මා "1,2,3,4" යනුවෙන් ගණන් කොට එහි ඉතිරි කොටස සම්පූර්ණ කරන ලෙස ඔබට ඇරයුම් කරන්නේ යැයි සිතන්න. ඔබ බොහෝ විට "5,6,7,8" යනුවෙන් පිළිතුරු දෙනු ඇත. එවිට නිවැරදි පිළිවෙළ දිවෙන්නේ "9,10,11,12", සහ "17,18,19,20" යනාදී වශයෙන් යැයි මට පැවසිය හැකිය. ඔබ ඒ පිළිවෙළ අනුගමනය කරන්නේ නම්, නිවැරදි පිළිවෙළ විය යුත්තේ පළමු අංක හතර 1 න්ද, දෙවන අංක හතර 10 න්ද තෙවන අංක හතර 20 න්ද ඇරඹෙන අංක රටාව යැයි මම කියමි. මේ සෑම අංක පිළිවෙලක්ම තාර්කිකව නිවැරදිය. නමුත්, ඒ අතරින් අප අනුගමනය කළ යුතු අංක පිළිවෙළ තීරණය කරන්නේ මමය. ප්‍රශ්නය වන්නේ බලය ඇත්තේ කා අතද යන්නයි.

නමුත්, දැන් අප විසින් පිළිගත යුතුව ඇති යථාර්ථයක් නම්, දේශපාලන තරඟය නිශ්චය කිරීමේත් එම තරඟයේ රීතීන් හැඩ ගැස්වීමේත් ශක්‍යතාව සැලකිය යුතු මට්ටමකින් තමන් සන්තක කරගන්නට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලනාධිකාරය සමත්ව තිබේය යන්නයි. මා මීට පෙරද තර්ක කර ඇති පරිදි වත්මන් පාලනාධිකාරය කෙසේවත් මෙතෙක් පැවති ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ තරඟ රීතීන් අනුව ක්‍රීඩා කරන්නේ නැත. ඒ වෙනුවට විශේෂයෙන්ම වික්‍රමසිංහ නිරතව සිටින්නේ තරඟ රීතීන් වෙනස් කිරීමේ ක්‍රීඩාවකය. එම නව ක්‍රීඩාව ආරම්භ වූයේ අරගලයෙන් මැතිවරණ තරඟය වෙතට මහජන අවධානය මාරු කිරීම මගිනි. (ඇතැම් විට, පැවැත්වීමට සූදානමක් නැති පළාත් පාලන මැතිවරණයක් දේශපාලන න්‍යාය පත්‍රය තුළ පෙරට ගැනීමද 'ගේම් ප්ලෑන්' එකේ කොටසක් විය හැකිය).
ඉන්පසුව ගත වූ කාල වකවානුව තුළ විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ ඉතාම සාර්ථක බහුජන රැස්වීම් මාලාවක් පවත්වන්නට සමත් වූ බව සැබෑය. විශේෂයෙන්ම තමන්ට තිබෙන ජනතා සහයෝගය සිත් පැහැර ගන්නා අයුරින් ප්‍රදර්ශනය කරන්නට ඔවුන් සමත් වූහ. නමුත්, ඔවුන් තවමත් ක්‍රීඩා කරමින් සිටියේ පැරණි ක්‍රීඩාවමය. වික්‍රමසිංහ පෙරට පැමිණ "කල් දමන්නට මැතිවරණයක් නැතැයි" නිවේදනය කරන විට පවා ඔවුන් පැරණි තරඟ රීතීන් තවමත් බල පැවැත්වේ යැයි විශ්වාස කළහ. සංස්ථාපිත තරඟයේ රීතීන් අනුව ක්‍රීඩා කරන්නට වත්මන් පාලනාධිකාරය සූදානම් නොමැති බවත්, එබැවින් තවදුරටත් සියළු දේශපාලන සහභාගිකයින් විසින් බෙදා ගත් පොදු වටිනාකම් පද්ධතියක් පවතින්නේ නැති බවත්, උදාව ඇත්තේ තරඟය කුමක්දැයි නිශ්චය කිරීමේ තරඟයක් (නිවැරදිව කිව හොත්) අරගලයක් බවත් ජවිපෙ/ජාජබ න්‍යායවේදීන් වටහා ගත් බවක් නොපෙනේ.
ඒ වෙනුවට ඔවුන් පවතින නෛතික ආයතනික පර්යාය අධික ලෙස විශ්වාස කළහ. එම පර්යායට අනුව මැතිවරණයක් නොපවත්වා සිටිය හැක්කේ කෙසේදැයි ඇතැම් මධ්‍ය-වාමාංශික වියතුන් ප්‍රශ්න කළේ විමතියට පත් අයුරිනි! උත්ප්‍රාසාත්මක ලෙස ඔහුගේ ඇතැම් ප්‍රතිවාදීන් විසින් පවා ලිබරල්වාදියෙකු ලෙස මූර්තිමත් කොට පෙන්වනු ලබන රනිල් වික්‍රමසිංහ සංකේත නීතිය පිළිබඳ එවන් අධි-විශ්වාසයක් බෙදා ගත්තේ නැත. දේශපාලනය (නිවැරදිව කිව හොත් දේශපාලනිකය) පවතින්නේ ඒ සියල්ලට ඉහළින් බව අන් කාටත් වඩා හොඳින් ප්‍රායෝගිකව අවබෝධ කරගෙන සිටින්නේ දේශපාලනික සේම ආර්ථිකමය දක්ෂිණාංශයේ වත්මන් නායකයා බැව් පෙනේ. ඔහු දැන් දේශපාලන පසමිතුරුතාව සහ බලය පමණක් එකම නිශ්චය ලෙසින් පවතින්නා වූ නග්න අරගලයේ කලාපයක් වෙතට සියළුම විපාක්ෂික බලවේග කැඳවා ඇත.


නිසැකවම පළාත් පාලන මැතිවරණයක් දිනා ගැනීම සඳහා ලැබුණු කදිම මොහොත (ඇතැම් විට අවසන් මොහොත) වූයේ එලෙස සරල ලෙස අත් හැර දමනු ලැබූ මාර්තු 09 වෙනිදාය. කුමක් වුවත් කළ යුතුව තිබුණේ අයි.එම්.එෆ් ණය අනුමැතිය නිවේදනය වීමට පෙරය. ඒ මන්ද යත්, වත්මන් ප්‍රභූ තන්ත්‍රය ඉතාම සාර්ථක ලෙස අයි.එම්.එෆ් ව්‍යාපෘතිය තම පැවැත්ම සඳහා වන අප්‍රකාශිත සැලසුමේ කොටසක් බවට පරිවර්තනය කරගෙන සිටින නිසාය.
දේශපාලන ගේම පවතින්නේ පොදුජන අවබෝධය (සරලව පොදුජන විඥානය) සමගය. පසුගිය දශක කිහිපය තිස්සේ ලාංකීය සමාජය තුළ ස්ථාපිත වූ පරිභෝජනවාදී දැක්ම විශේෂයෙන්ම මධ්‍යම පන්තිය අතර පොදුජන අවබෝධයේ වැදගත් කොටසක් බවට පරිවර්තනය වී තිබේ. අරගලය තුළ අළුතින් දේශපාලනීකරණය වූ මධ්‍යම පන්තික කොටස් සම්බන්ධයෙන්ද මෙය අදාළය. මා වෙනත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් විවේචනාත්මක වන භූපති නලින් වික්‍රමගේගේ අරගලය පිළිබඳ කෘතියේ නිවැරදිව කියැවෙන පරිදි, "ගෝඨාභය පාලනාධිකාරය පැටලුණේ වැරදි පරම්පරාව සමග නොව 'වැරදි' පන්තියක් සමගය" යන්නෙන් ගම්‍ය වන්නේ මෙයයි. වික්‍රමසිංහ පාලනය දැන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයට එරෙහිව හසුරුවමින් තිබෙන්නේ මර්දනය පමණක් නොවේ. මධ්‍යම පන්තික පාරිභෝජනවාදයට ආමන්ත්‍රණය කිරීම ද එහි කොටසකි.
දේවල්වල නව පිළිවෙල
දේවල් මෙසේ පෙළ ගැසෙමින් තිබියදී උත්ප්‍රාසාත්මක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එයින් බිඳී ගිය කොටස්ද දැන් පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස උස් හඬින් ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබෙනවා නොවේදැයි යමෙකු විමසිය හැකිය. එය සමාන වන්නේ නොකරන්නට තීරණය කළ වෙදකමක් සඳහා කෝඳුරු තෙල් හත් පට්ටියක් සෙවීමේ මෙහෙයුමකට බවයි, මගේ හැඟීම. අප මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් වන්නේ උත්ප්‍රාසය දෙගුණ කරමින් වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට දරන්නා වූ ප්‍රයත්නයට එරෙහි ප්‍රකාශ නිකුත් කරන්නටද දැන් ඇතැම් පොහොට්ටු නියෝජිතයින් පටන් ගෙන තිබෙන බවයි! ඉදිරියේදී පෞද්ගලීකරණ ක්‍රියාවලිය පෙරට යන විට මෙවන් උත්ප්‍රාසජනක විරෝධයන් තව තවත් අපේක්ෂා කළ හැකිය.
ජනාධිපතිවරණයක ජන්දදායක චර්යාව මහා මැතිවරණයක, පළාත් සභා මැතිවරණයක හෝ පළාත් පාලන මැතිවරණයක ජන්දදායක චර්යාවෙන් වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිදසුනක් ලෙස, එහිදී සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ චන්දය තීරණාත්මක කාර්යයක් ඉටු කරයි. වික්‍රමසිංහ හට 13 වන සංශෝධනය සඳහා විශාල උනන්දුවක් ඇති වූයේ පළාත් පාලන මැතිවරණ පිළිබඳ ආන්දෝලනයටද පෙර බව අමතක නොකරන්න. ජවිපෙ/ජාජබ පසුගිය මහා මැතිවරණයේදී ලබා ගත් සුවිශාල පසුබෑමට හේතු වූ එක් කාරණයක් නම්, ඊට පෙර පැවති ජනාධිපතිවරණයේදී ඔවුන් ලබා ගත් සියයට තුනක චන්ද ප්‍රතිශතයයි. මෙවර තත්ත්වයන් විශාල වශයෙන් වෙනස් වී ඇති බව සැබෑය. නමුත්, මෙරට පසුගිය මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කරන විට පැහැදිලිවම පෙනී යන කාරණයක් වන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිපල ඉනික්බිතිව පවත්වනු ලබන මහා මැතිවරණයක ප්‍රතිපල වෙත කෙලින්ම බලපාන බවයි. අන් සියළු මැතිවරණවලට පෙර ජනාධිපතිවරණයක් කරා යන්නට දේශපාලන ප්‍රභූව ප්‍රිය කරන්නේ මේ නිසාය.
මේ අනුව, දැන් මෙරට වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග හමුවේ තිබෙන අභියෝගය වන්නේ ප්‍රභූ තන්ත්‍රයේ මාර්ග සිතියම වෙනුවට ස්වකීය මාර්ග සිතියමක් ආදේශ කරන්නේ කෙසේද යන්නයි. එය සරල සහ සුපුරුදු මැතිවරණ තරඟයකින් වෙනස්ය. මන්ද යත්, දැන් ඇත්තේ පොදුවේ බෙදාගත් තරඟ රීතීන් අනුව කරන ක්‍රීඩාවක් නොව තරඟය සහ එහි රීතීන් නිශ්චය කිරීමේ (වෙනස් කිරීමේ) ක්‍රීඩාවකි. මෙම නව ක්‍රීඩාවට අවතීර්ණ වන්නට විශේෂයෙන්ම ජවිපෙ/ජාජබ අසමත් වී ඇත්තේ එය තවමත් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ සාම්ප්‍රදායික ඛණ්ඩාංක තුළ තම දේශපාලන ක්‍රියාකාරීත්වය රාමුගත කරගෙන සිටින නිසාය යන්න මගේ අදහසයි. ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත්, වත්මන් වාමාංශය ලිබරල්වාදීන්ට වඩා මහත්මාවරුන් වී ඇත. එවිට සැබවින්ම මහත්මා නොවන අන්ත-දක්ෂිණාංශය (නිදසුනක් ලෙස, ට්‍රම්ප්) බලය උදුරා ගනී. උයන්ගොඩ මෑතකදී පවසා තිබූ පරිදි මෙරට මධ්‍ය-වාමාංශයද ජනතාවගේ සෘජු ප්‍රජාතාන්ත්‍රික මැදිහත්වීම්වලට බියව සිටී. මගේ වචනයෙන් කිව හොත්, ඔවුන් ප්‍රයත්න දරමින් සිටින්නේ 'හොඳ ළමයින්ගේ' දේශපාලනයක නිරත වන්නටය.
නිදසුනක් ලෙස, අනුර කුමාර දිසානායක නිතර කියන්නට පුරුදුව සිටින කතාවක් මෙසේය: "රනිල් වික්‍රමසිංහ පාළු පිට්ටනියක ඉඳන් කඩුවක් වනමින් අපට කියනවා ගනු කඩුව එනු සටනට කියලා. අපි කියන්න කැමතියි අපි ඔය සටනට එන්නේ නැහැ." ඔහු සරලව අදහස් කරන්නේ වික්‍රමසිංහ තමන්ව ප්‍රචණ්ඩ දේශපාලනය වෙත කැඳවමින් සිටියද තමන් ඒ ඇම ගිලින්නට සූදානම් නොමැති බවය. ඒ වෙනුවට මැතිවරණ දේශපාලනය නමැති සුජාතමය සටන් බිමේ තමන්ව මුණ ගැසෙන ලෙස ජවිපෙ/ජාජබ නායකයා වික්‍රමසිංහට අභියෝග කරයි. ප්‍රචණ්ඩත්වය වෙතට හැරෙන්නට කරන පෙළඹවීම ප්‍රතික්ෂේප කිරීමේ අරුතින් අනුර කුමාරගේ ස්ථාවරය නිවැරදිය. විශේෂයෙන්ම තම පක්ෂය දෙසට හැරුණු සුවිසල් ජන රැල්ලක් පවතින වාතාවරණයක් තුළ ප්‍රචණ්ඩ දේශපාලන ගමන් මගක් තෝරා ගන්නට තරම් ජවිපෙ/ජාජබ නායකත්වය අපරිණත හෝ මෝඩ නැත.
නමුත්, ගැටළුව වන්නේ මෙහිදී ප්‍රචණ්ඩත්වය යනුවෙන් සැබවින්ම අදහස් වන්නේ කුමක්ද යන්නයි. එහි අදහස ආයුධ සන්නද්ධ දේශපාලන මගක් තෝරා ගැනීම විය නොහැකිය. එවන් දේශපාලනයක් යෝජනා කරන කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක් දැන් මෙරට පවතින්නේ නැත. එසේනම්, කිසිවෙකුත් යෝජනා නොකරන සන්නද්ධ දේශපාලනයක් ගැන කතා කිරීමෙන් පලක් නැත. එසේනම්, අනුර කුමාර ප්‍රතික්ෂේප කරනවා යැයි කියන ප්‍රචණ්ඩත්වය කුමක්ද? කොහේ තියෙන ප්‍රචණ්ඩත්වයක්ද එය? කාරණය නම්, ප්‍රචණ්ඩත්වය පිළිබඳ කිසියම් දේශපාලන කතිකාවක් වත්මනෙහි පවතින්නේ නම්, ඒ වික්‍රමසිංහ-රාජපක්ෂ පාලනාධිකාරය විසින් අරගලයට එරෙහිව ගොඩ නැගූ කතාන්දරය පමණක් බවයි (රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාව හැර). අරගලයේ නිරත එක් කොටසක් එය ප්‍රචණ්ඩත්වය කරා රැගෙන ගියේය යන දෘෂ්ටිවාදී ආඛ්‍යානය වික්‍රමසිංහගේ සෘජු මැදිහත්වීම ඇතිව පසුගිය කාලයේදී අධිපති මාධ්‍ය ඔස්සේ ක්‍රමානුකූලව නිර්මාණය කරන ලද්දකි. ආරම්භයේ සිටම අනුර කුමාර ඇතුළු ජවිපෙ/ජාජබ නායකත්වය ප්‍රයත්න දැරුවේ මෙම 'ප්‍රචණ්ඩ' කොටසට තමන් ඇතුළත් නොවන බව පෙන්නුම් කරන්නටය. නමුත්, ඔවුන් එසේ ප්‍රයත්න දරන විට (ඇතැම් විට, ඔවුන්ටත් නොදැනීම) ප්‍රචණ්ඩත්වය පිළිබඳ පාලනාධිකාරය විසින් ගොඩ නගන ලද කතිකාවට ඔවුන්ද ඇතුල් වීම වැළැක්විය නොහැකිය. එම කතිකාව තුළ කිසිවෙකුට තමන් ප්‍රචණ්ඩ නොවන බව පෙන්වීම සඳහා ඇති මාර්ගය වන්නේ තමන් අරගලයෙන් (නැතිනම් අරගලයේ රැඩිකල් කොටස්වලින්) කිසියම් දුරක් පවත්වා ගන්නා බව පෙන්වීමයි. සරලව, එවිට ප්‍රචණ්ඩත්වය අරගලය සමගත් සාමකාමීත්වය මැතිවරණ සමගත් සමාන කෙරේ.
නමුත්, ඇතැම් විට, උත්ප්‍රාසජනක ලෙස, වික්‍රමසිංහ හිස් පිට්ටනියකට වී කඩුවක් වනමින් අනුර කුමාර සටනට කැඳවන්නේ ඔහු එම සටනට (දේශපාලනිකයේ නොහොත් අරගලයේ සටන් බිමට) පැමිණීම වැලැක්වීම සඳහා විය නොහැකිද? ලැකානියානු මනෝ විශ්ලේෂණ සංවාදයේ ප්‍රචලිත රූපිකයක් ඇසුරින් කිව හොත්, "ඔබ හැබ්ස්බර්ග් වෙත යන්නේ නම්, ඔබ හැබ්ස්බර්ග් වෙත යන බව පවසන්නේ මන්ද?" ඒ ඇතැම් විට, ඔබ හැබ්ස්බර්ග් වෙත යන බව මා දැනගැනීම (සැක කිරීම ) වැලැක්වීම සඳහා විය නොහැකි ද?




(සුමිත් චාමින්ද)