The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

‘එයා දැන් බැඳලා’ බැලුවද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 3, 2023 • 5:45 PM

‘එයා දැන් බැඳලා’ බැලුවද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා.
  • ඒක නැරඹීම හින්දම තමන් යම් උසස් රසිකත්වයක් ඇති කෙනෙක් බව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුනා.
  • යමක් ගැන ඇතිවෙන සාමූහික උමතුව මාව ඒ නිර්මාණයෙන් ඈත් කරනවා.
  • සියල්ලන්ගේ සුරතාන්තයට ඉඩදීලා බලන් ඉඳලා මං අන්තිමට දවසක් ඉඳගෙන එක දිගට කොටස් 27ම බලලා ඉවර කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා.

ටීවී එකේ වාරණය වූ තේමාවක් වන ‘ලිංගිකත්වය’ ටෙලි රෙසිපි මැද්දට කැදෙව්වා. සාලෙ මැද තියලා තියෙන ටීවී එකේ ගණිකාවක් ගැන කතාවක් සතිපතා ප්‍රචාරය කළා. වෙනදා එන සදාචාර පැමිණිලි වෙනුවට මෙදා පාර පැසසුම් හෝ ගාලා එන්න ගත්තා. නැවත තමන්ට වැඩිහිටියෙකුගේ අයිතිය ලැබීමේ ප්‍රීතියෙන් ටෙලි ප්‍රේක්ෂක ජනතාව ප්‍රීතිගෝෂා නැගුවා.



රූපවාහිනී මහගෙදර බඳු ITN එක පළවෙනි වතාවට ගමට එරෙහිව සෙක්ස් කැරැල්ලක් ගැහුවා. විස්මය දනවන කාරණය වුනේ ඒක මිනිස්සු උඩ පැනලා බාරගත්ත එක. ජනතාව මාරු වෙලාද නැත්තං සමාජ බලය මාරු වෙලාද?



ලංකාවේ දෙවෙනි ඉණිම බලන ස්වභාවික ප්‍රේක්ෂකයා තමන් නරඹන දේ ගැන කළකිරිලා ‘එයා දැන් බැඳලා’ බලන්න පෙලඹුනා කියන එක බාරගන්න මට තරමක් අමාරුයි. ‘මචං ෆේස්බුක් එකේ හැමෝම බලන්නෙ ‘එයා දැන් බැඳලා. ඒත් එලියට බැහැලා ඇහුවොත් ඔක්කොම බලන්නෙ ’දෙවෙනි ඉණිම’. කොහොමද බං එහෙම වෙන්නෙ?’ මගේ යාලුවෙක් මගෙන් ඇහුවා.

453rtgh

ඒක වෙන්නෙ මෙහෙමයි.

සෝෂල් මීඩියා හරහා රැල්ලක් නිර්මාණය කරලා ඒ රැල්ලට ප්‍රේක්ෂක බලයක් හදාගන්න ‘එයා දැන් බැඳලාට’ පුළුවන් වුනා. ඒක නොබැලුවොත් කොන්වෙන තත්වයක් හැදුනා. ඒක නැරඹීම හින්දම තමන් යම් උසස් රසිකත්වයක් ඇති කෙනෙක් බව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුනා. ඉන් කුල්මත් වුනු ජනතාව ඒ වෙනුවෙන් ස්වාධීනව සම්මාන දෙන්න පවා ගත්තා. කෘතිමව නිර්මාණය වුනත් ඒක අගය කරන්න ඕන තත්වයක්.

‘මං පිට්ටනිය හැදුවා. දැන් ගහන්නයි තියෙන්නෙ’ කියල ප්‍රසන්න ජයකොඩි කියන්නෙ මේ කාරණය වෙන්න ඕන. ඒ අලුත් ප්‍රේක්ෂක අවකාශය / බලය නිර්මාණය කිරීම.

කොහොම වුනත් මේ අධික උණුසුම නිසාම මං ඒක බලන එක පුළුවන් තරම් පස්සට දැම්මා. යමක් ගැන ඇතිවෙන සාමූහික උමතුව මාව ඒ නිර්මාණයෙන් ඈත් කරනවා. සියල්ලන්ගේ සුරතාන්තයට ඉඩදීලා බලන් ඉඳලා මං අන්තිමට දවසක් ඉඳගෙන එක දිගට කොටස් 27ම බලලා ඉවර කළා.

මේක බලද්දි මට එකපාරටම මතක් වුනේ සර්ජි ලියොනේ විසින් කරපු Once upon a time in the West කියන ෆිල්ම් එක. මේ ලංකාවෙ සුද්දිගෙ චරිතය මට ඒ ෆිල්ම් එකේ නිව් ඔර්ලියන්ස් ඉඳන් එන ජිල් එක්ක සමීපව පෙනුනා. මේ දෙන්නා කොහෙත්ම සමාන නෑ. ඒත් ලංකාවෙ මේ ගැහැණියගේ චරිතය සහ බටහිර මේ ගැහැණියගේ චරිතය එකට තියලා බලන්න වටිනවා.

කවුද මේ ගැහැණිය? නගරයේ ගණිකාවක්ව හිඳ ගමට ඇවිත් පවුලක්ව ‘යහපත්’ වීමට උත්සාහ ගන්නා ගැහැණිය. ප්‍රසන්නගේ කතාවෙ කේන්ද්‍රීය සරාගි වස්තුව වෙන්නෙත් ඇය.

xfgdhghj

එයා දැන් බැඳලා කියන්නෙ ලංකාවෙ බහුල ලිංගික මනෝ ව්‍යාධීන් සහ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කරන නාට්‍යයක්. ඒ දුර්වලතා දෙස බලා සිටින්න අපි තුල ඇල්මක් ඇති කරන්නේමත් ඒවා අපිට ආමන්ත්‍රණය කරන හින්දමයි. නැත්නම් ප්‍රසන්නගේ අනෙකුත්‍ ටෙලි/සිනමා කෘතිවලට සාපේක්ෂව මේක දුර්වල වියමනක්. පිටපත දියාරුයි. එකතැන ගතවෙනසුලුයි. සමහර තැන් ක්‍රින්ජ් පවා.



එයා දැන් බැඳලා සාර්ථක වෙන්නෙ ඒකෙ කතා කරන්නෙ සෙක්ස් හින්ද.

පිටපත දුර්වල වුනත් ප්‍රසන්න ඉතා ප්‍රබල චරිත නිර්මාණයක් කරනවා. මනියා, පීතර, සිරි, සුද්දි කියන චරිත ඒ රඟපාන නළුනිළියන් විසින් මැනවින් හුස්ම පොවමින් පණ පිහිටුවනවා. විශේෂයෙන්ම පීතර ඒ චරිතයේ අපූර්වත්වයත් එක්ක පිටපතේ දුර්වල තැන් මතින් නාට්‍යය ඉස්සරහට ඇදගෙන යන්න ලොකු වැඩකොටසක් කරනවා.

පීතර කියන්නෙ ලංකාවෙ අපචාරී පියා. මේ අපචාරී පියා විසින් දුර්වල පිරිමියෙක් වන ‘සිරි’ ව නිර්මාණය කරනවා. සිරි කියන්නෙ අම්මා හොයමින් ඇවිදින මැදිවියේ පුතෙක්. එයා වෛශ්‍යාවක් තුලින් අම්මාව හොයාගන්න හදනවා. ලිංගික ශ්‍රමිකයෙක්ව ලිංගිකහරණය කරන්න උත්සාහ ගන්නවා.

මේ වෛශ්‍යාව තුලින් අම්මා හෙවීම ලංකාවෙ ගොඩක් බහුල මානසික තත්වයක්. අපේ ගණිකාවන් ගැන ලියවුනු සිංදු බොහොමයක් අරගෙන බැලුවත් ඒ ලියන්නා මේ වෛශ්‍යාව ශුද්ධ වූ මාතෘත්වය දක්වා ඔසවා තැබීමේ අසහනයෙන් පෙලෙන බව තේරුම් ගන්න පුළුවන්. අපිට ගණිකාවකගේ විවෘත ලිංගික ප්‍රකාශනය දරාගන්න අමාරුයි.

අපේ කතාවෙ ප්‍රධාන චරිතය සිරි මේ විදිහට පියාගේ අපචාරීත්වය විසින් ලිංගික වශයෙන් දුර්වල කරන ලද ගැමි නෝන්ජල් පිරිමියෙක්. ලිංගිකත්වයට බයෙන් හැංගෙන, එය වසා උත්තරීතර සළු පොරවන්නට තනන සියලු පිරිමි මේ අවුලෙන් පෙලෙනවා.

අපේ වීරවරිය එයා පොදු ගැහැණියක් වීම නිසා ජීවිතේ පුද්ගලික ආදරය අහිමිවීම ගැන තැවෙන ගැහැණියක්. අපි හැමෝම දුක්වෙන්නෙ අපිට නැති දේ ගැන. එයා ඒ පුද්ගලික ආදරය සොයාගැනීම වෙනුවෙන් තමන්ගේ ලිංගික ජීවිතය කැප කරන්න තීරණය කරනවා. කසාදය නමින් තමන්ගේ ස්පර්ශය සීමා කරනවා.

සිරි එන්නෙ වෛශ්‍යාවක් බඳින්න. සුද්දි එන්නෙ පත්තිනියක් වෙන්න.

tewrt54

නාට්‍ය ඇතුලෙ අපි නැවත නැවත මුහුණ දෙන ප්‍රශ්නය වෙන්නෙ සුද්දි පතිවත් රකින ගැහැණියක් කියල පිළිගන්න ලෑස්ති කවුද කියන එක. හැමෝම බලන්නෙ රෙද්දෙ තුත්තිරි දිහා. ඇය ගණිකාවක් වීමේ අනුරාගය, ආකර්ශනය වඩා ප්‍රබලයි. බිරිඳක් කියන්නෙ දුර්වල ගැහැණියක්. ගණිකාවක් කියන්නෙ නිදහස් ගැහැණියක්.

එයා දැන් බැඳලා වඩා ජනප්‍රිය වෙන්න සේමිනී මේ චරිතය කරන එකත් බලපෑවා කියල මං හිතනවා. පහුගිය කාලෙ සේමිනීගේ නම ගැටගැහෙමින් අනුරාගී හඩපට කීපයක් සමාජජාලාවල මෝචනය වුනා. ෆෝන් එකෙන් ෆෝන් එකට ඒවා මාරු කරමින් ජනතාව ස්වයං වින්දනයක් ලැබුවා. ඊට ටික කාලයකට පස්සෙ සේමිනී ගණිකාවක් විදිහට ටීවී එකෙන් එනවා. මේක මේ චරිතයට ආශක්ත කරන්න අවිඥානක හෝ බලපෑමක් කරනවා. නාට්‍යයේ චරිත සුද්දිට පිස්සු වැටෙන හේතුවටම නාට්‍යය නරඹන්නා නාට්‍යයට පිස්සු වැටෙනවා. අවුරුදු ගානක් පහු වුනත් ප්‍රසන්නගෙ නාට්‍යය ඉතාම නිවැරදි වෙලාවට ස්ථානගත වෙනවා.

 

සුද්දි තමන්ගේ ගණිකා වෘත්තියෙන් පිටත පවුල තුල ඇතැයි කියල හිතන සදාචාරයක්, ශික්ෂාවක් ඔලුවෙන් හදාගෙන ඇතුල් වෙන්නෙ ලංකාවෙ ගමේ අශිෂ්ට ව්‍යභිචාර පවුල ඇතුලට. ඒ පවුලෙ තාත්තාගෙන් පුතාලගෙ ගෑනු පරිස්සම් කරන්න ඕන. සහෝදරයන්ගෙන් පරිස්සම් කරන්න ඕන. එලියෙදි පි‍ට පිරිමින්ගෙන් පරිස්සම් කරන්න ඕන. සිරි සියලු වැඩ දෙවෙනි කොට තමන්ගේ බිරිඳ පරිස්සම් කිරීමේ ක්‍රියාවට එළඹෙනවා.


පවුල පවතින්නෙ සෙක්ස් කිරීමේ ‘සීමාව’ පැනවීම මත. ඒ සීමාව සළකුනු කරන්නෙ ලැජ්ජාව සහ අපවාදය විසින්. ඒ ලැජ්ජාව විසින් ගැහැණිය දුර්වල කරනවා. මුලින් පිරිමින්ට පමණක් වෙන්වූ වැඩ‍ මොනවා දැයි අසමින් ඒ පිරිමි මානයන් වෙනස් කරන ‘අතීත’ වෛශ්‍යාව අන්තිමට නාකි පිරිමියෙකුගේ අත ගසා දාන්නවත් බැරි ගෘහනියක තත්වයට පත්වෙනවා.

xzdgfsg

මේ චරිතවල ඉමෝෂනල් ගමන පිටපතේ සාර්ථකව ගොඩනැගෙන්නෙ නෑ. නිකංම දෙබසකින් වගේ ලොකු ඉමෝෂනල් පිමි මාරු වෙනවා. ඊට අදාල වෙන විශ්වාසනීය තත්ව ගොඩනැගීමක් වෙන්නෙ නෑ. මූනු මත නිකරුනේ ගොඩක් වෙලා රැදෙන කැමරාව අපිට නොතේරෙන යමක් මෙතන වෙනවා යැයි හැගීමක් ඇති කරන්න හිස් මහන්සියක් ගන්නවා.

නිතර ගමේ වෙනත් අය ගැන කතා ඇහුනත් ‘එයා දැන් බැඳලා’ කතාව ඇතුලෙ අපිට ගමක් මුනගැහෙන්නෙ නෑ. වැටක් අයිනෙං යන හුදකලා ගැහැණියක්, ත්‍රීවීල්කාරයො කීපදෙනෙක් වගේ තමයි අපිට ගම කියල දකින්න තියෙන්නෙ. ඒ ගමෙන් ඇත්තට සිද්ද වෙන බලපෑමක් නෑ. ඒ වෙනුවට සියල්ල සිද්ද වෙන්නෙ පවුල ඇතුලෙන්මයි. අපේ ලෝකය කියන්නෙ නැවත අපේ පවුලමයි වගේ ඇතුලතට හැරීමක් ප්‍රසන්න යෝජනා කරනවා වගේ.

කොහොමටත් මුලු ටෙලි නාට්‍යයම ඉතාම අවමතාවාදීයි. කතාව මූලිකව දිගහැරෙන්නෙ ගෙදර, පතල, මුරමඩුව කියන තැන් තුන අතර. ගෙදර කියන්නෙ පවුල/අපචාරය/නිදහස අවම කලාපය. මුර මඩුව කියන්නෙ නිදහස, රසය, ආදරය. ඒක තියෙන්නෙ පවුලෙන් පිට. පතල කියන්නෙ රස්සාව. සිරි කියන්නෙ එතනදි බිම් පණුවෙක්.

එයාට තමන්ගේ ජීවිතේ අර්ථය මුනගැහෙන්නෙ මුරමඩුවෙ තමන්ගේ සහෝදරයයි තවත් මිතුරෙකුයි එක්ක ගණිකාවක් හවුලේ රස විඳින මොහොතෙයි. මේකෙන් තේරුම් ගන්න ඕන කාරණය කෙනෙකුට ස්පා එකකදී වුනත් අවබෝධය ලැබෙන්න පුළුවන් කියන එකයි.

ප්‍රසන්න මේ නාට්‍යයෙදි පාවිච්චි කරන අවමතාවාදී රීතිය ලංකාවෙ ටෙලිවලට ඉතා මැනවින් ගැලපෙනවා කියන එක පැහැදිලියි. ගොඩක් විච්චූර්ණ, පැටලිලිසහගත සංස්කරණ වෙනුවට චරිත කීපයක් එක්ක තැන් කීපයක දිගහැරෙන කතා ප්‍රේක්ෂකයා එක්ක ලේසියෙන් බැදෙනවා. සමහර විට ඒ විස්තර අතර මහන්සි වෙන්න දෙයක් නැති හින්දම වෙන්න ඇති. එහෙම සුළු චරිත ටිකක් එක්ක, මේ තරම් පුංචි කතාවක් කොටස් විසි හතක් දක්වා අරගෙන යාම ප්‍රසන්නගෙ දක්ෂකම.

මෙතනදි තෝරාගන්න ලොකේෂන් එකත් (සීතල රිවර්ස්ටන් වගේ කඳුකරය) නරඹන්නාව බැඳ තියාගන්න හොඳ රැහැනක් වෙනවා. ඒ සුන්දර වටපිටාව බලන් ඉන්න ආසයි. ඒ කඳු අතර දිගහැරෙන්නෙ අතර ආර්ථික හෝ දේශපාලන ආදී හෝ වෙනත් ප්‍රශ්නවලින් පීඩා නොවිඳින ඩිස්ටෝපියානු පවුලක කතාවක්. ඒ පවුලේ එකම ප්‍රශ්නය සෙක්ස්. ඇත්තටම අපෙත් ලොකුම ප්‍රශ්නෙ සෙක්ස්. ඉතින් ඒ කඳු මිටියාවත අතරදි ප්‍රසන්න අපිට අනෙක් සැරසිලි අයින් කරලා අපේ ඇත්ත අවුල මුනගස්සනවා කියන්න පුළුවන්. අපිට අපේ රෝගය මුනගැහෙනවා. ‘එයා දැන් බැඳලා’ කියන්නෙ ඒ රෝගය.

ප්‍රේමයේදී ගණිකාවක් කසාද බඳින්න තරම් එඩිතර පිරිමියා කසාදයේදී ළමයා තමන්ගෙද කියන සැකෙන් තැති ගන්නවා. මේ අතර කඳු නාය යනවා, ළමයි ලොකු වෙනවා වගේ එකපාර සිද්ද වෙන අද්භූත සිද්දිත් තියෙනවා.

vfgjhfgh

කතාවෙ මූලික හරය වෙන්නෙ ලංකාවෙ සමාජය (ගම) දරාගත නොහැකි තරමේ ලිංගික අහේනියකින් පෙලෙනවා කියන එකයි. ඒ ගමේ ලස්සනක් ඇති ගැහැණු පරාණයක් නැති බව පැහැදිලියි. පිට පොත්ත සුදුවීම නිසාම සුද්දී යැයි නම් ලබා ඇය අනුරාගී වස්තුවක් බවට පත් කරන්නෙත් ඒ හිගයයි. ඒ කාම අහේනිය එක්ක, එක තැන ගතවෙනි ජීවිතවල කාංසාව අපිටත් දැනෙන තරමට ඒ කදුකරය, මීදුම අපිවත් ඊට ඇතුල් කරගන්නවා.

එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කැමරාව ඉතාම දුර්වල බව කියන්න වෙනවා. ඒ වගේම සංස්කරණය කාලය දිගු කිරීම සඳහාම සිද්ද වෙන බවක් පේන්න ගන්නවා. ඒ කිසිවක තියුණු බවක්, අලුතෙන් යමක් එක් කිරීමක් දකින්න ලැබෙන්නෙ නෑ. තේමා සංගීතය ඉතාම ආකර්ශනීය වන අතර මැද තැන තැන ඇහෙන ට්‍රාන්ස්/සයිකඩෙලික් සංගීත ඛණ්ඩය මේ චරිතවල අභ්‍යන්තරය මතු කරන්න උත්සාහ ගන්නවද, ඒක එහෙම වැඩ කරනවද කියන සැකසහිතයි.

මේක බලලා ඉවර වුනාම මට ඉස්සර අපේ ගෙවල් පැත්තෙ හිටපු සිරිට සමාන කම්මල්කාරයෙක් මතක් වුනා. මේ මනුස්සයාගෙ බිරිඳ නිතරම වෙන පිරිමි එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. මේ මනුස්සයා ඒවා ගැන දැනගත්තත් ඊට විරුද්දව මොකුත් කරන්න පුළුවන්කමක් එයාට තිබුනෙ නෑ. වරින් වර මේ කාන්තාව අර සෙක්ස් පිනිසම තමන් හො‍යාගෙන එන පිරිමි එක්ක පැනලා යනවා. ඉතිං අර සැමියා ඉතාම දුකසේ කාලයක් ගත කරනවා. කොහොම හරි මිනිහා බිරිඳ ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයාගන්නවා. කරන වැඩ සියල්ල අත්හැර ඇයව හොයාගෙන ගිහින්, එතන ලැගලා අඩලා දොඩලා කොහොම හරි ආපහු එක්කගෙන එනවා. හරිම ආදරෙන් ටික කාලයක් මේ දෙන්නා ඉන්නවා. ආපහු ගෑනි පැනලා යනවා.



මේක නිතර නිතර සිද්ද වුනත් අර පිරිමියා ගැහැණිය තුලින් දැකපු මැජික් එක කවදාවත් ඉවර වුනේ නෑ. කොයිතරම් පිරිමි එක්ක නිදාගත්තත් අර පිරිමියාට ඒ ගැහැණියගේ කිසිම අඩුවක් දැනුනෙ නෑ. පළාතෙම මිනිස්සු පොන්නයා කියද්දි ඒ මනුස්සයා හැමදාම එක වගේ තමන්ගේ බිරිඳට ආදරය කළා. ඇයව දැකීමෙන් පවා පිනාගියා. කොයි පිරිමි එක්ක ගියත් නැවත තමන් ගෙදර එනකල් බලන් ඉන්න පිරිමියෙක් ඉන්නවා කියල ඒ බිරිඳත් හදවතින් දැනගෙන හිටියා.

 


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -facultyofsex.com)

 

 

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘එයා දැන් බැඳලා’ බැලුවද? - (චින්තන ධර්මදාස) | The Leader