The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අසැබි හෙවත් අසභ්‍ය’' යැයි සම්මත වදන් කෝෂයක් සම්පාදනය කරමු ද...? -(ජයසිරි අලවත්ත)

T

The Leader Desk

March 8, 2023 • 6:23 AM

'අසැබි හෙවත් අසභ්‍ය’' යැයි සම්මත වදන් කෝෂයක් සම්පාදනය කරමු ද...? -(ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන් ද මෙබඳු ලිපියක් ලිවීමේ දී එබඳු වදන් (අදාළ ස්ථානයේ දී) ලිවිය යුතු ම බැවිනි.
  • නමුදු අදාළ වදන් ‘‘අසැබි වදන්’’ යැයි සම්මත වී තිබෙන බැවින් එම වදන් මකා දැමීම හෝ අදාළ වදන් ලියා ඇති ස්ථානවල කතිර දැමීම සංස්කාරක පාර්ශ්වයට පවරමි; මම මගේ අදහස ලියමි.
  • ඇත්තෙන් ම එය විශිෂ්ට සේවාවකි.
  • වාසුදේව නානායක්කාර මීට පෙර 1989 වසරේ දී ද මේ සභාගර්භය තුළ ‘‘කුණු හරුප’’ හෙවත් ‘‘කුණු සරුප’’ පවසා ඇති බව අජිත් පැරකුම්ගේ ලිපියට ප්‍රතිචාර දක්වා තිබූ එක් පුද්ගලයෙක් පවසා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

මන් ද මෙබඳු ලිපියක් ලිවීමේ දී එබඳු වදන් (අදාළ ස්ථානයේ දී) ලිවිය යුතු ම බැවිනි. නමුදු අදාළ වදන් ‘‘අසැබි වදන්’’ යැයි සම්මත වී තිබෙන බැවින් එම වදන් මකා දැමීම හෝ අදාළ වදන් ලියා ඇති ස්ථානවල කතිර දැමීම සංස්කාරක පාර්ශ්වයට පවරමි; මම මගේ අදහස ලියමි.

‘‘වාසුදේව නානායක්කාර යනු හිටපු ජාතික භාෂා ඇමතිවරයා ය. ඔහු පාර්ලිමේන්තුවේදී ප** යන වදන හැන්සාඩ්ගත කරමින් ව්‍යවහාරයට රැගෙන තිබේ.

ඇත්තෙන් ම එය විශිෂ්ට සේවාවකි. මන්ද, මින් පසු අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා වෙනත් දේශපාලකයන් සඳහා ඔය වචනය භාවිතා කළ හැකි ය.’’ 

 

 
එදා අජිත් පැරකුම් මෙසේ ලියන්නේ 2015 මැයි 21වන දින ‘‘උත්තරීතර’’ යැයි පවසන; සම්මත; බොහෝ අය පිළිගන්නා පාර්ලිමේන්තුවේ දී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර එවකට අගමැති රනිල් වික්‍රමසිංහට ‘‘ප**’’ යනුවෙන් අමාන්ත්‍රණය කිරීම පාදක කරගෙන ය. වාසුදේව නානායක්කාර මීට පෙර 1989 වසරේ දී ද මේ සභාගර්භය තුළ ‘‘කුණු හරුප’’ හෙවත් ‘‘කුණු සරුප’’ පවසා ඇති බව අජිත් පැරකුම්ගේ ලිපියට ප්‍රතිචාර දක්වා තිබූ එක් පුද්ගලයෙක් පවසා තිබිණ. නමුදු ඒ කවදා ද, එදා පැවසු වදන් මොනවාද යන්න සඳහන් කර නොතිබූ අතර අදාළ සිද්ධිය ‘‘දිනමිණ’’ පුවත්පතේ පළ වී තිබු බව එම පුද්ගලයා සඳහන් කර තිබිණ. එනයින් බලන විට වාසුදේවට නම්, උත්තරීතර යැයි හැඳින්වෙන මේ සභාගර්භය පයිසයක් තරම් හෝ නොවටිනා බව පැහැදිලි ය.

මෙම ලිපිය ලියූ අජිත් පැරකුම් ලිපිය අවසන අගනා අදහසක් ඉදිරිපත් කර තිබිණ. ඒ මෙසේ ය.

‘‘මෙතන පොඩි පරහක් තිබේ. පාර්ලිමේන්තුවට පත් වන ගැහැනුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ගෙඩියා යන වදන සුදුසු නැත. ඒ සඳහා ආසන්න වදන වන්නේ ---- යන්නයි. සුතනන් ඇත්තී සුත්තී හෙවත් ---- බව ඇතැමෙක් කියති. ඒ කෙසේ වෙතත්, මේ සඳහා සුදුසු ස්ත්‍රීලිංගික වදනක් නිර්මානය කර දීමේ කාර්යය ද වාසුදේව ගෙඩියා විසින් කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.’’

එදා අජිත් කළ ප්‍රාර්ථනාව මල් ඵල ගන්වමින් පසුගිය පෙබරවාරි 24වන දින රටේ අධ්‍යාපනය භාරව සිටින අමාත්‍යවරයා උත්තරිතර යැයි හැඳින්වෙන සභාගර්භයේ දී පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරියක වන රෝහිණි කුමාරි කවිරත්න නැගූ පැනයකට නියමිත පිළිතුරු ලබා දෙනවා වෙනුවට ඇයට ‘‘මේ ගෑනි මල හු****’’ යැයි පවසයි. එම වදන වාසුදේව නානායක්කාර පැවසු වදනෙහි ස්ත්‍රී ලිංග පදය යැයි අර්ථ ගැන්විය නොහැකි වුව ද කිසිවකු තමාට විරුද්ධව පෙනී සිටින හෝ කටයුතු කරන පුරුෂයෙකුට ‘‘ප**’’ යැයි ආමන්ත්‍රණය කරනවා සේ ම තමාට විරුද්ධව පෙනී සිටින හෝ කටයුතු කරන කාන්තාවකට ආමන්ත්‍රණය කරන්නේ ‘‘හු**’’ යනුවෙනි. එය ඍජුවම නොපවසමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ‘‘මල හු****’’ යැයි පැවසී ය.
 
 


 
මෙහි දී අප පළමුවෙන් ම අවධානය යොමු කළ යුත්තේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වී පාර්ලිමේන්තුවට ගොස්, රටේ ජනතාවගේ බදු මුදලෙන් ම යැපෙන මොවුන් මේ ආකාරයේ අසභ්‍ය යැයි සම්මත වදන්වලින් තමන්ගේ ම සහෝදර මන්ත්‍රිවරියකට අමතන්නට තරම් පහත් තත්ත්වයට වැටුණේ කෙසේ ද යන්න ය. අනෙක් පසින් මේ ආකාරයට අසභ්‍ය යැයි සම්මත වදන් පැපවසුවා යැයි චෝදනාවට ලක්වන සිවිල් පුරවැසියෙකු හට විවිධාකාරයේ දෝෂාරෝපණ එල්ල කිරීමෙන් පමණක් නොව ඇතැම් විට එම පුද්ගලයා අධිකරණය දක්වා රැගෙන ගොස් නීත්‍යනුකුල දඬුවම් පමුණවන්නට පවා පෙලඹෙන රටක රටේ අධ්‍යාපනය භාරව කටයුතු කරන අමාත්‍යවරයෙක්, පාර්ලිමේන්තු සභාවේ ගැලරියේ පාසල් දරුදැරියන් පවා (එදින හිටියා ද නැද්ද යන්න පැහැදිලි නොවුණ ද වාසුදේව නානායක්කාර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ‘‘ප**’’ යැයි පවසන මොහොතේ පාසල් ලමුන් ගැලරියේ සිටින බව කතානායකවරයා පැවසී ය.) සිටින මොහොතක මේ ආකාරයෙන් හැසුරුණ විට ඊට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග මොනවා ද යන්න ය. නීතිමය ක්‍රියාමාර්ග නොමැති නම් අවම වශයෙන් විනය ක්‍රියාමාර්ගයක් හෝ නොගන්නේ ඇයි ද යන්න ය.
 
 
ඇමතිවරු ලෙස කටයුතු කරන මෙවන් මුග්ධයෝ පාර්ලිමේන්තුව තුළ මේ ආකාරයට හැසිරෙන්නේ නම් ඔවුන් පුද්ගලික ජීවිතය තුළ කෙතරම් පහත් සහ නින්දිත ආකාරයෙන් හැසිරෙනවා ද යන්න වටහාගැනීමට මෙය කදිම සාක්ෂියකි.

එදා වාසුදේව නානායක්කාර පැවසූ ‘‘ප**’’ නමැති වදන අසැබි වදනක් නොවේ ය යන්න ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා  බන්දුල ගුණවර්ධන රුපවාහිනි (දෙරණ) වැඩසටහනක දී ‘‘ප*’’ යන පදයට පර්යාය පද ලෙස හැඳින්වෙන පද කිහිපයක් ම ශබ්ද කෝෂවලින් උපුටා දැක්වී ය. ඒ හා සමාන ලෙස ම සුසිල් ප්‍රේමජයන්ත භාවිත කළ ‘‘මල හු****’’ යන වදන් දෙකෙහි ‘‘හු**’’ යන්නට පර්යාය පද මොනවාද යන්න පිළිබඳ පාඩමක් ද නුදුරු දිනක දී ම අසන්නට දකින්නට ලැබුනහොත් එය පුදුම වන්නට තරම් දෙයක් නොවේ.
 
 
 
 
මන්ද පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් ගෝත්‍රික මැති ඇමතිවරු යම් සිද්ධියක් තමන්ට වාසිදායක ලෙස අර්ථ ගන්වන්නට ඔවුන්ගේ ගැලවුම්කරුවන් වන දේශපාළුවන්ගේ අසූචි වුව ද සමන් මල් සුවඳයි යනුවෙන් පවසන්නට ඉඩ - කඩ පවතී. අප රටේ බහුතරයක් වූ පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාව යනු ඒ තරමට ම පහත් ගෝත්‍රික ප්‍රජාවකි. එවුන් කිසිදු චාරයක් නැති පිරිසකි. උත්තරීතර යැයි පවසන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි පමුණුවන්නේ ද මේ ගෝත්‍රික රැළ ම ය. මහින්ද රාජපක්ෂ අනීතික ලෙස අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් ඉකිබිති පාර්ලිමේන්තුවේ සිටි මේ ගෝත්‍රික රැළ එදා හැසිරුණු ආකාරය මීට කදිම නිදසුනකි.
 
 
අනාගතයේ දි වුව ද මේ ගෝත්‍රික රැළ පාර්ලිමේන්තුව නියෝජනය කරන තාක් මෙබඳු සිදුවීම් තව තවත් සිදුවන බව සක් සුදක් සේ පැහැදිලි ය. එය වළකාලන්නට නම් ක්‍රම දෙකක් පවතී.


# පළමු වැන්න නම් එබදු වදන් ප්‍රසිද්ධියේ භාවිත කරන ගෝත්‍රික මහජන නියෝජිතවරුන්ට සහ නියෝජිතවරියන්ට බරපතළ නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් ගත යුතු ය. අවම වශයෙන් තෙමසක් හෝ පාර්ලිමේන්තු සැසිවාරය තහනම් කළ යුතු ය. එම කාලය තුළ ඔහු හෝ ඇය වෙත ලබා දිය යුතු වැටුප් සහ දීමනා ද කප්පාදු කළ යුතු ය.

# දෙවැන්න නම් ‘‘අසභ්‍ය’’ යැයි සම්මත වදන් එසේ නොවේ යැයි පාර්ලිමේන්තු පනතකින් ම සම්මත කළ යුතු ය. එබඳු වදන් එසේ නොවේ යැයි ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා බන්දුල ගුණවර්ධන බඳු ඇසූ පිරු තැන් ඇති විශාරදවරයෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කළ හැකි ය. මේ සඳහා චිවරධාරින් ද සම්බන්ධ කරගත යුතු ය. එහි ප්‍රධාන තනතුරු පැවරිය යුත්තේ ගලබොඩඅත්තේ ඥනසාර සහ අම්පිටියේ සුමනරතන යන චිවරධාරින් දෙපළට ය. මන්ද ඔවුන්ගේ වාග් කෝෂයේ ගබඩා වී තිබෙන වදන් බහුතරයක් ම ‘‘අසැබි වදන්’’ යැයි සම්මත වදන් ම ය. එම දෙපළගේ මුලිකත්වයෙන් කමිටුවක් පිහිටුවා, අනතුරුව අදාළ වදන් අන්තර්ගත ශබ්දකෝෂයක් ද සම්පාදනය කළ යුතු ය.
 
 
එසේ කළ පසු  සාමාන්‍ය ජනතාවට වුව ද පාර්ලිමේන්තුවේ සිටින ගෝත්‍රික ප්‍රජාවට එම වදන්වලින් ඇමතිය හැකි ය. ඒ සඳහා කිසිදු තහනමක් පැනවිය නොහැකි වන ලෙසින් කටයුතු කළ හැකි ය. එබැවින්: අධ්‍යාපන, සංස්කෘතික සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් වගවිය යුත්තෝ මේ කරුණ කෙරෙහි අවධානය යොමු කරත්වා.


   

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...