The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මරණය සමග පෙමින් වෙලීම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

March 10, 2023 • 12:18 PM

මරණය සමග පෙමින් වෙලීම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොඩි කාලෙදි අපි දුර නෑදෑයන්ගෙ අසල්වැසියන්ගෙ මරණ දකිනවා.
  • සමහර විට අපි ආදරය කරපු වීරයෙක් නැත්තං මිත්‍රයෙකුගේ මරණයක් අපිට යම් කම්පනයක් ඇති කරන්න පුළුවන්.
  • කිසිම දවසක නැවත නොපිරෙන අඩුවක් අපේ ඇතුලෙ ඉතුරු වෙනවා.
  • ඒත් තවත් සමහරු ඊට වඩා මරණය ඇතුලට එබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පොඩි කාලෙදි අපි දුර නෑදෑයන්ගෙ අසල්වැසියන්ගෙ මරණ දකිනවා. අහනවා. ඒවායින් සුදු කොඩි, ගොක්කොල වගේ මතක රැදෙනවා. ඊට පස්සෙ අපේ වයස්ගත සීයලා ආච්චිලා මැරෙනවා. ඒ වයස හින්ද කියල පොදු සාධාරනීකරණය කිරීමක් තියෙනවා. සමහර විට අපි ආදරය කරපු වීරයෙක් නැත්තං මිත්‍රයෙකුගේ මරණයක් අපිට යම් කම්පනයක් ඇති කරන්න පුළුවන්.

ඒත් අපිට දැනෙන්නම මරණය මුලින්ම ළංවෙන්නෙ අපේ අම්මා හෝ තාත්තා මැරෙනකොට. ඒක එක පරිච්ඡේදයක අවසානයක් ලකුණු කරනවා. එක අතීතයක් එතනදි මිය යනවා. කිසිම දවසක නැවත නොපිරෙන අඩුවක් අපේ ඇතුලෙ ඉතුරු වෙනවා. මරණය සහ අපි ආදර සබඳතාවයක් පවත්වන්න පටන් ගන්නවා.

සාමාන්‍යයෙන් මනුස්සයෙක් මරණයට ළංවෙන්නෙ ඔය තරමට. ඒත් තවත් සමහරු ඊට වඩා මරණය ඇතුලට එබෙනවා. තමන්ගේ බිරිඳ හෝ සැමියා මිය ගියොත් ඒක මරණය අපි එක්ක යහන්ගත වෙන තැනක්. ඊට පස්සෙ කිසි දවසක මරණය අපෙන් ඈතට යන්නෙ නෑ. අපේ වර්තමානය එතනදි මිය යනවා.

ඊටත් වඩා අසාමාන්‍ය විදිහට මරණය අපිව බලහත්කාරයෙන් වැළඳගන්න පුළුවන්. අපිව කෙලෙසන්න පුළුවන්. ඒ අපේ දරුවෙක් අපි ජීවත්වෙලා ඉඳිද්දිම මරණයට මුහුණ දුන්නොත්. ඒ මියයන්නෙ අපේ අනාගතය. එතන ඉඳන් අපේ ජීවිතය වෙන්නෙ මරණය. මරණයේ කලු කුහරය ඇතුලට අපි දිගටම එබීගෙන ඉන්න පටන්ගන්නවා. අපිට ජීවිතය අත්හැරෙන්න පටන් ගන්නවා.

 

මරණයක් කියන්නෙ දුකක් නෙමෙයි. දුකක් දැනෙන්නෙ හැගීමක් විදිහට. ඒත් අපිව කම්පනය කරන මරණයක් දැනෙන්නෙ හිස්තැනක් විදිහට. එතන හැගීම් නෑ. හැගීම් කියන්නෙම ජීවිතය. මරණය කියන්නෙ හැගීම්විරහිත බවට.

 

එහෙම මරණයකින් පස්සෙ අපිට දැනෙනවා ලොකු සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව ප්‍රීතිමත් එකක් නෙමෙයි. ඒක දුක්බර එකකුත් නෙමෙයි. ඒක අර්ථවිරහිතභාවය විසින් ඇති කරන සැහැල්ලුවක්. සියලු පවත්නා දේවල් සහ සබඳතාවල අර්ථවිරහිතබව විසින් අපේ ප්‍රීතිය සහ දුක එකවර අහිමි කරනවා.

 

හිනාවුනත් ඒ හිනාව පිටිපස්සෙ සතුට විඳින්නෙක් නැති වෙනවා. හැම කතාබහක් ඇතුලෙමත් නොඇලෙනසුලු බවක් පවතින්න ගන්නවා. එහෙම මරණයකින් පස්සෙ අපිට මරණය ගැන පවතින ගුප්තභාවය අහෝසි වෙනවා.

අපේ මරණය පිළිබඳ අපි තුල දැනී නොදැනී පවතින බය, ආතතිය අතුරුදන් වෙනවා. ඕනෑම මොහොතක මරණය වැළඳගැනී‍මේ හුරුපුරුදුබවක් අපි ඇතුලෙ නිර්මාණය වෙනවා. මරණය මේ වෙද්දි ළගම නෑයෙක් නෙමෙයි අපි තුලම ජීවත් වෙන්නෙක්. ජීවිතයට වඩා ජීවිතය ඇතුලෙ මරණය අපිට සම්මුඛ වෙන්න පටන් ගන්නවා.

හුස්ම දෙකක් අතර, වාක්‍ය දෙකක් මැද, මැසේජ් දෙකක ඉඩ මරණය අපි දකිනවා. සමහර විට ඒක මරණානුස්සතිය වෙන්න ඇති. ඒත් ඒ තමයි මරණය සමග අපි රමණයේ යෙදෙන ඍතුව වෙන්නෙ.

හැමදාම නින්දට කලින් මරණයට ආමන්ත්‍රණය කරන්න, උදේ ඇහැරුනු ගමන් තාම නාවේ ඇයි කියල අහන්න අපි පුරුදු වෙනවා.

 

මරණය කියන්නෙ රැඩිකල් ඛන්ඩනයක්. සියලු අර්ථයන් අර්ථ විරහිතභාවය වෙතට කැඳවන අනිවාර්යයක්. ඒ තමයි අපි විසින් නිර්මාණය කරන ලද ජීවිත වියමනෙහි පැල්ම.

 

මරණයේ කලු ප්‍රපාතය හරහා හීන් තණපත් වගේ සංකල්ප වියන්නේ ආගම් විතරයි. ඒ ප්‍රපාතය අර්ථමය ප්‍රබන්ධකරණයකට ලක් කරන්න ආගම් වලින් වෑයම් කරනවා. මරණයෙන් මෙපිට ඉන්න අයට නැවත ඉරුණු ජීවිතය මසාගන්න ඒ තණපත් අදහස් උදව් වෙනවා. ඒත් මරණය කියන්නෙ ප්‍රබන්ධයට එපිටින් පවතින හිස්කමක්. අපිට කිට්ටු මරණ විසින් අපි තුල ඒ හිස්කම නිර්මාණය කරනවා.

ඊට පස්සෙ ජීවිතේ හරහා හයිවේ තැනෙන්නෙ නෑ. හැමදාටම පැද්දෙන, හීනි ඒදඩු විතරයි. ඒ දණ්ඩක යාම්ඊම්වලට උදව් වෙන්නෙ දන්නාකම්වලට වඩා නොදන්නාකම් තමයි.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

Anida



JW
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මරණය සමග පෙමින් වෙලීම - (චින්තන ධර්මදාස) | The Leader