The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ කොයි යාන්නේ… - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 29, 2023 • 4:18 PM

මේ කොයි යාන්නේ… - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ගේ ඊනියා මාරාන්තික උපවාසය තඹ දොයිතුවකට මායිම් නොකරන ජනතාව අද සමාජ මාධ්‍යයේ ඉල්ලන්නේ සියලු වෘත්තීය සමිති තහනම් කර, ඒවායේ නායකයන් කනෙන් ඇද දොට්ට දමා, රාජ්‍ය සම්පත් කෙසේ හෝ විකුණා දමන ලෙසයි.
  • අරගලකරුවන් විසින් සාහසික ලෙස මර්දනය කෙරුණේ ඒ මිනිසුන්ය.
  • අරගලකරුවා විසින් තමන්ට සිදු කළ අසාධාරණයට අයුක්තියට වාඩුව ගත හැක්කේ ඒ අරගලයට සම්මාදම් වූ ජවිපෙ වෘත්තීය සමිති රොත්ත පිටින් පරාජය කිරීමෙන් බව ඔවුන් සිතයි.
  • අරගලකරුවාට පාඩමක් ඉගැන්විය හැක්කේ අපට හිමි දෙය නැති කිරීමෙන් බව ඔවුන් සිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ගේ ඊනියා මාරාන්තික උපවාසය තඹ දොයිතුවකට මායිම් නොකරන ජනතාව අද සමාජ මාධ්‍යයේ ඉල්ලන්නේ සියලු වෘත්තීය සමිති තහනම් කර, ඒවායේ නායකයන් කනෙන් ඇද දොට්ට දමා, රාජ්‍ය සම්පත් කෙසේ හෝ විකුණා දමන ලෙසයි. මේ තැනට අප ආවේ කෙසේද?


එජාප කඳවුර කොහොමත් ග්ලෝබලිස්ට් නියෝ-ලිබරල්ය. ඔවුන් එහි වරදක් නොදකී. දේශීය ආරක්ෂණවාදී ප්‍රතිපත්ති තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඳවුරේය. එජාප ආණ්ඩු විසින් විකුණා දමා තිබූ එයාර්ලංකා වැනි ආයතන නැවත ජනසතු කළේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙනි. “පොහොට්ටුව” නමින් පුනර්භවය ලැබුවේ එම ප්‍රතිපත්තිය විශ්වාස කළ මිනිසුන්ය. අරගලකරුවන් විසින් සාහසික ලෙස මර්දනය කෙරුණේ ඒ මිනිසුන්ය.


ඔවුන්ගෙන් පිරිසක් දැන් ඉන්නේ පළිගැනීමේ චේතනාවෙනි. තමන් විසින් මෙතෙක් රැකගත් “රාජ්‍යය” තවදුරටත් රකින්නේ කුමටද වැනි මිසරබල් සිතිවිල්ලකින් ඔවුන් තැවේ. අරගලකරුවා විසින් තමන්ට සිදු කළ අසාධාරණයට අයුක්තියට වාඩුව ගත හැක්කේ ඒ අරගලයට සම්මාදම් වූ ජවිපෙ වෘත්තීය සමිති රොත්ත පිටින් පරාජය කිරීමෙන් බව ඔවුන් සිතයි. අරගලකරුවාට පාඩමක් ඉගැන්විය හැක්කේ අපට හිමි දෙය නැති කිරීමෙන් බව ඔවුන් සිතයි.

මේ තත්ත්වයට වැඩිපුරම වගකිව යුත්තේ අනුර කුමාර දිසානායකය. “රාජපක්ෂලා හොරා කෑවා කෑවා කෑවා” කියමින් ඔහු සිදු කළ ගොබෙල්ස් පන්නයේ ද්වේශසහගත ප්‍රොපගැන්ඩාවෙන් සිදු වුණේ පොහොට්ටු කඳවුර අරගලකරුවන්ගේ අභූත වෛරයට ඉලක්ක වීමයි. ඒ වෛරයේ පෙට්‍රල් බෝම්බයෙන් මර්දනයට පත් පොහොට්ටුවේ මිනිසුන් ඔවුන්ගේ දේශජ ප්‍රතිපත්ති ඔවුන් විසින්ම සැක කරන තැනට පත්වීම අරුමයක් නොවේ. ජවිපෙ වෘත්තීය සමිති සටන්වලට අනුකම්පාවක් ලැබුණේ පොහොට්ටුවේ මිනිසුන්ගෙන් මිසක් දක්ෂිණාංශික එජාප කඳවුරෙන් නොවේ. දැන් ඒ අනුකම්පාවවත් 3% ට නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනපති කරවීමට එකතු වූ ලක්ෂ පහක පමණ පාවෙන ඡන්දදායක ඊනියා වියතුන් නම් නොම්මර එකේ අවස්ථාවාදීන්ය. රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීමට වඩා ඔවුන්ට අවශ්‍ය වන්නේ ඊළඟ ජනාධිපති කවුද කියා කැල්කියූලේට් කරමින් එතනට සෙට් වීමයි. ජනරාජ්‍යය පිළිබඳව ගැඹුරු දර්ශනයකට වඩා ඔවුන්ට තිබෙන්නේ සින්ගප්පෝරියල් වීමේ LRT සිහිනයකි. ලක් රාජ්‍යය පිළිබඳ සැබෑ අදහසක් තිබුණේ මහින්ද පිටුපසින් පැමිණි අව්‍යාජ ශ්‍රී ලංකාකාරයා තුළය. ඒ මිනිහා දැන් වෙනස් වී ඇත. ඊනියා අරගලය විසින් වෙනස් කෙරී ඇත.


සිංහල-බෞද්ධ ඊනියා ජාතිකවාදීන් විසින් ගෝඨාභය රාජපක්ෂව අත්හැරීමෙන් පසු දැන් ඔවුන් හිස නැති කවන්ධයක් මෙන් ඔබ මොබ සරයි. පොහොට්ටුවේ මිනිස්සු නොමැතිව ඔවුන් දැන් ගන්ධබ්බ අතලොස්සකි. රාජ්‍යය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍ය ක්‍රිටිකල් ස්කන්ධය දැන් ඔවුන්ට නොමැත. එය තිබුණේ පොහොට්ටුවේය. පොහොට්ටුව දැන් පරිණාමය වෙමින් තිබේ. එය සාධාරණය. බාහිර පරිසරයේ යථාර්ථයට අනුගත නොවුනහොත් වඳ වේ.
 

බහුතර ජනතා ඡන්දයෙන් තෝරාගත් ජනපතිවරයෙකු ත්‍රස්තවාදයෙන් ගෙදර යැවීම තුළින් සිදු වන්නේ මෙන්න මේ වගේ විකෘතීන්ය. ප්‍රජාතන්ත්‍ර විරෝධීව අරගල කිරීමේ අදීනව මේවාය. නිර්මාල් දේවසිරි විසින් ගෝල්ෆේස් කරදියෙන් බෞතීස්ම කළ “ව්‍යවස්ථා උල්ලංඝනයේ” ප්‍රතිඵල මේවාය. #Fakenews මත කරන අයිස් මතේ “සාමුහික නැගිටීම්” අවසානයේ හැමෝටම “හික්” වෙන්නේ මෙහෙමය.

ආර්ථික ප්‍රතිපත්ති අනුව ගතහොත් පොහොට්ටුවේ බහුතරයත් සජබේ බහුතරයත් දැන් ඉන්නේ එක මතයකය. එනම් ආණ්ඩුව කුඩා කර දමා, දෙන දෙයියෙක්ගෙන් ඩොලර් ඉල්ලාගෙන, විකිණිය හැකි අන්තිම බඩකඩුත්තුවත් “ආයෝජකයන්ට” විකුණලා, පෙට්‍රල්වලින් නාලා, ඩීසල්වලින් හෝදලා, ගෑස්වලින් හුස්ම අරගෙන, කිරිපිටිවලින් බඩ පුරවාගෙන, LRT එකෙන් කොළඹ ඇවිල්ලා, විදුලි ආලෝකයෙන් රෑ පුරා ජව්සන් නටලා ආතල් එකේ සිටීමයි. වෙන මොනවා කරන්නද!

ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 29


 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...