The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඡන්ද මාකටිං - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

T

The Leader Desk

March 19, 2023 • 10:24 AM

ඡන්ද මාකටිං - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ණය ලැබෙනතුරු සිටිය යුතු යැයි සමහරු කියති.
  • එහෙත්, අපට පෙනෙනා ආකාරයට නම්, ඊට පෙර ගතහැකි විසඳුම්ද ඇත.
  • එම මුදල, නිසි ලෙස කළමනාකරණය කර ගතහොත්, මාස දෙක තුනක් හෝ විදුලි මිල, දුරකථන බිල්පත්ද ගෙවා, තුන්වේල කා සතුටින් කල් ගෙවිය හැකි වනු ඇත.
  • අපේක්ෂකයන් අතර, ඡන්ද මිලදී ගැනීමේ තරගයක් ඇතිවන අතර, ඉන් ඡන්ද දායකයනට වැඩි වාසි අත්පත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා අයි.එම්.එෆ්. ණය ලැබෙනතුරු සිටිය යුතු යැයි සමහරු කියති. එහෙත්, අපට පෙනෙනා ආකාරයට නම්, ඊට පෙර ගතහැකි විසඳුම්ද ඇත.

තමන්ගේ ඡන්දය සඳහා මිලක් ලබාගැනීමේ අයිතිය ජනතාවට ලබාදීම එක ක්‍රමයකි. එවිට ඡන්දදායකයනට, තමන්ට වැඩිම මිලක් ගෙවන අපේක්ෂකයකුට ඡන්දය අලෙවි කළ හැකිය.

ඒ අනුව, කිසියම් ඡන්දදායකයකුට තම ඡන්දය සඳහා, රුපියල් දස දහසක් ලැබේ යැයි සිතමු. ඔහුගේ පවුලේ ඡන්ද බලය හිමියන් දහ දෙනකු සිටී නම්, එතැනම ලක්ෂයක ආදායමකි. එම මුදල, නිසි ලෙස කළමනාකරණය කර ගතහොත්, මාස දෙක තුනක් හෝ විදුලි මිල, දුරකථන බිල්පත්ද ගෙවා, තුන්වේල කා සතුටින් කල් ගෙවිය හැකි වනු ඇත.

ඡන්දය මිලදී ගැනීමේ අයිතිය, මැතිවරණ කොමිෂන් සභාව මගින්, ඡන්ද අපේක්ෂකයනට ලබා දිය යුතුය. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්ද ඔවුනට, විශේෂ සහනයක් දිය යුතුය.

 

vote buy

අපේක්ෂකයන් අතර, ඡන්ද මිලදී ගැනීමේ තරගයක් ඇතිවන අතර, ඉන් ඡන්ද දායකයනට වැඩි වාසි අත්පත් වේ. ඔවුන්ට තම ඡන්දය වැඩි මිලට විකුණා ගැනීමට උත්සාහ කළ හැකි ය. (හොර ඡන්ද සඳහා විශේෂ මිලක් ලබාගත හැකිය.)

 

මේ ක්‍රමය සාර්ථක කර ගැනීමට නම්, ඡන්ද අපේක්ෂකයන්ට විශාල වත්කමක් තිබිය යුතු වනු ඇතැයි කෙනෙකු තර්ක කළ හැකිය. සිරි ලංකාවේ මැතිවරණවලට ඉදිරිපත් වන්නේ, නැති බැරි අය නොවන බව රහසක් නොවේ. අනෙක් අතට, මැතිවරණයකට කරන වියදම, ජයග්‍රහණයෙන් පසුව ඔවුන් ලබාගන්නේ දෙගුණ තෙගුණ කර ගනිමිනි. මේ නිසා ඉහත ක්‍රමයෙන් දෙපාර්ශ්වයටම කිසිදු පාඩුවක් සිදු නොවේ. වැඩිම මිලක් ගෙවන අපේක්ෂකයාට, වැඩිම ඡන්ද ලබාගත හැකිවනු බැවින්, ඔහු ජයග්‍රහණය ලැබීම නිසැකය.

 

ජයග්‍රාහක අපේක්ෂකයාට අවශ්‍ය නම්, තම පදවිය, පරාජිත අපේක්ෂකයකුට වැඩි මිලට විකිණීමේ නීත්‍යානුකූල අයිතියද ලබාදිය යුතුය. එවිට ඔහුට ගිය වියදමද කවර් කරගෙන, ප්‍රතිලාභයක්ද ලැබීමේ අවස්ථාව හිමි වෙයි.

ඡන්ද මධ්‍යස්ථානය කටවහරේදී හැඳින්වෙන්නේ ඡන්ද පොළ නමිනි. අනාගතයේදී මෙකී නව ක්‍රමය යටතේ, එය ''ඡන්ද වෙළෙඳපොළ'' නමින් හැඳින්විය හැකිය. එහි නොගොස් ''ඔන් ලයින්'' ක්‍රමයෙන්ද ඡන්දය විකිණීමේ පහසුකම් සැකසිය හැක.

ඡන්දය මිලදී ගැනීමේ, නව මැතිවරණ ක්‍රමය යටතේ මහජන නියෝජිතයන් නොහොත් මැති ඇමැතිවරුන් ජනතාවට සේවය කිරීමේ වගකීමෙන්ද නිදහස් වනු ඇත. ඡන්දය විකුණා වාසිය ලැබූ ඡන්ද දායකයනටද සිදුවනු ඇත්තේ, කට පියාගෙන සිටීමටය.

ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී මෙම නව ක්‍රමය අත්හදා බලන මෙන්, ඡන්ද අපේක්ෂකයන් හා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. පළාත් පාලන ආයතනවල අක්‍රමවත් බව හා නාස්තියද, සිරිලංකාවේ පරිහානියට හේතුවකැයි සමාජ මාධ්‍ය තුළින් කියනු අසන්නට ලැබේ. මේ ඊට අදාළ උපහාස කතාවකි.

52134

වාසිබෝලන්තයේ එක්තරා පෙදෙසක රාතී කාලයේ නිතර නිතර සොරකම් සිදුවන්නට විය. මෙය මැඩලීම සඳහා ක්‍රමයක් සොයනු පිණිස, ප්‍රදේශීය සභාව රැස්වුණි.

''අපි රාත්‍රී මුර සංචාරක කණ්ඩායමක් ඇති කරමු.'' ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ගෙන ආ එම යෝජනාව සම්මත වුවත්. තවකෙක් ප්‍රශ්නයක් නැගීය.

''ඒ කණඩායමට හරියට රාජකාරිය කරන හැටි උපදෙස් දෙන්නෙ කවුද?'' ඒ සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීමටද තීරණය විය. එහෙත් තවත් ප්‍රශ්නයක් මතුවුණි.

''මුර කණ්ඩායම වැඩ කරන හැටි සොයා බලන්නෙ කවුද?''

ඒ සඳහාද මුර සංචාර පරීක්ෂකයන් දෙදෙනෙකු පත් කිරීමට තීරණය විය. ඉන්පසුව වඩාත් වැදගත් කාරණයක් පැන නැගුණි.

''මේ මුර සේවා කණ්ඩායම සහ එම නිලධාරීන් පාලනය කරන්නෙ කවුද?''

ඊටද විසඳුමක් ලැබුණි. මුර සංචාර අංශයක් පිහිටුවා, එය පරිපාලන නිලධාරියකු යටතේ පවත්වාගෙන යා හැකිය. එම නිලධාරියාට අවශ්‍ය, කාර්ය මණ්ඩලයක්ද පත්කළ යුතුය.

මෙම වැඩපිළිවෙළ අවුරුද්දක පමණ කාලයක් ක්‍රියාත්මක විය. ප්‍රදේශයේ සොරකම්ද අඩුවුණි. එහෙත්, ඉන්පසු මතුවූ ගැටලුව වූයේ, මුර සංචාරක අංශයේ පඩි නඩි ගෙවීම් සඳහා, ප්‍රමාණවනත් මුදල් ප්‍රාදේශීය සභාව සතු නොවීමය. එහෙයින්, ඊට විසඳුමක් සෙවීම සදහා, සභාව රැස්වුණි. අවසානයේ ඔවුහු තීරණයක් ගත්හ.

රාත්‍රී මුර සංචාරක කණ්ඩායම වහාම සේවයෙන් ඉවත් කළ යුතුය. ඒ පිළිබඳව කිසිදු විරෝධයක් මතු නොවුණි. වඩා වැදගත් වන්නේ, ප්‍රාදේශීය සභාවේ පැවැත්මයි. ආරක්ෂක අංශ අවශ්‍ය වන්නේද එය රුක ගැනීමටයි. ප්‍රදේශයේ ආරක්ෂාව දෙවැනි කාරණයක් වන අතර, එය ජනතාව සතු වගකීමකි.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඡන්ද මාකටිං - (කපිල කුමාර කාලිංගගේ හීසරය) | The Leader