The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්? - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

March 24, 2023 • 12:47 PM

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්? - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘සුරතල් නංගියෙ අපෙ අම්මා’ නමැති පැරණි ජනප්‍රිය ගීයකින් කියැවෙයි.
  • මෙවැනි තේරීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම තුළම, විරුද්ධාභාසයක් තිබේ.
  • විරුද්ධාභාසයක් යනු, මතුපිටින් තාර්කික යැයි පෙනුණත් ඇතුළතින් අතාර්කික නිගමනයකට අපව තල්ලු කරන ප්‍රකාශයකි.
  • ඒ නිසා, එය ඔබව අතරමං කරවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

‘සුරතල් නංගියෙ අපෙ අම්මා’ නමැති පැරණි ජනප්‍රිය ගීයකින් කියැවෙයි. මේ විදිහටම, ඊට වෙනස් පදනම් යටතේ, අම්මා සහ බිරිඳ අතර තේරීමකට බල කරන අවස්ථාද තිබේ. ‘ඔබේ අම්මද, නැත්නම් ඔබේ බිරිඳද- ඔබ ආදරෙ මේ දෙන්නගෙන් කාටද?’ යන එම්. එස්. ප්‍රනාන්දුගේ ගීතය ඊට උදාහරණයකි.

මෙවැනි තේරීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම තුළම, විරුද්ධාභාසයක් තිබේ.

 

 විරුද්ධාභාසයක් යනු, මතුපිටින් තාර්කික යැයි පෙනුණත් ඇතුළතින් අතාර්කික නිගමනයකට අපව තල්ලු කරන ප්‍රකාශයකි. ඒ නිසා, එය ඔබව අතරමං කරවයි. මේ අතරමං කරවීමෙන් ගොඩඒම පිණිස ඉහත කී සිරි අයියාගේ ගීතය අවසන් කෙරෙන්නේ,  ‘අම්මයි තාත්තයි දෙන්නම හොඳයි’ යන සාධු නිගමනයෙනි. අනිත් අතට, එම්. එස්. ප්‍රනාන්දුගේ ගීතය අවසන් වන්නේ, දෙන්නාගෙන් එක් කෙනෙකු පමණක් තෝරාගන්නා ලෙස ඔබට යෝජනා කිරීමෙනි. වර්තමාන ආණ්ඩුව මේ මොහොතේ එම්. එස්. ප්‍රනාන්දු වර්ගයේ තේරීමක් කරයි. එනම්, පාර්ලිමේන්තුවද, අධිකරණයද යන්නයි.

කතාව මෙහෙමයි: ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත පසුගිය දා පාර්ලිමේන්තුවේදී අමුතු යෝජනාවක් කෙළේය.

 පාර්ලිමේන්තුවේ බලතලවලට අධිකරණය ඇඟිලි ගසතියිද, ඒ මගින් මහජන නියෝජිතයන් වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වෙතැයිද චෝදනා කළ ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයි කීවේය. කුරුමාණම වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන්වා ප්‍රශ්න කිරීමයි.

මේ විදිහටම, මීට කලින් වතාවක්, එදා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව පාර්ලිමේන්තුවට ගෙන්වා, විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරුන් විනිශ්චයකරුවන් වී නඩුවක් විභාග කළ සැටි අපට මතකයි. (ඒ වීරවංශවත් පැත්තකින් තියාගෙන, ඩලස් අලහප්පෙරුම පසුගිය දවසක දොලවත්තට දොස් කියනු පෙනුණි).
වීරවංශගේ ‘නඩු විභාගයේ’ ප්‍රතිඵලයක් වශයෙන්, අගවිනිසුරු පදවිය අතහැර ගෙදර යාමට ශිරානි බණ්ඩාරනායකට සිදු විය. මෙවරත් ප්‍රේමනාත් දොලවත්ත නමැති ආධුනික මන්ත්‍රීවරයා එවැනි විසඳුමකට අත වනන බවක් පෙනේ.

image 8de3e891ba
ඔහු දක්වා සිටින, අධිකරණය විසින් පාර්ලිමේන්තුවට ‘ඇඟිලි ගැසීම’ මෙසේ ය: පළාත් පාලන මැතිවරණය සඳහා ගිය වර අයවැයෙන් වෙන් කොට තිබුණු මුදල් එම කටයුත්ත සඳහා සැපයීමෙන් වැළකී සිටීමට කටයුතු නොකරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේය. ප්‍රේමනාත් දොලවත්තගේ තර්කය වන්නේ, මුදල් කටයුතු භාර වන්නේ පාර්ලිමේන්තුවට බැවින්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් සැපයීම හෝ නොසැපයීම පාර්ලිමේන්තුවේ බල ප්‍රදේශයට අයත් වන බැවින්, ඒ ගැන අධිකරණය විසින් මෙවැනි අන්තර්කාලීන නියෝග නිකුත් කිරීම පාර්ලිමේන්තුවේ බලතලවලට සහ වරප්‍රසාදවලට කරන ඇඟිලි ගැසීමක් වන බවයි.


අධිකරණ නිර්දේශයේ සැබෑ හරය


මේ කියන අධිකරණ අන්තර්වාර නියෝගයෙන් කියැවෙන්නේ, පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් නිකුත් නොකර සිටීමෙන් වළකින ලෙස මිස, එකී මුදල් අහවල් දිනයට කලින් නිකුත් කළ යුතු බවක් හෝ පළාත් පාලන ඡන්දය අහවල් දිනයේ පැවැත්විය යුතු බවක් හෝ නොවේ. ‘තිබෙන මුදලක් නොදී සිටීම’ හෝ අයවැය තුළින් සම්මත කරගත් මුදලක් නොදී සිටීම, පාර්ලිමේන්තුවට ඇතැයි කියන (අනුන්ට අතපෙවිය නොහැකි) උත්තරීතර භාවයක් මත පිහිටා සාධාරණීකරනය කළ හැකි දෙයක් නොවේ. එහෙත්, ආණ්ඩුවට අවශ්‍ය නම්, ‘නැති මුදලක් නොදී සිටීම’ යන වඩාත් සාධාරණ ආස්ථානයට පැමිණිය හැකිය.

ඒ අනුව, ඉහත කී අධිකරණ නියෝගයට එරෙහිව කරුණු දැක්විය යුතු නම්, දොලවත්ත ඇතුළු ආණ්ඩුව කියා සිටිය යුත්තේ, තමන් කරන්නේ ‘අතේ තිබෙන මුදලක් නොදී සිටීම’ නොව, ‘නැති මුදලක්, දී ගැනීමට බැරිව සිටීම’ යැයි කිව යුතුය. නැති ඡන්දයක් කල් දමන්නේ කෙසේද යනුවෙන් ජනාධිපතිවරයා මීට කලින් අසා ඇති නිසා එවැනි පිළිතුරක් දීම ආණ්ඩුවට අසීරු කාර්යයක් නොවනු ඇත.



අධිකරණ නියෝගයෙන් කියැවෙන දෙවැනි කාරණය වන්නේ, පාර්ලිමේන්තුවේ සම්මත කරගත් යෝජනාවක් ප්‍රකාරව බලධාරීන් කටයුතු කළ යුතු බව මිස සම්මත කරගත් යෝජනාවකට පටහැනිව කටයුතු කළ යුතුය යන්න නොවේ. පළාත් පාලන මැතිවරණය සඳහා නියමිත මුදල් පසුගිය අයවැයෙන් සම්මත කරගෙන තිබේ. අධිකරණය කියා ඇත්තේ ඒ සම්මතයට පටහැනිව කටයුතු නොකරන ලෙසයි. ඉතිං, අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝණය කොට ඇතැයි කියන්නේ කෙසේද?

 

1397092117321522316122614
 උදාහරණයක් වශයෙන් අපි මෙසේ සිතමු: පාර්ලිමේන්තුව යම් නීතියක් සම්මත කරගනී. පසුව, පාර්ලිමේන්තුව එම නීතියට පටහැනිව කටයුතු කරයි නම්, ඊට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් වීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් වන්නේ නැත.  

ඒ දෙස තවත් පැත්තකින් මෙලෙස බැලිය හැකිය. අයවැය ලේඛනයකින් වෙන් කෙරෙන ප්‍රතිපාදන කිසි වර්ෂයක ඒ ආකාරයෙන්ම භාවිතයට ගැනෙන්නේ නැත. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 12.2 ක හිඟයක් ඇති (ආදායමට වඩා අති විශාල වශයෙන් වියදම වැඩි) අයවැය ලේඛනයකින් ඉදිරි වර්ෂය සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන, නියමිත කාලය තුළ නොසිතූ විරූ වෙනස්කම්වලට භාජනය විය හැකිය. ඒ නිසා, ගිය වර අයවැයෙන් යම් මුදලක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වෙන් කළද, අනපේක්ෂිත වෙනත් අත්‍යවශ්‍ය කටයුතුවලට වියදම් දැරීමට සිදුව ඇති බැවින් මේ කියන මුදල පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ මොහොතේ වෙන් කිරීමේ හැකියාවක් නැති බව, කරුණු සහිතව අධිකරණයට ඉදිරිපත් කළොත්, අධිකරණය ඒ හේතු දැක්වීම් සැලකිල්ලට ගන්නවා ඇත.

වන්දියක් හෝ නඩත්තුවක් ගෙවීමට නියම වූ පුද්ගලයෙකු එසේ ගෙවීම පැහැර හැරීමේදී, සාධාරණ හේතු ඉදිරිපත් කළොත්, අධිකරණය ඒ සඳහා ඔහුට තව කල් දෙනු ලැබේ. නැතහොත්, වෙනත් අතුරු සහන සලසනු ලැබේ.  

 මේ පළාත් පාලන මැතිවරණය අරභයා මීට කලින් අධිකරණය දුන් තවත් තීන්දුවක් මේ ආකාරයටම වැරදි අර්ථකථනයන්ට භාජනය වුණි. එදා මැතිවරණ කොමිසමට, මැතිවරණයට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට නීතියෙන් බාධාවක් නැති බව, එක් නඩු කටයුත්තකදී අධිකරණය කියා සිටියේය. අපේ විපක්ෂය එදා එය තේරුම්ගත්තේ හෝ රටට කියා සිටියේ, පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට දෙන ලද නියෝගයක් වශයෙන් හෝ පළාත් පාලන ඡන්දය කල්දැමීමට එරෙහිව නිකුත් කළ නියෝගයක් වශයෙනි. එය, ජයග්‍රාහී ප්‍රහර්ශයක් නිසා විපක්ෂය ඇති කරගත් අධිතක්සේරුවකි. එහෙත් මෙවර දොලවත්ත මන්ත්‍රීවරයා අධිකරණය සම්බන්ධයෙන් කියන්නේ එවැනි අහිංසක කතාවක් නොවේ. ඉතා භයානක කතාවකි. ඔහුගේ ප්‍රකාශය තුළ ඇත්තේ, අධිකරණය මට්ටු කිරීමේ තර්ජනයකි.

 


ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන රක්ෂාස්ථානය අධිකරණයයි

supreme court new


නීති සම්පාදනය කිරීමේ බලය සහ මුදල් කටයුතු පිළිබඳ බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට බව ඇත්තයි. ඒ සමගම, අධිකරණය යනු, රටේ නීතිය උල්ලංඝණය නොකෙරෙන බවට සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කෙරෙන බවට වගබලාගන්නා උත්තරීතර ආයතනයයි. නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීතියක් හෝ පැනවීමක් පාර්ලිමේන්තුවට ගෙනාවොත්, එය ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත්කිරීමේ බලය අධිකරණයට තිබේ.

එය, පාර්ලිමේන්තුවේ බලයට හෝ වරප්‍රසාදවලට ඇඟිලි ගැසීමක් හෝ අතපෙවීමක් වන්නේ නැත. පාර්ලිමේන්තුවටත් වඩා ප්‍රායෝගික අරුතකින් බලවත් ආයතනයක් බවට අද වන විට පත්ව ඇති ජනාධිපති ධුරය පවා, ඉහත කී පරිදි නීතිය කඩකරන්නේ නම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකරන්නේ නම්, එය නතර කිරීමේ බලය සහ වගකීම අධිකරණයට තිබේ.

 

 104048602 img 1305 22018 ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදා සිටි අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කොට මහින්ද රාජපක්ෂ යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටුවීම අධිකරණය විසින් අවලංගු කෙළේය. ඇත්ත වශයෙන්ම එදා සිද්ධ වුණේ, පාර්ලිමේන්තුවේ අයිතියක් අධිකරණය විසින් ආරක්ෂා කර දීමයි.  

මෙයින් කියැවෙන්නේ, එකිනෙක ආයතනයට (පාර්ලිමේන්තුවට, විධායකයට සහ අධිකරණයට) තම තමන්ගේ බලප්‍රදේශ තුළ, නීතියට අනුකූලව ක්‍රියාත්මක වීමේ පූර්ණ බලය හිමි වන බවයි. එහෙත්, මේ ආයතන තුනෙන්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආරක්ෂාව අරභයා වන නීතියේ ආධිපත්‍යය අවසානයේදී සහතික කෙරෙන්නේ අධිකරණය මගිනි. අධිකරණයකට පූර්ණ ස්වාධීනත්වයක් පැවරෙන්නේ එබැවිනි.

 

 ස්වාධීනත්වයක් නැති අධිකරණයක් ඇති කිසි රටක ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා වන්නේ නැත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රස්ථාවනාවේ, “.... නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නා වූත්....” යනුවෙන් සඳහන් වෙයි. මේ වාක්‍යයේ, “නිදහස, සමානාත්මතාව, යුක්තිය සහ මූලික අයිතිවාසිකම්” යන ප්‍රජාතන්ත්‍රවාදයේ උත්කෘෂ්ට මූලධර්ම සමග “අධිකරණයේ ස්වාධීනත්වය” යන කාරණය එක වාක්‍යයක් තුළ එකට තබා ඇති සැටි ඔබට පෙනේද? දොලවත්ත ඇතුළු වර්තමාන ආණ්ඩුව උත්සාහ කරන්නේ අධිකරණයේ එකී ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ බලාධිකාරයට යටත් කිරීමට ය.


සරදමක මහත !

ස්වාධීනත්වයක් ගැන කතා කරද්දී, ජනාධිපති ධුරය ගැන හෝ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ‘ස්වාධීනත්වයක්’ ගැන සඳහන් වන්නේ නැති බව අපි දනිමු. හේතුව, එම ආයතන නිසගයෙන්ම, ස්වාධීනත්වය යන සංකල්පය තුළ අර්ථගැන්විය නොහැකි පරාසයක් භජනය කරන බැවිනි. හෙවත්, පක්ෂ දේශපාලනය නමැති ක්ෂේත්‍රය තුළට ඒ ආයතන දෙකම විසිහතර පැයේ ප්‍රවිශ්ඨ වන බැවිනි.

එහෙත්, අධිකරණය සහ පොලීසිය වැනි වචන කියැවෙන විට නිතැතින්ම ‘ස්වාධීනත්වය’ යන අදහස අපේ සිත්වලට නැඟෙයි. හේතුව, එවැනි ආයතනවලට පැවරී ඇති කාර්යභාරයේ ස්වභාවය විසින්ම ස්වාධීනත්වය ඉල්ලා සිටින බැවිනි.

ශ්‍රී ලංකාවේ පොලීසිය මේ වන විට, පාර්ලිමේන්තුවේ (දේශපාලනඥයන්ගේ) සහ ජනාධිපතිවරයාගේ අණසකට යට වී, තමන්ගේ ස්වාධීනත්වය අහිමි කරගෙන සිටී. ඒ තත්වයම අධිකරණයටත් අත්වන තෙක් අප බලා සිටිය යුතුද?

np file 172435
මේ වනාහී, පටු දේශපාලනික අභිමතාර්ථ පෙරදැරිව, ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ඉක්මවා යාමට, ඉතා කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුව ගන්නා දෙවැනි උත්සාහයයි. ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් යැයි කියමින් පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීමට ආණ්ඩුව ගන්නා අනිත් වෑයම තවම අවසන්ව නැත

. දැන්, අධිකරණයට උඩින්, මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද මුල් තැනෙහි ලා සැළකිය යුතු බවක් දොලවත්ත මන්ත්‍රීවරයා අවධාරණය කරයි. සරදම වන්නේ, මේ කාරණා ද්වයෙහි වැදගත්කම ගැන, දෙයාකාරයක මිම්මක් භාවිත වීම ය.

එක පැත්තකින්, අධිකරණයට එරෙහිව “ජනතාවගේ” (හෙවත්, ඔවුන්ගේ නියෝජිතයන්ගේ වරප්‍රසාද) ආරක්ෂා කළ යුතු යැයි ආණ්ඩුව කියා සිටී. අනිත් පැත්තෙන්, ආර්ථිකය ගොඩගැනීම සඳහා “ජනතාවගේ” අයිතිය (හෙවත්, ඔවුන්ගේ පළාත් පාලන නියෝජිතයන් පත්කරගැනීම) අහකින් තැබිය යුතු යැයි එම ආණ්ඩුවම අනිත් පැත්තෙන් කියා සිටී. විටෙකදී උත්කෘෂ්ට වන ‘ජනතාව’ විටෙකදී බලු වෙන සැටි කදිම ය!

GaminiViyangoda

 

 

 

 

 

(ගාමිණී වියන්ගොඩ)

ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්? - (ගාමිණී වියන්ගොඩ) | The Leader