The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

සීසර්ගේ දේ සීසර්ට දෙන්න - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

March 31, 2023 • 5:37 AM

සීසර්ගේ දේ සීසර්ට දෙන්න - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත.
  • ගිය වසරේ අප සිටියේ 127 වැනි ස්ථානයේ ය.
  • ඉතිං, ගත වූ වසර තුළ සිටියාට වඩා යම් ප්‍රගතියක් අප අත්කරගෙන ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක.
  • ගෝඨාභය රාජපක්ෂ ඇති කළ විනාශය සුළුපටු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත. ගිය වසරේ අප සිටියේ 127 වැනි ස්ථානයේ ය. ඉතිං, ගත වූ වසර තුළ සිටියාට වඩා යම් ප්‍රගතියක් අප අත්කරගෙන ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක.

 

ගෝඨාභය රාජපක්ෂ ඇති කළ විනාශය සුළුපටු නැත. රටේ සෑම අංශයක්ම ඔහු යටතේ නන්නත්තාර විය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ සිටින සියලු පාර්ශ්වකරුවන් ඒ විනාශයේ හවුල්කරුවන් ය. එසේම, දශක ගණනක් තිස්සේ රාජපක්ෂලාගේ සියලු ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති අනුමත කළ සහ යුක්ති සහගත කළ, අද රාජපක්ෂ කඳවුරට එරෙහිව පාරට බැස සිටිතැයි රටට පෙන්වන වීරවංශ-ගම්මන්පිල ප්‍රවර්ගයේ ඊනියා ගැලවුම්කරුවන්ද ඒ විනාශයේ සෘජු හවුල්කරුවන් ය. (හෙට වන විට මේ පිරිස යළි මැදමුලනට ගොඩවුණොත් පුදුම නොවන්න).

 

අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ ඔවුන් අතිනි. රනිල් වික්‍රමසිංහ සියල්ල විකුණන් කතියි මොවුහූ කියති. ‘වික්කම සිංහ’ යනුවෙන් ඔහුට නම් පටබැඳ තිබේ. තමන් සන්තකයේ ඇති පිච්චිය පවා විකුණන් කෑමට වැඩ සැලැස්වූයේ, තමන්ද කොටස්කරුවන් වූ රාජපක්ෂලාගේ රාජ්‍ය පාලනය විසින් ය යන්න ඔවුන්ට අමතක ය. ණයගැති වීම, සැමරීමට තරම් කාරණයක්දැයි ඔවුහූ අසති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලංකාවට ලැබීම නිමිත්තෙන් රටේ ඇතැම් තැන්වල රතිඤ්ඤා පත්තු කිරීම සහ කිරිබත් කෑම ගැන මේ පිරිස් විස්සෝප වී සිටිති.

PHOTO 2023 03 31 10 14 52

තවත් ඩොලර් බිලියන 2.9 ක ණයකාරයෙකු බවට රටක් පත්වීම කිරිබත් කෑමට තරම් මංගල කාරණයක් නොවන බව ඇත්ත. එහෙත්, රතිඤ්ඤා පත්තු කිරීමට සහ කිරිබත් කෑමට විරුද්ධව අද කෑගහන සහ උපහාසයෙන් සිනාසෙන මේ පිරිස්ම මීට පෙර පාරවල් ගානේ කිරිබත් කෑ හැටි සහ රතිඤ්ඤා පත්තු කළ සැටි රටට අමතක නැත.

 

Sri Lankan ruling party supporters celebrate near chief justice Shirani Bandaranayake's house outside Colombo on January, 11 2013 as they celebrate the parliamentary vote on the removal of the lady chief justice Shirani Bandaranayake from office. The impeachment was approved with 155 voting for and 49 against in the 225 member assembly. AFP PHOTO/ Ishara S.KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

 

හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කළ දවසේ ඇගේ නිවස ඉදිරිපිට මහපාරේ මිනිස්සු ලිප් මොළවාගෙන කිරිබත් ඉවූහ. ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ පුරවැසි භාවයක් නැතැයි කියමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් වීසි කර දැමූ දා රට්ටු රතිඤ්ඤා පත්තු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මුළු රටම විනාශ කර දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන් අවුරුදු තුනක් ඇවෑමෙන් ජනාධිපති ධුරයෙන් ඔහු පන්නා දැමුණු දවසේත් අර ජනතාවම නැවතත් කිරිබත් කෑහ. රතිඤ්ඤා පත්තු කළහ.

 

ණයක් ලැබීම නිසා රතිඤ්ඤා පත්තු කිරීම සහ කිරිබත් කෑම යන බොළඳ සහ ළාමක ක්‍රියාවට සිනාසීමට හෝ ගැරහීමට අයිතිය ඇත්තේ, මීට පෙර ඊට වඩා නොහොබිනා සහ අසත්පුරුෂ (ආර්. ප්‍රේමදාස ඝාතනය වැනි) කාරණා අරභයාත් එසේ පාරවල් ගානේ කිරිබත් වළඳා නැති මිනිසුන්ට පමණක් බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ.

.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු බිල්ලෙක් ද?

 

අපේ ප්‍රශ්නයට විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම නොවන බව අයෙක් කියති. ඒ මගින් රට උකසට තැබෙතැයි කියති. මීට පෙර අවස්ථා ගණනාවකදී එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අප ගොස් ඇති බවත්, ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට ලැබී නැති බවත් පෙන්වා දෙති. මේ සියලු චෝදනා ඒක-පාර්ශ්වීයයි. මීට පෙර සෑම අසාර්ථකත්වයකම මූලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම නොව, එම අරමුදලේ කොන්දේසිවලට පටහැනිව, සුපුරුදු දේශීය සොරකමට, දූෂණයට සහ අක්‍රමිකතාවට යළිත් අපේ පාලකයන් ගමන් කිරීම නිසා ය යන්න මොවුහූ වසං කරති. ඇරත්, මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මේ අර්බුදයෙන් ගොඩ ආ හැකි තමන්ගේ විකල්ප ක්‍රමයක් ගැන මොවුන් කිසිවෙකු තවම රටට කියා දෙන්නේද නැත. 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට එරෙහි පිරිස් තමන්ගේ විවේචන පදනම් කරන්නේ, සමාජවාදී සහ දේශීය යැයි කියන ආස්ථානයන් මත ය. මේ දවස්වල සමාජ මාධ්‍යයේ පළ වූ එක් පෝස්ටුවක් පෙන්වා දෙන්නේ, පඩි දවසේ සූදු කෙළියෙන් පරාජය වූ සැමියා සිය බිරියගේ කරාබු දෙක උකස් තියා ණයක් ගෙනා දවසේ ඒ පවුල ඒ වෙනුවෙන් සාදයක් පවත්වන ආකාරයයි. ඒ කියන සිද්ධියේදීත්, ණයට අදාළ අපේ රටේ අතීත අත්දැකීම් පිළිබඳ කාරණයේදීත්, ණය යනු සිද්ධි තුනක් අතරේ හරි මැදින් සිටින සාධකයයි. ඊට දෙපැත්තෙන් ඇත්තේ, පියා සූදු අන්තුවෙකු වීමත්, කරාබු කුට්ටම උකස් කිරීමෙන් ලැබුණු මුදලෙන් කොටසක් පවා ප්‍රියසාද දැමීමට පාවිච්චි කිරීමත් ය. ඉතිං, අප කළ යුත්තේ උකස් කඩේ ණයකරුවාට දෙස් දෙවෙල් තැබීමද? සූදුව නතර කොට, සාද දැමීමෙන් වැළකී සිටීමද?

ඇත්ත යනු හැම විටකම අපේ ආශාව ප්‍රකාර දෙයක් නොවිය හැකි වෙතත්, ඇත්තට ඇස් වසාගෙන සිටීමත්, බොරුව වෙනුවෙන් පෙනී සිටීමකි. මීට මාස කිහිපයකට කලින්, පෙට්‍රල් පෝලිම්වල දවස් ගණන් සිටිය සැටි, ගෑස් සිලින්ඩරයක් නැතිව ගහමරා ගත් සැටි, විදුලිය නැති කමින් දුක් වින්ද සැටි අපට මතකයි. කොටින්ම, පෙට්‍රල් නැති නිසා ගමනාගමනය අඩපන වූ සැටි, ගෑස් නැති නිසා හෝටල් සහ ආපනශාලා අකර්මණ්‍ය වූ සැටි, පොහොර නැති නිසා කෘෂිකර්මය කඩාවැටුණු සැටි අපට මතකයි. එදා, ඒ දේවල් ගැනීමට ජනතාව අතේ සල්ලි නොතිබුණා නොව, ඒ දේවල් සැපයීමට ආණ්ඩුව අතේ සල්ලි නොතිබුණි. ඒ නිසා, විය යුතු පරිද්දෙන්ම පාලකයන් කෙරෙහි වෛරයක් ජනතාව තුළ ඇති විය.

 

ඉන්ධන පෝලිම් අවසන් වන්නේ කවදා ද?

එම තත්වය තුළ, ජනතාවගේ පැතුම වුණේ මොන මිලකට හෝ එම බඩු වෙළෙඳපොළේ තිබිය යුතු බවයි. රුපියල් 200 ට අඩුවෙන් තිබූ පෙට්‍රල් ලීටරය රුපියල් 400 ක් දී මිල දී ගැනීම ගැන එදා සිතාගැනීමට පවා අපට නොහැකි වුණත්, අද ඒ මිලට පෙට්‍රල් ගැනීමට මිනිස්සු පුරුදු වී සිටිති. ඉස්සර ගෙවූ විදුලි බිල මෙන් දෙතුන් ගුණයක විදුලි බිලක් දැන් ගෙවති. පවතින තත්වයට ජනතාව අමාරුවෙන් හෝ හුරු වූහ. ඔවුන්ට හුරු විය නොහැකි දෙය වන්නේ, අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට නොතිබීමයි. ඒ නිසා, ඉහත කී ප්‍රශ්නය, එනම් හිඟය දැන් නැති වීම ගැන පොදුවේ ප්‍රසාදයක් රනිල් වික්‍රමසිංහ කෙරෙහි ඇති වී තිබෙන බව ප්‍රතික්ෂේප කළ හැකි කාරණයක් නොවේ.

 

එහෙත් ඊට ප්‍රතිපක්ෂ පැත්තේ කාරණයක් ද තිබේ. එනම්, හිඟ බඩුවක් දැන් වෙළෙඳපොළේ තිබීම ප්‍රසාදයට කරුණක් වන්නේ, වැඩි වූ මිල ගණන් යටතේ ඒවා මිල දී ගැනීමට හැකියාව ඇති අයට පමණක් නොවන්නේද යන්නයි. වැඩි වූ විදුලි බිල ගෙවා ගැනීමට මොනම හැකියාවක්වත් නැති, රුපියල් 400 ට පෙට්‍රල් ලීටරයක් ලබා ගත් පසු ඒ හේතුවෙන් කරපිංචා මිටියේ පවා වැඩි වන මිල දරාගත නොහැකි විශාල පිරිසක් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නයි. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුවන්නේ එහිදී ය. එහෙත්, සමාජ ආරක්ෂණය යනු, අප මෙතෙක් කල් සිතීමට පුරුදුව සිටි ‘සමෘද්ධි’ දීමනාව තවත් ටිකක් වැඩි කිරීම වශයෙන් ගත්තොත් අප හෙටත් සිටිනු ඇත්තේ මීටත් වඩා වඩා ගැඹුරු වළක ය.

 

කොන්දේසි බරපතළයි


රනිල් වික්‍රමසිංහගේ වර්තමාන ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳ ඉහතින් කී ‘ප්‍රශංසාත්මක’ අදහස් වලංගු විය හැක්කේ, ඒ සමග එකට ගමන් කළ යුතු තවත් කොන්දේසි කිහිපයක් යටතේ ය.

ඉන් ප්‍රධාන වන්නේ,

 

# ලෝක වෙළෙඳපොළ සමග ඵලදායී ආකාරයෙන් බද්ධ විය හැකි, කාර්යක්ෂම නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වන ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ඒ හා බැඳුණු දිගුකාලීන වැඩපිළිවෙලක් දියත් කිරීමයි. රාජ්‍ය අංශයේ සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ මාලාවක් ඇති කරගැනීම ඒ සඳහා අවශ්‍ය කෙරේ.

# දෙවැනි කොන්දේසිය ව්‍යුත්පන්න වන්නේ, එකී ප්‍රතිසංස්කරණවල අතුරු ප්‍රතිවිපාකයක් වශයෙනි. එනම්, විශාල ජනතාවක් එකී ප්‍රතිසංස්කරණ නිසා මුල් අවස්ථාවේදී පීඩාවට පත්විය හැකි තත්වයක් නිර්මාණය වීමෙනි. එවැනි තත්වයක් විසින් ඉල්ලා සිටින පිළිසරණ වන්නේ, සාර්ථක සහ කාර්යක්ෂම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකි.

# මේ දෙකමත් ප්‍රමාණවත් නැත. තුන්වැන්නක්ද අවශ්‍ය කෙරේ. එනම්, දූෂණය, සොරකම සහ නාස්තිය පිටුදකින, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණ මාලාවකි.

 

මේ සියලු කරුණු (කොන්දේසි) මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමග ගැටගසා තිබේ. මේ කොන්දේසිවලින් ඉල්ලා සිටින ප්‍රතිපත්තිමය කාරණා, ගැරහිය යුතු හෝ ප්‍රතික්ෂේප කළ යුතු දේවල් නොවේ. උදාහරණයක් වශයෙන්, නිෂ්පාදන ආර්ථිකය තිරසාර මාවතක් වෙත යොමු විය යුතුය යන්න ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? හම්බ කරන තරමට වඩා වැඩියෙන් වියදම් කිරීම නිසා ණයකාරයන් නොවී සිටිය හැක්කේ සංඝ රත්නයට පමණි. (රටේ විවිධ පළාත්වල ගොඩනැංවෙන අසපු සහ මහමෙව්නා උයන් දෙස බලන්න. ඒවා අහස උසට වෙහෙර විහාර බැන්දාට, ‘ණය උගුලකට’ හසුව නැත). එහෙත් කුටුම්බ රාජ්‍යයකට එවැනි ප්‍රාතිහාර්ය පෑ නොහැක. පන්සලට පිනට ලැබෙන දේ ආණ්ඩුවට ලැබෙන්නේ පොලියට නිසා, රටක් ණයෙන් නිදහස් වීමට නම්, වියදම අඩු කරගැනීමත්, ආදායම වැඩි කරගැනීමත් මුල් තැනට ගැනීමට සිදු වෙයි.

 

2021 දී ආණ්ඩුවේ බදු ආදායම, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, සියයට 8.6 යි. (අපේ වගේ වෙනත් රටවල මෙය සියයට 15 ඉක්මවයි). එම වසරේ රජයේ වියදම, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, සියයට 19.9 කි. මේ හිඟය එදිනෙදා පියවාගත හැක්කේ ණය ගැනීමෙන් පමණි. ණය දෙන මිනිසුන් සිටින තාක් කල් ඒ දේ කළ හැකියි. එහෙත්, 2022 වන විට අපට ණය දෙන කිසි කෙනෙක් සොයාගැනීමට නැති තත්වයක් ඇති විය. තිබුණු ණයත් ගෙවීම අප විසින් අත්හිටුවන ලදි. පසුගිය අයවැය පරතරය, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, සියයට 12.9 ක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැරුණුකොට වෙන කිසි තැනකින් ණයක් ගැනීමට බැරි තැනට අප පත්විය.


අභිමානයක් ඇති ජාතියක් නම්..

 

imf h 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට දමා ඇති කොන්දේසි ගැන ජාතියක් වශයෙන් ඇත්තෙන්ම අප ලජ්ජා විය යුතුය. ඔවුන්ගේ සෑම කොන්දේසියක් පසුපසම ඇති ඉඟිය වන්නේ, “උඹලා හොරු කියන එක අපි දන්නවා” යන්නයි. ඒ ආකල්පය මොන තරම් දුරට ගොස් ඇත්ද යත්, වෙනදා මෙන් නොව, මෙවර අප සම්බන්ධයෙන් “රෝග නිධාන වාර්තාවක්” ඔවුන් සම්පාදනය කරනවාට අප එකඟ වී ඇත. (අපේ ‘ස්වෛරීත්වයට’ පිට එවුන් ඇඟිලි ගැසීමේ කතා මතකද?)

එනම්, අපේ ආර්ථිකය සහ රාජ්‍ය පාලනය ‘රෝගී’ වී ඇති තැන්, මේ ණය ලැබෙන කාලසීමාව තුළ, ඔවුන්ගේ විචාරාක්ෂියට යොමු වන බවයි. දූෂණය වැළැක්වීම සඳහා ගෙනෙන නීතිරීති සහ ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කරන්නේ කෙසේද, රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශ ලබාගැනීම අනිවාර්ය කෙරෙන නීති සම්පාදනය කෙරෙන්නේද, මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පරිවර්තනය කෙරෙන්නේද, ආර්ථික අර්බුදය සහ ප්‍රතිසංස්කරණ නිසා පීඩාවට පත්වන දිළිඳු ජන කොටස් සඳහා සාර්ථක සමාජ ආරක්ෂණ දැලක් එලන්නේද ආදිය ගැන ඔවුන්ගේ අවධානය යොමු වනු ඇත. මේ සියල්ල, ඔවුන් කියන තෙක් නොසිට අප විසින්ම මීට කලකට ඉහත පටන් පනවාගත යුතුව තිබුණු දේවල් නොවේද?
 
 
කෙසේ වෙතත්, මෙතෙක් කල් අපට අසන්ට ලැබුණු විපක්ෂයේ ඉල්ලීම්වලට මේවා කිසිවක් පටහැනි නැත. හැත්තෑ පස් වසරක් තිස්සේ ඔඩුදිවූ ව්‍යාධියකින් රෝගියා බේරාගැනීම සඳහා දීර්ඝ සහ බරපතල ශල්‍යකර්මයක් කිරීමට ඇත. මෙය, කවුරුන් හෝ කළ යුතු දෙයකි. ජනප්‍රියවාදී සහ ජාතිකවාදී දේශපාලනය විසින් ඒ ශල්‍යකර්මය එක දිගටම පමා කර තිබුණි.
 
 
ඊළඟ ආණ්ඩු බලය ගැනීමට අපේක්ෂා දල්වාගෙන සිටින සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට කෘතවේදී විය යුතුය. මන්ද යත්, ඔවුන්ගේ අනාගත රාජ්‍ය පාලනය පහසු කරවන ආකාරයේ පිටිය සකස් කරදීමක් ඔහු විසින් මේ අවස්ථාවේ සිදු කරමින් සිටින බැවිනි. (ඔහුගේ පරමාර්ථය එය නොවිය හැකිය).
 
 
shenali 3
 
 
එහෙත්, ඒ ආර්ථික ක්ෂේත්‍රය තුළ ය. ඉන් පිටස්තර, රාජ්‍ය පාලනමය සහ යහපාලනික ක්ෂේත්‍රය තුළ ඔහුගෙන් ප්‍රදර්ශනය වන්නේ බියකරු චිත්‍රයකි. වැට බැඳිය යුත්තේ ඒ ඉසව්වේ ය. පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම, මේ වන විටමත් ඔහු කර ගසා ඇති එවැනි අධම ව්‍යාපෘති දෙකකි. ඉදිරියේදී, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” නමින් මකර කටක් ඇරීමට නියමිතයි. ඒ පනත යටතේ, මේ දැන් මගේ අතින් ලියැවුණු අවසාන වැකිය පවා, වසර ගණනක් හිරේ යෑමට තරම් ප්‍රමාණවත් ය. විපක්ෂයේ සටන් පෙරමුණු බලගැන්විය යුත්තේ ඒ සංග්‍රාම භූමියේ ය.



GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

Anida


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...