The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ස්ටැලින්, ස්ටැලොන් හා වැලේසා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 31, 2023 • 10:59 PM

ස්ටැලින්, ස්ටැලොන් හා වැලේසා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහපාලන සමයේ සාපේක්ෂ ව කලබල රැසක් තිබුණේ නැත.
  • බයියන් ලෙස එකල හැඳින් වූ පරාජිත දේශපාලන ධාරාවේ කොටස් අද මෙන් සතිපතා මහපාරේ පිරිස් පිටින් සංචාරය කළේ නැත.
  • ඔවුන්ගෙන් කොටසක් යහපාලන ආණ්ඩුවෙන් තනතුරු ලබමින් හා වාසි නෙළමින් සිටි අතර සෙසු කොටස් අපරාජිත ලෙස සැළකුණු රාජපක්ෂ රෙජීමය පරාජය කළ ප්‍රීතියෙන් කුල්මත් වෙමින් සිටිය හ.
  • මේ ප්‍රීතිජනක කාලයේ යට කී සම්මිශ්‍රණය සහිත පිරිසක් කෝච්චි පෙට්ටියක් ම වෙන් කරවා ගෙන යාපනයට ගියේ අද මුදලිගේ මෙන් ඇතුළු පිරිසක් උතුරට ගොස් දකුණේ විප්ලවයට සාමාජිකයින් බඳවා ගැනුමට නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

යහපාලන සමයේ සාපේක්ෂ ව කලබල රැසක් තිබුණේ නැත. බයියන් ලෙස එකල හැඳින් වූ පරාජිත දේශපාලන ධාරාවේ කොටස් අද මෙන් සතිපතා මහපාරේ පිරිස් පිටින් සංචාරය කළේ නැත. තමන්ගේ පාඩුවේ තම පරාජයේ දුක අව්වට වැස්සට වේලෙන්න දෙමින් එදිනෙදා කර්මාන්තයක් කරමින් සිටිය හ. අඩු වැඩි වශයෙන් වාමාංශික, වෘත්තීය සමිති, හා ප්‍රගතිශීලී කියා තමන් ම හඳුන්ගන්නා කොටස් යහපාලන ආණ්ඩුව ගෙන ඒමට දර දිය ඇදි පිරිස් වූ හ. ඔවුන්ගෙන් කොටසක් යහපාලන ආණ්ඩුවෙන් තනතුරු ලබමින් හා වාසි නෙළමින් සිටි අතර සෙසු කොටස් අපරාජිත ලෙස සැළකුණු රාජපක්ෂ රෙජීමය පරාජය කළ ප්‍රීතියෙන් කුල්මත් වෙමින් සිටිය හ.

මේ  ප්‍රීතිජනක කාලයේ යට කී සම්මිශ්‍රණය සහිත පිරිසක් කෝච්චි පෙට්ටියක් ම වෙන් කරවා ගෙන යාපනයට ගියේ අද  මුදලිගේ මෙන් ඇතුළු පිරිසක් උතුරට ගොස් දකුණේ විප්ලවයට සාමාජිකයින් බඳවා ගැනුමට නොවේ. හුදු විනෝද ගමනකට ය. කන්තෝරුවේ වැඩක් නිසා මේ පිරිස සමග පාන්දර පිට වූ දුම්රියෙන් යෑමට මට නොහැකි විය. මා කළේ එදින ම රෑ බසයක යාපනයට යෑම ය. පිරිස නැවතී සිටියේ කලක් හමුදාව බලෙන් නතු කරගෙන සිටි සිවිල් වැසි විසල් නිවෙසක ය මා එහි යන විට සියලු කාමර සෙසු අයට දී ඇති නිසා, මට ලැබුණේ ඉස්ටෝරු කාමරය ය. එය ද ටුවින්-සෙයාරින් පදනම මත ය. කාමරයේ තිබූ ඩබල් බෙඩයේ එක කොනක කෙනෙකු සිටි බවක ලක්ෂණ තිබිණ. ඇඳ විට්ටමට ඉහලින් ඇති ජනෙල් කන්ඩියක පොඩි අඩුම කුඩුම ටිකක් -- පනාවක්, රේසරයක්, දත් බුරුසුවක්, ආදී -- පිළිවෙලට අතුරා තිබිණ. හොඳට ම ගෙවුණු පට්ට ගැසුණු කළු සපත්තු ජෝඩුවක් ගුලි කරන ලද මේස් කුට්ටමක් සහිත ව ඇඳ පාමුල සීරුවට තබා තිබිණ. මගේ කාමර සගයා කවුද යන්න කුතුහලයෙන් පෙළුණු මා වට පිට බලන විට ය දුටුවේ, කාමරයට නුදුරින් දුරකථන කතා බහක නිරත ජෝසප් ස්ටැලින්.

මගේ රබර් කනට වැකුණේ ඔහු ගුරුවරයෙකුගේ ස්ථාන මාරුවක් වටා ගෙතුණු ගැටළුවක් නිරාකරණය කරනට උපදෙස් දෙන බවයි. ගැටළුවේ අග මුල මට හොඳහැටි නොතේරුණත්, ජෝසාගේ ලාලසාව හා අවංක කැපවීම කතා බහෙනුත් අංග චලනයෙනුත් පැහැදිලි ව විද්‍යාමාන විය. සමකාලීන වෘත්තීය සමිති නායකයින් සමග ගත් විට ස්ටැලින්ට යම් ගෞරවාන්විත පිළිගැනීමක් ඇත. සටන්කාමී ලෙස පෙනී සිටින පක්ෂවලට අයත් වෘත්තීය සමිති නායකයින්ට මෙන් කප්පම් චෝදනා ස්ටැලින්ට කරනු මා අසා නැත. බොහෝ විට ස්ටැලින් ව ඉදිරි පෙලට දමා පොදු වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගනු ලබන්නේ මේ නිසා විය හැක. කෝවිඩ් කාලයේ කරන ලද ගුරු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය උදාහරණයකි.

fsdfw

අරගලයේ පළමු සංවත්සරය ගෙවෙන මී වසරේ මාර්තුවේ කවුරුත් බලාපොරොත්තු වූයේ, එම මස නම වැනි දිනට පැවැත්වීමට යෙදී තිබූ පළාත් පාලන මැතිවරණයකින් බල හුවමාරුවකට අත්තිවාරමක් දමා නොබෝ දිනෙකින් ජාතික මට්ටමේ ද රෙජීම හා නායකත්ව වෙනසක් කිරීමට ය. ජය නියතයි යන දැඩි ආත්ම විශ්වාසයකින් විපක්ෂයේ කවුරුත් පාහේ සිටි නමුදු ඒ සිහින සියල්ල බොඳ වුණේ ජන්ද කරන්න සල්ලි නැහැ කියා බහින-නගින කලිසමේ දෙපැත්තේ සාක්කු දෙකේ සුදු උර එලියට ඇද පෙන්නීමෙනි.  

මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැල්ලක් ද මෝදු වෙමින් තිබිණ. උපයන විට ගෙවීමේ බදු වැඩි කිරීම  අසාධාරණ බව ද එය මහත් පීඩාවක් බව ද එම බද්දට යටත් වන ඉහල මට්ටමේ ආදායම් තීරුවල සිටින සුදු-කොලර ස්ථර සමාජයේ මතයක් ගොඩ නැගීම ඊට ආසන්න පසුබිම විය, සරසවි ඇදුරෝ මේ සටනේ පෙරමුණ ගත් හ. මහැදුරන් තම පඩි පත වියදම් වෙන අයුරු ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යවල පළ කළ හ. නිවාස, වාහන, හා අනෙකුත් විවිධාකාර ණය සඳහා කැපෙන වාරිකයන්ට අමතර ව වැඩි වූ බද්දත් කැපුණු පසු ඉතිරි වන්නේ සොච්චමක් බව ජනගත වූ විට ඒ වෙනුවෙන් බදු නොගෙවන අඩු පඩි පඩි ලබන බහුතර ජනතාවගේ හදවත් ද හෝස් ගා පත්තු විය.  මේ පුළුල් ජන සහයෝගිතාවෙන් අනුප්‍රාණය ලත් සරසවි ඇදුරන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය වන පුටා සංවිධානය මැතිවරණය පවත්වන්නට නියමිත ව තිබු මාර්තු නම වැනි දින සිට ම අඛණ්ඩ වර්ජනයක් දියත් කළේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරනට රජයට බල කරනු පිණිස ය.



මේ රැල්ලේ ම කොටසක ලෙස සෙසු වැඩි පඩි ලබන අසාධාරණ බදු ප්‍රතිපත්තියේ වින්දිත වෘත්තීක කොටස් නියෝජනය කරන සෞඛ්‍ය, බැංකු, බල ශක්ති, වරාය ආදී කොටස් ද ඔවුනට සහෝයෝගය දෙන සෙසු කොටස් ද ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් මාර්තු 15 දින ප්‍රකාශයට පත් කළේ ය. මෙවන් පුළුල් වැඩ වර්ජනයක් අඛණ්ඩ ව කෙරුණහොත් ආණ්ඩුව කඩා වැටීම නියත බව කියැවිණි.            

 

වෘත්තීය සමිති ව්‍යාපාරයකට ආණ්ඩු මට්ටු කරනට හැකි ය. ඒ බව අපට මෑත ඉතිහාසයෙන් අනුප්‍රාණය ලබා ගත හැක්කේ පෝලන්තයෙනි. 1946 සිට පෝලන්තයේ පැවැතියේ පෝලන්ත ජනතා ජනරජයක නමින් හැඳින්වුණු කොමියුනිස්ට් පාලනයකි. දශක කිහිපයක් පුරා ම මැතිවරණ කියා දෙයක් එහි තිබුණේ ම නැත. මේ අසීරු කාලයේ 'ලෙනින් නාවික අංගනයේ' විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ ලෙහ් වැලේසා (Lech Valesa) වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් විය. තම වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසා වැලේසා කිහිප වරක් ම හිරේ විලංගුවේ වැටිණ. එහෙත් අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කටයුතු කළ වැලේසාට 1980 අවසාන විට විට සොලිදැරිටි නමින් පුළුල් වෘත්තීය සමිති හා ජනතා ව්‍යාපාරයක් ගොඩනගන්නට හැකි විය. සොලිදැරිටි ව්‍යාපාරයේ උච්චත ම අවස්තාවේ එහි සාමාජිකත්වය මිලියන දහයක් පමණ විය. අවසානයේ බලගතු පෝලන්ත කොමියුනිස්ට් රජය සොලිදැරිටි වෘත්තීය සමිතියේ පීඩනය හමුවේ දශක ගණනාවකට පසු පැවැත්වූ ප්‍රථම මැතිවරණය පැවැත් වී ය. ඉන් ජයගත් වැලේසා 1990 දී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවන ලද අතර, ඔහු 1990-1995 දක්වා පෝලන්තයේ ජනපති ලෙස කටයුතු කළේ ය.                

සිල්වෙස්ටර් ස්ටැලොන් යනු දැඩි මස් පිඬු සහිත කාය වර්ධිත හොලිවුඩ නළුවෙකි. ස්ටැලොන් වඩා ප්‍රසිද්ධ වූයේ රොකී නමින් ඔහු රඟ පෑ ත්‍රාසජනක බොක්සිං චිත්‍රපට මාලාව නිසා ය. මුලින් ලේ වැක්කෙරෙන්නට ගුටි කන ස්ටැලොන්, චිත්‍රපටය අවසානයේ තම ප්‍රතිවාදියාට ක්ලාන්තය හැදෙන්නට නෙළා ජය ගනී. ස්ටැලින් යනු ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ සංඛේතාත්මක සන්නාමය නම්, වෘත්තීය සමිති ව්‍යාපාරය මේ දැන් ඇත්තේ ස්ටැලොන් ම ය අවධියක මුව විට ය. නාවික වරාය අංගනයක වෘත්තීය සමිතියක නායකයෙකු ව සිටි වැලේසාට බලවත් ඒකාධිපති ආණ්ඩුවක පෙරලා පෝලන්තයේ ජනපති වීමට හැකි විය. කොළඹ වරායේ ද වැලේසා ම ය අංකුරයක් මෝදු වෙමින් පවතින බව කියැවේ. වැලේසාගේ සොලිදැරිටියට මෙන් මිලයන් දහයක සාමාජිකත්වයක් මේ අංකුර තෙමේට නැතත් බිලියන හතර පහක පාඩුවක් දිනකට වරායට වර්ජනයකින් කළ හැකි බවට නිතර පාරම්බෑවේ. වැලේ වැල් නැති වැලේසයෙකුට පෝලන්තයේ ජනපති වන්නට හැකි වුවා නම් ගොරකයෙකුට සිරිලක අභිනව ජනපති වීමට ඇති හැකියාව ගැන අප අවතක්සේරු නොකළ යුතු ය.

Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්ටැලින්, ස්ටැලොන් හා වැලේසා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader