The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ රාළ : රනිල් මහගිරිදඹය පාමුල

T

The Leader Desk

March 27, 2023 • 5:41 PM

රටේ රාළ : රනිල් මහගිරිදඹය පාමුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලවෙනි වාරිකය දැන් හම්බවෙලා තියනවා.
  • ඒ එක්කම ඉදිරි ආසන්න කාලයේදී තවත් ඩොලර් බිලියන 7 ක ණයක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බ වෙන්න නියමිතයි.
  • එජාප පාක්ෂිකයෝ නං IMF ණය හම්බවුනා කියන සතුටට රතිඤ්ඤාත් පත්තු කළා.
  • රටේ රාළ නං කියන්නේ ණය ගත්තට රනිල්ට ගහන එකයි, ණය දුන්නට IMF එකට ගහන එකයි, ණය හම්බවුනා කියලා රතිඤ්ඤා පත්තු කරන එකයි තුනම වැරදී කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

පලවෙනි වාරිකය දැන් හම්බවෙලා තියනවා. ඒ එක්කම ඉදිරි ආසන්න කාලයේදී තවත් ඩොලර් බිලියන 7 ක ණයක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බ වෙන්න නියමිතයි.

මහ බැංකු අධිපති නන්දලාල් කිව්වේ දැන් රටේ ඩොලර් අර්බුදය ඉවරයි කියලා. රනිල් කිව්වේ තවදුරටත් අපි බංකොලොත් රටක් නෙවෙයි කියලා. පාඨළී කිව්වේ දැන් අපි මහගිරිදඹය නගින්න පටන් ගත්තා කියලා. කොහොම උනත් IMF ණය අනුමත උන ගමන් ගොඩක් අය ඒක දැක්කේ රනිල් ලබපු පෞද්ගලික ජයග්‍රහණයක් විදිහටයි. රනිල් රටට ගෙනත් දුන්න ජයග්‍රහණයක් විදිහට. රනිල් ගිය සතිය ආරම්භයේ දේශපාලන යෝධයෙක් වෙලා හිටියේ.

 

විපක්ෂත් රනිල්ට ස්තුති කළා මිසක් රනිල් එක්ක හැපෙන්න ගියේ නෑ. විපක්ෂය හැපුනේ පොහොට්ටුවත් එක්ක. ඒ IMF යන්න පරක්කු කළා කියලා. සජිත් මුලදී කිවිවේ IMF ණය ගන්න විපක්ෂය පැත්තෙන් දෙන්න ඕනි සම්පුර්ණ සහය දුන්නා කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා සජිත් කිවිවේ එයාගේ ආණ්ඩුවක් යටතේ IMF ණය ගෙවන්නේ නෑ කියලා. ජවිපෙ ටිල්වින්ලා,විජිතලා මුලදී කිවිවේ IMF ප්‍රතික්ෂේප කරන්නේ නෑ කියලා. හැබැයි IMF ණය සහනය ගත්තා විතරයි ජවිපෙ රනිල්ට විතරක් නෙවෙයි IMF එකටත් ගහන්න පටන් ගත්තා. දැන් ජවිපෙ IMF එක හැදුන්වන්නේ හොරා කන ආණ්ඩුවලට ණය දෙන ආයතනයක් විදිහට. පොලී මුදලාලි කෙනෙක් කියලා. IMF ණය කියන්නේ වසක්ලු. IMF ණය ගන්නවාට වඩා පස් කන එක හොඳයි කියලයි විජිත හේරත් කියන්නේ. එජාප පාක්ෂිකයෝ නං IMF ණය හම්බවුනා කියන සතුටට රතිඤ්ඤාත් පත්තු කළා. සිරිකොත ඉස්සරහත් රතිඤ්ඤා දානවා දැක්කා.

 

රටේ රාළ නං කියන්නේ ණය ගත්තට රනිල්ට ගහන එකයි, ණය දුන්නට IMF එකට ගහන එකයි, ණය හම්බවුනා කියලා රතිඤ්ඤා පත්තු කරන එකයි තුනම වැරදී කියලා. එහෙනං කාට හරි IMF නොගිහින් මොකද්ද කරන්නේ කියලා කියන්න තිබුණා. සජිත්ට හරි අනුරට හරි රට බාරගෙන ඒක කරන්න තිබුණා. ඒ වගේම ණය හම්බ වුනා කියලා ආතල් ගන්න එකත් වරදියි. කොහොම හරි දැන් කාටකාටත් මේ වැඩේ දිග පළල තේරෙන්න පටන් අරන්. ඇත්තටම පාඨළී කියපු කතාව තමයි ඇත්ත. දැන් අපි ඉන්නේ මහගිරිදඹේ පාමුල.මේක අභියෝගයක් විදිහට භාරගන්න විපක්ෂය ලෑස්ති නෑ. දැන් සියල්ල රනිල්ගේ කරේ තියලා කට්ටිය මාරු වෙන්නයි හදන්නේ. රනිල් එක්ක මේ පාරේ ගිහින් අනාත උනොත් ආය පාරක් හොයාගන්න නැතිවෙයි කියන බය විපක්ෂයට ඇති. දැන් කට්ටිය පස්ස ගහනවා. පස්ස ගහන ගමන් රනිල්ට ගහනවා. IMF ණය ගන්න අපිත් උදව් කළා කියපු සජබේ දැන් කියන්නේ ආණ්ඩුව අපට නොකියා IMF ගිය හින්දා අපි සහය දෙන්නේ නෑ කියලා.

එයාලට කියලා ගියා නං සහය දෙනවලු. කොහොම හරි පහුගිය සිකුරාදා පාර්ලිමේන්තු සැසිය අවසන් වෙනකොට පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී රනිල්ට සහ IMF එකට එරෙහිව සැලකිය යුතු විරෝධයක් ගොඩනගන්න විපක්ෂයට පුළුවන් වුනා. අන්තරේ IMF ක්‍රියාවලියට සම්පුර්ණයෙන්ම ගහලා අරගලයට සූදානම් බව කිව්වා. අන්තරේ සටන් පාඨවල අතර මැද තැනක් තිබිබි නෑ. එයාලා කියන්නේ රනිල්ට බැහැලා යන්න කියලයි. වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති එකමුතුව කිවිවේ රනිල් බඳු ප්‍රතිපත්තිය අකුලගන්නේ නැති නිසා එයාලා ඉදිරි සතිය දෙක ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවා කියලා. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කිව්වේ බඳු ගෙවන්න බෑ. පාරට බැහැලා විරෝධතා පටන් අරගෙන රට අකර්මන්‍ය කරනවා කියලා. ආයෙත් රටේ පාලනය දවස් කීපයකට හරි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට යයි වගේ. ඊළගට මේ ගත්ත ඩොලර් මිලියන 333 වියදම් කරන්නේ කොහොමද කියලා ජනතාවටත් හරි අදහසක් නෑ.

 

රාජපක්ෂලාත් ඉන්න නිසා ජනතාව හිතන්නේ මේ සල්ලි ටිකත් හොරකම් කරයි කියලා. ආපු ඩොලර් මිලියන 333 න් ඉන්දියාවේ ණය ඩොලර් මිලියන 121 ක් ගෙවලා. මැයිවල බංගලාදේශ ණයකුත් ගෙවන්න තියනවා. ඊළගට මේ ටිකේ රාජ්‍ය වියදම දරන්න ඕනි. බන්දුල ගුණවර්ධන පහුගිය දවස්වල කියකියා හිටියේ සති දෙකක් ඇතුලත IMF ණය හම්බ වුනේ නැත්තං රට කඩාගෙන වැටෙනවා කියලා.

 

අවුරුදු නිසා එක ළග පඩි දෙකක් ගෙවන්න වෙනවා. සහන සේවා පවත්වගෙන යන්න ඕනි. බලනකොට ගත්ත ණයෙන් ඒ ටික කළහම වෙන කරන්න දෙයක් නෑ. ඊළගට අපි තවමත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට අත තියලාවත් නෑ. ඒක පටන් ගන්නේ මාර්තු 30 වෙනිදා කියලයි ආරංචි. තවම ණය හිමියන් එක්ක කතා කරලා නෑ. එයාලා ණය ප්‍රමාණයක් කපා හරිනවද? නැත්තං ණය පොලියෙන් ප්‍රමාණයක් කපා හරිනවද? එහෙමත් නැත්තං ගෙවීමේ කාලය දික් කරනවද? නැත්තං කලට වෙලාවට ණය බලාපොරොත්තු වෙනවද කියලා කිසිම අදහසක් නෑ.

ඊළගට ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන් ආණ්ඩුව ණය අරන් තියනවා. මහ බැංකු බැදුම්කරවල ආයෝජනය කරපු EPF - ETF මුදල් තියනවා. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ගියාම මාර ප්‍රශ්න එනවා. එතනම රුපියල් බිලියන 12,300 ක් විතර තියනවා. ඒක නිසා මේ අසීරු අභියෝගයදී රට වෙනුවෙන් එකට වැඩ කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඔක්කොම මගෑරලා යනවා. ඇත්තටම මෙතනදී වෙන්න පුළුවන් තව දෙයක් තියනවා. ඒ තමයි මේ වැඩෙන් රාජපක්ෂලාගේ බඩ පිරෙන්නේ නැත්නං එයාලත් රනිල්ව දාලා යනවා. දැනටමත් බැසිල් රනිල් එක්ක කොක්කක් දාගෙන ඉන්නේ. මේ අස්සේ බැසිල් ඇමතිකමුත් ඉල්ලනවා. ඒක නිසා මේ අභියෝගයට ගොඩක් වෙලාවට රනිල්ට මුහුණ දෙන්න වෙන්නේ තනියම. රනිල්ට තවත් උද්ඝෝෂණ, වැඩවර්ජන සහ වීදි සටන් රැල්ලකට මුහුණ දෙන්න වෙනවා. රනිල්ට එතනදී උත්තරයක් තියෙයිද? ඊළගට එන ප්‍රශ්නය ඒක.

 

රනිල්ට උත්තරයක් තියනවා නං තියෙන්නේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන විදිහත් එක්ක. රනිල් ඉක්මනින් රටට විදේශ විනිමය එන ක්‍රම ටික හදාගන්න ඕනි. රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනි. අපේ අපනයන ආදායම වැඩිකර ගැනීම, විදෙස්ගත ශ්‍රී ලංකිකයන් රටට එවන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරගැනීම සහ සංචාරක ව්‍යාපාරය හරහා උපරිම විදේශ විනිමයක් උපයා ගැනීම තමයි ඒකට තියන ළඟම විසදුම.

 

ඊට අමතරව රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්න ඕනි. හැකි හැමදේකින්ම ස්වයංපෝෂිත වෙන්න ඕනි. හැකි උපරිමයෙන් රාජ්‍ය වියදම අඩු කරගන්නත් ඕනි. දුෂණය අවම කරගන්න ඕනි. ජනතාවට යමි හෝ සහන ටිකක් දෙන්නත් ඕනි. මෙතනදී රාජ්‍ය ආයතන ප්‍රති ව්‍යුහගත කිරිම ලේසි නෑ. එතනදී තවත් ගැටුමක් ඇතිවෙන්න පුළුවන්, හැබැයි ජනතාව මත කඩා වැටිලා තියන මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි. ලෝක තත්වය ඉස්සරහා ඕනිම වෙලාවක අපේ ආර්ථික තත්වය අවධානමට ලක්වෙන්න පුළුවන්.
ආදායම් කඩා වැටෙන්න පුළුවන්. රනිල්ට දේශපාලන වශයෙන් හුස්මක් ගන්න නං ඔය ටිකට බර තියන්න වෙනවා.

හැබැයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලක් නං පේන තෙක්මානයක නෑ. රනිල්ගේ මුදල් අමාත්‍යාංශයේ ඉන්නේ ගණං ඉලක්කං එහා මෙහා කරන මැජික්කාරයෝ ටිකක්. ජනතාව බද්ධ කරගත්ත ආර්ථික වැඩපිලිවෙලක් හදන මනසක් එයාලට නෑ. එයාලා AC කාමර අස්සේ ඉදන් තීරණ ගන්න පිරිසක්. මහ පොලොවත් එක්ක බද්ධ කරගත්ත ආර්ථික ක්‍රියාවලියක් එයාලගෙ ඔළුවේ නෑ. ඇත්තටම එහෙම වැඩපිලිවෙලක් නැතිව රනිල්ට රැකෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. රටේ රාළ කියන්නේ අවසන් සටනේදී රනිල් ආරක්ෂා කරන්න ඔය කවුරුත් එන්නේ නෑ. රනිල්ට දැන් තියෙන්නේ ඒක එකම එක උත්තරයයි. ඒ ඉක්මන් සාර්ථක වැඩපිලිවෙලක් එක්ක ජනතාව අතරට යන එක විතරයි. කොහොම උනත් මේ ප්‍රශ්නයේදී රටේ රාළ මුල ඉඳන් හිටපු ස්ථාවරයේ තවමත් ඉන්නවා.

 

රනිල් රට යථාවත් කළා. දුෂ්කර පැයේ IMF ණය සහනය අරන් ආවා. රනිල් ණය ගත්තේ මේ රටට. ඒ ණය ගෙවන්න ඕනි අපි. ඒක නිසා හම්බ වෙච්චි මේ අවස්ථාවෙන් රටට හුස්මක් පිඹින එක පක්ෂ, විපක්ෂ කාගේත් වගකීමක්. ඒත් මේ රටේ සිද්ධ වෙන්නේ නැති එකම දෙයත් ඒක විතරයි,

 

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට
Priyanjith Vitharanaරටේ රාළ
Priyanjethjnp@gmail.com

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...