The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මතු දිනක දිදුලන 'හති හලන වැලි කැට' - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

March 26, 2023 • 11:31 AM

මතු දිනක දිදුලන 'හති හලන වැලි කැට' - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතාව හෝ සිතුවම් මනසින් ග්‍රහණය කරගැනීමට පෙර නරඹන්නාගේ හද මනස පිනවන්නේ එහි පවත්නා විදුලි ආලෝකකරණය යි.
  • එහෙත් එතැනට ප්‍රේක්ෂක ප්‍රජාව රැගෙන විත් රඳවා තබාගත හැකි වන්නේ පෙර අවධි ද්විත්වය නිසිලෙස සකසා ඇත්නම් පමණි.
  • එසේ නොවුණ හොත් ප්‍රේක්ෂක ප්‍රජාව තොරණ අසල නොරැඳෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.
  • කාව්‍ය රචනයෙහි නිරත ඇතැම් පුද්ගලයෙකු සතුව සුවිසල් වාග් කෝෂයක් නොතිබිය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කතාව හෝ සිතුවම් මනසින් ග්‍රහණය කරගැනීමට පෙර නරඹන්නාගේ හද මනස පිනවන්නේ එහි පවත්නා විදුලි ආලෝකකරණය යි. නමුත් සැබැවින් ම අප කියවා ගත යුත්තේ එසේ නොමැති නම් විඳිය යුත්තේ මේ අංශ ත්‍රිත්වයෙන් කුමන අංශය ද...?

විදුලි ආලොකකරණය යනු ප්‍රේක්ෂක ප්‍රජාව එක පැහැර තොරණ කෙරෙහි ආකර්ෂණය කරගන්නා පළමු පියවර ය. එහි සිතුවම් කෙරෙහි ඇස යොමුවන්නේ ඉන් අනතුරුව ය. කතාව කුමක් ද, එහි රස නිරසභාවය කුමනාකාර ද යන්න වටහා ගැනිමට පෙලඹෙන්නේ තෙවැනියට ය. වටිනාම අංශය වන්නේ ද එය යි. එහෙත් එතැනට ප්‍රේක්ෂක ප්‍රජාව රැගෙන විත් රඳවා තබාගත හැකි වන්නේ පෙර අවධි ද්විත්වය නිසිලෙස සකසා ඇත්නම් පමණි. එසේ නොවුණ හොත් ප්‍රේක්ෂක ප්‍රජාව තොරණ අසල නොරැඳෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.

යට කී උපහැරණය ම කවිය නමැති සාහිත්‍යාංගය වෙත ආරෝපණය කළ හොත් එය විග්‍රහ කළ හැකිවන්නේ කෙසේ ද?

 

කිසියම් පුද්ගලයෙකුට කවි ලිවීමේ හැකියාව කෙතරම් තිබුණ ද, භාෂාව පිළිබඳ කෙතරම් නිපුණත්වයක් පැවතිය ද ඔහු හෝ ඇය කාව්‍යෝක්ති මෙන් ම කාව්‍යාලංකාර ද මැනවින් දැන සිටිය යුතු ය. වෙසෙසින් ම කාව්‍යාලංකාරවලට අයත්: වක් බිණුම්, වක්‍රෝක්ති, වයංගාර්ථ යනාදිය පිළිබඳව දැනුවත් විය යුතු ය. එසේ නොවන කවි කවි නොවේ යැයි මෙයින් අදහස් නොකෙරේ. නමුත් කවියක් යනු ඍජු වාර්තාකරණයක් ම නොවේ.

 

කාව්‍ය රචනයෙහි නිරත ඇතැම් පුද්ගලයෙකු සතුව සුවිසල් වාග් කෝෂයක් නොතිබිය හැකි ය. නමදු ඔහු හෝ ඇය යට සඳහන් කළ කාව්‍යෝක්ති සහ කාව්‍යාලංකාර පිළිබඳ අවබෝධයෙන් සිටින්නේ නම් ඔහුට හෝ ඇයට සිය කාව්‍ය නිර්මාණය ‘‘කවියක්’’ ලෙස ඉදිරිපත් කළ හැකි ය.

පළඟැටියාට සෙනෙහස


කරුවළේ තද බියෙන් පහුවුණ

පළඟි පැටියෙක් තනිවුණා

එළිය දෙන පොඩි ගිනිහුළක් දැක

එදෙස ‘‘සක්මන්’’ සිදුවුණා

‘‘උණුහුමයි මට අඳුර නෑ අද’’

පළඟි පැටියට කියවුණා

මේ තරම් සැපතක් නොලද්දෙන්

පස්වනක් තෙක් තුටු වුණා

දැවෙන කාරිය කරන ගිනි වෙත

අහෝ මවු පෙම් ඉපදුණා

තුන් සිතින්වත් නොසිත ඉරණම්

ගමන තව ඉක්මන් වුණා

එන්න සිතුණැයි කිට්ටුවට තව

අග්නි මවු තුරුලට ගියා


යට උපුටා දැක්වූයේ විනුක වලවගේ විසින් රචිත ‘‘හති හලන වැලිකැට’’ කෘතියේ අන්තර්ගත කාව්‍ය නිර්මාණයකි.

 

හති හලන වැලි කැට

මෙම කවිය මතුපිටින් කියවා අවසන් කළ විට හැඟෙන්නේ අප කවුරුත් පාහේ දන්නා, දැක ඇති, අසා ඇති අනුභූතියකි. කවියා කුමන අදහසක් පෙරදැරිව මෙය රචනා කළ ද මගේ කියවීමට අනුව නම් මෙය හුදෙක් අප දන්නා පළගැටියාගේ කතාව නොවේ. මෙහි පළඟැටියා සහ ගිනිසිළුව යනු සංකේත ද්විත්වයක් පමණි. එම සංකේත ද්විත්වය භාවිත කරමින් කවියා ව්‍යංගයෙන් වෙනත් යමක් පවසයි. එම ව්‍යංගාර්ථය නිවැරැදිව වටහාගන්නට නම් ‘‘කවි කියවීමේ’’ නිපුණතාවක් සහ ‘‘කවි විඳීමේ’’ නිපුණතාවක් තිබිය යුතු ය. එබඳු පාඨක ප්‍රජාවට කවියා පවසන්නේ කුමක් ද යන්න නිවැරැදිව ම කියවාගත හැකි ය. ඒ, කවියාගේ කාව්‍යාලංකාර ග්‍රහණය කරගැනීමේ හැකියාව පාඨක ප්‍රජාව සතු බැවිනි. නමුදු කවියා සතුව දියණු භාෂා නිපුණත්වයක් පැවතියේ නම්  කවියේ අලංකාරවත් බව තව තවත් දිදුලන්නට ඉඩ - කඩ පැවති බව මගේ විශ්වාසය යි. ‘‘හති හලන වැලිකැට’’ කාව්‍ය සංග්‍රහයේ එන බොහෝ කවිවල මෙබඳු ලක්ෂණ දැකිය හැකි ය.

 

බණ දෙසිය යුත්තේ බණෙහි පිහිටා සිටින්නෝ ය. බණ ඇසිය යුත්තේ බණ නොදන්නවා වුව ද බණ ඇසීමෙන් ඉක්බිතිව හෝ බණෙහි පිහිටා සිටින්නට තරම් හික්මීමක් ඇති පිරිස ය. නමුදු වර්තමානයේ බණ දෙසන ප්‍රජාව ද, බණ අසන ප්‍රජාව ද ඊට අයත් කිසිදු මාර්ගයක ගමන් කරන්නෝ නොවෙති. අද බණ දෙසන බහුතරයක් අනුනට දෙසන බණෙහි නොපිහිටා සිටින්නෝ ය; බණ අසන බහුතරයක් ද බණ දැන වුව ද නොදැන වුව ද කිසිදු ආකාරයකින් බණෙහි නොපිහිටති. මතු දැක්වෙන නිර්මාණය මෙම කාණ්ඩ ද්විත්වයට ම අයත් පුද්ගලයන් වෙත එල්ල කළ සදය උපහාසයකි.

 

සැදැහැවන්තයෙකුගේ චෝදනාව


මල් වට්ටිය බුදුන් ළඟයි

අවසු උවැසි අසුන් මතයි

යට ගිය කල මෙහෙම වුණයි

එහෙන් මෙහෙන් කතා ගොඩයි

කාලීනයි අනේ හොඳයි

බිත්තු කොනට හේත්තුවයි

පැයක් තිස්සෙ අපි ඇහුවයි

බණ පොඩ්ඩයි ලයිස්තුවයි


පෙර සදහන් කළ පරිදි මෙම නිර්මාණය සඳහා සරල, සුගම බස් වහරක් උපස්තම්භක කරගත්ත ද සමස්ත නිර්මාණය පුරා ම දක්නට ලැබෙන්නේ ව්‍යංගය යි. ඒ ව්‍යංග ලක්ෂණය කවිය, ‘‘කවියක්’’ ලෙස හඳුනාගැනීමට මහඟු පිටුවහලක් සපයයි.

මිනිස් ජීවින් ලෙස දිවි ගෙවන අප කවුරුන් අතින් වුව ද වැරැදි ‘සිදුවිය’ හැකි ය. එමෙන් ම එලෙස ‘‘සිදුවන’’ වැරදි සකසා ගන්නට ද පිළිවන. මතු දැක්වෙන්නේ විනුක වලවගේ කවියා සිය කවිත්වය උපස්තම්භක කරගනිමින් යට කී සිදුවීම ඉදිරිපත් කරන ආකාරය යි.

කිරුම් - මිනුම්


මගහැරුණු ගුණදම්

කරපු මෝඩකම්

නටපු නාඩගම්

ලස්සන ම කෝලම්

ආයිත් වරක් කිරාගන්න



කොම්පියුටර් ඔළුවලින්

ඇබකස් හදවත්වලින්

ආයිත් මැනල බලන්න

හිතේ තැටි තරාදිවල

දෙපැත්ත හරියටම බේරගන්න



මූලාංක දෝෂ මගහැරලා

මුල ඉඳන් ම පටන් ගන්න

මුල වරද්දපු

අපේ ම - මගේ ම - ඔබේ ම

කාගෙවත් නොවුණ ජීවිත කතාව



දියුණුව යි ධර්මය යි අතර

(අ)සාධාරණ ප්‍රතිලෝමය

සිහිබුද්ධියෙන් ව්‍යුත්පන්න කරලා

හිත් පපුවේ මැරුණු ප්‍රත්‍යක්ෂ ටික

මතක් කර කර ජීවත් වන්න



සමස්ත නිර්මාණය ම කැටිකර ගත්විට එහි ගැඹුරක් පවතින බවට විවාදයක් නොමැත. නමුදු කවියා සිය නිර්මාණය ඔපවත් කරගැනීම සඳහා උපස්තම්භක කරගන්නා: රූපක, සංකේත, සංඥාර්ත යනාදිය තරමක අමු බවක් විදහා දක්වයි. මෙම අනුභූතිය ම නිපුණ කාව්‍ය රචකයකු හෝ රචකාවක විසින් රචනා කරනු ලැබුයේ නම් මෙම කවියා උපස්තම්භක කරගත්: රූපක, සංකේත, සංඥාර්ත වෙනුවට මීට වඩා අලංකාර මෙන් ම රසවත් රූපක, සංකේත, සංඥාර්ත යොදාගනු නියත ය. කවියා සතු භාෂා ඥානයේ අවමත්වය කාව්‍ය නිර්මාණයේ අලංකාරත්වය අවම වන්නට බලපා තිබේ.

 

විද්‍යා විෂයට අනුව ගස් වැල් යනාදිය සප්‍රාණික වස්තු ය. සිංහල විෂයට අනුව නම් ගස් වැල් යනු අප්‍රාණික වස් තුය. එනම් සිංහල විෂයේ දී ‘‘මිනිස්සු මැරෙති’’ යනුවෙන් ලියූව ද ‘‘ගස් වැල් මැරෙති’’ යනුවෙන් ලිවිය නොහැකි ය; එවිට එම වාක්‍ය වැරැදි ය. සිංහල විෂයයට එසේ වුව ද යළි සාහිත්‍ය විෂයට එන විට ගස් වැල් වුව ද ප්‍රාණවාචි වස්තු ලෙස භාවිත කළ හැකි ය. මෙය අපුරු සංසිද්ධියකි. ඉදින්: ගසක්, වැලක්, මලක් ගෙඩියක් යනු ප්‍රාණවාචි වස්තුවක් ලෙස ගෙන කවි පබැඳිය හැකි ය; ඒ ඒ වස්තු අත් විඳිනා දුක්ඛ දෝමනස්ස පාඨක ප්‍රජාව වෙත අනාවරණය කළ හැකි ය. මේ විනුක වලවගේ විසින් රචිත එබඳු නිර්මාණයකි.

 

පන්සල් බිමේ මරණානුස්සතිය


බොටුව මිරිකෙන සැදැහැ සිතකින්

පෝ දිනත් හෙට බව පෙනී

එතෙක් පිනි පොදවලින් හිස

සරසවාගත් මල් කැකුළකී

බුදුන් පා මුල මියෙන්නට

සුබ ගමන නියමිත වී ඇති

අනියතය ගැන බණක් කිව්වලු

බෝ කොළත් හුළඟට වැනී


මෙම නිර්මාණයේ දී ද කවියා මලක ඛේදවාචකය මතු පිටින් ලියා තිබුණ ද එය මලක් ගැන ම පමණක් නොවන අවස්ථාවක් ලෙස ද අපට කියවිය හැකි ය. උදාහරණයක් ලෙස ගතහොත් ඇතැම් නිවසක නිවැසියෝ කැම, බීම සහ වෙනත් සත්කාර කර ඇති දැඩි කරන‍: කුකුළෙක්, කිකිළියෙක්, එළුවෙක් වසරේ නිශ්චිත දිනක දි එම නිවැසියන්ගේ ම ආහාරය පිණිස භාවිත කරති. මා මෙම නිර්මාණය කියවා ගත්තේ මල ද රුපකයක් ලෙසිනි. කවියා කවිය අවසන ‘‘අනියතය’’ නමැති වදන භාවිත නෙකළේ නම් මෙහි කවිත්වය වඩාත් ඔප්නැංවෙනු ඇතැයි යන්න මගේ කියවීම ය.

කෘතියේ අන්තර්ගත සමස්ත නිර්මාණ සමුච්චය එක මිටකට ගෙන විග්‍රහ කරන්නේ නම් කවියාට ‘‘කවි’’ ලිවීමේ දක්ෂතාව පවතී. නමුදු තම නිර්මාණ සඳහා පාදක කරගන්නා අනුභූතිය ‘‘කවියක්’’ ලෙස ඉදිරිපත් කරන්නට තරම් පොහොසත් වාග් කෝෂයක් ඔහු සතුව නොපවතී. සිංහල භාෂාවේ පවතින වදන් පිළිබඳ තව දුරටත් හදාරන්නේ නම් විනුක වලවගේ විසින් සාර්ථක නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කළ හැකි ය.

මෙබඳු ලක්ෂණ සහිත කවි කිවිඳියන් පිළිබඳ අපූරු ප්‍රකාශයක් ආචාර්ය කේ. ඩී. පී වික්‍රමසිංහ මෙසේ සටහන් කරයි.

‘‘සහජ කවිත්වය ලැබූ බොහෝ දෙන ඒ කවිත්වය ලොවට පළ කළ හැකි මාධ්‍යය හරි හැටි නොදැනීම නිසා ශ්‍රෙෂ්ඨ කවීන් වීමට බැරිව ගිය තැන් පෙනෙන්නට තිබේ. තම කවිත්වය පළ කිරීමේ මාධ්‍ය නැතහොත් තම කවි සිතුවිලි ලොවට පෙන්වා දීමේ මාර්‍ගය භාෂාවයි. කවියක් කීමට හෝ ලිවීමට කවියා යම් කිසි භාෂාවක් හොඳින් දැන සිටිය යුතු ය.’’

සාහිත්‍ය ලිපි ගොන්න: ආචාර්ය කේ. ඩී. පී වික්‍රමසිංහ: පිටුව 95: ගුණසේන ප්‍රකාශන: 1966

 

අවසන් වශයෙන් තවත් වැදගත් කරුණක් පැවසිය යුතු ය. එනම්: වර්තමානයේ පවතින බොහෝ සාහිත්‍ය කෘතිවල භාෂා සදොස් තැන් බහුල ය. නමුදු නවක නිර්මාණකරුවකු වන විනුක ගේ මෙම කෘතියේ භාෂා සදොස් තැන් නැති තරම් ය. එය යහපත් ලක්ෂණයකි. ඒ පිළිබඳව ද ඔහුට තුති පිදිය යුතු ය;




jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/03/26


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...