The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොළඹ (ට කිරි) සරසවිය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 18, 2023 • 4:23 PM

කොළඹ (ට කිරි) සරසවිය  - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොඳ ම සරසවිය ලෙස එකල සැලකුණේ ශ්‍රී ජයවර්ධන ය.
  • හොඳ ම වාණිජ හා කළමනාකරණ උපාධි වැඩසටහන් හා ඒවා උගන්වන දක්ෂ ගුරුවරුන් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුරේ බව එකල පැවැති මතයකි.
  • කැලණිය එම විෂයන්ට ම දෙවැනි හොඳ ම සරසවිය ලෙස සැළකිණි කොළඹ සැළකුණේ තෙවැනි මට්ටමේ ලා ය.
  • කෙසේ හෝ, මගේ සමුච්චිත ලකුණු මට්ටම අනුව පහසුවෙන් ජ'පුර යාමට හැකි වුව ද මම සරසවි අයදුම් පතේ එම සරසවිය සඳහන් නොකළෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

හොඳ ම සරසවිය ලෙස එකල සැලකුණේ ශ්‍රී ජයවර්ධන ය. හොඳ ම වාණිජ හා කළමනාකරණ උපාධි වැඩසටහන් හා ඒවා උගන්වන දක්ෂ ගුරුවරුන් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුරේ බව එකල පැවැති මතයකි. කැලණිය එම විෂයන්ට ම දෙවැනි හොඳ ම සරසවිය ලෙස සැළකිණි කොළඹ සැළකුණේ තෙවැනි මට්ටමේ ලා ය.

මේ අනුව වාණිජ විෂයන්ගෙන් උසස් පෙල ඉහල ලකුණු ගන්නා සිසුන්ට ජ'පුරට සරසවි වරම් ලැබේ. තවමත් තත්ත්වය එසේ ම ද කියා මම නොදනිමි. කෙසේ හෝ, මගේ සමුච්චිත ලකුණු මට්ටම අනුව පහසුවෙන් ජ'පුර යාමට හැකි වුව ද මම සරසවි අයදුම් පතේ එම සරසවිය සඳහන් නොකළෙමි. ඊට හේතුව වුණේ මහා දාර්ශනික හෝ ශාස්ත්‍රීය සාධකයක්  නොවේ. මට ජපුර සරසවියක් ලෙස පෙනුණේ නැති නිසා ය. ආකිටෙක්චර හා ලෑන්ඩ්ස්කේප කෝණයෙන් මට ජ'පුර පෙනුණේ අජූව විකෘතියක් ලෙස ය. එකල ජපුරේ වාණිජ හා කළමනාකරණ විෂයන් උගැන් වූ කථිකාචාර්යවරුන්ගේ 'පෙනුම' ද ඊට නොදෙවෙනි ය. ටියුෂන් ගුරුවරුන් ලෙස වඩා ප්‍රකට මේ කථිකාචාර්යවරුන් සුදු කමිස හා කලිසම් හැඳ ඉදිරියට නෙරා ආ බඩ වටා සුදු බෙල්ටයක් ද පැළඳ සිටින විට මට මතක් වන්නේ එකල මල් පාරේ සිටි බ්‍රෝකර්වරුන් ය. පැහැදිලි ව ම, මගේ විනිශ්චය සුපෆිශල හෙවත් ල මතුපිට කරුණු මත පදනම් වූ එකකි. කෙසේ හෝ,  එකල මගේ පළමු හා එක ම තෝරා ගැනීම වූයේ කොළඹ සරසවිය යි. පෙනුමෙන් එහි පොඩි ගතියක් තිබීම ද ජපුර මෙන් අස්සක මුල්ලක පිහිටා නොතිබීම ද මා සලකා බැලූ ප්‍රායෝගික සාධක විය.  

කොළඹ සරසවියෙන් මා ලද අධ්‍යාපනයේ ගුණානාත්මකභාවය ගැන මට මහා ප්‍රසාද ජනක ඇගැයුමක් නැත. එය ගුරුවරුන්ට හෝ නොමිලේ ලද අධ්‍යාපනයට කරන ගුණමකු ප්‍රකාශයක් නොවේ. ඇරත් සරසවියක ඉගෙනුම ලබන විට ගුරුවරයාට වඩා වැදගත් වන්නේ සිසුවා තම උත්සාහයෙන් හා මහන්සියෙන් දේශනයෙන් හා ගුරුවරයාගේ සටහනෙන් ඔබ්බට යමක් සොයා ගැනීම යි. කොළඹ සරසවියේ මගේ බැචයේ සිටි බොහෝ සහෝදර සිසු සිසුවියෝ පුර්ණ හෝ අර්ධ කාලීන රැකියා කළ හ. තවත් අය වරලත් ගණකාධිකරණය හා කළමනාකරන ගණකාධිකරණ (CIMA) වැනි වෘත්තීය පාඨමාලා විශ්ව විද්‍යාල උපාධියට වඩා වැඩි අවධානයක් දෙමින් නිරත වූ හ. මෙවැනි භාවිතයනට නීතියෙන් අවසර ඇත්  ද යන්න පැහැදිලි නැති වුනත්, කොළඹ සරසවිය අප දේශනවලට නොඑමින් විභාගවලට පමණක් වාඩිවන පුරුද්ද නොදැක්ක වගේ සිටියා යී මට සිතේ. මෙය එක්තරා ආකාරයකට පැසසිය යුතු හා ක්‍රමයේ ම කොටසක ලෙස කළ යුතු ය කියා ද මට සිතේ.



අප වැනි සිසුන් කොටසක් සරසවියෙන් බැහැර සක්‍රීය වෘත්තීය ජීවිතයක් ගත කළ ද, සරසවියේ ම පැය විසි හතර ම ගෙවමින් 'ඩුයින්-පොලිටික්ස්' හෙවත් 'දේශපාලනය කරනවා' යන ලිහිල් යෙදුමෙන් හැඟවෙන විවිධාකාරයේ ක්‍රියාකාරකම් කළ ජ්වලිත පිරිසක් ද අප අතර විය. එකල කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ජී. ඇල් පීරිස් ය. ලා කොල කෙහෙල් දල්ලේ පාට හුන්ඩායි ස්ටෙලර් වර්ගයේ (එකල අනර්ඝ මොඩලයකි) මොටෝ රථයක සුදු සීට් එකකට සීරුවට බර වී ගමන් කළ එතුමා, අද අර්ථයෙන් හරියට ම රනිල් වික්‍රමසිංහ ජනපති මෙන් විය. එනම් ඔහුට ප්‍රසිද්ධියේ කැමති කෙනෙකු සොයා ගන්නට අපහසු කම ය.

 

ඒ කාලයේ සිසුන් පමණක් නොව සරසවි ඇදුරන් ද උඩ පැන පැන තඩි බෑ මුවහම වූයේ මහාචාර්ය ජී.ඇල් පීරිස් ය. ඔහු ඒ තරමට ම අපුල කුලපතිවරයෙක් විය. ගඩොල් තරම් මහත අපරාධ විධිවිධාන, සාක්ෂි නීතිය, දේපල නීතිය, අපරාධ වගකීම ආදී මැයින්  ඔහු විසින් රචිත නීති පෙල පොත් නැති ව නීති සිසුනට ගොඩ යාමක් නොතිබුන අතර ඒ අනගි ශාස්ත්‍රීය දායකත්වය කවුරුත් හෙලා දුටුවේ නැත. ඒ උදෙසා ඔහුට නිසි ගෞරවය හා පිළිගැනීම නිතර ම ලැබිණ. එහෙත් පරිපාලකයෙකු ලෙස ඔහු තරම් විවේචනයට, පරිභවයට හා වෛරයට පාත්‍ර වූ කෙනෙකු නැති තරම් ය. එසේ සිදුවුණේ කුමක් නිසා ද කියා මා සිතන විට ය මට නිකමට මෙන් සිතුණේ මහාචාර්ය ජී.එල් හා ජනපති රනිල් අතර බොහෝ දුරකට සාම්‍යයක්  ඇති බව. දෙදෙනා ම ධනවත් වංශවත් පවුල් පසුබිමෙන් ආ අය ය. ඒ නිසා ම ඔවුන් දෙදෙනා හා සමාන්‍ය ජනතාව අතර යම් දුරස්තභාවයක් නඩත්තු වී ය. එය එසේ නඩත්තු කරන්නේ එක් පාර්ශවයකින් ද දෙපාර්ශවයෙන්ම ද යන්න තර්ක කළ හැකි දෙයකි.

1987/89 ජවිපේ භීෂණය හා ඊට නොදෙවෙනි රාජ්‍ය මර්ධනයෙන් අනතුරු ව තරුණ අසහනය පිලිබඳ සොයා බලන කොමිසමක් පත් කළේ එවකට ජනපති ව සිටි ආර්. ප්‍රේමදාස මහතා ය. මහාචාර්ය ජී. ඇල් ද මෙහි මේ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේ  ය. ලංකාවේ කේන්ද්‍රය හා පරිධිය අතර ඇති දරුණු අසමතුලිතාව උපමේය ව ප්‍රකාශ වුණේ 'කොළඹට කිරි ගමට කැකිරි' ලෙසිණි. පක්ෂ දේශපාලනයට ඒ හැටි ගෑවී නොගෑවී සිටි මෙතුමා කුමන හේතුවක් හෝ නිසා 1994 රෙජීම වෙනස් කිරීමේ දේශපාලනයට ඈඳී එම වසරේ ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආගමනය කර තවමත් එහි රැඳී සිටියි (ලබන වසරට දශක තුනේ ඇනිවසරිය ද එළඹේ).


1994 දී මහාචාර්ය ජී. එල් කළ දෙයක් ඉතා සුවිශේෂ ය. එනම් එතුමා 'ඩුයින්-පොලිටික්ස්'  මෝඩයට මාරු වෙන විට, තමන්ගේ කුලපති කාලයේ තමන්ට හිසරද වූ ඩුයින්-පොලිටික් සිසුන්ගෙන් ඇම්බැට්ට ම සැට් එක තමන්ගේ සම්බන්ධිකරණ ලේකම්වරුන් ලෙස තම අමාත්‍යංශයට අනුයුක්ත කර ගැනීම ය. නම් ගම් සදහන් කෙරුම නොහොබිනා නමුත් ඔවුන් කවුද යී දන්නෝ දනිති. ඉන් කිහිප  දෙනෙක් පසු කලෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරයෙක් හා නියෝජ්‍ය ඇමතිවරු වූ හ. සමහරු රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන තනතුරු හෙබවූ හ. තවත් සමහරු ජනාධිපති උපදේශක වැනි වගකීම් දැරූ හ.


අපේ කාලයේ කොළඹ සරසවි ක්‍රියාකාරකයින් ජී.ඇල් පීරිස්ගේ 'ඩුයින් පොලිට්ක්ස්ඉ' සමග සම්භන්ධ වීමෙන් වුණේ පාවා දීමක් (තම රැඩිකල් හා පරමාදර්ශී දේශපාලනය) ද, හීළෑ වීමක් ද, අනුයුක්ත වීමක් ද එසේත් නැතිනම් පරිණත වී නිර්මාණශීලී හා ප්‍රායෝගික වීමක් ද යන්න නිගමනය පාඨක ඔබට භාර කරමි.



Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...