The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

'ගඟබඩ ය මේ උයන' සොඳුරු දසුනකි ය එය...- (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

April 9, 2023 • 8:59 AM

'ගඟබඩ ය මේ උයන' සොඳුරු දසුනකි ය එය...- (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන් ම අදාළ කවි වර්ගයේ ඉතිහාසය ද ඉතා ඈතට දිව යන්නකි.
  • සිංහල ජන කවි මෙන් ම ‘‘ඉන්දියානු ජන කවි’’ යනුවෙන් කවි වර්ගයක් ද අපි අසා ඇත.
  • මතු දැක්වූ ආකාරයට ‘‘ජන කවි’’ ආසියාතික කලාපයේ මෙන් ම යුරෝපිය කලාපය ඇතුළු විවිධ රටවල පැවතිය ද ‘‘හයිකු’’ යනු ජපානයට පමණක් ම ආවේණික කාව්‍ය ශෛලියකි.
  • එම කාව්‍ය ආර පිළිබඳ මේ වන විට බොහෝ කවි කිවිඳියෝ මෙන් ම පාඨක ප්‍රජාව ද විවිධ ලිපි ලේඛන ලියා ඇති බැවින් ඒ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කිරීම නිෂ්ඵල යැයි මට හැඟේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එමෙන් ම අදාළ කවි වර්ගයේ ඉතිහාසය ද ඉතා ඈතට දිව යන්නකි. සිංහල ජන කවි මෙන් ම ‘‘ඉන්දියානු ජන කවි’’ යනුවෙන් කවි වර්ගයක් ද අපි අසා ඇත. එමතු නොව රුසියානු ‘‘ජන කවි’’ යනුවෙන් කවි වර්ගයක් ද පවතී.

මතු දැක්වූ ආකාරයට ‘‘ජන කවි’’ ආසියාතික කලාපයේ මෙන් ම යුරෝපිය කලාපය ඇතුළු විවිධ රටවල පැවතිය ද ‘‘හයිකු’’ යනු ජපානයට පමණක් ම ආවේණික කාව්‍ය ශෛලියකි. එම කාව්‍ය ආර පිළිබඳ මේ වන විට බොහෝ කවි කිවිඳියෝ මෙන් ම පාඨක ප්‍රජාව ද විවිධ ලිපි ලේඛන ලියා ඇති බැවින් ඒ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කිරීම නිෂ්ඵල යැයි මට හැඟේ.

 

fb20130714a4a

තත්ත්වය එසේ වුව ද මෑතක සිට ලාංකීය සිංහල කවි කිවිඳියෝ කිහිප පළක් ම තම නිර්මාණ ‘‘හයිකු’’ ලෙස හඳුන්වන්නට යත්න දරන බවක් දක්නට ලැබේ. යට සඳහන් කළ ආකාරයට ‘‘හයිකු’’ යනු ජපානයට ම ආවේණික කාව්‍ය වර්ගයකි. මන්ද ඒ කවි කිවිඳියෝ ‘‘හයිකු’’ රචනයේ දී කවියේ කාව්‍යාත්මක ලක්ෂණ පමණක් රැක ගැනීමෙන් ඔබ්බට ගොස් ඒ රටේ ඍතු පිළිබඳව ද අවධානය යොමු කර ඇත; එය කවියේ අනුභූතියට උචිත පරිදි යොදා ඇත. ‘‘හයිකු’’ කවියේ පවතින විශේෂත්ව අතර මෙම ලක්ෂණය සුවිශේෂී ය. මේ ඊට එක් උදාහරණයකි.

 

‘‘ඉංග්‍රිසි කවියේ පුරෝගාමියෙකු වන සර් පිලිප් සිඩ්නි (1554 - 1586) කවියේ උපාංග තුනක් ගැන සඳහන් කරයි. ඉන් පළමු වැන්න ආගමික කවියයි. දෙවැන්න දාර්ශනික කවිය හා චරිත ශෝධනය මුල් කරගත් කවියයි. ඔහුගේ අදහස අනුව සැබෑ කවිය වන්නේ තෙවැන්නයි. එනම් ජීවිතය, සොබා සත්තාව පිළිබඳ පරිකල්පනය පදනම් කරගත් විවරණයයි’’

- කෙටි කවි ලකුණ: අපරැක්කේ සුදම්ම හිමි: පිටුව 311: සන්ථව ප්‍රකාශන 2019

මෙම අදහසට අනුව ජපන් හයිකු යනු ජීවිතය, සොබා සත්තාව පිළිබඳ පරිකල්පනය පදනම් කරගත් විවරණයකි.

ලෝකයේ පවතින අනෙකුත් කිසිම කාව්‍ය ආරක් මෙම ලක්ෂණ පිළිබිඹු නොකරන බව මෙයින් ගම්‍ය නොකෙරේ. නමුදු මෙකී ලක්ෂණය ඉතා බහුල ලෙස අන්තර්ගතවන්නේ ජපන් හයිකු කවියේ බව අවිවාදිත ය. එය එතරම් ම සොබාව සෞන්දර්ය ප්‍රකට කරයි.

මගේ පුද්ගලික කියවීමට අනුව නම් හයිකු අනුසාරයෙන් ලියා ඇති කවි ‘‘සිංහල හයිකු’’ හෝ ‘‘ලංකා හයිකු’’ ලෙස හැඳින්වීම තරම් නොවේ. නමුත් ‘‘සිංහල කෙටි කවි’’ යන ප්‍රවර්ගයට මෙම කවි ඇතුළත් කිරීම වරදක් ලෙස මම නොදකිමි. මෙය අපරැක්කේ සුදම්ම හිමි ද ප්‍රත්‍යක්ෂ කර ඇත.

Keti Kavi Lakuna Aparakk Siri Sudamma Himi 228x228‘‘ලෝක කෙටි කාව්‍ය සම්ප්‍රදායේ හමුවන එක් කාව්‍ය ශානරයක් ලෙස හයිකු කවිය හැඳින්විය හැකිය. හයිකු කවිය ලෝකයට විවර වීමත් සමග ලෝකවාසීන් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට ආසක්ත වූ අතර හයිකු ස්වරුපයේ කවි (Haiku like poem) ලිවීමට පෙලඹුණි. එහිදී ඓතිහාසික වශයෙන් හයිකු කවියට සමගාමීව ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාශ්මිරය හා චීනය වැනි රටවලද කෙටි කාව්‍ය සම්ප්‍රදායන් විවිධ ස්වරුපයෙන් පැවති බව හයිකු කවිය ලාංකේය සමාජයේ ප්‍රචලිත වීමත් සමග වර්තමානයේ සිංහල බසින් ලියවෙන කෙටි කවි සඳහා විවිධ නම් වියත්හු භාවිත කළහ. හයිකු සාම්‍ය කවි, සංක්ෂිප්ත කවි, සැකෙවි කවි, සාර සංක්ෂිප්ත කවි හා කෙටි කවි යනු ඒ අතර ප්‍රසිද්ධ යෙදුම් ය. මෙම සියලු නාමකරණයන්ගෙන් රසිකයා බලාපොරොත්තු වී ඇත්තේ ආකෘතිකමය වශයෙන් කුඩා එහෙත් කවිතාවෙන්, අර්ථයෙන් සෞන්දර්යයෙන් මහර්ඝත්වයට හා පුර්ණත්වයට පත් හයිකුමය කවි ක්‍රමයක් පිළිබඳ පැවසීමටය. ඒ සඳහා වඩාත් යෝග්‍යතර යෙදුම කෙටි කවිය බව අපගේ මතයයි.’’

එම: පිටු 311 සහ 312

මතු දැක්වෙන්නේ, අපරැක්කේ සුදම්ම හිමිගේ මතයේ එල්බ සිට ම වැලිගම එන්. ඩබ්. පී. ලාල් කවියා විසින් රචිත ‘‘ගගබඩ ය මේ උයන’’ කාව්‍ය සංග්‍රහයේ එන මගේ රස වින්දන පරාසය පුළුල් කළ කවි කිහිපයක් පිළිබඳ මගේ කියවීම ය.

Gagabada

වැටුණ පසුත්
ගහ දිහා ම බලා
ගෙන
මල්

මෙම නිර්මාණයෙන් ගම්‍ය කෙරෙන්නේ යමක් හෝ යම් පුද්ගලයෙක් අත්හැරීමට අප තුළ පවත්නා නොකැමැත්ත ය යන්න මගේ කියවීම ය. එය පෘතග්ජන පුද්ගලයන් කෙරෙහි මතු නොව වර්තමානයේ වෙසෙන බහුතර පූජ්‍ය පක්ෂය තුළ ද පවත්නා ගති සොබාවකි. එකෙී ගති සොබාව වදන් අටකින් පැවසීම කවිතාවක් ම ය.

කවියේ අර්ථවත් භාවය පිළිබඳ තුටු පහටු වන අතර ම කවිය ඉදිරිපත් කර (ලියා) ඇති ආකාරය පිළිබඳ යම් ගැටලුවක් පවතී. එනම්,

ගහ දිහා ම බලා
ගෙන
මල්

යනුවෙන් ලියුවේ මන්ද යන්න ය. මෙම කවිය පේළි හතරකට ව්‍යවච්ඡේදනය කිරීම ගැටලුවකි. මෙම නිර්මාණය එසේ ව්‍යවච්ඡේදනය නොකළ ද,

ගහ දිහා ම
බලා ගෙන
මල්

ලෙස යෙදුනේ නම් එහි කාව්‍යාත්මක ගුණය මෙන් ම දෘශ්‍යමය ගුණය ද රැකෙනු ඇතැයි යන්න මගේ හැඟීම ය.

මෙන්න ඒ සුළග ම
ආයෙමත්
පරණ සුවඳ ම අරන්

 

මෙම නිර්මාණය ද වදන් දහයකින් සමන්විත වුව ද වදන් දහසකින් ඉදිරිපත් කළ හැකි අනුභූතියකි. සිතන්න... ඔබ කලකට පෙර පෙම් කළ පෙම්වතා හෝ පෙම්වතිය, එසේත් නොමැති නම් ඔබ ආදරය බලාපොරොත්තුවෙන් සිටි ගැහැනිය හෝ පුරුෂයා නොසිතු මොහොතක, නොසිතු ස්ථානයක දී අහම්බෙන් මුණ ගැසුණ හොත් ඔබට දැනෙන හැඟීම. මෙම නිර්මාණය පුරාම අන්තර්ගතව පවතින්නේ ඒ අරුමැසි හැඟීම නොවන්නේ ද...? ඉදින් ඒ හැඟීම දැනෙන සැමට එය මේ ආකාරයට වදන්වලට පෙරළිය හැකි ද...? නොහැකි ය... එය කළ හැකි වන්නේ කවිතාව සතු පුද්ගලයෙකුට පමණි.

 

රළු ය මුහුද ද
සැඩය සුළග ද
ඔරුව මුහුදට
නොදම කොහොමද ?

මෙම නිර්මාණය දෙආකාරයකට කියවිය හැකි ය. එනම් මුහුද කෙතරම් රළු වුව ද, සුළඟ කෙතරම් චණ්ඩ වුව ද මසුන් මරන්නාට සිය ජීවිකාව රැක ගැනීමට නම් ඔරුව දියඹට දියත් කළ යුතු ම ය. තවත් ආකාරයකට කියවන්නේ නම් ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ ලිංගික හැඟිම් උද්දීපනය වු විට කාම සම්භෝගයේ යෙදිය යුතු ම ය. මුහුදෙහි රළු භාවය පහව යන්නේ ද සුළගේ චණ්ඩ භාවය චංචල වන්නේ ද දෙදෙනා ලිංගිකව එක්ව සුරතාන්තයට පත්වීමෙන් පසුව ය. මෙහි මුහුද සහ සුළඟ යනු ස්ත්‍රියක සහ පුරුෂයකු ලිංගිකත්වයෙන් පිබිදීම ය. ඔරුව සහ මුහුද යනු ස්ත්‍රි පුරුෂ ලිංගික සංකේත ය. ඉදින් ඔරුව මුහුදට නොදමා කෙසේ සැනහෙන්න ද...?

සිතලෙන්
ගුලි වී
ලිප්ගල්

මෙම නිර්මාණය ද වදන් දහසකින් වුව ද පැවසිය හැකි සංකීර්ණ ගැටලුවක් කියා පාන්නකි. ලිප් ගල් තුනක් සීතල වන්නට නම් අවම වශයෙන් සුවිසි හෝරාවක් හෝ ලිප ගිනි නොමෙළවා වී තිබිය යුතු ය. එය ආකාර කිහිපයකට සිදුවිය හැකි ය. එනම් අදාළ නිවසේ නිවැසියෝ නිවසේ නොමැති බැවින් විය හැකි ය. එසේත් නොමැති නම් කුටුම්බයේ පවත්නා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලිප ගිනි නොමෙළවීම ය. කාව්‍ය රස විඳින්නෙකු ලෙස මා මෙය කියවා ගන්නේ දෙවන අනුභූතියෙහි පිහිටා ය. තවකෙකුට එය පළමු අනුභූතියෙහි පිහිටා වුව ද විඳිය හැකි ය.

ආ නොහැකි මුත්
දොර ඇර තබමි

ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ මෙබඳු පුද්ගලයෙකු සැඟව සිටී. එනම් හිමි කරගැනීමට නොහැකි වූ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක්, අත් හළ නොහැකි එහෙත් අහම්බයකින් හෝ අත් හැරුණ මිතුරෙක් හෝ මිතුරියක්, නොකියා ම සැඟව ගිය හෝ අතුරුදන් වූ සොහොයුරෙක් හෝ සොයුරියක් යනාදි ඕනෑම පුද්ගලයෙක් යළි නොඑන බව වඩ වඩාත් තහවුරු වෙමින් තිබිය දී වුව ද ඔහු හෝ ඇය වෙනුවෙන් දොරගුළු විවර කර, ඔහු හෝ ඇය කෙදිනක හෝ තමා අබියසට පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටින දනෝ කොපමණ වෙත් ද...? මේ එවන් දන පිළිබඳ අපූරු ඉඟි කිරීමක් නොවන්නේ ද...?

චීවරය තුළ
කිසිවකු සිටී
පිටතට යමින්
යළි යළි
ඇතුළු වන

 

මෙය ඉතා ප්‍රබල අනුභූතියකි. වර්තමානයේ මෙබඳු චරිත සුලබ ය. චීවරය පොරවාගෙන සිටින බහුතරයක් චීවරධාරින්ගේ ඇතුළත සිටින්නේ පෘතග්ජන මිනිස් ප්‍රාණයකි. එම පෘතග්ජන මිනිස් ප්‍රාණය නිරන්තරයෙන් ම චීවරය තුළට රිංගයි. යළි බාහිරට පැමිණේ; පැමිණ පාඩුවේ ආපසු චීවරය තුළට රිංගනවා නම් කම් නැත. ඇතැම් චීවරධාරියෝ යළි චීවරයට රිගන්නේ රටටත්, රටේ ජනතාවටත් මහා ව්‍යසන අත්පත් කර දෙමිනි. පසුගිය වකවානුවේ එවන් චීවරධාරීහු අපට අනන්තවත් මුණ ගැසිණ; එබඳු චිවරධාරීහු කළ ඇතැම් විනාශකාරි කටයුතු හේතුවෙන් සමස්ත රට ම බරපතළ අර්බුදයකට ලක් විය. මේ දිනවල එබඳු චිවරධාරීහු නිහඬ ව්‍රතයක ගිලි සිටිය ද කුමන හෝ මොහොතක ඔවුන් යළි චීවරයෙන් පිටතට පැමිණිය හැකි ය. එබැවින් ජනතාව අවදියෙන් කල් ගෙවිය යුතු ය.

 

මොන තරම්
බර ද
මේ
වෙස් මුහුණු

මෙබඳු ම නිර්මාණයක් ආරියවංශ රණවීර කවියාගේ පළමු කාව්‍ය සංග්‍රහය වන කවි කිහිපයක් කෘතියේ ද අන්තර්ගත ය. එය නම් කර ඇත්තේ ‘‘නිතර සිනාසෙන යුවතියකට’’ යන මැයෙනි. මතු දැක්වෙන්නේ එම කාව්‍ය නිරමාණය යි.

බර නැද්ද
ඔබට
ඔය
වෙස් මුහුණ

කවි කිහිපයක්: ආරියවංශ රණවීර: 1984: කර්තෘ ප්‍රකාශන: ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුගහයෙන් මුද්‍රාපිත

 

144804766 241331490812915 6579271444954165675 n

වැලිගම එන්. ඩබ්. පී. ලාල්


වෙනසකට පවතින්නේ රණවීර කවියා නිශ්චිත පුද්ගලයෙක් (කාන්තාවක්) ඉලක්ක කර තම නිර්මාණය ඉදිරිපත් කර තිබීම ය. ලාල් කවියා එය පොදු සිද්ධියක් ලෙස ඉදිරිපත් කරයි. කෙසේ වතුදු මෙම නිර්මාණ ද්විත්ය ම අගනා යටි පෙළ අරුතක් මතු කරයි.

එකම උයනෙ
වෙනස් වෙනස් මල්
කිසිම වෙනසක්
නැතුව

සාහිත්‍යකරණයේ දී ‘මල’ සංකේතයක් හෝ රූපකයක් ලෙස භාවිත කෙරෙන්නේ කාන්තාව හැඳින්වීම සඳහා ය. කවියා ද සංකේතවත් කරන්නේ එය ම ය යන්න මගේ හැඟීම ය. එවිට කවියා වදන් අටක් භාවිත කරමින් පවසන්නේ කෙතරම් බර සාර අදහසක් ද යන්න කවි රස හඳුනන පාඨක ප්‍රජාවට වටහා ගැනීම අසීරු නොවෙනු ඇතැයි යන්න මගේ විශ්වාසය යි.

සඳ එළිය හැඩ
බලයි
කළුවරේ

ඕනෑම සිද්ධියක පාර්ශ්ව ද්විත්වයක් හෝ ඊට වඩා පැවතිය හැකි ය. එය සාපේක්ෂතාව යනුවෙන් ද නම් කළ හැකි ය. ඊට හොඳ දේශපාලනික උදාහරණය නම් මහින්ද රාජපක්ෂ සාධකය, ප්‍රභාකරන් සාධකය සහ රනිල් වික්‍රමසිංහ නමැති සාධක ත්‍රිත්වය යි. මේ සාධක ත්‍රිත්වය ලංකාවේ සියලු පුරවැසියන්ට බලපාන්නේ ද්විත්වාකාරයෙනි.

සාමාන්‍ය පුද්ගලයකුට වඩා කවියා වෙනස් වන්නේ ද මේ අනෙක් පාර්ශ්වය කෙරෙහි ඔහුගේ හෝ ඇගේ බැල්ම දක්වන ආකාරයෙනි. මෙම නිර්මාණය ද එවැන්නකි. සමස්ත ලෝකය ම පාහේ සඳේ හැඩ බලනවා මිස සඳ කුමක් හෝ වස්තුවක හැඩ බලනවා ද යන්න නිරික්ෂණය කර නැත. එහෙත් ලාල් කවියා එය නිරික්ෂණය කර ඇත. මෙම නිර්මාණයේ අන්තර්ගත වන්නේ කවියාගේ නිරික්ෂණය යි. එය ද සුවිසෙස් කවිතාවකි.

මෙම නිර්මාණයේ ද රසවත්භාවය මෙන් ම දුර්වලතාවක් ද පවතී. ඒ කවිය ඉදිරිපත් කර (ලියා) ඇති ආකාරයේ ය. මගේ කියවීමට අනුව නම් මෙය,

සඳ එළිය හැඩ
බලයි
කළුවරේ

ලෙස නොව,

සඳ එළිය
හැඩ බලයි
කළුවරේ

ලෙස ලියවුනේ නම් එහි දෘශ්‍යමය ගුණය ද වඩාත් ඔප් නැංවෙනු ඇත යන්න මගේ හැඟීම ය. කවියාට රිසි පරිදි ලිවීමේ අයිතිය ඔහු සතු ය. මා පවසන්නේ මගේ වින්දන පරාසයට ගෝචර වන ආකාරය යි.

ගස බිම හෙලන තෙක්
නොදුටිමි
මේසා
කොළ පල

අපි බහුතරයකට කිසියම් පුද්ගලයෙකුගේ වටිනාකම වැටහෙන්නේ අදාළ පුද්ගලයා නොමැති ස්ථානයේ ය; නොමැති මොහොතේ ය; ඔහු හෝ ඇය මෙලොව හැර යාමෙන් ඉක්බිතිව ය. යට දැක්වෙන කාව්‍ය නිර්මාණයෙන් විද්‍යමාන කෙරෙන්නේ මෙකී යථාර්ථය යි. එය සමස්ත මිනිස් ප්‍රජාව කෙරෙහි ම බලපවත්නා පොදු සාධකයකි; එය මෙතරම් සංක්සිප්තව කවියට නැගීම යනු කවිතාව යි.

සුළඟේ
නැළවෙනවා
ගින්දරත්

 

බොහෝ අවස්ථාවල දී නපුර අප අතරට කඩාවදින්නේ නපුරු විලාසයෙන් ම වුව ද ඇතැම් අවස්ථාවල දී එය කඩාවදින්නේ ඉතා සුන්දර විලාසයෙනි; මිහිරි විලාසයෙනි; රමණීය විලාසයෙනි; සිත්කලු හෝ කන්කලු විලාසයෙනි. එහෙත් පැමිණෙන්නේ නපුර ම ය.

 

ගින්දර යනු ද අත්‍යවශ්‍යම දෙයක් වුව ද එය නපුරුම ආකාරයෙන් මිනිස් ජීවිත වෙළාගන්නා වාර අනන්තය; අප්‍රමාණ ය. ඒ ගින්දර වුව ද එක්තරා මොහොතක කෙතරම් චමත්කාර ජනක ද යන්න කවියා තෙවදනකින් පවසන ආකාරය කෙතරම් නම් අපුරු ද...!

 

අන්න
කළුවර එළා
ගෙන
ඇල වෙයි සඳ

මෙම නිර්මාණය ද මනස්කාන්ත චිත්ත රුපයක් මවන නිර්මාණයකි. එනම් සඳ බැසයන මොහොතක පරිසරයේ දක්නට ලැබෙන සොබා සොඳුරු බව කදිමට විදාරණය කරන්නකි. එහෙත් මෙම නිර්මාණය ද ඉදිරිපත් කර (ලියා) ඇති ආකාරය අනුව එකී චිත්ත රුපාවලිය මනසේ සිතුවම් කරගන්නට බාධා පමුණුවන බව මගේ හැඟීම ය.

මෙය මෙලෙස නොලියා,

අන්න...
කළුවර එළා ගෙන
ඇල වෙයි
සඳ

ලෙස ලියවුනේ නම් දෘශ්‍ය ගෝචර භාවය ද වඩ වඩාත් ඔප්නැංවී පාඨක මනසේ චිත්ත රූප මැවීම වඩාත් පහසු කරවනු ඇති ය යන්න මගේ හැඟීම ය.

මා මේ ඉදිරිපත් කළේ මගේ වින්දන පරාසය අවදි කළ, පුළුල් කළ කාව්‍ය නිර්මාණ කිහිපයක් පමණි. තවත් පාඨක පාඨකාවකට මෙම නිර්මාණ එතරම් ගෝචර නොවන්නට ඉඩ කඩ පවතී. එය එකිනෙකාගේ කාව්‍ය රසවින්දන පරාසය අනුව සිදුවන්කි. කෙසේ වුව ද ‘‘හයිකු’’ යන වටිනා වදනට මුවා නොවී කෙටි කවි ලෙස රසවිඳිය හැකි ඉතා අගනා කාව්‍ය සංග්‍රහයක් ලෙස ‘‘ගඟබඩ ය මේ උයන’’ කාව්‍ය සංග්‍රහය හැඳින්විය හැකි ය; එසේ හැඳීන්වීමට සුදුසු ය.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/04/09





JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...