The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද? - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

April 6, 2023 • 6:53 PM

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද? - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොපෑහෙන බවට බරපතල විවේචන තිබේ.
  • දැනට ඇති ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ ඇති අඩුපාඩු පියවාගෙන ඊට වඩා හොඳ පනතක් ගෙන ඒම එහි පරමාර්ථය විය යුතුය.
  • ජනතාවත්, සමාජයත්, ආණ්ඩුවත් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කෙරෙන විධිවිධාන, පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව ඇති කරගැනීමයි.
  • එහෙත් ඒ අදහස තවත් නිශ්චිත කර නොගත්තොත්, පැරණි පෙම්වතියගේ ලිංගික ඡායාරූපයක්/වීඩියෝවක් ඇගේ සැමියාට පෙන්වන බව පවසා ඇගෙන් කප්පම් ගත් පරණ පෙම්වතෙකුගේ මෑත කාලීන සිද්ධියත් ත්‍රස්තවාදය යටතට ගැනෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නොපෑහෙන බවට බරපතල විවේචන තිබේ. ඒ නිසා, එය අහෝසි කොට ඒ වෙනුවට, ‘ප්‍රති-ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට වර්තමාන ආණ්ඩුව සැරසෙයි.

දැනට ඇති ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ ඇති අඩුපාඩු පියවාගෙන ඊට වඩා හොඳ පනතක් ගෙන ඒම එහි පරමාර්ථය විය යුතුය. ‘හොඳ’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ජනතාවත්, සමාජයත්, ආණ්ඩුවත් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කෙරෙන විධිවිධාන, පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව ඇති කරගැනීමයි.



ත්‍රස්තවාදය යන වචනය පිළිබඳ ඒකමතික නිර්වචනයක් නැත. උපරිම පුළුල් අර්ථයෙන් ගත් විට, ත්‍රස්තවාදය යනු, යම් අරමුණක් මුදුන්පත් කරගැනීම සඳහා, බිය ගැන්වීම නමැති අවිය පාවිච්චියට ගැනීමයි. එහෙත් ඒ අදහස තවත් නිශ්චිත කර නොගත්තොත්, පැරණි පෙම්වතියගේ ලිංගික ඡායාරූපයක්/වීඩියෝවක් ඇගේ සැමියාට පෙන්වන බව පවසා ඇගෙන් කප්පම් ගත් පරණ පෙම්වතෙකුගේ මෑත කාලීන සිද්ධියත් ත්‍රස්තවාදය යටතට ගැනෙනු ඇත. ඒ නිසා, යම් දෘෂ්ටිවාදයක්, ඇදහීමක් හෝ දේශපාලනයක් වෙනුවෙන්, සමාජයත්, මහජනතාවත්, ආණ්ඩුවත් බියගන්වා, යම් අපරාධ ක්‍රියාවක හෝ නොකර හැරීමක නිරත වීම ත්‍රස්තවාදය වශයෙන් හඳුනාගැනීම වඩාත් ප්‍රශස්ත ය.

 

340272181 167388302512769 884381326474889343 n


එහෙත්, එම අර්ථ නිරූපණය ඉදිරියේ පවා, එකී ත්‍රස්තවාදී ක්‍රියාව වැළැක්වීම අරමුණු කොට පනවාගන්නා ඕනෑම නීතියක්, මොන විදිහකින්වත්, එම රටේ ජනතාවගේ මූලික අයිතීන් සදාකාලිකව උල්ලංඝණය නොකෙරෙන නීතියක් වන බවට වගබලාගත යුතුය. (මීට පෙරත් අප පෙන්වා දී ඇති පරිදි, (කෝවිඩ් වැනි) විශේෂිත සහ තාවකාලික කොන්දේසි හේතුකොටගෙන නිශ්චිත කාලයකට මූලික අයිතීන් සීමා කිරීමට සිදු විය හැකිය).    

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී ගෙනාවේ එක අවුරුද්දක් සඳහා පමණක් බලපැවැත්වෙන පරිදි ය. එහි අදහස වුණේ, එදා රට මුහුණදී සිටි ත්‍රස්ත තත්වයක් පාලනය කිරීම සඳහා පමණක් එවැනි පනතක අවශ්‍යතාවක් ඇති බව පිළිගැනීමත්, ඒ තත්වය අවසන් වූ පසු එවැනි පනතක අවශ්‍යතාව දුරු වන බව පිළිගැනීමත් ය. ඒ වන විට, කොටි සංවිධානය අංකුර මට්ටමේ පැවතුණි. යාපනේ නගරාධිපතිවරයා ඔවුන් අතින් ඝාතනය වී තිබුණි. වසරින් වසර, උතුරේ තර්ජනය තීව්‍ර වුණි. ඒ නිසා, අවුරුද්දක් සඳහා පමණක් පනවා ගත් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අවුරුදු පතා දිග්ගැස්සුණි. කෙසේ වෙතත්, 2009 දී ඒ කියන ත්‍රස්තවාදය අවසන් විය. එහෙත්, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අද දක්වාමත් මෙරටේ ක්‍රියාත්මක වෙමින් තිබේ. 

 

Liberty Leading the People


ත්‍රස්තවාදය යන වචනය මුලින්ම ප්‍රායෝගික අර්ථයකින් භාවිත වුණේ ප්‍රංශ විප්ලවය සමගිනි. එදා ත්‍රස්තවාදය සැලකුණේ, ආණ්ඩුව විසින් ක්‍රියාවේ යොදවන සහ ඒ නිසාම නීත්‍යානුකූල වූ සංසිද්ධියක් වශයෙනි. ‘භීම සමය’ වශයෙන් එය හැඳින්වුණි. විප්ලවකරුවන් විසින් පෙරළා දැමූ 16 වැනි ලුවී රජුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ප්‍රංශ විප්ලවයට නායකත්වය දුන් රොබෙස්පියර් සහ දාන්තේ වැනි මුල් පෙළේ නායකයන් පවා ගිලටීනයට යවා හිස ගසා දැමීමේ සිද්ධි දාමය මේ කියන ‘භීම සමයට’ අයත් වන අතර, පාලනාධිකාරය විසින් පවත්වාගෙන ගිය ඒ භීෂණය එදා නීත්‍යානුකූල සහ යුක්තිසහගත අවශ්‍යතාවක් වශයෙන් සැලකුණි. එහෙත්, ඉන්පසු ගත වූ සියවස් දෙකකට අධික කාලය තුළ, ත්‍රස්තවාදය යනු, ආණ්ඩුවක් විසින් ක්‍රියාවේ යොදවන්නක් නොව, ආණ්ඩුවකට හෝ ප්‍රජාවකට එරෙහිව වෙනත් පිරිස් විසින් ක්‍රියාවේ යොදවන දෙයක් වශයෙන් සැලකීමට ලෝකය පුරුදුව ඇත.

 

isippriya

ආණ්ඩු එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වූ බවට බරපතල චෝදනා තිබේ

 

ආණ්ඩුවක් වුව ත්‍රස්තවාදී විය හැකි බව මෙයින් බැහැර නොකෙරේ. 1987-90 කාලයේ ලංකාවේ දකුණේත්, 1983-2009 කාලයේ ලංකාවේ උතුරේත් ඇති වූ සිද්ධීන් ඉදිරියේ එවක ආණ්ඩු එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වූ බවට බරපතල චෝදනා තිබේ. වර්තමාන පුටින්ගේ ආණ්ඩුව යුක්රේනයේ මේ මොහොතේ කටයුතු කරන ආකාරය තවත් උදාහරණයකි. එහෙත් එවැනි තත්වයන් වර්තමාන ලෝකය හඳුනාගන්නේ වෙනම ප්‍රවර්ගයන් යටතේ ය. ‘යුද අපරාධ’ සහ ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ යනුවෙන් ඒවා හැඳින්වෙයි.

මේ නිසා, ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යනුවෙන් කියන විට අද අදහස් වන්නේ, ආණ්ඩුවකට හෝ යම් ස්ථාපිත සංස්ථාවකට හෝ පොදුවේ සමාජයට එරෙහිව පිටස්තරයන් දියත් කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් මිස ආණ්ඩුවක් විසින් මුදාහරින භීෂණ ක්‍රියාවන් නොවේ.


‘ප්‍රති-ත්‍රස්ත පනතක්ද’, ත්‍රස්තවාදී පනතක්ද?


ළඟදී ගෙන ඒමට නියමිත ‘ප්‍රති-ත්‍රස්ත පනතේ’ අඩංගු කරුණු ගැන මේ පත්තරේ වෙනත් තැනක සඳහන් වනු ඇත. එහෙත් කොපමණ කීවත් නොසෑහෙන නිසාම නැවත නැවතත් කිව යුතුව ඇති, සිදුවීමට ඉඩ ඇති භයානක අනතුරක බරපතළ අවදානම, තව තවත් ඒ ගැන කතා කිරීමට අපට බල කරයි.

 

ප්‍රති ත්‍රස්ත බිය සහ ඉඳුරුවේ ආචාරියා - (මහිම සුජීව ගමගේ)



මේ කියන ‘ප්‍රති-ත්‍රස්ත පනත’ ඒ තරමට බියකරුයි. ඇත්තෙන්ම එය අප හඳුනාගත යුත්තේ ‘ප්‍රති-ත්‍රස්ත පනතක්’ වශයෙන් නොව, ‘ත්‍රස්තවාදී පනතක්’ වශයෙනි. ආණ්ඩුවක් විසින් රටේ මිනිසුන් බයට පත්කරවන පනතක් වශයෙනි. ඒ මගින්, පාලකයාගේ බල අවශ්‍යතාවන් සඳහා මිනිසුන් හීලෑ කරගැනීමට බලන පනතක් වශයෙනි. වර්තමාන ආණ්ඩුවේ සිටින අයවළුන් පවා මතු දවසක මේ පනතේ වින්දිතයන් විය හැකි බව ඔවුන් තේරුම්ගත යුතුව ඇත. මන්ද යත්, අද ආණ්ඩුවේ සිටින ඔවුන් හෙට විපක්ෂයේ සිටිය හැකි බැවිනි.

 

ICCPR 696x398

කාටුනය - අවන්ත ආටිගල

 

අප වනාහී, යහපත් පනත් පවා අවභාවිත කිරීමේ අත්දැකීම් ඇති ජාතියකි. ‘සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ (අයි.සී.සී.පී.ආර්.) හොඳම උදාහරණයයි. මෙය, ලෝකයා පිළිගත් ඉතා දියුණු සම්මුතියකි. එහි අරමුණ, පුද්ගලයාගේ සිවිල් සහ දේශපාලන අයිතීන් ආරක්ෂා කර දීමයි. ඒ යටතේ, ‘ප්‍රචණ්ඩත්වය උසිගැන්විය හැකි ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වැපිරීම’ අවුරුදු දහයක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. මේ වරද (දිගන සහ අලුත්ගම වැනි) නොයෙක් තැන්වල මහ දවල් දියත් කළ ගලගොඩඅත්තේ ඥානසාර කිසි දවසක මේ පනතේ විධිවිධාන යටතේ දඬුවම් ලබා නැත. එහෙත් තරුණ සාහිත්‍යකරුවෙකු වන ශක්තික සත්කුමාර ඔහුගේ “අර්ධ” නමැති කෘතියේ සඳහන් යම් කාරණයක් මගින් “වෛරය වැපිරීමක්” සිදු කොට ඇති බවට භික්ෂුවක් පොලීසියට කළ පැමිණිල්ලක් ප්‍රකාරව මාස හතරකටත් වැඩි කාලයක්, මේ පනත යටතේ ඔහු හිරභාරයේ තබා ගැනුණි. අවසානයේ 2021 පෙබරවාරියේ අධිකරණයෙන් ඔහු නිදහස් කෙරුණේ, ඊට දින කිහිපයකට ඔබ්බෙන් පැමිණීමට නියමිත ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ’ සැසිවාරයට මුහුණදීම සඳහා ආණ්ඩුව පැත්තෙන් යොදාගත හැකි සාධනීය සාක්ෂියක් සපයාගැනීම වෙනුවෙනි. එවැනි යහපත් පනතක් පවා එසේ අවභාවියට ගත් අපේ පාලකයන්, මෙවැනි අත්‍යන්තයෙන්ම මර්දනකාරී පනතක් මොන තරම් අවභාවිතයට ගැනෙනු ඇත්දැයි සිතාගැනීම අසීරු නැත.

 

asww

ඊ. තිරුවරුල්, එම්. සුලක්ෂන් සහ කේ. දර්ශන් 

 

දැනට භාවිතයේ තිබෙන එකී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන්’ ත්‍රස්තවාදය වැළැකී තිබේද? 1979 සිට ගත වූ කාලය තුළ එවැන්නකට සාක්ෂි සොයාගැනීමට නැත. 1987-1990 කාලය සහ 1983-2009 කාලය ත්‍රස්තවාදී වකවානු වශයෙන් ගත්තොත්, ඒ යුගයන් නිමා කෙරුණේ නග්න හමුදා බලයෙන් මිස මෙවැනි නීති මගින් නොවේ. එහෙත්, ආණ්ඩුවේ මර්දනකාරී ව්‍යාපෘති සහ මූලික මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා නම් මෙවැනි නීති භාවිත වී ඇති බව ඉතා පැහැදිලියි. ඊ. තිරුවරුල්, එම්. සුලක්ෂන් සහ කේ. දර්ශන් මෙකී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ 2009 මැයි මාසයේදී හිරභාරයට ගැනුණි. එදා සිට පසුගිය 03 වැනිදා දක්වා, එනම් අවුරුදු 14 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මේ දෙමළ සිරුකරුවන් තිදෙනා ගිය සතියේ වව්නියාව මහාධිකරණයෙන් නොදොස්කොට නිදහස් කෙරුණි. ඔවුන්ට එරෙහිව නඟා තිබූ කිසි චෝදනාවක් සනාථ කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බැවිනි.

 

වැරදිකරුවන්, තාක්ෂණික දෝෂ නිසා නිදහස් වන බවත්, නිර්දෝෂී පුද්ගලයෙකුට පවා තමන් අහිංසක බව ඔප්පු කිරීමට අපේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය තුළ දීර්ඝ කාලයක් ගත වන බවත් ඇත්ත. එහෙත්, මෙවැනි විශේෂිත නීති මගින්, රක්ෂිත බන්ධනාගාරයේ තබාගත හැකි කාලය තවත් දීර්ඝ කරගැනීමේ බලය ආණ්ඩුවකට ලැබෙන්නේය. ආණ්ඩුවේ හිතුමතේට මිනිසුන් අත්අඩංගුවට ගැනීමට අයිතිය පැවරෙන්නේය. මෙවැනි පනත්වල ඇති ‘ත්‍රස්තවාදය’ පිළිබඳ නිර්වචනයේ පෘථුල භාවය නිසා, ඕනෑම ක්‍රියාවක් හෝ නොකර හැරීමක් ත්‍රස්තවාදය ඇතුළට එබ්බවිය හැකි වන්නේය.

 

ගෙන ඒමට නියමිත ‘ප්‍රති-ත්‍රස්ත’ පනත යටතේ, රැස්වීමකට සහභාගී වීම, යම් අදහසක් ප්‍රකාශයට පත්කිරීම, වැඩවර්ජනයක නිරත වීම, පෙළපාලි යාම සහ මෙවැනි ලිපියක් ලිවීම ආදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පිළිගත් අති-මූලික අයිතීන් පවා, ත්‍රස්තවාදී ක්‍රියා වශයෙන් අධිකරණයක් ඉදිරියේ ගෙනහැරපෑමට හැකි වන්නේය. කොටින්ම, ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන්නේ කුමක්දැයි ආණ්ඩුවෙන් අප ඇසිය යුතු තත්වයක් මේ කියන පනත මගින් ඇති කෙරේ. මෙවැනි නීතියක් හරියටම මීට අවුරුද්දකට කලින් (2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරියේ උද්ඝෝෂණය පැවති දවසේ) ක්‍රියාවේ යෙදැවිණි නම්, රනිල් වික්‍රමසිංහ පවා අද නිකම්ම මන්ත්‍රීවරයෙකු මිස රටේ ජනාධිපතිවරයා නොවන බව අපි දනිමු.

 




ත්‍රස්තවාදයක් නැති රටක,
වළක්වන ත්‍රස්තවාදය කුමක්ද?


2009 දී ප්‍රභාකරන්ගේ පරාජයත් සමග ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවේ යැයි තවමත් කියනු ලැබේ. එසේ තිබියදී, වැළැක්විය යුතුව ඇති ත්‍රස්තවාදයක් ගැන තවමත් අප කතා කරන්නේ කෙසේද යන්න ප්‍රහේලිකාවකි. ඇත්ත වශයෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක්වත්, ප්‍රති-ත්‍රස්ත පනතක්වත් වර්තමාන ලංකාවට අවශ්‍ය නොකෙරේ. ත්‍රස්තවාදයක් පිළිබඳ ඈතින්වත් සංඥාවක් නැති බැවිනි. පාස්කු ප්‍රහාරය වැනි හදිසි ත්‍රස්තවාදයක් ඕනෑම වෙලාවක හිස එසැවීමේ ඉඩක් ඇතැයි කෙනෙකුට අවශ්‍ය නම් තර්ක කළ හැකිය. එහෙත්, පාස්කු ප්‍රහාරය යනු, පවතින සාමාන්‍ය අපරාධ නීතිය පවා, පටු දේශපාලන අවශ්‍යතා පෙරදැරිව සහරාන්ලා සහ ගලගොඩඅත්තේ ඥානසාරලා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොකර සිටීමේ දීර්ඝ කාලයක අවසන් ප්‍රතිඵලය වී යැයි අප තේරුම්ගත් විට, එම පාස්කු ප්‍රහාරයත් හදිසියේ අහසින් පාත් වූ ත්‍රස්තවාදයක් නොවන බව අපට පෙනී යනු ඇත. ඕනෑම හිංසනයක චූදිතයන් නීතිය ඉදිරියට පැමිණවීමේ වෙනත් අණපනත් අවශ්‍ය තරම් අප රටේ තිබේ. එවැනි නීතිවලට උඩින් මෙවැනි ‘ප්‍රති-ත්‍රස්ත පනත්’ ගෙන එන්නේ, ඇත්තෙන්ම පාලකයන්ගේ බලකාමී වෙනත් අභිමතාර්ථ පෙරදැරිව ය.



ලංකාවේ දේශපාලනය තුළ හොඳ නමකට හිමිකම් නැති විජයදාස රාජපක්ෂ ලෝකයේ වෙනත් තැන්වලත් ප්‍රති-ත්‍රස්ත අණපනත් ඇති බව කියයි. මෙය, ඔහු විසින් අපට අමුතුවෙන් කියා දිය යුතු පාඩමක් යැයි ඔහුගේ ‘ප්‍රාඥ’ මොළයට සිතෙනවා ඇති. එහෙත්, ඔහු සඳහන් කරන ඕනෑම දියුණු රටකින් (ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව සහ එක්සත් රාජධානිය) මෙවැනි මර්දනීය කරුණු අඩංගු පනතක් පෙන්වා දෙන ලෙස ඔහුට කිව යුතුව තිබේ.

 



ත්‍රස්තවාදය කියා දෙයක් ලෝකයේ පවතින බවත්, ඒ ත්‍රස්තවාදයෙන් ජනතාව ආරක්ෂා කරගත යුතු බවත් කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඉහත කී රටවලත් ත්‍රස්ත-විරෝධී අණපනත් පනවාගෙන ඇත්තේ එබැවිනි. ඒ කිසිවක්, ප්‍රජාතන්ත්‍රවාදී මායිමෙන් එහාට නොයයි. එසේ ගියත්, එම තත්වය වෙනත් අදියරකදී පාලනයට ලක්කෙරෙන ශක්තිමත් සහ දියුණු ආයතනික පද්ධතියක් එම රටවල තිබේ. ත්‍රස්තවාදය යනුවෙන් අදහස් කරන දෙය පිළිබඳ අනවශ්‍ය අන්දමේ පුළුල් අර්ථකථනවලට, එනම් පාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් අර්ථනිරූපණය කිරීමට ඉඩ තැබුවොත්, ඕනෑම මහජන විරෝධයක් හෝ විරෝධාකල්පයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් වශයෙන් නිර්වචනය කිරීමට හැකි වීම මේ පනතේ ඇති භයානක ස්වභාවයයි.  

රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික සංවර්ධනය ගැන නිතර කතා කරයි. ගිය සතියේ ඔහු කියා සිටියේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයෙන් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය වෙන් කළ නොහැකි බවයි. එය ඇත්තයි. සත්තයි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් නොදී ආර්ථික සංවර්ධනයේ මාවතක් ගැන සිතීම මායාවකි. එහෙත් ඒ හා සමානම ඇත්තක් තවත් පැත්තක තිබේ. එනම්, රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයත් වෙන් කළ නොහැකි බවයි. එම කාරණයේදී ඔහු ක්‍රියා කරන්නේ, ඉහතින් කී ආකාරයට සපුරා පරස්පරවයි. ගෙන ඒමට යන ‘ප්‍රති-ත්‍රස්ත පනත’ ඊට නිදසුනකි.



මේ ආකාරයට, දෙවිදිහක නිර්ණායක එකම තලයක පාවිච්චියට ගැනීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් විය හැකිද? ප්‍රජාතන්ත්‍රවාදය අරභයා මේ මොහොතේ ඔහු දක්වන අවඥාවට වෙනස් අමුතු දයාවක් ජනවාර්ගික ප්‍රශ්නය වෙනුවෙන් ඔහුට තිබිය නොහැක. එසේ නම් ඒ ගැන ඔහු මෙතරම් කතා කරන්නේ ඇයි? ලබන ආත්මයේ ඉටු කර දෙන පොරොන්දුවක් වෙනුවෙන් මේ ආත්මයේදී පරිත්‍යාගශීලිව කතා කිරීම, (බෞද්ධ, කිතුණු, හින්දු, ඉස්ලාම් ආදී) ඕනෑම ධර්ම දේශකයෙකුට ඉබේ ලැබන වරයකි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයට වැඩි බුරුලක් දුන්නොත්, මේ ආත්මයේදීම පඩිසන් දිය හැකිය. ‘ප්‍රති-ත්‍රස්ත පනත’ එන්නේ එතැනිනි.


GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

 

 

 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...