The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : රජේ සේවය පිණිසයි ! - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

April 9, 2023 • 9:22 AM

මානීගේ තීරුව : රජේ සේවය පිණිසයි ! - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල අවුරුදු නිවාඩු නිසා දවස් කීපයක් තුළ තීරු දෙකක්ම ලියන්න යැයි පත්තරේ කර්තෘ ඒ වන විටත් කියා තිබුණේය.
  • ඒ නිසා ඉන් ගොඩ ඒමට සම්‍යක් ප්‍රයෝගයක් කරමින් මෙවර මානිගෙ තීරුව හැටියට මගේ කල්‍යාණ මිත්‍රයාගේ ලිපිය පළකරන බව කරුණාවෙන් සලකන්න.
  • අපි ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන්, යුනිවර්සිටි ගිහිල්ල, රස්සාවල් කරල, කසාද බැඳල ළමයි හැදුවටත් පස්සෙත් ඔහේ තාමත් මේ රටේ විප්ලවය වෙන තුරු බලාගෙන ඉන්න හණමිටිකාරයෙක් බව මම දන්නව.
  • මහ බණ්ඩාරනායකගෙ 1956-59 අවුරුදු තුනේ ආණ්ඩු කරපු දවස් ගානට වැඩියෙ රටේ ස්ට්‍රයික් තිබිල තියෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):



සිංහල අවුරුදු නිවාඩු නිසා දවස් කීපයක් තුළ තීරු දෙකක්ම ලියන්න යැයි පත්තරේ කර්තෘ ඒ වන විටත් කියා තිබුණේය. ඒ නිසා ඉන් ගොඩ ඒමට සම්‍යක් ප්‍රයෝගයක් කරමින් මෙවර මානිගෙ තීරුව හැටියට මගේ කල්‍යාණ මිත්‍රයාගේ ලිපිය පළකරන බව කරුණාවෙන් සලකන්න.


මිත්‍රයාගේ ලියුම

තමුසෙගෙ මානිගෙ තීරුව රට්ටු  කියවන නිසා ඒකට මොකක් හරි ගොන් කතාවක් ලියන්න ඉස්සෙල්ලයි මේ ලියුම ලියන්නෙ. අපි ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන්, යුනිවර්සිටි ගිහිල්ල, රස්සාවල් කරල, කසාද බැඳල ළමයි හැදුවටත් පස්සෙත් ඔහේ තාමත් මේ රටේ විප්ලවය වෙන තුරු බලාගෙන ඉන්න හණමිටිකාරයෙක් බව මම දන්නව. තමුසෙ මට කියන්නෙ ද්‍රෝහියා කියල තමයි. හැබැයි මම ද්‍රෝහී වුණේ තමුසෙලාගෙ පට්ට පරණ අදහස්වලටයි. තමන් කවදාවත් වෙනස් වෙන්නෙ නැති මිනිහෙක් කියල කවුරුහරි ආඩම්බරෙන් කියනව නම් එහෙම කීමෙන් ප්‍රදර්ශනය කරන්නෙ ⁣වෙන මුකුත් නෙවෙයි තමන්ගෙ මෝඩකම. මිනිස්සු දියුණු වෙනව කියන්නෙ හැමදාමත් අදහස් අතින් වෙනස් වෙනවටයි.

මේ දීර්ඝ සංඥාපනය ලිව්වෙ තමුසෙ මේ සුමානෙ රටේ සම්පත් කොම්පැණිවලට විකුණන්න එපැයි කියල වැරදිලාවත් ලියයි කියල හිතුණ නිසායි. ඕව ගැන කියන උදවිය  ඔය කියන්නෙ රටේ සම්පත් ගැන නෙවෙයිනෙ ඕයි. ඔය කියන්නෙ රජයෙන් කරගෙන යන ව්‍යාපාර ගැනනෙ. රජයෙන් ව්‍යාපාර කරන්නෙ සමාජවාදී රටවල්වලයි. දැන් ලෝකෙ සමාජවාදී රටවල් නෑනෙ. තියෙන්නෙ ඒ නමින් පවත්වාගෙන යන ආඥාදායක රටවල්නෙ. අනික මේක සමාජවාදයක්වත්, ධනවාදයක්වත්, ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැති අරුමෝසම් රටක්නෙ.

 

stop

සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දේවල් නම් රජය පවත්වාගෙන යෑමේ පාපයක් දෝෂයක් නෑ තමයි  ඒවත්  රජයෙන් පවත්වාගෙන යන්න ඕන සේවයක් හැටියටනෙ. එතකොට ඔය රජය දැන් කරගෙන යන සිය ගණනක් ව්‍යාපාරවලින් රටට වෙන සේවය මොකක්ද ? ඒවයෙ ඉහළ රස්සාවලට ඉහළ මට්ටමේත්, පහළ රස්සාවලට පහළ මට්ටමේත් දේශපාලන ⁣හෙංචයියොන්ව දාගන්න ලැබෙන මහඟු අවස්ථාවද? එහෙම නැත්නම් අතිකාල හා බෝනස්ද ගෙවන ආයතනවල පාඩු පියවගන්න භාණ්ඩාගාරෙ සුද්ද කරනවටද සේවය කියන්නෙ ? තෙල් විකුණන රාජ්‍ය ආයතනේ වෘත්තීය සමිතිවල ඉල්ලීම් දිනාගන්න ජනතාවට තෙල් ප්‍රවාහණය කිරීම කඩාකප්පල් කිරීමද දේශීය සම්පත් කියන ආයතනවලින් කරන සේවය ?

වෘත්තීය සමිතිවලට වචනයක්වත් කියන්න අපේ රටේ ඉන්න බොරු  ප්‍රගතිශීලියොන්ට බෑ⁣නෙ. ඇයි එතකොට ⁣බොලා උන්ගෙ හොඳ ළමයි ලැයිස්තුවෙන් කැපෙනවනෙ නේද ? එහෙම කරොත් උන් බොලාට සහෝදරයා කියන්නෙ නැතුව යනවනෙ. යකෝ මේක අහගනින්. ඔය හැම සතියෙම මහ ලොකු වීරයා වගේ දේශපාලනඥයන්ට ගහන මිනිහ ඇයි වෘත්තීය සමිති නායකයින්⁣ට ගහන්නෙ නැත්තෙ ? මේ රට විනාශ කරන්න මේ රටේ දේශපාලනඥයො කිසියම් මෙහෙවරක් කරාද ඊට නොදෙවැනි සේවයක් මේ වෘත්තීය සමිතිත් කරල තියෙනව. අද ඊයෙ ඉඳන් නෙවෙයි. මහ බණ්ඩාරනායකගෙ 1956-59 අවුරුදු තුනේ ආණ්ඩු කරපු දවස් ගානට වැඩියෙ රටේ ස්ට්‍රයික් තිබිල තියෙනව. ප්‍රගතිශීලීන් කවදාවත් කියන්නෙ නැති මේව කියන්න අපි වගේ ⁣ද්‍රෝහියොම ඉන්න ඕන.

 

z p10 General 01

රාජ්‍ය ආයතන රැකගන්න කියල කෑකෝගහන එවුන්ට තේරෙන්නෙ නැද්ද රාජ්‍ය ආයතන වැඩිවුණාම රාජ්‍ය යාන්ත්‍රණයත් ලොකු වෙනව කියල. මට නම් තේරෙන්නෙම නෑ රටේ අල්ලසයි, දූෂණයයි, නාස්තියයි නවත්තන්නෙ නැතුව රට හදන්න බෑ කියන එවුන් ඒ කටින්ම රාජ්‍ය ආයතන රැකගන්න කියන්නෙ කොහොමද කියල. රාජ්‍ය යාන්ත්‍රණය ලොකු වෙන්න වෙන්න අල්ලසයි, දූෂණයයි , නාස්තියයි වැඩිවෙනව කියල තේරෙන්නෙ නැති හාදයො එක්ක මොනව කතා කරන්නද?

දැන් බලනව ලෝකෙ හොඳම රටවල් කියන ස්කැන්ඩිනේවියානු රටවල වැඩි දෙනෙක් රටේ නායකයා කවුද කියලවත් දන්නෙ නෑනෙ. ඒ වුණාට අපේ රටේ ඉස්කෝලෙ යන ළමයෙක් වුණත් දන්නව ඊළඟට රටේ නායකයා වෙන්නෙ කවුද කියලත්. ඕන කබ්බෙක් ආඩම්බරෙන් කියන්නෙ තමන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීව අඳුරනව කියල. ඕන ලොක්කෙකුට ලොකුකමක් තමන් රනිල්ගෙ, මහින්දගෙ, සජිත්ගෙ, අනුරගෙ සයිස් කට්ටියගෙ ෆිට්ටෙකක් කියන්න පුළුවන් නම්. මොකද අපි ජීවත්වෙන්නෙ ⁣රජයේ අතපල්ලෙන් වැටිලනෙ. ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න තැනෙන් පටන් අරගෙන මොන මගුලකටද ඕයි අපි උන්ගෙ උදව් ඉල්ලන්නෙ නැත්තෙ ? අනිත් පැත්තට ⁣අපේ මොන කෙහෙම්මලටද හලෝ උන් අතදාන්නෙ නැත්තෙ.

 

sri lanka

රට දියුණු කරගන්න නම් ඉස්සෙල්ලා රාජ්‍යය පොඩි කරගන්න ඕන. දියුණු රටවල එහෙමයි. රාජ්‍යය ලොකු එක්කො අපේ වගේ හැමදෙයක්ම රජයෙන් දෙනතුරු බලාගෙන ඉන්න රටවල නැත්නම් ජනතාවට ස්වාධීන වෙන්න දෙන්නෙ නැති ආඥාදායක රටවල. මේව  පොදු ජනතාවට පහදල දෙන්නෙ නෑනෙ දේශපාලන පක්ෂ. උන් පහදල දෙන්නෙ අපි හොඳයි, අනිත් ඔක්කොම නරකයි කියල විතරනෙ. මේ රටේ නම් උගතුන් වශයෙන් පෙනී හිටින්නෙත් යමක් දන්නෙත් නැති, නොදන්න බව දන්නෙත් නැති හැත්තක් නිසා රට අඳුරෙන් අඳුරට යෑම පුදුමයක් නෙවෙයි. පුදුමෙ එහෙම නොවුණා නම්.

තව හොඳ  උදාහරණයක් තමයි අපේ රටේ සාහිත්‍ය, කලාකාරයො. කතාවට කියන්නෙ ශ්‍රෙෂ්ඨ සාහිත්‍යකලාකාරයෙක් කියන්නෙ රටක් ඇතුළෙ වෙනම රටක් කියලනෙ. ඒ වුණාට අපේ කට්ටිය කියන්නෙ අනේ අපෙනුත් මල් ටිකක් ගන්න කියනව වගේ කතා තමයි. රජයෙන් සාහිත්‍යකලා රැකගන්න ඕනලු. හරි හමන් සාහිත්‍යකලාකාරයො නම් කියන්න ඕන අපි මේක කරගන්නම් තොපි තොපේ වැඩක් බලාගෙන ඉඳපියව් කියලනෙ (මේ කියන්නේ රජයක් ස්වාභිලාෂයෙන් කරන කටයුතු ගැන නොව උන්ගෙන් හිඟාකෑමේ වැරැද්දයි)

හැමදේම ජනසතු කළ, හැම දේම රජය කළ අතීත කාමයේ ඇලීගැලී සිටින්නන් තවමත් ඉන්නව තමයි. හැබැයි තරුණ පරපුර නම් ඒ කල් ඉකුත් වූ හීනවල නෑ. ඒ තාක්ෂණයේ මහිමයෙන් ලෝකෙ දකින නිසා. තමුසෙට දැනුත් පරක්කු නෑ සත්‍යය දකින්න. ලැජ්ජ වෙන්න එපා, රාජ්‍ය යාන්ත්‍රණය කුඩා කළ යුතුයි කිව්වම රනිල්ගෙ ඔඩොක්කුවට වැටෙන්නෙ නෑ. ඕක ඒ හාදයගෙ දර්ශනයක් නෙවෙයි .අනික එයාට දර්ශනයක් තියෙනවද කියලත් කවුරුවත් දන්නෙත් නෑනෙ.



මානිගෙ තීරුව පාඨකයින් වෙතයි

මගේ මිත්‍රයාගේ ලිපියේ අඩංගු වන්නේ කිසිසේත් හෝ කවර සැටියෙකින් හෝ මගේ අදහස් නොවන  බව දන්වා සිටිනු කැමැත්තෙමි.


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...