කොයිතරම් නැවත නැවත බාහිරින් බිඳ වැටුනත් ඇතුලතින් බිඳ නොවැටෙන විශ්වාසය සහ ආදරය. ඒක අපේ සමීප සම්බන්ධතා ඉක්මවා යන දෙයක්.
දෙවියන් කෙරෙහි විශ්වාසය සහ දෙවියන්ගේ ආදරය වගේ වෙන්න පුළුවන්. නැත්නම් මේ සියල්ල එක්ව දරන ග්‍රේට් ස්පිරිට් එක නැත්නම් මහා ආත්මය ගැන වෙන්න පුළුවන්. තමන්ට මුනගැහෙන අනෙකාට වඩා විශාල වූ විශ්වාසයක් ආදරයක් කෙනෙක් තුල ගොඩනැගිලා නම් ඒ මනුස්සයා ආත්මීයව පොහොසත් වෙනවා.
මීට ප්‍රතිවිරුද්ධ අන්තය තමයි වෛරය සහ සැකය. තමන්ගේ විශ්වාසය හෝ ආදරය බිඳ වැටුනු නිසා ඇතිවන වෛරය, නැවත නැවත තමන්ව රවටනු ලැබූ නිසා ඇතිවූ පවතින සැකය සාධාරණ හේතු මත ගොඩනැගුනා වෙන්න පුළුවන්. මේ සැකය අතිශය තාර්කික වෙන්නත් පුළුවන්. ඒත් ඒ සැකය විසින් අපේ ගැඹුරු විශ්වාසය හානි කරලා නම් අපිව ඩැමේජ් වෙලා තියෙනවා.

මෙතනදි තමයි දෙවියන් ගැන විශ්වාසය වැදගත් වෙන්නෙ. ඒක බිඳ නොවැටෙන විශ්වාසයක්. නීට්ෂ දෙවියන් මැරිලා කියලා කියද්දි ඒ හෙලිදරව්ව බියජනක ප්‍රවෘත්තියක් වෙන්නෙ ඒකයි. ඉන් එහාට මානව වර්ගයාට තෘප්තිය අහිමි වෙන නිසා. සතුට පවතීවී. නමුත් ආත්මය තුලින් ලැබෙන තෘප්තිය මේ විශ්වාසය පිළිබඳ දැවැන්ත ප්‍රබන්ධය බිඳවැටීමත් එක්ක අහිමි වෙනවා. ඒක නැවත ගොඩනගා ගත යුතු වෙනවා. මනුෂ්‍ය වර්ගයා ගැන හෝ ස්වභාව ධර්මයා ගැන හෝ විද්‍යාව ගැන හෝ මාක්ස්වාදය ගැන හෝ වශයෙන් නැවත බිඳ නොවැටිය හැකි විශ්වාසයේ සහ ආදරයේ පදනම් ගොඩනගා ගන්න වෙනවා.
කිසිම දෙයක් වැරදි නැති බව තේරුම් ගැනීම පරිණතකමයි. සියල්ල එය සිදුවිය යුතු ප්‍රශස්තම ආකාරයෙන් සිද්ද වී ඇති බව දැකීම මමත්වය දිය කිරීමයි. හැම කෙනෙකුටම තමන්ගේ ක්‍රියාව කිරීමට තමන්ට සාධාරණ වූ හේතුවක් තියෙනවා. හැම කෙනෙකුගේම උත්සාහය වන්නේ වේදනාවෙන් පලා යාමයි. එහෙම වුනාම අනෙකා ගැන පළුදු නොවන මිනිස් විශ්වාසයක් සහ ආදරයක් ගොඩනගා ගැනීම පහසුයි. ඒක අනෙකාට වැරදි කරන්න ඉඩ ඇති විශ්වාසයක්. ඒ වැරදි කරන අනෙකාට බැඳුනු ආදරයක්.
(චින්තන ධර්මදාස)දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -
Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




