The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලකයෝ - ආණ්ඩුවේ ලොක්කෝ පානම ගමක ඉඩම් තමන්ට ලියාගෙන

T

The Leader Desk

March 19, 2023 • 3:51 PM

දේශපාලකයෝ - ආණ්ඩුවේ ලොක්කෝ පානම ගමක ඉඩම් තමන්ට ලියාගෙන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය රටේ නැගෙනහිර අන්තයේ පිහිටි අවසන් ගම්මානයයි.
  • පානමට නුදුරින් පිහිටා ඇත්තේ ශාස්ත්‍රවෙල නම් මුහුදුබඩ ගමයි.
  • පුරාණයේ සැහැදැවත් බෞද්ධ ජනතාවක් ජීවත් වූ බවට සාධක හෙළිකරන නටබුන් විහාර රුසක්ද පානම අවට දැකගත හැකිය.
  • මේ නිසා සංචාරක හෝටල් රාශියක්ද පසුගිය වසර කිහිපය තුළ පානම අවට ඉදි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එය රටේ නැගෙනහිර අන්තයේ පිහිටි අවසන් ගම්මානයයි. ඒ ගමේ සිට ඇරඹෙන්නේ යාල වනය හා බැඳුණු වනාන්තරයි. පොතුවිල් සිට සිට මුහුද අද්දරින් කළපු අතරින් පානම ගම වෙත මහා මාර්ගය ඇදී යයි. පානමට නුදුරින් පිහිටා ඇත්තේ ශාස්ත්‍රවෙල නම් මුහුදුබඩ ගමයි. මේ ගම් ගැන පසුගිය දිනවල කිහිපවරක් අපිද රටට මතක් කර දුන්නෙමු. ඒ මේ සොඳුරු පෙදෙසේ සිදුවන ඉඩම් කොල්ලය සහ වනාන්තර විනාශය ගැනයි.

panama

පානම් පත්තුව සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් තුනම ජීවත්වන පළාතකි. මේ පෙදෙස අයත් වන්නේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. පුරාණයේ සැහැදැවත් බෞද්ධ ජනතාවක් ජීවත් වූ බවට සාධක හෙළිකරන නටබුන් විහාර රුසක්ද පානම අවට දැකගත හැකිය. මෑතක සිට දේශීය විදේශීය සංචාරක ගමනාන්තයක් වශයෙන්ද පානම අවට වෙරළ තීරය ප්‍රකටව පවතී. මේ නිසා සංචාරක හෝටල් රාශියක්ද පසුගිය වසර කිහිපය තුළ පානම අවට ඉදි වී ඇත. ඉංග්‍රීසීන්ගෙන් දිවි බේරා ගැනීමට පැමිණි උඩරට සහ ඌවේ සිංහල ජනතාව අසල ගම්වල ජීවත් වූ දෙමළ හා මුස්ලිම් ජනතාව හා ආවාහ විවාහ කර ගනිමින් වාසය කිරීම සිදුවිය. ඒ වගේම ඔවුන්ගේ නම් හා වාසගම් තමන්ගේ වාසගම්වලට ගනිමින් ඔවුන්ගේ සංස්කෘතීන් හා මිශ්‍රව ජීවත් වීම ආරම්භ කෙරුණි. පානම ගම්මානය ග්‍රාම නිලධාරී වසම් 05 කින් සමන්විතය. පවුල් 3500ක් පමණ එහි ජීවත් වෙති. එක් පැත්තකින් කළපුවෙන්ද, තවත් පැත්තකින් මුහුදින් ද, තවත් පැත්තකින් යාල කුමන වනෝද්‍යානයට අයත් මහා ගණ වනාන්තරයෙන් ද පානම සහ ශාස්ත්‍රවෙල වටවී තිබේ.

 

මෑතකදී වාර්තා වුණේ පානම ශාස්ත්‍රවෙල ගම්මානයේ පිහිටි ගොවි පවුල් 75කට අයත් වගාබිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 50ක් ආණ්ඩුවේ නිලධාරින් සහ දේශපාලනඥයන් විසින් නීතිවිරෝධීව බෙදාගෙන ඇති සිද්ධියයි. මෙයට ටික කලකට පෙර මේ ඉඩම්වල වගාකළ ගොවි ජනතාව ආරක්ෂක අංශවලින් ඒවායෙන් ඉවත් කර තිබේ.

klsjdfos

 

ඉඩම් පිහිටා ඇත්තේ හැඩ ඔය මෝය ආශ්‍රිතව වෙරළ සීමාවේය. ඒ අවට අලි - ඇතුන් හා කොටින් බහුලව ජීවත් වන බව වාර්තා වේ. හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ රජයේ නිලධාරින් විසින් එම ඉඩම් වෙන්කරගෙන තිබේ. මෙම පෙදෙසට නුදුරින් පිහිටි කුඩුම්බිගල - පානම අභය භූමිය මායිමේ පානකල කලපුව අසල පිහිටි ඉඩම් හෝටල් ඉදිකිරීම සඳහා දේශපාලනඥයකුගේ පුතකු වෙන්කර ගෙන ඇත. මේ ඉඩම් කොල්ලය ගැන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර මෙසේ පවසා සිටී ''මෙසේ වෙන්කරගත් සමහර ඉඩම් වෙනත් පුද්ගලයන්ට පවරා තිබෙන බව අසන්නට ලැබෙනවා. මේ වනවිට එම ඉඩම්වල විදුලි වැටවල් සකස් කර සංචාරක හෝටල් ඉදි කරමින් පවතිනවා. ඒ විතරක් නොවෙයි. මෙම ප්‍රදේශයේ වෙරළ කලාපයේ හා ඒ අවට තිබෙන වනාන්තර ඉඩම් සම්පූර්ණයෙන්ම ඩෝසර් යන්ත්‍රවලින් නීති විරෝධීව එළිපෙහෙළි කර වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබෙන බව දකින්න පුළුවන්. මේ නිසා අලි - අතුන්ගේ සංක්‍රමණික මාර්ග සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුණා. මේ සියලු ක්‍රියාවන්ට එරෙහි ව ශාස්ත්‍රවෙල පදිංචි ව සිටි කාන්තාවන් විරෝධතාව දැක්වීම සඳහා පසුගිය කාලයේ එම ප්‍රදේශයේ කඳවුරු බැඳ රැඳී සිටියා.''

 

උතුරු - නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසරවල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත පානම ප්‍රදේශයේ ජනතාව සමහර ඉඩම්වලින් අකමැත්තෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනීම සිදුවිය. පොදුවේ පානම ලෙස හැඳින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මානවල ජීවත් වූ ජනතාවගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් එලෙස ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනුණි.

 

මෙසේ ගම්වැසි ජනතාවගෙන් ඉඩම් අයිතිය පැහැරගෙන ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම්වලින් පලවාහැරිම ගැන දිගින් දිගටම විරෝධතා පැවැත්විණි. නමුත් ඒවාට ඇහුම්කන් දීමක් සිදුවූයේ නැත. රාජපක්ෂ සමයේ අහිමි කළ පානම ජනතාවගේ ඉඩම් අයිතිය පොරොන්දු රාශියක් දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව කාලයේද වෙනසක් වූයේ නැත. මේ නිසා ගොවි ජනතාවගේ බලාපොරොත්තු සියල්ල අහිමි වීම සිදුවිය.

ggdfh

 

ආණ්ඩුවේ මේ ඉඩම් කොල්ලය නිසා පානම ජීවත් වෙමින් කටුක පරිසරය ජයගනිමින් වගා කටයුතු වල හා ධීවර කටයුතු වල නිරතවූ පවුල් 350ක් පමණ වසර 12ක කාලයක් තිස්සේ අවතැන්ව සිටී. මේ නිසා කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන්ම ධීවර කර්මාන්තයද පුරුදු පරිදි කරගෙන යාමට අවස්ථාව අහිමි වී තිබේ.

මෙසේ ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණ ලෙස රජපක්ෂ සමයේ පැවසුණේ ලංකාවට පැමිණෙන විදේශීය නායකයන්ට හා ප්‍රභූවරුන්ට විවේකය ගතකළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීම ලෙසිනි.

 

ජනාධිපති කාර්යාලයටද ඉඩම් කොටසක් පැවරුණි. එසේ පැවරෑ භූමිය ඇතුළුව ජනතාවගේ සියලු ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නාවික හා ගුවන් හමුදාව භාරයේ තබාගෙන ඒ වටා විදුලි වැටවල්ද ඉදිකර වෙන්කර ගෙන ඇති නිසා ඉඩම්වල පදිංචිව සිටි ජනතාවට ඒවාට ගමන් කිරීමට පවා හැකියාවක් නැත. අපට මතක් වූයේ දෙවැනි ලෝක මහා යුද්ධ කාලේ ඉංග්‍රීසින් විසින් කොග්ගල ගමේ ඉඩම් සියල්ල ගුවන් හමුදා කඳවුරක් සඳහා පවරා ගැනීමේ සිද්ධියයි. මෙසේ රජයට ලබාගත් තම ඉඩම් යළිත් රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයන් බෙදාගැනීම දෙස ඈතට වී හූල්ලන්ට ඉඩම් හිමිගොවි ජනතාවට සිදුව තිබේ.

ඉඩම් අයිතිය අහිමි වූ ජනතාව පානම පත්තුව සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් පසුගිය කාලයේ ගොඩනගාගෙන ක්‍රියාත්මත විය. ඔවුහු තමන්ට වූ අසාධාරණය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළහ. ඒ පිළිබඳව පරීක්ෂා කළ මානව හිමිකම් කොමිසම තීරණය කළේ ජනතාවගේ ඉල්ලීම් සාධාරණ බවයි. ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත්වීමේ අයිතිය ලබාදිය යුතු බව තහවුරු කර දියයුතු බවත් නිර්දේශ කෙරිණි. නමුත් දිගුකලක් ගතවී ඇතත් බලධාරීන් එම නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත. ඒ වෙනුවට ඔවුහු හැන්දෙන් තමන්ට බෙදාගැනීමට තීරණය කළහ.

ගොවි ජනතාව අදත් තම ඉඩම්වලට අත්වූ ඉරණම ගැන හුල්ලමින් මේවා අපේ ඉඩම් යැයි බාල දරුවන්ට පෙන්වමින් සිටිනු දක්නට හැකිය. ඒ හරියට සුද්දා වතු වගාවට පාරම්පරික නිජබිම් පවරාගත්තාක් වැනි සිද්ධියකි.

(කුසුම්සිරි විජයවර්ධන)
(deshaya.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...