The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

භූගෝලීය අභියෝග: ඩයස්, හාවි හා දයාපාල - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 26, 2023 • 4:29 PM

භූගෝලීය අභියෝග: ඩයස්, හාවි හා දයාපාල - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා කුඩා කල සිතුවේ භූගෝලය කියන්නේ අහවල් රට ලෝකයේ තියෙන්නේ කොහේ ද යන්න හොයන බලන විෂයක් ලෙස යි.
  • ඔපරේෂන් තන්ඩර්බෝල්ට් නමින් 1977 දී පමණ ආ ත්‍රිලර් චිත්‍රපටයේ ප්ලොටය වූයේ උගන්ඩාවේ එන්ටබේ අගනුවර පිහිටි ගුවන් තොටුපලේ ත්‍රස්ත කල්ලියක් විසින් පැහැරගත් ගුවන් යානාවක් බේරා ගැනීම ය (මෙය සත්‍ය සිදු වීමකි).
  • මා මේ සිටින්නේ හරි අහස් යාත්‍රාවේ ද කියා මට බියක් ද ඇති විය.
  • එහෙත් අඩිස් නගරය පිහිටියේ අඩි හත් දාහක පමණ උස් ස්ථානයක් බවත් එහි ඇත්තේ තරමක සීත කාලගුණයක් බවත් මා අත් දකින විට මගේ ගමන් මල්ලේ තිබුනේ සිහින් කපු ඇඳුම් කිහිපයක් පමණි !
අකුරු ප්‍රමාණය (Font Size):

මා කුඩා කල සිතුවේ භූගෝලය කියන්නේ අහවල් රට ලෝකයේ තියෙන්නේ කොහේ ද යන්න හොයන බලන විෂයක් ලෙස යි. ඉන්දියාව, ලංකාව හා ඔස්ට්‍රේලියාවට එහා රටක් මට සිතියමක හඳුනාගැනීමට මට තවමත් බැරි ය.

වරක් මට වෘත්තීය කටයුත්තකට ඉතියෝපියාවේ අඩිස්සබා නුවරට යෑමට සිදු විය. එකල මගේ ලේකම්වරිය ඉතා කාර්යක්ෂම හා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නිසා, එම ගමනේ ගුවන් ප්‍රවේශ පත්‍ර සංවිධානය ආදී කාරනා සියල්ල ම කළේ ඇය ය. මා කළේ ඇය මට දුන් අදාළ ලේඛන හා විදේශ විනිමය රැගෙන කටුනායකට ගොස් ගුවන් යානාවකට ගොඩ වීම පමණි. එහි ගමන් මාර්ගය ගැන සොයනට මට උනන්දුවක් හෝ කුතුහලයක් නොවිණ. ගුවන් යානය මුලින් ඩුබායි වෙත ගොස් ඉන් පසු ව එන්ටබේ වෙත දිගු ගමනක් ගියේ ය. එන්ටබේ ගැන මා දැන ගෙන සිටියේ භූගෝලීය දැනුම නිසා නොව පොඩි කාලේ සිට තිබුණ පිච්චර් පිස්සුව නිසා ය.

 ඔපරේෂන් තන්ඩර්බෝල්ට් නමින් 1977 දී පමණ ආ ත්‍රිලර් චිත්‍රපටයේ ප්ලොටය වූයේ උගන්ඩාවේ එන්ටබේ අගනුවර පිහිටි ගුවන් තොටුපලේ ත්‍රස්ත කල්ලියක් විසින් පැහැරගත් ගුවන් යානාවක් බේරා ගැනීම ය (මෙය සත්‍ය සිදු වීමකි). එන්ටබේ වෙතින් නැවත ගමන් කළ ගුවන් යානාව ඊළඟට පියාසර කළේ මා හීනෙන්වත් අසා නොතිබුණු රටකට ය. එහි නම (ඩි)ජිබුටි විය. මා මේ සිටින්නේ හරි අහස් යාත්‍රාවේ ද කියා මට බියක් ද ඇති විය. ඉන් පසු ව ය, අවසානයේ අඩිස්සබාවට ගොඩ බැස්සේ. එහි ගිය විගස ද මට තවත් ඇබැද්දියක් විය. මා සිතුවේ අප්‍රිකාව හරි රස්නේ පැත්තක් කියා ය. එහෙත් අඩිස් නගරය පිහිටියේ අඩි හත් දාහක පමණ උස් ස්ථානයක් බවත් එහි ඇත්තේ තරමක සීත කාලගුණයක් බවත් මා අත් දකින විට මගේ ගමන් මල්ලේ තිබුනේ සිහින් කපු ඇඳුම් කිහිපයක් පමණි ! මගේ භූගෝලීය මැටිකමට 'පොලිටිකලි කරෙක්ට්' හෙවත් දේශපාලනික නිවැරිදි බසින් කියන්නේ 'ජෝග්‍රෆිකලි චැලෙන්ඩ්' හෙවත් 'භූගෝලීය ව අභියෝගයට ලක් ව ඇති' බව ය.  



Prof Hiranභූගෝලය විෂය ගැන මට තිබුණේ පටු අවබෝධයක් බව මට වැටහුණේ පසු කලෙක ය. එම විෂයේ ජ්‍යෙෂ්ඨයෙක්  සභාපතිත්වය දැරූ පර්යේෂණ ආයතනයක මා සේවය කළ බැවිණි. ඒ මහාචාර්ය හිරාන් ඩයස් ය. මීට සති කිහිපයකට පෙර එතුමා අභාවප්‍රාප්ත විය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබාගත් මහාචාර්ය ඩයස් කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝලය විෂය සම්භන්දයෙන් මහාචාර්ය තනතුර 1970 ගණන්වල දරා පසු ව, තායිලන්තයේ ඒ.අයි.ටී - ආසියානු තාක්ෂණ ආයතනය (මැසචුසෙට්ස් ඉන්ස්ටිටුට් ඔෆ් ටෙක්නොලොජි තාලෙට, දියුණු ආසියානු රටවල මුල්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත විශ්ව විද්‍යාලයකි) ග්‍රාමීය සංවර්ධනය හා සැලැසුම ගැන මහාචාර්යවරයා ලෙස දශක දෙකක් පමණ පර්යේෂණ හා උගැන්වීම් කළ එතුමා තවත් දශක දෙකක පමණ කාලය විශ්‍රාමික ව ගත කළේ මිරිහාන ප්‍රදේශය තම නිවසේ ය. ආතර් වී දියෙස් පරම්පරාවෙන් ආ මෙතුමා ලංකාවේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වූ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සම්පාදනයේ ලා පුරෝගාමී දායකත්වයක් හා සේවයක් කළ අයෙකි.



 ජෝග්‍රෆර්ස් හෙවත් භුගෝලවේදීන් සමකාලීන  ලාංකීය පුළුල් කතිකාවත් අතර කැපී පෙනෙන චරිත (හුදු  පුද්ගලික මට්ටමින් නොව තම ශාස්ත්‍රීය දායකත්වය හා පරිචය ආශ්‍රිත ව) නොවන්නේ ඇයි ද යන්න මා සමග මෑතක කතා කළේ දයාපාල තිරාණගම Dayapala Thiranagama ය. ඒ අප දෙදෙනා මහාචාර්ය ඩයස්ගේ මරණය ගැන ස්මරණය කරනට කළ දීර්ඝ කතාවක් අතර තුර ය. දයාපාල තිරාණගම බහුතරය තර අනන්‍ය වී ඇත්තේ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස ය. බොහෝ දෙනා නොදන්නා කාරණය ඔහු භුගෝලවේදියෙකු බව ය.

මා දයාපාල සමග කළ දීර්ඝ කතා බහේදී මට මතක් වුණේ ඩේවිඩ් හාවී ය. ඔහු වඩා ප්‍රකට ධනවාදය හා නියො-ලිබරල්වාදය ගැන විවේචකයින්ගේ ඉදිරි පෙළ ශාස්ත්‍රීය සටන්කරුවෙකු ලෙස ය. හාවී විසින් රචිත ලිමිට්ස් ටු කැපිටල් (1982) සහ අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් නියො-ලිබරලිස්ම් (2005) යන පොත් වෙත වඩා ආකර්ෂණය වුණේ ධනවාදී හා නියෝ-ලිබරල් ක්‍රමය ගැන අසතුටින් සිටින හා ඒවාට එරෙහි වන පිරිස් ය. ඩේවිඩ් හාවිගේ මූලික ශාස්ත්‍රීය පුහුණව භූගෝලය බව ද වඩා ප්‍රකට නැති කරුණකි. 1961 වසරේ කේම්බ්‍රිජ් සරසවියෙන් භූගෝලය  විශයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් හාවී, ඉන් අනතරු ව භූගෝලය පිලිබඳ මහාචාර්ය තනතුරු ජෝන් හොප්කින්ස් සරසවිය (1973–1987, and 1993–2001) හා ඔක්ස්ෆර්ඩ් සරසවිය (1987–1993) දැරූ අතර 2001 සිට මේ දක්වා ඔහු සිටි යුනිවසිටි ඔෆ් නිව් යෝක් හි සම්භාවනීය මහාචාර්ය (Distinguished Professor) ය.  



මහාචාර්ය ඩයස් හා හාවී උපන්නේ පිළිවෙලින් 1933 හා 1935 වසරවල ය. දෙදෙනා ම තම ආචාර්ය උපාධි කළෝ කේම්බ්‍රිජයේ ය. බොහෝ විට දෙදෙනා ම කේම්බ්‍රිජයේ සමකාලීනයන් ව භූගෝල විද්‍යා අධ්‍යන හා පර්යේෂණ කටයුතු කළා විය හැක. 1947 වසරේ උපන් දයාපාල තිරාණගම තම ප්‍රථම උපාධිය කළේ කැලණිය සරසවියේ ය. 1976 දී උපාධිය නිම කෙරුමට ඔහුට වසර නමයක් පමණ කල් ගත වුණේ  ඔහු 1971-75 හා 1976 කාලයේ තම දේශපාලන කටයුතු නිසා සිරගත ව සිටි බැවිනි. 1976-1978 කාලයේ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු  සේවය කළ දයාපාල, තම පශ්චාත් උපාධියේ පර්යේෂණ නිබන්ධනය කළේ තායිලන්තයේ ඒ.අයි.ටී  හී මහාචාර්ය ඩයස්ගේ ප්‍රධාන උපදේශකත්වය යටතේ ය.



ඔහුගේ නිබන්ධනය සඳහා 'ඖට්ස්ටෑන්ඩින්' හෙවත් අති-විශිෂ්ඨ ශ්‍රේණියක් දයාපාලට ලැබිණ.1981 දී ඒ.අයි.ටියෙන් එම්එස්සී ශාස්ත්‍රපති උපාධිය නිම කිරීමෙන් අනතුරු ව කැළණිය සරසවියට බැඳී, පසු ව 1984 දී දයාපාල සේවයෙන් සමු ගත්තේ පුර්ණකාලීන දේශපාලනයේ නිරත වීමට ය. ඒ කාලයෙන් වැඩි කලක් ඔහු සිටියේ අන්ඩර්-ග්‍රවුන්ඩ් හෙවත් සැඟව කරන දේශපාලනයේ ය. 1987 දී දයාපාලගේ බිරිඳ වූ මහාචාර්ය රාජිනි තිරාණගමගේ ඝාතනයෙන් අනතුරු ව ඔවුන්ගේ දරුවන්ගේ සුබසෙත හා ආරක්ෂාව පිණිස රටින් බැහැර ව දශක ගණනාවක් ගත කිරීම හේතුවෙන් ඔහුගේ වෘත්තීය අවධාරණය භූගෝල විෂයෙන් ඈත් වූවා විය හැක.  

දයාපාලගේ තිබූ සක්‍රීය දේශපාලන භාවිතාව හා පරිචය තම ප්‍රාමාණික විෂය වූ භූගෝලය සමග නොකැඩී ඇකඩමික පරිසරයක වැඩෙන්නට හැරියා නම් ක්‍රිටිකල් එසේ නැතහොත් රැඩිකල් භූගෝල විද්‍යා සම්ප්‍රදායක් බිහි කිරීමෙහිලා ඔහුට ඩේවිඩ් හාවිටත් වඩා ඉදිරියෙන් සිටින්නට ඉඩ තිබුණා යී මට සිතුණේ යම් දුකක් මිශ්‍රිත හැඟීමක් සමග ය. දයාපාල තිරාණගම 'භූගෝලීය ව අභියෝගයට ලක් වුණේ' හුදෙක් පුද්ගලික සාධක මත නොව ඔහු ඩයස්ගේ පරම්පරාවට වඩා වෙනස් පරම්පරාවක මුහුණ දුන් සංකීර්ණ දේශපාලන උච්චාවචන මාලාවක ප්‍රතිචාරයක් හා ප්‍රතිඵලයක් වීම නිසා යී මට සිතේ.

Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...