The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බිල් ගෙවන්න සල්ලි නෝ !

T

The Leader Desk

March 26, 2023 • 8:06 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බිල් ගෙවන්න සල්ලි නෝ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිල් ක්ලින්ටන් ද ලෝකප්‍රකට පුද්ගලයෙකි.
  • අමෙරිකාවේ ජනාධිපතිව සිටියදී මොනිකා ලෙවින්ස්කි නමැති ලේකම්වරියක හා ඇතිකර ගත් පට-ලැවිල්ලක් නිසා නම කැතකර ගත්තේය.
  • ඊට ලයිට් බිල්, වතුර බිල් ද එකතු වූ පසු, ගොඩනැගෙන්නේ මහා බිලකි.
  • ඇත් ගොව්වාට, ඇතා පිට නගින්නට වුවමනා වූ විට, ''බිල බිල'' යැයි අණ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):



බිල් ක්ලින්ටන් ද ලෝකප්‍රකට පුද්ගලයෙකි. අමෙරිකාවේ ජනාධිපතිව සිටියදී මොනිකා ලෙවින්ස්කි නමැති ලේකම්වරියක හා ඇතිකර ගත් පට-ලැවිල්ලක් නිසා නම කැතකර ගත්තේය.

තව තවත්, ලෝක ප්‍රකට ''බිල්'' ලා බොහෝ වෙති.

සිරි ලංකාවේද බිල් ගේට්ස්ලා ජාතියක් සිටිති. ඔවුන් කරන්නේ ගේට්ටුවට උඩින්, ලයිට් බිල් හෝ විදුලි බිල් බාර දී යාමය.

මේ දිනවල හැමතැනම කතාව මේ බිල් ගැනය.

''මේ පාර ඔයගොල්ලන්ගෙ ලයිට් බිල කීයද?''

''හයදාස් පන්සීයයි.''
''අපිට හත්දාහයි...''
''ඉස්සරහ ගෙදර අයගෙ දහදාහත් පැනලලු...''
''අනේ මන්දා... බිල් ඩබල් ට්‍රිබල් වෙලා. මේවා කොහොම ගෙවන්නද මන්දා...''

 

වැඩි වූ බිල් ගැන සමහරු දොස් කියන්නේ අයි.එම්.එෆ්. එකටය. තවත් සමහරු ඇමැතිටය. ආණ්ඩුව කියන හැටියට නම් විදුලි බිල වැඩිවීමෙන් රටට වූයේ යහපතකි. ලයිට් කැපිල්ල නැවතුණේ ඒ නිසාය. දැන් විදුලි බිල දැක දාඩිය දමන විට, ෆෑන් එක දමාගත හැකිය.

 

සුප්‍රකට රංගධර, අප මිත්‍ර, ඩබ්ලිව්. ජයසිරි මුහුණුපොතට එක්කර තිබූ අපූරු කවියකින් කොටසකි මේ.

ඔන්න බබෝ බිල්ලෝ එනවා
බිල් බිල් එනවා
ලයිට් බිල්
වතුර බිල්
මෙඩිකල් බිල්
අපි ඔක්කොම
බිල් බෝයිස්
බිල් බෝයිස්

නොකා නොබී
බල්ලො මරල හරි
සල්ලි හොයමු
බිල්ලන්ගේ
බල්ලන්ගේ
බිල් ගෙවන්න

wj i


මේවා නූතන ජන කවිය. දුකට ලියැවෙන කවිය. එහෙත්, අවාසනාවකට මෙන් ජනතාව කියන ''බිල් කවි'' ලොකු පුටුවල සිටින ලෝකල් බිල් ගේට්ස්ලාට ඇසෙන්නේ නැත. බීරි අලින්ට වීණා වාදනයෙන් පලක් නැතුවා සේ මය.

බිල් වර්ග අතුරින් නරකම බිල, රතු බිලය. එය නොගෙව්වොත්, දඬුවම වන්නේ සම්බන්ධතා විසන්ධි කිරීමය.

විසන්ධි අතුරින් නරකම විසන්ධිය වන්නේ දුරකථන සබඳතා නැවතීමය. නූතන මිනිසාට නොකා, නොනා, නොබී සිටිය හැක. ලයිට් නැතුව කරුවලේ සිටිය හැක. එහෙත් ''ෆෝන්'' එක නැතුව නම් පැය බාගයක්වත් සිටිය නොහැක. ෆෝන් එක නැතිවූ විටෙක, මිනිසුන් හැසිරෙන්නේ අම්මා අප්පා නැති වුණාක් මෙනි.

සෑම නිවෙසකම වැඩිපුරම ගෙවන බිල වන්නේද දුරකථන බිල්මය. මොන්ටිසෝරි යන දරුවාගේ සිට (සමහරවිට ඊටත් අඩු වයසේ ළමුන්) අත්තා මුත්තා දක්වාම ''මොබයිල් ෆෝනයට'' ආකර්ෂණය වී සිටිති. ඒ අනුව, පවුලේ සාමාජිකයන් සත් දෙනෙකු නම් ෆෝන් බිල්ද (පෙර ගෙවුම්, පසු ගෙවුම් හා කාඩ් යනාදී වශයෙන්) සතකි. ඊට ලයිට් බිල්, වතුර බිල් ද එකතු වූ පසු, ගොඩනැගෙන්නේ මහා බිලකි. එකී මෙකී නොකී බිල් කන්දරාව ගැන කල්පනා කරන විට, වත්මන් මිනිසා (විශේෂයෙන්ම සිරිලාංකිකයා) ජීවත් වන්නේ බිල් ගෙවීමටදැයි බියක් දැනේ.

ඇත් ගොව්වාට, ඇතා පිට නගින්නට වුවමනා වූ විට, ''බිල බිල'' යැයි අණ කරයි. එවිට ඇතා හෝ අලියා, මඳක් පහත්ව, දණක් නමා, ගොව්වාට තම පිට නගින්නට උදව් වෙයි. දැන්, මේ රටේ කාට කාටත් සිදුව තිබෙන්නේ ලොකු බිල් එවන ආයතනවලට ''බිල බිල'' යැයි කීමටය.

ජනප්‍රිය න‍ළුවකු මෙන්ම ගායකයකු ද වන රොඩ්නි වර්ණකුල, මුහුණු පොතට එක්කර තිබූ සටහනක මෙසේ කියැවුණි.

''කොහොමද මෙදා විදුලි බිල
ඔළුවට විදුලි කෙටුවා වගේ...''
(දැන් ඉතින් පන්දම්, හුළු අතු පත්තු කරමු.)

ඊට යටින් තම අදහස් දැක්වූවෙකු මෙසේ කියා තිබුණි.
''මම්ම නෝ පප්ප නෝ
බිල් ගෙවන්න සල්ලි නෝ...''

rodny

 

බිල් ගෙවීම මෙන්ම බදු ගෙවීමද පුරවැසි යුතුකමක් බව ඇත්තය. එහෙත් ප්‍රශ්නය වන්නේ පුරවැසියාට ඊට මුදල් නැතිකමය. දැන් සිදුවන්නේ සිඟන්නාගේ පාත්තරේටත් අත දැමීමය. නැත්නම් එල්ලුම් ගසට නියමව සිටින්නාගෙන්, තොණ්ඩුවට ගාණක් ඉල්ලා සිටීමය. පාරිභෝගිකයා විදුලි පුටුවේ හිඳුවා, ඔහු අතට විදුලි බිලක් ලබාදීමත් ඊට සමානය.

 

වර්තමාන විදුලි බිල දකින විට, පසුගිය දවස්වල මුහුණ පෑ ලයිට් කැපිල්ල නරකම නැතැයි සිතේ. ඒ කාලේ, මිතුරන් තිදෙනකුට සිදුවූ ඇබැද්දියකි මේ.

ඔවුන් වැඩ කළේ, තට්ටු විසිපහකින් යුත් ගොඩනැගිල්ලක පහළම තට්ටුවේය. ඔවුන් නැවතී සිටියේ, ඉහළම මාලයේ කාමරයකය. එක් දිනක් වැඩ නිමාවන විට, පවර් කට් එකය. විදුලි සෝපානය අක්‍රිය වී ඇත. එහෙයින් කරුවලේම සෙමින් සෙමින්, පියගැට පෙළ දිගේ ඉහළ මාලයට යාමට ඔව්හු තීරණය කළහ. වෙහෙස නිවා ගැනීම සඳහා ප්‍රේම කතාවක්, විහිළු කතාවක් හා දුක කතාවක් කීමටද යෝජනා කෙරුණි.

පළමුවැන්නා ප්‍රේම කතාවක් කීය. දෙවැන්නා විහිළු කතාවක් කීය. දැන් ඉහළම තට්ටුවට කිට්ටුය. එළඹ ඇත්තේ තුන්වැනියාගේ වාරයයි. ඔහු කලබල වී, අනෙක් දෙදෙනා දෙස බැලුවේය.

''මට කියන්න තියෙන්නෙ හරිම දුක හිතෙන කතාවක්. මං අපේ යතුර, ඔෆිස් එකේ දාලා ඇවිත්.''



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

 


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...