The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විනය ගොඩ නැගෙන්නේ නිදහස ඇති විටයි - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 10, 2023 • 7:07 PM

විනය ගොඩ නැගෙන්නේ නිදහස ඇති විටයි - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'මාරියා' ට අනුව විනය ගොඩ නැගෙන්නේ නිදහස ඇති විටදීය.
  • එබැවින් 'විනය' නමැති වචනය හා බැඳී පවත්නා සමාජීය අංග කිහිපයක්ම ඇත්තේය.
  • එහෙයින් සමාජයක අත්තිවාරම සැකසෙන්නාවූ ළමයින්ගේ ලෝකය සහ තරුණයන්ගේ ලෝකය සුසාධිතව ගොඩ නංවනු පිණිස සුවිශාල වගකීමක් ඇත්තේ වැඩිහිටියන්ටය.
  • එබැවින් නිවසින් පාසලටත් පාසලින් සමාජයටත් ගොඩනැගීමේ වගකීම ඇත්තේ ගුරුවරුන්ට, දෙමාපියයන්ට, පැවිදි උතුමන්ලාට, සහ මුළුමහත් සමාජයටම බලපාන්නාවූ නීතිගරුක පිරිසිදු දේශපාලනඥයින්ටය.
අකුරු ප්‍රමාණය (Font Size):




'මාරියා' ට අනුව විනය ගොඩ නැගෙන්නේ නිදහස ඇති විටදීය. නිදහස පරිපූර්ණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මානව අයිතීන් සුරැකීමේ නිදහස, භාෂණයේ නිදහස තිඛෙන්නේනම් පමණෙකි.

මුළු මහත් සමාජයේම විනය ගොඩ නැගෙන්නේ එකී සමාජය තුළ පවත්නා පවුල් ඒකක තුළ විනය සුරක‍ෂිත වුවහොත් පමණෙකි. එබැවින් 'විනය' නමැති වචනය හා බැඳී පවත්නා සමාජීය අංග කිහිපයක්ම ඇත්තේය. පවුල් ඒකකය, අධ්‍යාපනය හා බැඳී පවත්නා පාසල, සමාජීය පරිසරය, සංස්කෘතිය, ආගම දහම යන සමාජීය අංග ඒ අතර වෙයි.

රටක පාලනයට හවුල්වන දේශපාලනඥයින්ගේ පවුල් පසුබිම ඔවුන් ලබන්නාවූ උසස් අධ්‍යාපනය, ඔවුන්ගේ සංස්කෘතික පසුබිම උසස් කලා රසිකත්වය, ඔවුන් ගේ ආධ්‍යාත්මික සුවය ගොඩනැගෙන ආගම් ඇදහීම ආදියෙන් රටක් පාලනය සඳහා වූ දශරාජ ධර්මයේ බලපෑම ඔවුන් මත පතිත වේ.

ඒ කරුණු මඳකට පසෙක තිබියේවා.



වැඩිහිටියන්ගේ ලෝකය නිර්මාණය වීම සඳහා අත්තිවාරම සැකසෙන්නේ ලමයින්ගේ ලෝකය සහ තරුණයින්ගේ ලෝකය අතර පරිණාමය වන කාල පරිවිච්ඡේදයෙනි.



එහෙයින් සමාජයක අත්තිවාරම සැකසෙන්නාවූ ළමයින්ගේ ලෝකය සහ තරුණයන්ගේ ලෝකය සුසාධිතව ගොඩ නංවනු පිණිස සුවිශාල වගකීමක් ඇත්තේ වැඩිහිටියන්ටය. එනම් ගුරුදෙගුරුන්හටය. එබැවින් නිවසින් පාසලටත් පාසලින් සමාජයටත් ගොඩනැගීමේ වගකීම ඇත්තේ ගුරුවරුන්ට, දෙමාපියයන්ට, පැවිදි උතුමන්ලාට, සහ මුළුමහත් සමාජයටම බලපාන්නාවූ නීතිගරුක පිරිසිදු දේශපාලනඥයින්ටය.

එහෙත් දේශපාලනඥයින්ගේ නීතිගරුක පිරිසිදු දේශපාලනය පිලිබඳ කතා කිරීම මෙම ලිපියෙන් බැහැර කරමු.

මෙම ලිපියේ මුලදීම සඳහන් කළ 'මාරියා මොන්ටිසෝරි' ට අනුව විනය ආයුත්තේ නිදහස හරහා නම් ඇය සඳහන් කර ඇත්තේ කවර නම් නිදහසක් ගැනද?
නිදහස යන වචනයට බොහෝ අංග ඇතුලත් වනවාසේම ඊට බොහෝ අර්ථ නිරූපණද ඇත.

ජාතික නිදහස, ආර්ථීක නිදහස, ආගමික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සිතීමේ නිදහස, ඕනෑම තැනකට යාමේ නිදහස ආදී වශයෙන් නිදහසේ බොහෝ අංග ඇතුවාක් මෙන්ම එවන් නිදහසට බොහෝ අර්ථ නිරූපණද ඇත්තේය.



නිදහසේ මෙකී අංග අහිමි යම් ජන කොටසක් වී නම් ඒ ජන කොටස එකී අහිමි වීම්වලට එරෙහිව දක්වන්නාවූ ප්‍රතිරෝධයත් සමගම විනයද පළා යන්නේය.

කිසිවෙකුට උවමනාවෙන්ම විනය කඩකිරීමේ උවමනාවක් නැත. එසේම චේතනාන්විතව නොව අවිද්‍යාව හෙවත් නොදැනීම මත වුවද පුද්ගලයන් වෙතින් විනය කඩවීමක් සිදුවිය හැකිය.



එබැවින් බුද්ධිමය ඥානනයකින් යුක්ත මිනිසුන් ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුළ 'විනය' නම් වූ ප්‍රපංඤ්චයට හිමිවන්නාවූ ස්ථානය සුවිශේෂී වන්නේය.

ලස්සන සුවඳවත් පැහැපත් මලක් හටගන්නේ මල් පැළයකය. ඒ මල්පැළය වැඩෙන්නේ සරු පසක් තුළ තැන්පත් කරන්නාවූ බීජයකිනි. ඒ බීජය කෙමෙන් ලා අංකුරයක් බවටත් ඒ අංකුරය පසුව  පැළයක් බවටත් ඒ පැළයේ කොළ දළු මල් ආදිය හඩගැහෙන්නේ සරුපස තුළ වූ පෝෂණීය සාධක, ජලය සහ හිරුඑළියෙනි.

මිනිස් ජීවිතයද එබඳු ය. සරුපස මව සහ පියා ප්‍රමුඛ කුටුම්භයයි. නැතිනම් පවුල් ඒකකයයි. ඒ කුටුම්භය නැතිනම් පවුල් ඒකකය තුළ සදාචාරාත්මක වටිනාකම්, ගුණධර්ම සද්චර්යාව ආදී ගුණාංග මානව භක්තිය ඇත්තෙහි නම් ඒ කුටුම්භයේ නැතහොත් පවුල් ඒකකය තුළින්  බිහිවන්නාවූ දරුවා සුවඳ හමන පැහැපත් මලක් ලෙසින්ම පරිසරය සුවඳවත් කරනු ඇත. මෙහිදී අධ්‍යාපනික ක්‍රියාවලිය පවත්නා පාසලද වැදගත් වනු ඇත. ගුරුවරුන් යනු දරුවන්ගේ නැණ ගුණ වඩන ඉසිවරයන්ය.

අද අධ්‍යාපනය නිසියාකාරයෙන් හමාර නොකළ බොහෝ දරුවන් බන්ධනාගාරගතව සිටිති. උගත් බුද්ධිමත් අයවළුන් බන්ධාගාරගතවීම විරලය. ඉන් ගම්‍ය වන්නේ උසස් මිනිසෙකු බිහිකිරීමෙහිලා අධ්‍යාපනයට පැවරෙන ශ්‍රේෂ්ඨ කර්තව්‍යයයි.

අද පතාල ලෝකයට සම්බන්ධ බොහෝ දෙනා නිසි අධ්‍යාපනයවක් නොලද්දවුන්ය. එසේම සිය පවුල් ඒකකය තුළින් සමාජයෙන් ආදරය, සෙනෙහස, කරුණාව අහිමිවුවන්ය. එසේම මත්ද්‍රව්‍ය වලට නොයෙකුත් දුරාචාරවලට ඇබ්බැහි වූවෝද එවැන්නෝමය.

වත්මන් තරුණ පරපුරේ ඇතැම් තරුණයින් ප්‍රචණ්ඩත්වයෙන් කෙලෙසී කුරිරු ක්‍රියාදාමවලට පැටලෙති. යතුරු පැදියෙන් වේගවත්ව යන විටදී වේගයෙන් නොයන්නැයි අවවාද කළ තරුණයකුට හෙල්මටයකින් හිසට පහර දී මරා දැමීමට කෘෘර වූ වයස 16-17 වයස්වල ලාබාල පාසල් සිසුන්  එවැනි තත්ත්වයකට පත්ව ඇත්තේ කිනම් කාරණා නිසාද?

ප්‍රචණ්ඩ දර්ශන රැගත් චිත්‍රපට ආදී කාරණා හේතුකොට ගෙන එම දරුවන්ගේ සිත් සතන් විකෘති වුවානම් වරද ඇත්තේ කා අතද?

මුළු මහත් සමාජයම සිසාරා නොඇසිය යුතු, නොදැකිය යුතු බොහෝ අප්‍රසන්න සිදුවීම් සිදුවෙමින් පවතී. පුවත්පත්වල දෛනික වාර්තා පුවත් ආදියෙන් ඒ බව සනාථ වේ. පියෙකුගෙන් දියණියක බේරාගත නොහැකි සමාජයක් නම් මේ ගොඩනැගෙන්නේ මෙවන් සමාජයක් කුමටද?

මිනිසුන් අමු අමුවේ මරා දමන, කාන්තාවන් දූෂණය කොට මරා දමන සමාජයක් ගොඩ නැගී ඇත්නම් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කවරාකාරයෙන්ද?
හිරිමල් වියේ කොලූ ගැටවු තම මව හා සමාන කාන්තාවන් දූෂණය කරන්නේ නම් එවන් සමාජයක් කුමටද?

හෙල්මට්වලින් හිසට පහර දී මරන තරුණ කුරිරු ඝාතක කල්ලි ගොඩ නැගෙන එවන් සමාජයක් කුමටද? මේ ගොඩ නැගෙමින් තිඛෙන්නේ අන්ත අමානුෂීය ධනවාදී සමාජයේ පසුගාමී පසුබිමයි.



යෞවනය කෘෘරත්වයෙන් මුදවා ගැනීම සඳහා මේ මුළු මහත් සමාජයම මුළුමනින්ම කණපිට පෙරළා දැමිය යුතු සමාජ පරිවර්තනයක් සිදුවිය යුතුය.

විනය ගරුක සමාජයේ පරමාදර්ශි විනය ගරුක මිනිසා උත්පාදනය සදහා අධ්‍යාපනයේ විෂයය ධාරාවන් සාධනීය පරිවර්තනයකට ලක්කරමින් උගත් මිනිසුන් නිර්මාණය කළ යුතු සමාජ පරිවර්තනයක් සිදුකළ යුතුමය.



ටොපි කොලයක් බිමට දැමීමටවත්, මහපාරට කෙළතැම්බක් ගැසීමටවත්, කසල මළු මහ මාවත් සහ අතුරු පාරවල් වල දැමීමටත් නොහැකි සිංගප්පූරුව 'විනය' ගොඩ නැගීමට පටන් ගෙන ඇත්තේ මුලින්ම පරිසරයට, රටට ආදරය කරන මිනිසුන් බිහිකිරීම සඳහා දැඩි නීති රීති පැනවීමෙනි. විනය ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා  නීති මගින් හෝ ක්‍රියාකළ යුතුව ඇත.

බස්රථ රියැදුරන් බුලත් විට කා පාරට කෙළ ගසන්නේ නම් ඔහුට විරුද්ධව දැඩි නීති රීති පැනවිය යුතුය.

මාර්ග අනතුරුවලට ඉවහල්වන අන්දමින් රථවාහන පැදවීම මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම, ස්ත්‍රී දූෂණය, මහජන දේපල සොරාකෑම, අල්ලස, දූෂණය, නාස්තිය, පරිසරය වැනසීම සතුන් මැරීම කැලෑ ගිනි තැබීම, වැලිගොඩ දැමීම, ආදී මෙකී නොකී, ක්‍රියාකාරකම් සඳහා දැඩි දඬුවම් පැමිණවීම සඳහා දැඩි නීතිරීති රෙගුලාසි පැනවීමට සොඳුරු ආඥාදායකයකු මෙවන් සමාජයකට අවශ්‍යව තිබේ.

වැරදි කරණු ලබන දේශපාලනඥයින්ට එරෙහිව වින්දිතයින්ට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සක්‍රිය කළ යුතුය.

'විනය' සමාජය තුළ ස්ථාපිත කිරීම සඳහා විනය ගරුක සමාජයක් ගොඩනැගීමට දහම් පාසල් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නැත.

ඒකාධිපතියකු වූද, ආඥාදායකයකු වූද, 'ඛෙනිටෝ මුසෝලිනී' ගේ කියමනකින් මෙම ලිපිය හමාර කරමි.



''ඉතිහාසයෙහි මෙම නව අරුණෝදයේදී ස්වේච්ඡාවෙන් පෙනී සිටින නිර්භීත යෞවනය සදහා ඔවුන් ගැඹුරින් මෙහෙයවීමට තවත් වචන ඇත. මෙම වචන නම් අණ පිළිපැදීම, නීති පද්ධතිය සහ විනයයි.''




mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...