The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : මිලිටරි උන්මාදයේ දිශානතිය - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

March 10, 2023 • 11:14 AM

බල්සාක් කැෆේ : මිලිටරි උන්මාදයේ දිශානතිය - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එබැවින් සිංහල ජාතිකවාදය නිල දෘෂ්ටිවාදී ආස්ථානය වූ දේශපාලන වපසරියක නො නිල ප්‍රකාශන කියා දෙයකට පවතින්නට ඉඩක් නැත.
  • Image : Shehan Gunasekara එ මෙන්ම ඒ පින්තූර විවිධ මානයන්ගෙන් විග්‍රහ කෙරෙන ප්‍රකාශනද හුවමාරු වෙමින් තිබේ.
  • හිරිකිතයි!’’ මෙම බදුගේ ප්‍රකාශය ජවිපෙ මාධ්‍ය අංශයෙන් බෙදා හරින ලද්දක් නො වුණ ද, ජවිපෙ ඉහළ ස්ථරය විසින් වසංගතයක් සේ පැතිරෙන්නට ඉඩදී ඇති ඔවුන්ගේ සංතානගත දෘෂ්ටිවාදය නොවේ ද?
  • අප මෙය ලියන මොහොත වන විට ‘ගෞරවනීය හමුදාවේ කතාව’ 990 වතාවක් ෂෙයාර් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, නලීන් හේවගේ, ඇතුළු ජවිපෙ ජනප්‍රිය හා ජාතික නායකයින් ‘බරඅවි’‌ කොට පළ කළ පළාත් පාළන මැතිවරණ කැම්පේන පෝස්ටුව ජවිපෙ හෝ මාලිමා මාධ්‍ය අංශයෙන් නිර්මිත ප්‍රොපර්ගැන්ඩා ව්‍යාපෘතියක් නොවන බව එකී අංශ නියෝජනය කරන වගකීම් දරන්නන් ප්‍රකාශ කළ ද ජවිපෙ සෙවණැල්ලේ ඇති දැඩිවුණු සියල්ලන්ගේ සන්තානගත දෘෂ්ටිවාදය යුදකාමය බව රහසක් නොවේ. එබැවින් සිංහල ජාතිකවාදය නිල දෘෂ්ටිවාදී ආස්ථානය වූ දේශපාලන වපසරියක නො නිල ප්‍රකාශන කියා දෙයකට පවතින්නට ඉඩක් නැත.

 

326910800 750802199370645 4306254719189411869 n

සමාජ මාධ්‍ය පෝස්ටුවකි

 

මිලිටරි ඇඳුම් ඇඳි, කළු කණ්ණාඩි හා කළු මුඛ-නාසා ආවරණ පැළඳි රජයේ නිල හමුදා සොල්දාදුවන් හෝ නො නිල හමුදා මැරයන්, සරසවි ශිෂ්‍යයන්ට පහර දීමට නිල වශයෙන් කුරුඳු පොලු රැගෙන යන සේයාරූපාවලියක් මෙය ලියන මොහොත වන විට සමාජ මාධ්‍ය අවකාශයේ ‍සැරිසරමින් පවතී.

 

330352913 737784384562270 5376633759130143404 n

335186960 704043738134885 3759565913802198109 n

Image : Shehan Gunasekara

 

එ මෙන්ම ඒ පින්තූර විවිධ මානයන්ගෙන් විග්‍රහ කෙරෙන ප්‍රකාශනද හුවමාරු වෙමින් තිබේ. ‘වට්සැප්’ මඟින් අපට ලැබුණු එක් ෂෙයාර්රුවක් සිදුකර තිබුණේ වත්තල ජවිපෙ ක්‍රියාකාරී සහ එළඹෙන පළාත් පාළන මැතිවරණ අපේක්ෂක බ්‍රිහාන් ආබ්දීන් ය. ඒ ෂෙයාර්රුවේ අඩංගුව, තංගල්ල ප්‍රදේශීය සභාවේ ජවිපෙ නියෝජිත සහ එළඹෙන්නට නියමිත පළාත් පාළන මැතිවරණයේ තංගල්ල මාලිමා අපේක්ෂක චමින්ද ජේ. බදුගේ ගේ නිර්වචනයකි. බදුගේ මෙම පොලු රැගෙන යාම නිර්වචනය කරන්නේ මෙසේ ය.

 

cjb

‘ලොව පිළිගත් ගෞරවනීය හමුදාව - රනිල් රාජපක්ෂලා විසින් පහළට ඇදලා දාන තරම - ලැජ්ජයි! හිරිකිතයි!’’

 

මෙම බදුගේ ප්‍රකාශය ජවිපෙ මාධ්‍ය අංශයෙන් බෙදා හරින ලද්දක් නො වුණ ද, ජවිපෙ ඉහළ ස්ථරය විසින් වසංගතයක් සේ පැතිරෙන්නට ඉඩදී ඇති ඔවුන්ගේ සංතානගත දෘෂ්ටිවාදය නොවේ ද? අප මෙය ලියන මොහොත වන විට ‘ගෞරවනීය හමුදාවේ කතාව’ 990 වතාවක් ෂෙයාර් වී ඇත. මෙය පළ වන විට එය තවත් ඉහළ ගොස් තිබෙනු ඇත. කිසිවකු හෝ ප්‍රශ්න කළහොත්, ඇතැම්විට ජවිපෙ හෝ මාලිමා මාධ්‍ය අංශ එය තමන්ගේ අනුදැනුමෙන් තොරව ප්‍රකාශ කෙරුණු ‘කතන්දරයක්’ බව නිවේදනය කර තිබෙන්නට පවා පිළිවන. නමුත් ‘දෘෂ්ටිවාදය’ බෙදා හදාගැනීම් ස්වයංසිද්ධ ය; ඊට අනුමැති අවශ්‍ය නොවේ.

 

මහරගම මාලිමා මිලිටරි මංගල සැසිය නොහොත් ‘විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය’ කළඑළි ගැන්වීම ජවිපෙ නඩත්තු කරන මෙම මිලිටරි හිතවාදයේ මෑතකාලීන ප්‍රමුඛ පුපුරා යෑම ය. හමුදාව වණන අතරම, හමුදාව නිසා සෘජුවම පීඩාවට පත් දෙමළ ප්‍රජාව ‘බැලන්ස් කරගන්නට සිතා’ ජවිපෙ නායකයා මහරගමදී කළ අපූර්ව ප්‍රකාශ, දේශපාලන  කතිකාව තුළ අත්හැරී ඇතියෙන් එහි ඇතැම් තැන් යළි මෙසේ උපුටනය කළ යුතු  යැයි අපි සිතමු.

ජවිපෙ නායකයා එහිදී මෙසේ කියයි.

"මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනවා. ගංගා පිරෙන්න  තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමැත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය."

 

මාධ්‍ය වාරතාකරණයට අනුව එය හිත කීරි ගැන්වෙන කතාවකි. ඇත්ත. උන්මත්තක සුනඛයන් ස්නානයට රැගෙන යන්නා සේ ආණ්ඩුව යුද්ධය දක්කාගෙන ගියේ තමන් යැයි උදම් අනනා ඉතිහාසයක් ඇති දේශපාලන ක්‍රියාවලියක වත්මන් නායකයා මෙහෙම කතා කරනා විට හිත කීරි ගැන්වෙනවා තමයි.

 



විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය අභියස ජවිපෙ නායකයා පැයකට ආසන්නව සිදුකළ කළ කතාවෙන් විනාඩි 18ක් උපුටා පළ කරන ‘වොයිස් ටියුබ්’ දෘෂ්‍ය චැනලය ජවිපෙ නායකයාගේ කතාව නම් කරන්නේ ‘විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉදිරියේ අනුර උතුරත් දකුණත් දෙකම හඬවයි’ යනුවෙනි.  ජවිපෙ විසින්ම කවා පොවා ඇති දැඩි කළ සිංහල - බෞද්ධ දෙමුහුන් දෘෂ්ටිවාදයේ දකුණේ වහල්ලුන්ට නම් මේ කතාවෙන් ඇඬෙන්නට ඉඩ තිබේ. නමුත් උතුරට ඇඬෙන්නේ ඇයි? කවර හැඟුමක, කවර තර්කයක පදනම්ව ද?  නමුත් මේ කතාවෙන් දෛනිකව අඬමින් සිටින උතුරේ වැසියන්ට මොහොතක් හිනා යන්නට නම් ඉඩ ඇත.

ජවිපෙ නායකයාට අනුව උතුරේත් යුද්ධයක් තිබිණ. දකුණේද සිවිල් යුද්ධයක් තිබිණ. යුද්ධයේ එක් එක් පාර්ශවයන්ට කියන්නට කතාවක් තිබේ. උතුරේ ජනතාවට තමන්ගේම වූ කතාවක් කියන්නට තිබේ. දකුණේ ජනතාවට ද තමන්ගේ ම වූ කතාවක් කියන්නට තිබේ. අවසන ඔහු මෙසේ ද කියයි‍ ‘’88-89 ගැන අපිට අපේ කතාවක් තියෙනවා කියන්න. ආණ්ඩුවටත් ආණ්ඩුවෙ කතාවක් ඇති කියන්න.’’

 

මේ කවර දේශපාලනයක් ද? තමන්ගේ පක්ෂයේ නිර්මාතෘ මෙන් ම එහි පුරෝගාමී නායකයා පවා මරා දැමූ, තමන්ගේ ළඟම මිත්‍රවරයන්, ඥාතිවරයන් ඇතුළු දස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මරා දැමූ ම්ලේච්ඡතම හමුදාවක් මෙහෙයවූ ආණ්ඩුවට ද ධවල භීෂණ සමය ගැන කියන්නට කතාවක් තිබේ යැයි පැවසීම හමුදාව බැලන්ස් කරන්නට යාමේ අති නින්දිත අන්තයකි.

 

ඔහු තවදුරටත් මෙසේ කියයි.‍

‘’මං දැක්කා ප්‍රසිද්ධ ඡායරූපයක්, පාර්ලිමේන්තුවේ රණවිරු ස්මරකය අසල, අම්මා, අත තිය තිය ඇඟිල්ලෙන් තමන්ගේ පුතාගෙ නම තියෙනවද කියලා හොයනවා. උතුරෙ, අම්මා ඡායාරූපයක් එල්ලගෙන පාරෙ ඉන්නවා, කෝ මගේ දරුවා කියලා’’

 

KJHn

මේ පවසන්නේ කුමක් ද? ‘දකුණේ අම්මලාගේ දුකට, උතුරේ අම්මලගෙ දුක කැපී යාමෙන් දුක බැලන්ස් වී තිබේ ය යන්න ද?

 

ජවිපෙ නායකයා හමුදා විශ්‍රාමිකයන් අබියස මේ කියන්නේ හමුදාව විසින් ම පැහැරගත්, මරාදැමුණු, එ මෙන්ම හමුදාවට බාර වූ පසු බලහත්කාරී ලෙස අතුරුදහන් කළ දෙමළ දරුවන් ගැන ය. තමන්ගේ දරුවන්ට යුක්තිය ඉල්ලා උතුරේ මාතාවන් විසින් කෙරෙන අඛන්ඩ අරගලය තවමත් සජීවී ය. කොයි අම්මගේ ඇස් වලින් ගලන්නෙත් කඳුළුමයි යන අති සරල අර්ථයෙන් උතුරේ මාතාවන්ගේ කඳුළු දේශපාලනිකව නිර්වචනය කරන්නට ජවිපෙ නායකයාට පුළුවන් ද? ආචාර්ය හරිණි අමරසූරිය ‘මැතිතුමිය’, ස්ත්‍රි බලමුළුවක් සමඟින් පෙළහර පෑ දකුණේ ‘ස්ත්‍රී සැමරුම් දින’ ඔවුන් විසින් හිතාමතාවම මඟහරින පෙර කී උතුරේ මාතාවන්ගේ ‘යුක්තිය’ පිණිස වන යුක්තිසහගත අරගලයට දින 2207කි.

330623849 230243299399244 8994349678131473259 n 

Image : Kumanan Kana

 

අප විසින් ඉහතින් අනුර කුමාර ප්‍රවාද උපුටනය කෙරුණේ දෛනිකව උණුසුම් වෙමින් පවතින මිලිටරි උන්මාදයේ දිශානතිය සලකුණු කරගන්නට ය. ‘බර අවි’ ප්‍රචාරක ප්‍රවාදය සහ චමින්ද ජේ. බදුගේ ගේ ‘ලොව පිළිගත් ගෞරවනීය හමුදා’ ප්‍රවාදය ජවිපෙ උරුමයක් මෙන්ම මහා පොදු සාධකය බව සාධනය කර පෙන්වන්නට ය.

මෙම ලොව පිළිගත් ගෞවරවනීය මිලිටරියේ ගුවන් හමුදාවේ පතාකයකු වූ ‘මෑතක විශ්‍රාමික’ එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ගම්පහ මාලිමා සමුළුවේදී කීවේ කුමක් ද?

‘හමුදාවයි ජවිපෙයි එකතු වෙලා ඉවරයි. දැන් රට හදමු’ යනුවෙනි.

 

 

ඔහුගේ වේදිකා සම්ප්‍රාප්තිය මිලිටරි උන්මාදයේ උණුසුම් කැඳවීමකි. ඔහු කවුද? විශ්‍රාම මොහොතේ ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්ෂවරයා ය. 1988 ගුවන් හමුදාවට බැඳුණු තුයියකොන්තා ජවිපෙ අර්ථයෙන් ‘පට්ට මිලිටරි වැඩකරුවෙකි’‍. ඇත්ත. ඔහු 1990 සිට ‘උතුරු නැගෙනහිර මුදාගැනීමේ‍ කුප්‍රකට මානුෂිය මෙහෙයුම’ ඇතුළු සියලු ප්‍රධාන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ඇති සක්‍රීය භීෂකයෙකි. දෙමළ ජනතාව ගුවන කළඹන හඬින්ම භීතියට පත් කළ පියාසර පැය 7000ක් ඉක්මවා ගුවනේ රැඳුණු ‘මානුෂීය’ චරිතයකි. මෙකී මානුෂියභාවයේ නිර්භීතකම වෙනුවෙන්  ‘’වීර වික්‍රම විභූෂණ’’(WWV), ‘’රණ වික්‍රම පදක්කම’’ (RWP) මෙන්ම ‘’රණ ශූර පදක්කම’’ (RSP) හිමිකරගත්තෙකි. ඉදින් ඔහු උතුර මර්දනයට මොන තරම් කැපවුණු කෙනෙක්දැයි හිතා ගන්නට අපහසු නැත. එවන් ගුවන් නිලධාරීයකු ‘ජවිපෙ සහ හමුදාව ඒකතුවෙලා ඉවරයි’ යැයි පවසන විට පාක්ෂිකයා ගුවන්ගතවනු වළක්වන්නට බැරි ය; මිලිටරි උන්මාදය ම වරනඟන්නේ වෙයි.

 

මේ මිලිටරි උන්මාදය කෙළවර වන්නට නියමිත කොතැනකින් ද?


ජවිපෙ මෑත ඉතිහාසය තුළ අඛන්ඩව විශද කළ වර්ගවාදී දක්ෂිණාංශික නැඹුරුවෙන් මිදී නැතැයි යන්න දේශපාලන කතිකාව තුළ මතු කරගන්නට ‘වමෙන්’ කෙරෙන විවේචන ආස්ථානයන්ට පවතින්නට ඉඩහසර නොදී, අතිශය ග්‍රාම්‍ය ලීලාවෙන් සමාජ මාධ්‍ය පහරදීම් හරහා ජවිපෙ පෙන්නුම් කරන ආධානග්‍රාහීභාවය විසින් ශක්තිමත් කෙරෙන්නේ කවර බලවේගයන්ද යන්න ඔවුන් දේශපාලන මණ්ඩලය තුළ විශ්ලේෂණය කර ගත යුතු ය.

විදර්ශන කන්නංගර සහෝදරයා, අප මෑතක ලියූ බල්සාක් ලියවිල්ලකින් උපුටනයක් ගෙන සිය ෆේස් බුක් තාප්පයේ අලවා තිබිණ. ‘’ජවිපෙට බලය පිළිබඳ සිහිනයක් මිස මතකය සමඟ අරගලයක් නැත’’ ලෙසින් වූ එයට ජවිපෙ පතරංග කම්කරු නායකයා වන කේ.ඩී.ලාල්කාන්තගේ ප්‍රතිචාරය මෙබඳු විය.

‘‘ස්වයං වින්දනය සුන්දර දෙයකි’’

PHOTO 2023 03 10 15 14 03

ඔහුගේ ඒ ප්‍රතිචාරය ව්‍යුක්ත ය. එ බැවින් ඒ ප්‍රතිචාරය, එකී උපුටනයට එරෙහිව  කියූවක් ද , එය උපුටා පළ කළ විදර්ශන වෙනුවෙන් කියූවක් දැයි පැහැදිලි නැත. ඇතැම් විට එය, ලාල්කාන්ත විසින් තමා උදෙසාම කියා ගනු ලැබූවක් වන්නට ද පිළිවන.



Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 මාර්තු 12)

Anida



JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...