The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ ජය ම(රනිල්)ට නොවෙයි රටටයි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

March 24, 2023 • 12:40 PM

මේ ජය ම(රනිල්)ට නොවෙයි රටටයි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ගෞරවයට හේතුවන පරිදි කළ වගකීමෙන් කළ ඒ ප්‍රකාශය ගැන සුබ පැතුවේ හෝ නැත.
  • බැරක් ඔබාමා අමෙරිකන් ජනාධිපති වූ අවස්තාවේ ඔහුගේ ප්‍රතිවාදියා ජෝන් මැකේන් ඔබාමාට සුභ පතමින් කීවේ දිනුවේ අමෙරිකාව බවත් පැරදුණේ තමන් බව ය.
  • ගෝඨා අමාරුවේ වැටුණේ රනිල් වික්‍රමසිංහ 2015-2019 කාලයේ ගත් ණය නිසා ය.
  • මෙවර රනිල් ගන්නා ණය නිසා ඊළඟට පත්වන ජනාධිපතිත් අමාරුවේ වැටෙන බව කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

රටේ ගෞරවයට හේතුවන පරිදි කළ වගකීමෙන් කළ ඒ ප්‍රකාශය ගැන සුබ පැතුවේ හෝ නැත.



වෛරී මුහුණක් මවා ගත් සජිත් වහා ඉල්ලා සිටියේ විවාදයකි. බැරක් ඔබාමා අමෙරිකන් ජනාධිපති වූ අවස්තාවේ ඔහුගේ ප්‍රතිවාදියා ජෝන් මැකේන් ඔබාමාට සුභ පතමින් කීවේ දිනුවේ අමෙරිකාව බවත් පැරදුණේ තමන් බව ය. අමෙරිකාවට ජෝන් මැකේන්ලා හිටියාට අපේ කරුමෙට ලංකාවට ඉන්නේ සජිත් ප්‍රේමදාසලා ය. මෙතැන් සිට අයිඑස්එෆ් සහන ලැබුණේ නෑ කියා හෝ රට තවමත් බංකොලොත් කියනවා හැර විපක්ෂයට කියන්ට යමක් තිබේදැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.



අයිඑම්එෆ් ණය ලැබීම ගැන ගම්මන්පිලාගේ කතා දෙකකි. ගෝඨා අමාරුවේ වැටුණේ රනිල් වික්‍රමසිංහ 2015-2019 කාලයේ ගත් ණය නිසා ය. මෙවර රනිල් ගන්නා ණය නිසා ඊළඟට පත්වන ජනාධිපතිත්  අමාරුවේ වැටෙන බව කීය. ඊළඟට පත්වන ජනාධිපති ගැන ගම්මන්පිලට අනුකම්පාවක් ඇත්නම් කළ යුත්තේ ඊළඟ වසර පහටත් රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ඔහුටම කරුමය විඳවීමට සැලැස්වීමට සලස්වා පාඩුවේ සිටිමය.

ඊළඟට ගම්මන්පිල අයිඑම්එෆ් ණය පොලීයත් සමග ගෙවිය යුතු බව කියයි. ණයක් යනු ආපසු ගෙවිය යුතු  බව හෝ දන්නා තරමට ගම්මන්පිල මැටි මෝල්ද නැතුවාය. සිටින්නේ කරකවා ඇත හැරිය ඉරියව්වෙන්ය.  

උඩ යට මාරු වූ ගම්මන්පිලට අනුව, ණය ගැනීමේ වගකීම ජනාධිපතිගෙන් ජනධිපතිට මාරු වේ නම් 2015-2019 කාලයේ ලංකාවේ ජනාධිපති වික්‍රමසිංහ විය යුතුවේ. රනිල්ගේ ප්‍රකාශය නිසා වීරුවංශත් රුවිතෙට කැරකිලා ය, ලාභ ලබන ආයතන විකිණීම ගැන ඇසුවේ රටේ අග විනිසුරුවරියට පිස්සු ගැණීයක් කී විරවංශමය. උපවාස රතන තවම කතා කළේ නැත. ගම්මන්පිල රතන විරවංශ නම් ත්‍රිශූලය අත දරා සිටින්නේ ඊෂ්වර නොවේ. රාජපක්ෂ පවුලය. තම බඩ ගෝස්තරයට කවුරුන් හෝ හෝදා පිරිසිදු කරන මේ තිදෙනා ඊළඟට නාමල් රාජපක්ෂව පොලිෂ් කර මහ බඹාට අන්දවා ජනාධිපති පෙරහැරට වීදි බැස්සුවොත් අරුමයක් නොවේ.

 

HE 01 1

රට තවත් බංකොලොත් නැතැයි ලෝකයට ඇසෙන්ට රනිල් වික්‍රමසිංහ කියද්දී රටේ බහුරතයක් ජනතාව දෑත් ඉහළට ගෙන කීවේ බුදු සරණයි දෙවි පිහිටයි කියාය. ඒ තුන් වසරක් පාසල් නොයා සිටි රටේ දරු පරපුර වෙනුවෙනි. රනිල් බලයෙන් පහ කළ 2019 න් පසුව රටේ මිනිස්සු තවමත් හරි හමන් සිංහල හින්දු අලුත් අවුරුද්දක් කාලා නැත. වසර තුනකට පසුව අවුරුදු කන රටක් ලැබෙන්නේ රනිල්ගේ හපන්කම නිසාය. රනිල්ගේ කතාව අනුව මෙවර අලුත් අවුරුද්දට කුඩා දරුවන්ට චීනෙන් චීන පටස් පවා ගෙන්වා දුන්නත් පුදුම නොවිය යුතු වේ. තවත් සරලව කියයි නම් සිංහල හින්දු අලුත් අවුරුද්ද උතුර දකුණ එක්ව එක නැකතට සතුටින් සැමරීමත් රනිල්ගේ නායකත්වය උවමනා යයි සිතන තැනට මිනිසුන් වෙනස් විය හැකිය.



මාලිමාවට සුභ පතන වරුණ, රනිල් සහ අන්දරේලා නම් ලියවිල්ල කියවා එවූ  සටහන මෙසේය. රනිල් වික්‍රමසිංහ දේශපාලන කෘතහස්ත භාවයෙන් ජෝ බයිඩන් පූටින් සහ සුනාක්ට වඩා පියවර ගණක් ඉදිරියෙන් ඉන්නවා. සී ජිංපි. සහ ක්‍රස්තෝ තරම් උපාය මාර්ගික වුණා නම් මේ ලෝකයම පාලනය කරන්න පුළුවන්. රටේ අයට එය තේරුම් ගැනීමට නොහැකිවීම අභාග්‍යයකි.

petrol queue 1

තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරලා දැන් නිදහසේ හුස්ම ගැනිමට ඉඩදීම විතරක් මදදි? කාගේ කවුරුයි නො දන්නා වරුණගේ සමාජ භූමිකාව ගැන මම නො දනිමි. එහෙත් උද්ධික ප්‍රේමරත්න මෙන් වරුණද අළුතෙන් රනිල් ගැන හදාරන්නෙකි.  

රනිල් ජනාධිපති වූ සැනින් රටට ඩොලර් ලැබුණේ නැතත් රටේ ඉන්ධන පෝලිම් එක් රැයකින් අහවර කළ කිව් ආර් ඉන්ද්‍රජාලය සත්තකින්ම සලාක ක්‍රමයකි. බත් කා අත හෝදන ප්‍රමාණයට ජනතාවට ඉන්ධන නො ලැබිණ. තම ඉන්ධන පරිභෝජනය ගැන මා මිත්‍ර නීතිඥ නෙවිල් කීවේ මෙසේය.



“මම ගෙදරට උදේට කන්න ගේන්න ටවුමට යනකොට පත්තර ඇවිත් නෑ. උදේට කාලා පත්තර ගේන්න යනවා. පත්තර ටික බලලා ඉවර වෙන කොට නෝනාගේ බඩු ලැයිස්තුවක් අරන් ආයෙත් කඩේ යනවා. එහෙම අපි කාර් පාවිච්චි කළ අපට දැන් ගෙදර අයම පැට්රල් ඇති වෙයිද අහනවා.” නෙවිල් වැනි රටේ කොයි වෘත්තිකයාත් ජීවත් වුණේ එහෙමය. අද ඔවුන් පාලනය වෙන්නේ කිව්ආර් කේතය නිසාය. අරකට මේකට පාරට බහින ඉරට්ටන් ජේප්පන් සලබයන් ලබ්බන් කිසිවෙකු කිව්ආර් එපා කියා සටන් කළා නම්  මැරෙන්නේ ගුටි කාලා ය.



ඇත්තම කතා කරයි නම්, රනිල් වික්‍රමසිංහ තේරුම් ගැනීමට කිව්ආර් ක්‍රමය පමණක් ප්‍රමාණවත් ය. ජනතාව ඊට අනුගතව සිටිති. ඉතින් රනිල්ට ජන මතයක් නෑ කියන්නේ අමු කැවිලාද? එයින් අප තේරුම් ගත යුත්තේ අප්‍රේල් අරගලය ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් යනු අපට හුරු නැති බදු ගෙවීමට, සකසුරුවමින් ජීවත්වීමට, ජනතාවට හුරු කරවීමය. රනිල්ගේ අත්‍යාවශ්‍ය සේවා කළමනාකරණය සිස්ටම් චේන්ජ් එකකි.

මා නැවත කියන්නේ කිව්ආර් කේතය ගෝඨා ක්‍රියාත්මක කළා ඔහු අදටත් ලංකාවේ විධායක ජනාධිපති බවය. පාලනය කිරිම යනු කොහොමටත් ජනප්‍රිය නැත. ජනතාවගේ ඡන්දෙන්  පත්වන පාලකයාට අවශ්‍ය ලෙස රට හැසිරවීම යනු අභියෝගයකි. සිංගප්පූරුවේ ලී ක්වාන් යු ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් වීරයෙකි. ජනප්‍රිය නොවන එහෙත් රටට අවශ්‍ය දේ කිරීමෙන් හැමදාම ඇනගත් ජනාධිපති වික්‍රමසිංහ බංකොලොත් රට ගොඩ නැගීම යනු අප්‍රේල් අරගලය ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක හැර වෙන කුමක්ද? රනිල් කරන කරන හැමදේටම විපක්ෂය විරුද්ධ වීම යනු අප්‍රේල් අරගලයේත් විපක්ෂයේත් පරස්පරය තහවුරු කිරීමකි.  


මට විපක්ෂය උදව් කළේ නැත යයි පසුගිය 22 වෙනිදා රනිල් නැවත නැවත කී පසු කිරිඇල්ල “ඇසුවේ ඇයි අපි 21 සංශෝධනයට සහාය දුන්නේ නැතිද? කියාය.  ආර්ථිකය බිඳ වැටීම සහ ආණ්ඩු ක්‍රම සංශෝධනයක් අතර වෙනස හෝ තිස් වසරක් පාර්ලිමේන්තුවටම නාකිවූ ලක්ෂ්මන් කිරිඇල්ල දන්නේ නැත. 21 හරහා නැති වුණේ ජනාධිපතිගේ බලතල බව කිරිඇල්ලට කල්පනාවක් නැත. 22දා වෙල්ගම කී නාකි හැත්තට කිරිඇල්ල කොහොමටත් ඇතුළත් වේ.  

කිව්ආර් කේතයෙන් පටන් ගත් ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කළමනාකරණය කිරීමට සමත් විය. හැමදාම රනිල් අසමත් වුණේ ජනතාව කැමති ජනප්‍රිය තීරණ නො ගත් නිසාය. 2001දි බලයට පත්ව ඔහු කීවේ ආර්ථිකය ගොඩ ගන්නා තෙක් අළුත් රස්සා දීම හෝ රාජ්‍ය සේවා පුරප්පාඩු පිරවීම තහනම් කියා ය. චන්ද්‍රිකා විනාස කළ ආර්ථිකය දෙ වසරකින් රනිල් ගොඩ දැමීය. එයින් කලබල වූ චන්ද්‍රිකා ජවිපෙයත් සමග එකතුව රනිල්ගේ ආණ්ඩුව පෙරළා දැමුවේ 2005දී රනිල් ජනාධිපති පත්වේය යන බියෙනි. විපක්ෂයට ගිය රනිල් වික්‍රමසිංහ, 2020 ගෙදර යැවුවේ රාජපක්ෂලා නොවේ. සජිත්ලා, මංගල සමරවීරලා, හර්ෂ සිල්වාලා , පාඨලී චම්පිකලා ආදි දැන් එක එකාට නැති සජබ ගැංසිය විසිනි. ඒ තකතීරු තීරණය නො ගන්නට රාජපක්ෂලා කිසි විටෙක 2020දී තුනෙන් දෙකක් ගන්නේවත් රටේ බංකොලොත් වන්නේ වත් නැත.

330189883 880518173064387 2091121725363630270 n
සත්තකින්ම යහ පාලන කාලයේ ලංකාව ආර්ථිකය ශක්කිමත්ව තිබිණ. වීරවංශලාට රතනලාට ගම්මන්පිලලාට දොස්තර ෂාපි සහ වඳ කොත්තු සටන් පාඨ මෙන්ම පාස්කු ඝාතන අවශ්‍ය වුණේ කන්ඩ නෑ බොන්ඩ නෑ කියා රට වටේ යා නොහැකි නිසාය. මේ වනවිට දොස්තර ෂාපි වඳ කළ හුඟක් කාන්තාවන් බබාලාගේ අම්මලා වී සිටිති. වඳ ගැහැනුන්ට දරුවන් ලැබීම පුදුමයක් නොවේ. එහෙත් සජිත්ලා රාජපක්ෂලාට ලබා දුන් තුනෙන් දෙකේ බලයෙන් පාර්ලිමේන්තු තනි මන්ත්‍රි රටේ විධායක ජනාධිපති වීම නම් ඇදහිය නොහැකි විශ්මයකි. දැන් රනිල්ට වඳ කාන්තාවන් බිහි කළ දරුවන් මන්ද පෝෂණයෙන් බේරා ගැනීමේ වගකීමද පැවරී ඇත.



අප්‍රේල් 9 වෙනිදා පෙළ ගැසී  ජූලි තෙක් ඇදී ගියේ රාජ්‍ය පාලනය නම් විගඩම නිසා මතු වූ අර්බුදයත් ජනාධිපති ගෙදර යැවීමත් පිටුපස සිටියේ විපක්ෂය නම් රනිල් රටේ ජනාධිපති වීම විපක්ෂයට නතර කළ හැකිව තිබිණ. එහෙත් ගෝඨා නික්ම යන තෙක් විපක්ෂ බලවේග සිටියේ හැංගිලාය. හේතුව රාජපක්ෂලා කෙරෙහි පැවති කෙරෙහි අප්‍රමාණ බිය නිසාය. කිසිවෙකු ගෝඨා පැන යන තෙක් අවසන් තත්පරයේත් තමුසෙට ජන වරමක් නැත යයි නො කීවේ අර බිය නිසාමය. එහෙත් ගෝඨා වෙනුවට තමන් ගෙන් කෙනෙකු තෝරා පත් කර ගැනීමට හෝ අසමත්වූ විපක්ෂයට රනිල් සමග හැරෙන්නටත් බැරිය.

 

tex 2023
බංකොලොත් භාවයෙන් මිදී හිස ඔසවා දෙපයින් නැගී සිටීමට රට දරන ප්‍රයත්නයට විපක්ෂය, අකුල් හෙලන්නේ රනිල් හතුරා වී සිටින්නේ බදු ප්‍රතිපත්තිය නිසාය.  රනිල් බදු පැනවිමෙන් කළේ ගෝඨා විසින් විකෘති කළ දිගු කලක් රටේ පැවති බදු ක්‍රමය යළි ඇති කිරීම පමණකි. විපක්ෂය අද පෙනි සිටින්නේ ගෝඨා විසින් බද්දෙන් නිදහස් කළ ලක්ෂ ගණන් පඩි කන මධ්‍යම පන්තිය වෙනුවෙන් මිස මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් නොවේ. 74 හැවිරිදි රනිල් උත්සාහ කරන්නේ ඒ දරු පරපුරට ශක්තිමත් කොට හෙට රටේ වගකීම භාරදිමටය.

ඒ රනිල් සමග අප අතීතයට යයි නම්, 2015වේදී අගමැති හැටියට, රාජ්‍ය සේවයේ කාටත් රුපියල් 10,000.00ක වැටුප් වැඩිවීමක් ද, ජ්‍යෙෂ්ඨ පුරුවැසි තැම්පතු සඳහා 15%ක නිත්‍ය පොලියක්ද ලබා දුන් රනිල් වික්‍රමසිංහ 2022දී රටේ ජනාධිපති වී, රාජ්‍ය සේවයේ එක් ලක්ෂයට වැඩි ආදායම් ලබන සියළු දෙනාටත් ජ්‍යෙෂ්ඨ පුරුවැසියන් ලැබූ පොලී ආදායමටත් බදු ගසන්නේ පැවති තැනට රට ගෙන යාම පිණිසය. රට වැටුණ තැනින් ගොඩ ගැනීමට රනිල්ට සහාය දුන්නොත් එය ජනතා ජයග්‍රහණයක් වෙනවා නිසැකය. මේ කියන බදු ක්‍රමය ආපරාධයක්ද? ඊට පිළිතුරු දෙන වර්තමානයේ මාසිකව රජයට රුපියල් 125,000ක් ආදායම් බදු ගෙවන්නෙකු වන මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිෂාන් ජයසිංහ මෙසේ කියයි.

image 09230b81f5
“වසර 2015දීත් ආණ්ඩුව රාජ්‍ය සේවකයා ලබන වැටුපට සාපේක්ෂව බදු ගැසීය. ඒ කාලයේ රුපියල් 100,000.00  සිට 140,000.00 දක්වා 4%කද,  රුපියල් 140,000.00 සිට 180,00.00 සිට දක්වා 8%කද, 180,000.00 සිට 220,000.00 දක්වා දක්වා 12%කද, බදු ක්‍රමයක් ක්‍රියාක්මක විය. ලක්ෂ 2ක වැටුප් ගත් කෙනෙක් 2018- 2019 කාලයේ මාසිකව රුපියල් 5000.00ක බද්දක් ගෙවූ අතර, 2020-2022 කාලයේ සතයක් හෝ බදු ගෙව්වේ නැත. එහෙත් රනිල්ගේ බදු ක්‍රමය අනුව, අර ලක්ෂ දෙකක් වැටුප් ගත් කෙනා මාසිකව රුපියල් 10,500.00ක බද්දක් ගෙවිය යුතුවේ.  මෙයට සමගාමීව මහාචාර්ය ජයසිංහ,  2019දී රුපියල් 60,000.00ක්  මාසිකව බදු ගෙවූ තමන් 2023දී මාසිකව රුපියල් 120,000.00ක බද්දක් ගෙවමින් සිටින බව කියයි. 2020-2022 අතර මහාචාර්ය වරයාගෙන්  කපා නො ගත් බදු ප්‍රමාණය රුපියල් 2,160,000.00කි. මෙහිදී හිඟ බදු අය කිරීමක් සිදු නොවේ.

නිදහස් අධ්‍යාපනයෙන් උස් මහත්වූ මහ පොළ ශිෂ්‍යත්වලාභි මේ මහාචාර්ය ජයසිංහ යනු ආචාර්ය කන්නන්ගර සහ ලලිත් ඇතුලත්මුදලි අපෙක්ෂා කළ යහපත් පුරවැසියෙකි. නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභයෙන් රටට වැඩක් වීමට නම් නිදහස් අධ්‍යාපනය ලත් හැම පුරවැසියෙකුම උපයන මුදලෙන් මාසිකව යම් ප්‍රතිශතයක් රජය අඛණ්ඩ බද්දක් ලෙස අය කළ යුතුවේ.

ඍජු බදු නවතා දැමීමෙන් රට බංකොලොත් වීමට ගියේ වසර දෙකක කාලයකි. සිය අට මසක රාජ්‍ය පාලනයට පසුව, රට තවදුරටත් බංකොලොත් නැත යයි රනිල් අඟහරුවාදා කීවේ වර්ජන තර්ජන මැද බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ නිසාය. 2019ට පසු උදාවන  සිංහල හින්දු අළුත් අවුරුද්ද ජනතාවට සතුටු සාදයක් වනු ඇත. ආර්ථිකය හොඳ නම් හැමදාම අවුරුදු බව කවුරුත් කාටවත් කිව යුතු නැත. එහෙත් විපක්ෂය නම් එහෙම හිතන්නත් බයය.

 

ගොරක දඩමස් කිරීමේ කාලය එළඹ ඇත. සජිත් පාර්ලිමේන්තු විවාදයකින් රට බංකොලොත් කිරීමට සැලසුම් කරයි. අනුර කියන්නේ මොන මර උගුල ආවත් ගමන අත හරින්නේ නැත කියාය. ලෝකයේ සතුටු දර්ශකයේ ලකුණු 4.4ත් ලංකාව ලබාගෙන ඇත. රටේ ජනතාව විපක්ෂයෙන් ඡන්දයක් ඕනෑදැයි සවුත්තුවට අසන දවස අත ළඟය.



chandrasiri senevirathne

 

 

 

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

Anida 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...