The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ප්‍රයිවට්' රටක 'ප්‍රයිවට්' ආණ්ඩුවක් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

T

The Leader Desk

March 12, 2023 • 10:02 AM

'ප්‍රයිවට්' රටක 'ප්‍රයිවට්' ආණ්ඩුවක් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙට්ටගම නොදැක කිසිවක් විභාග කළ නොහැකි බැවින් වහාම එය වලව්වට ගෙනවිත් දෙන මෙන් රටේ මහතා පැවසීය.
  • අද කාලේ මෙහෙම දෙයක් සිද්ද වුණා නම් කිල්ලෝටයට වෙච්ච දේ සෙවීමට කමිටුවක් පත් කිරීමටත් ඉඩ ඇත.
  • ඇතැම් විට ඒ කමිටුවල සාමාජිකයන්වත් ඒවායේ අගක් මුලක් දන්නේ නැත.
  • ඒ කමිටුව හඳුනාගෙන තිබෙන ආකාරයට මේ ලංකාවේ රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙට්ටගම නොදැක කිසිවක් විභාග කළ නොහැකි බැවින් වහාම එය වලව්වට ගෙනවිත් දෙන මෙන් රටේ මහතා පැවසීය. ගබන් ආතාද එය ඉටු කළේය. අන්තිමේදි සිදුවුණේ ආතාට හුණු කිල්ලෝටයත් පෙට්ටගමත් දෙකම අහිමි වීමය.

අද කාලේ මෙහෙම දෙයක් සිද්ද වුණා නම් කිල්ලෝටයට වෙච්ච දේ සෙවීමට කමිටුවක් පත් කිරීමටත් ඉඩ ඇත. සිරි ලංකාවේ ඒ තරමට කමිටුය. ගිනස් වාර්තාවක් තැබීමට තරම් කමිටුය. ඇතැම් විට ඒ කමිටුවල සාමාජිකයන්වත් ඒවායේ අගක් මුලක් දන්නේ නැත. ඒවායින් වෙන්නේ මොනවාදැයි රටේ මිනිස්සු දන්නේත් නැත.

 

සිරි ලංකාවේ කමිටු අතරින් වඩාත් ප්‍රසිද්ධියක් දරන්නේ කෝප් කමිටුව යැයි සිතමි. ඒ කමිටුව හඳුනාගෙන තිබෙන ආකාරයට මේ ලංකාවේ රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිතය. නිරන්තරව කෝටි ගණනින් පාඩු ලබයි.

 

රජයේ සෑම ආයතනයකටම සභාපති, අධ්‍යක්ෂ, ලේකම් යනාදී තනතුරු නාමවලින් හැඳින්වෙන ලොක්කෝ සිටිති. ඒ ලොක්කන්ට අර ඇමැති, මේ ඇමැති, අහවල් ඇමැති යනාදී වශයෙන් හැඳින්වෙන දේශපාලන ලොක්කෝ වෙති. ඒ ලොක්කන්ගෙ ලොක්කා අගමැතිය. අගමැතිගේ ලොක්කා ජනපතිය.

මේ තරම් ලොක්කන් සිටියදීත් රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලැබීම පුදුමයට කාරණයකි. පෞද්ගලික ආයතනයක් නම් පාඩු ලබන විට කරන්නේ වසා දැමීමය. එහෙත් රාජ්‍ය ආයතන වසා දැමීම ලෙහෙසි නැත. ඒවායේ සේවකයන්ගේ රුකියා ගැන රජය වගකිව යුතුය. ඔවුන්ට වන්දි ගෙවිය යුතුය. බොහෝ විට මේ ආයතනවල ලොක්කෝ, මැති ඇමැතිවරුන්ගේ ඥාතීහුය. හිතවත්තුය. පාක්ෂිකයෝය. එසේ හෙයින් ඔවුන් ගෙදර යැවීම කළ හැක්කක් නොවේ. එවැනි තැන්වලදී රජය ඉතා මානුෂිකය. පාඩු විඳගනිමින් හෝ හිතවත්තු රුක ගනිති.

රජයේ ආයතන ලබන පාඩු අවසානයේ පැටවෙන්නේ රටේ ජනතාව මතය.

 

Gov

සිරි ලංකාවේ හොඳම උගත්තු සිටින්නේ සමාජ ජාලාවලය. රටේ සෑම ප්‍රශ්නයකටම ඔවුන් වෙත විසඳුම් ඇත.

පාඩු ලබන රජයේ ආයතන සම්බන්ධයෙන්ද සමාජ ජාලා විද්වතකුට විසඳුමක් තිබුණි. ඔහුට අනුව ආයතන පමණක් නොව මුළු රටම පෞද්ගලීකරණය (ප්‍රයිවර්ටයිස්) විය යුතුය. එවිට පාර්ලිමේන්තුවද ප්‍රයිවට්ය. මැතිවරණ කොමිසම, මහ බැංකුව, පාසල්, විශ්වවිද්‍යාල යනාදී සියල්ල ප්‍රයිවට්ය. පන්සල්, පල්ලි සහ කෝවිල් ද ප්‍රයිවට්ය.

ප්‍රයිවට් වූ ආණ්ඩුවක් පාඩු ලැබීමට කැමති නැත. එහි එකම අරමුණ ලාභ ලැබීමය. ඒ සඳහා අවශ්‍ය නම් අන්තිම සේවකයා දක්වා අස්කර දැමීමට ඔවුන් මැලි වන්නේ නැත.

නිකමට සිතන්න. මැති ඇමැතිවරුත් ප්‍රයිවට්. අගමැතිත් ප්‍රයිවට්. ජනාධිපතිත් ප්‍රයිවට්. ඔවුන් වැඩ කරන්නේ තම මතයටය. ජනතාවට වගකීමට බැඳී නැත. බල්ලො මරා හෝ සල්ලි සෙවීම ඔවුන්ගේ ප්‍රතිපත්තියය. දැනට සිදුවන්නේත් එයම නොවේදැයි කිසිවකුට සිතෙන්නට ඉඩ ඇත. අපට ඒ ගැන කිසිවක් කිව නොහැක්කේ මිනිසාගේ සිතිවිලිත් අති-ප්‍රයිවට් නිසාය.

 

දේශපාලනය ප්‍රයිවට් වූ කලෙක ප්‍රජාතන්ත්‍රවාදය පැලදොරින් පලා යනු ඇත. එවිට දේශපාලනය යනු තනිකරම ප්‍රයිවට් බිස්නස් එකක් බවට පත්වනු ඇත. දැනටත් එහි වෙනසක් නැතැයි කෙනකුට සිතෙන්නටත් (ප්‍රයිවට් සිතිවිලි) බැරි නැත.

 

අමෙරිකාවේ සිටි ජනප්‍රිය ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩිගේ පියා ජෝසප් කෙනඩි ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු තම පුතා අමෙරිකාවේ ජනාධිපති වනු දකින්නට උනන්දු කළේය. එක් වරක් ඔහු තම පුතුට මෙසේ කීය.

''ජෝන්, ඔබ අමෙරිකාවේ ජනාධිපති වෙන්න නම් ප්‍රධාන කාරණා තුනක් සපුරා ගත යුතුයි. එක මුදල්. දෙක මුදල්. තුන මුදල්.''

ජෝන් එෆ්. කෙනඩි ජනාධිපති විය.

එහෙත් ඔහුට එහි රැඳී සිටින්නට ලැබුණේ වසර තුනකි. ඔහු වෙඩි තබා ඝාතනය කෙරුණි. ඉන් කලකට පසු කෙනඩිගේ බිරිඳ වූ ජැකී කෙනඩි ග්‍රීක ජාතික ධන කුවේරයකු වූ ඇරිස්ටෝට්ල් ඔනාසිස් හා විවාහ වූවාය. එතැනදීද ප්‍රධාන වූයේ මුදල්ය. (ඔනාසිස් ජැකීට වඩා වසර 23ක් වැඩිමල් පුද්ගලයෙකි.)

රටක දේශපාලනඥයන් දූෂිත නම් එහි ආයතන දූෂිත වීමේ මහ අරුමයක් නැත.

 

hunter

ආසියාවේ එක්තරා රටක දඩයක්කාරයෝ දෙදෙනෙක් ඝන වනාන්තරයකදි අතරමං වූහ. දින කිහිපයක්ම උත්සාහ කළත් ඔවුන්ට පාර සොයාගත නොහැකි විය. කුසගින්නේ මිය යාමට ආසන්නව සිටි ඔවුන්ට අවසානයේ වනාන්තරය මැද පිහිටි 'කැනිබල් රෙස්ටුරන්ට්' නමැති හෝටලයක් දක්නට ලැබුණි.

එහි ගිය ඔවුනට වේටර්වරයකු මෙනු පත ගෙනවිත් දුනි. එහි මිනී මස් කන වනචාරින් සඳහාම විශේෂ වූ ආහාර ලැයිස්තුවක්ද විය. එහි මෙසේද දැක්වුණි.

1. රෝස්ට් කරන ලද දඩයක්කාරයෙක් - මිල රුපියල් 15,000/- යි.
2. රෝස්ට් කරන ලද පරිසරවේදියෙක් - මිල රුපියල් 20,000/- යි.
3. රෝස්ට් කරන ලද දේශපාලනඥයෙක් - මිල රුපියල් 50,000/- යි.

පුදුමයට පත් දඩයක්කාරයෙක් වේටර්ගෙන් මෙසේ ඇසීය.

''දේශපාලනඥයෙක් මෙච්චර ගණන් මොකද?''

''උන්ව සුද්ද කරල ගන්න දවස් ගාණක් යනවා. ඒ තරමට ජරාව කාලා.''



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ප්‍රයිවට්' රටක 'ප්‍රයිවට්' ආණ්ඩුවක් - (කපිල කුමාර කාලිංගගේ හීසරය) | The Leader