The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුරට වැරදුණු තැන - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 23, 2023 • 3:13 PM

අනුරට වැරදුණු තැන - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භූමිතෙල් වැදුණු ගැරඬියෙකු මෙන් එහෙට දුවමින් මෙහෙට දුවමින් විකාර ප්‍රකාශ කරමින් ජවිපෙ ඉතුරු නම්බුවත් ලෙෆ්ට් කරයි.
  • ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටක්ම සැබැවින්ම පාලනය කෙරෙන්නේ එම රටේ ධනවත්ම ව්‍යාපාරික සංගමය විසින් බව අනුර හොඳින් දනී.
  • එබැවින් මේ අවස්ථාවේ රනිල්ව ගැලවීම කිසිසේත්ම කළ නොහැකි බව අනුර දනී.
  • නමුත් ගෝඨාභය ජනපති ලෙස දිවුරුම් දෙන්නේ බුදුන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති ගැමුණු රජු හැදූ ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිරිපිටය.
අකුරු ප්‍රමාණය (Font Size):

භූමිතෙල් වැදුණු ගැරඬියෙකු මෙන් එහෙට දුවමින් මෙහෙට දුවමින් විකාර ප්‍රකාශ කරමින් ජවිපෙ ඉතුරු නම්බුවත් ලෙෆ්ට් කරයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් කෘත්‍රිමව නිර්මාණය කෙරෙමින් තිබුණු මාලිමාවේ කටුව වේගයෙන් එක තැන කැරකෙමින් තිබෙන්නේ එහි දෙපැත්තේ අධිබලැති චුම්බක ක්ෂේත්‍ර දෙකක් දෙපැත්තට ක්‍රියාත්මක වෙන නිසාය. අනුරට වැරදුණේ කොතැනද?



ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටක්ම සැබැවින්ම පාලනය කෙරෙන්නේ එම රටේ ධනවත්ම ව්‍යාපාරික සංගමය විසින් බව අනුර හොඳින් දනී. ලංකාවේ නම් කොළඹ කේන්ද්‍රීය ඉංග්‍රීසි කතාකරන ඉන්බ්‍රෙඩ් ව්‍යාපාරික ප්‍රභූ වළල්ලය. දැන් ඒ ව්‍යාපාරිකයන් සහාය දෙන්නේ රනිල්ටය. ඔවුන්ට අවශ්‍ය සියලු දේ රනිල් විසින් ඉටු කර දෙමින් තිබේ. එබැවින් මේ අවස්ථාවේ රනිල්ව ගැලවීම කිසිසේත්ම කළ නොහැකි බව අනුර දනී. අනෙක් සියලු පක්ෂ මෙන් ජවිපෙ පවා සැබැවින්ම මෙහෙයවන්නේ එම ව්‍යාපාරික සංගමය විසින්මය.



එම ව්‍යාපාරික වළල්ලට විරුද්ධව ගිය එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි. එය මා හැර කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. ගෝඨාභය ජනපති කරවීමට එම ව්‍යාපාරික වළල්ල නොඉල්ලාම කටයුතු කළේ ගෝඨාභය යනු ඔවුන්ගේ වර්ගයේ මිනිහෙකු යැයි ඔවුන් විශ්වාස කළ නිසාය. ජාතික ඇඳුම අඳින දකුණේ ගොවිරජ මහින්ද රාජපක්ෂව දෑහට පේන්න බැරි එම අහංකාර ව්‍යාපාරිකයන් සහාය දෙන්නේ ඇමරිකාවේ හිටිය ගෝඨාභයටය. සිංගප්පූරුව මෙන් කොළඹ පිරිසිදු කළ ගෝඨාභයටය. ටයි කොට් අඳින ගෝඨාභයටය.

නමුත් ගෝඨාභය ජනපති ලෙස දිවුරුම් දෙන්නේ බුදුන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති ගැමුණු රජු හැදූ ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිරිපිටය. හැටියෙන්ම බෞද්ධ විරෝධී ව්‍යාපාරික වළල්ලට එය සංකේතාත්මක අතුල් පහරකි. එතැන් පටන් ගෝඨාභය කටයුතු කරන්නේ ලංකාවේ සුදු කරපටි ව්‍යාපාරික මාෆියාව මෙල්ල කිරීමටය. හරියට යුද්ධය අවසන් වූ මොහොතේ පටන් කොළඹ කේන්ද්‍රීය ආයුධ සන්නද්ධ පාතාල මාෆියාව ගෝඨාභය විසින් සුද්ද කළාක් මෙනි. ගෝඨාභයට විරුද්ධව එම ව්‍යාපාරිකයන් පිඹුරුපත් සකසන්නට පටන් ගන්නේ එතැනින්ය. ඊනියා අරගලය යනු එහි ඵලයයි.

අනුර කුමාර වේදිකා අරා දෙසන ආකාරයට වංචාව දූෂණය නවතා දේශීය ආර්ථිකයක් හැදීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය නම් අනුර සහ ඔහුගේ ජවිපෙ කළ යුතුව තිබුණේ ගෝඨාභය රාජපක්ෂට සහාය දීමයි. උදාහරණයක් ලෙස ලංකාවේ කෘෂි කර්මාන්තය වෙලාගෙන ඇති බහුජාතික කෘෂි රසායනික ආනයන ව්‍යාපාරික මාෆියාව අවසන් කිරීමට ගෝඨාභය විසින් කෘත්‍රිම පොහොර ආනයනය තහනම් කළ විට ජවිපෙ කළ යුතුව තිබුණේ සිය ගොවි සංගම් හරහා එයට සහාය දී ව්‍යාපාරික මාෆියාව පන්නා දමා දේශීය ගොවිතැන නිදහස් කරගැනීමයි. නමුත් එම බහුජාතික සමාගම්වලට අනුර සහ ජවිපෙ නැවතත් විකිණුනා.

ඒ වගේම “දේශීය විසඳුම” හරහා විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට ගෝඨාභය ගත් උත්සාහයට හරි නම් අනුරගේ ජවිපෙ කළ යුතුව තිබුණේ උපරිමයෙන් සහාය දීමයි. නමුත් ඔවුන් කළේ අර කළු ව්‍යාපාරික වළල්ලේ උන්ඩියල් හවාලා මෙහෙයුමට සහාය දී “බැංකු හරහා රටට ඩොලර් එවන්න එපා” කියා අර්බුදය තීව්‍ර කිරීමයි. එය අමු තුප්පහි බලුකමකි. ජවිපෙට කිසිදාක හරියන්නේ නැත්තේ ඔවුන්ගේ ඔන්න ඔය චාටර් අධම අවජාතක ගතිය නිසයි.



ගෝඨාභය ධූරයෙන් ඉල්ලා අස් වූයේ ඔය අරගලකරුවන් ඩෙඟා නැටූ නිසා නොවේ. ඔහු ඉල්ලා අස් වුණේ මල්වතු අස්ගිරි මහනායකලා ඔහුට ඉවත් වෙන්නැයි කියූ නිසා පමණී. නිවැරදි දෙයම කරලත් අන්තිමට ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගෙනුත් බැනුම් අහන්නේ කුමටද! නියම සිස්ටම් චේන්ජ් එක කරගෙන ආවේ ගෝඨාභයයි. අනුරලා කියන සිස්ටම් චේන්ජ් එක කරගන්න ඔවුන්ට ලැබුණු හොඳම අවස්ථාව ගෝඨාභය රාජපක්ෂයි. අරගලය කළේ එම සිස්ටම් චේන්ජ් එක නැවත රී-චේන්ජ් කළ එකයි. අනුරට වැරදුණේ එතනයි.



ඉදින් ගෝඨාභය පරාජය වී ඇත්නම් ජයගෙන ඇත්තේ කවුරුන්ද? ජයගෙන ඇත්තේ ඊට  විරුද්ධ බලවේගය වූ අර ව්‍යාපාරික වළල්ලයි. එම වළල්ලේ ජාතක උරුමක්කාරයා රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහ යනු අරගලයේ ජයග්‍රහණයයි. නිර්මාල් දේවසිරිගේ කුප්‍රකට “ව්‍යවස්ථා උල්ලංඝනය”යි. අනුර ඔයා පමා වැඩියි. අඩුම ගානේ ගෝඨාභය ඔයාට ආණ්ඩුවට එන්න කිව්ව වෙලාවේවත් ඔයා හරි පැත්තේ හිටගත්තා නම් ඔයාට වරදින්නේ නැහැ. චතුරංගට ඌරු ජුවල් නැගලා තියෙන එක සාධාරණයි. විප්ලවීය මොහොත ඉවරයි.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 23

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...