාක්ෂික” යනුවෙන් වෙනම කණ්ඩායමක් ඒ ආකාරයෙන් කටයුතු කිරීමම “පාක්ෂිකය”. “නිර්පාක්ෂික” යනුත් පක්ෂයකි. කිසියම් පොදු මතවාදයක් පිළිගනිමින් සාමූහිකව කටයුතු කිරීම පක්ෂයක මූලික ලක්ෂණයයි. එය දේශපාලන මතවාදයක් නම් දේශපාලන පක්ෂයකි. එය ලියාපදිංචි දේශපාලන පක්ෂයක්ද නැද්ද යන්න තාක්ෂණික කාරණයක් පමණී. ඒ අනුව ගත් කල මේ “නිර්පාක්ෂික” යන්න අතාර්කිකය.



තාර්කිකව “නිර්පාක්ෂික” වීම කළ හැක්කේ පුද්ගලිකව පමණී. කිසියම් පුද්ගලයෙකු කිසිදු දේශපාලන මතවාදයක් නොදරමින් සිටී නම් හෙතෙම “නිර්පාක්ෂික” යැයි සාධාරණව සැලකිය හැක්කේය. කිසියම් කාරණයක් අරබයා පොදු මතයක එල්බ ගත් මොහොතේම ඔහු/ඇය “පාක්ෂික” වේ. ඒ අනුව ගත් කල “නිර්පාක්ෂිකයා” කිසිදු දේශපාලන කාර්යයක නොනියැලේ. එයට වඩාත් ගැලපෙන වචනය “අපාක්ෂික” වැන්නකි. එය ප්‍රායෝගික නොවන එළැඹුමකි.



එහෙනම් මේ “නිර්පාක්ෂික” යනුවෙන් අප දකින්නේ කුමක්ද? එහි සැඟවුණු න්‍යාය පත්‍ර නැතැයි උපකල්පනය කොට ගත හොත් අපට කිව හැක්කේ මෙය මූලිකව පවතින -දේශපාලන- පක්ෂ ප්‍රතික්ෂේප කිරීමක් ලෙසටය. එය අලුත් දෙයක් නොවූවත් පශ්චාත් වසංගත සමාජයේ සැලකිය යුතු පිරිසක් මෙම “ප්‍රතික්ෂේප පක්ෂය” තුළ සිටින බව පෙනේ. මෙය මගහැරිය නොහැකි කිසියම් ආකාරයක අනාගත රාජ්‍ය දේශපාලන ව්‍යුහාත්මක ලක්ෂණයක් ලෙස ගත යුතු යැයි මට සිතේ. මෙයට සමාන්තර නිරීක්ෂණයක් ලෙස සියලු ආගම් ප්‍රතික්ෂේප කරන හෙවත් “නිර්-ආගමික” පක්ෂයේ නැගීම ගත හැකිය.

දැනට මේසය මත තිබෙන එකම “විකල්ප” දේශපාලන පරීක්ෂණය මේ “නිර්පාක්ෂික” යැයි කියන දෙය පමණී (එහි සාමාජිකයන් කිසිවෙකුත් මට අදාළ නැත). මේ ගැන තවත් බොහෝ දේ සාකච්ඡා කළ යුතු වුවත් ඒ සඳහා අවස්ථාව මෙය නොවේ.

 

මට පෙනෙන හැටියට මා මිත්‍ර දිලිත් ජයවීර සිය අනාගත දේශපාලන #අරමුණ වෙනුවෙන් මෙම නිර්පාක්ෂික ප්‍රපංචය දක්ෂ ලෙස භාවිතා කරමින් සිටින බව පෙනේ. එය මුලින්ම භාවිතා වුණේ වියත්මග විසිනි. ඒ පරීක්ෂණයෙන් අප උගත් දේ බොහෝය.

 

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 7

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...