The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨා ගිහිං රනිල් ආවා වගේ රැඩිකලුන්ට හිතන්න ප්‍රස්ථා පිරුළක් - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 14, 2023 • 3:16 PM

ගෝඨා ගිහිං රනිල් ආවා වගේ රැඩිකලුන්ට හිතන්න ප්‍රස්ථා පිරුළක් - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ පරම්පරාවේ පරමාදර්ශය පරිණත වියපත් වූ මාර්ගෝපදේශකයෝය.
  • නිවැරදි චින්තනය නිවැරදි ආකාරයෙන් ප්‍රායෝගික බවට හැරවීමේ දැනීම ඇත්තේ ඔවුන් සතුවය. -වෙන්ඩල් පිලිප්ස් තරුණයෝ විප්ලවයේ ගිනිසිළුව කියලා පැරණි ජනප්‍රිය කියමනක් තියෙනවා.
  • සැඟවුණු ඇත්තක් මතු කරන්නයි.
  • ඒ මතු කිරීම හරහා තරුණයින්ගේ අරමුණු වලට යන ගමන සංයමයකින් යුතුව යා යුතු බව පෙන්වන්නටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණ පරම්පරාවේ පරමාදර්ශය පරිණත වියපත් වූ මාර්ගෝපදේශකයෝය. නිවැරදි චින්තනය නිවැරදි  ආකාරයෙන් ප්‍රායෝගික බවට හැරවීමේ දැනීම ඇත්තේ ඔවුන් සතුවය. -වෙන්ඩල් පිලිප්ස්



තරුණයෝ විප්ලවයේ ගිනිසිළුව කියලා පැරණි ජනප්‍රිය කියමනක් තියෙනවා. ඒක ඇත්ත . ඒත් ඒ ගිනිසිළුවට අවශ්‍ය දැල්ල දැල්වීමේ චින්තනය නමැති තෛලය තියෙන්නේ බහුශ්‍රැත පරිණත අත්දැකීම් බහුල නායකයින්ට කියන එක අමතක කරන්න හොඳ නැහැ.  

 

ඕනෑම කාලයක තරුණයින් කියන්නේ රැඩිකල් දඩබ්බර යෞවනයේ සංකේතයයි. අර මුලින් කිවුව බහුශ්‍රැත පරිණත අත්දැකීම් බහුල නායකයො වුනත් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ රැඩිකල් දඩබ්බර තරුණ වයස පහුකරලම තමයි.

මෙහෙම ලියන්නෙ තරුණයො හෑල්ලු කරන්න නෙමෙයි. සැඟවුණු ඇත්තක් මතු කරන්නයි. ඒ මතු කිරීම හරහා තරුණයින්ගේ අරමුණු වලට යන ගමන සංයමයකින් යුතුව යා යුතු බව පෙන්වන්නටයි.



විශේෂයෙන්ම රැඩිකල් තරුණයො ගැන කථා කරන්න ගත්තම කතා කරන්න වෙන්නෙ වාමාංශය. නැතිනම් “වම” නියෝජනය කරන තරුණයො ගැනයි. වමට අයිති වම්මුන්ගේ දර්ශනය තමයි සමාජවාදය නැතිනම් කොමියුනිස්ට්වාදය. එහෙමත් නැතිනම් මාක්ස් ලෙනින් වාදය.  
අපි ඉතිහාසය දෙසට හැරෙමු .

අපේ රටේත් තිබුණ  ජනතා අරගල. 1953 හර්තාලය 1964 මහා වැඩ වර්ජනය වගේ ජනතා අරගල.  අපි 1953 හර්තාලය අරන්  බලමු. ඒ හර්තාලය පැන නැගුනේ ජේ. ආර්. ජයවර්ධන උන්නැහේ හාල් සේරුවක  මිල ශත ගාණකින් වැඩි කරපු හින්දා.

හර්තාලය මොන තරම් සාර්ථක වුනාද කිවුවොත් පාරවල් වල රොටී පුච්චන් කන කාන්තාවෝ . පාරවල් මැද ලිප ගිනි මෙලෙවුවා. ඒ වගේ තමයි ඇමති මණ්ඩලයට රැස් වෙන්න සිද්ධ වුනේ වරායේ නැංගුරම්ලා තිබුණු නිවුෆවුන්ඩ්ලන්ඩ් කියන නැවේ .

අද වගේම තමයි 53 දිත් හිටියේ මේ වගේම රැඩිකල් දඩබ්බර තරුණයොම තමයි. ඒත් එදා ඒ  තරුණයින්ගෙන් පොදු දේපල වලට හානි සිද්ධ නොවෙන්න එයාලව පාලනය කෙරුවෙ එදා හිටිය වමේ පරිණත නායකයො.  

ඇන් . ඇම්ලා, කොල්වින්ලා, ලෙස්ලිලා, එස්. ඒ. වික්‍රමසිංහලා, පිලිප්ලා වගේ පරිණත නායකයෝ.

 

ඒ නායකයො තමන්ගේ වාමාංශික තරුණයින්ට අණ දුන්නෙ නැහැ ගහපියව් කොටපියව් මරපියව් කියලා.

අනික කොල්වින් සහෝදරයගේ පාදයකට කදුළු ගෑස් පාරක් වැදිලත් අරගලයේ තරුණයින්ව දාලා ගියේ නැහැ වේදනාව උහුලගෙනම හිටියා.

 


එදා ඒ හර්තාලයට සාපේක්ෂව අද ගැන බැලුවම මීට මාස ගණනාවකට උඩ දි ඇතිවෙච්ච ජන අරගලයේදී සිද්ද වුනේ මොනවාද?.

නිසි නායකත්වයක් නැතිව අයාලේ යන හරක් වගේ ජනාධිපති මන්දරයට රිංගලා ස්වීමිං  පූල්වල නාලා ඒවායේ තියෙන උස්සගෙන යන්න පුළුවන් බඩු ටිකක් පැහැරගෙන එහි දේපල වලට හානි කරලා තමයි අන්තිමේදී නතර වුනේ.

අරගලයන් සිද්ධ වුනේ “ගෝඨා ගිහිං රනිල් ආපු එක විතරයි”

සමහරවිට ප්‍රස්ථා පිරුළක් හැදෙන්නත් බැරි නැහැ.

“ගෝඨා ගිහිං රනිල් ආවා වගේ ”කියලා.

ඒක පැත්තකින් තියමු. අපි මේ කියන්න හදන්නේ ජන අරගලයකදී තියෙන්න ඕන පරිණත බුද්ධිමත් නායකත්වයක් කියන එකයි.

1971 වැරදුනා.  1988 දීත් වැරදුනා.  විශාල තරුණයින් සංඛ්‍යාවක් ජීවිත පූජා කළා. ඒත් අත්වුන ප්‍රතිඵලයක් නැහැ.

 

එදා 1980 දශකයේ දී ජ. වි. පෙ. හිතුවක්කාර නොවී පැරණි වමත් එක්ක විජය කුමාරතුංගලත් එක්ක එකතු වෙලා අරගලය ගෙනියලා තිබුණ නම් අද තියෙන්නේ බොල්ෂෙවික්ම නොවුනන්ට වමට බර ආණ්ඩුවක්. එහෙම නම් මෙච්චර කට්ටක් කන්න ඕන වෙන්නෙත් නැහැ.



එහෙනම් අද විජේවීරලා ගමනායකලා ඇතුළු මියගිය ජ.වි.පෙ. නායකයින් වගේම විජයලා වගේම පැරණි වමේ නායකයිනුත් ඉන්න ඉඩ තිබුනා.  

පරිණත බහුශ්‍රැත නායකයින් වියපත් වෙන්න පුළුවන්, ඒත් ඔවුන්ගේ චින්තනය දැක්ම සැමදා තාරුණ්‍ය සිතුවිලි එක්ක සමපාතවයි තිබුණේ.

ඕනෑම ජනතා අරගලයකදී අත්වෙන ගැටුම් අතරේ  සිද්ධ වෙන හානිය අවම කරගන්න එක තමයි නිවැරදි නායකත්වයක් සතු ලක්ෂණය  වෙන්නේ. ඒ වගේම අතරමගදී දාලා යන නායකත්වයකුත් නිවැරදි වෙන්නේ නැහැ.



අදත් එදා වගේම ජ. වි. පෙ. හිතනවා තනිවම පුළුවන් කියලා.  අදත් වම බෙදිලයි ඉන්නේ. මේ බෙදුනු එක ඒකරාශි නොකර ගිහිං දුර්වල ධනපති ආණ්ඩුවක් එක්ක වුනත් හැප්පෙන්න නම් යෝධ ජනතා නැගිටීමක් ඇතිවෙන්න ඕන. ඒත් ඒ ජනතා නැගිටීමට ස්වයං විනයකින් යුත්ත සංයමයකින් යුක්ත පරිණත බහුශ්‍රැත නායකත්වයක් තියෙන්න ඕන.  



එක පැත්තකින් ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගය අනිත් පැත්තෙන් පෙරටුගාමී පක්ෂය තවත් සුළු සුළු වාමාංශික කණ්ඩායම් බෙදිලා ඉන්නෙ. එදත් අද වගේමයි බෙදිලා හිටියේ .  

බෙදී ගිහිං විනාශ වෙනවට වඩා එකතු වී ගිහිං දිනනවද කියන එක ගැන හිතන කොට වමට බාහිරව නව ප්‍රගතිශීලි පක්ෂ තවත් කොයි තරම් රටේ තියෙනවද.
අනතුර හමුවේ සියළු බලවේග ඒකරාශි වීම සිදුවිය යුතු දෙයක්. ඊට පිටින් යාම විනාශයට මුල පිරිමක් කියලයි අපේ පුංචි මොළේට හිතෙන්නේ .  

අදට වඩා එදා වාමාංශික පත්තරවල පළවුනු ලිපි කතුවැකි අද පත්තරවල ලියවෙනවද? එදා “ඇත්ත” පත්තරේ බී.ඒ . සිරිවර්ධනලා, සිරිලාල් කොඩිකාරලා වගේ ලියන අය අද අඩුයි. එදා මෙදා වෙනස පෙන්නන්නයි  එහෙම අතිතය ටිකක් මතක් කෙරුවේ.

පැරණි වම කිවුවට වම කවදාවත් පරණ වෙන්නේ නැහැ. දකුණ  වයසට ගියත් වම කවදත් තරුණයි.

 අද ලෝකය පුරාම යන වමේ රැල්ල එක්ක වම කවදත් සදා තරුණයි කියන්න වෙනවා.

ඒත් ඕනෑම කාලයක්  වම තරුණ වෙන්න ‘වමට’ පරිණත  නායකයො ඉන්නම ඕන.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...